Friday, July 13, 2018

ඉරණම තීන්දු කළ රාජකාරිය 08.



ගිරිබාවට යන්න කොච්චර වෙලාවක් යයි ද වික්‍රමසිංහ...?”

පැය  හයක් හතක් විතර යයි සර්...”

හවස් වෙයිනෙ යනකොට...?”

ඔව් සර් පහ හය වෙයි.. කුරුණෑගලට යනකොට ගිරිබාව බස් එකකුත්  තිබුනොත් හොඳයි අපි යන වෙලාවටම...”

99 වර්ෂයේ දී  වර්තමානයේ මෙන්  මහාමාර්ග නවීකරණය වී නොතිබිණි. මේ නිසා අප කුරුණෑගලට පැමිණෙන විට වේලාව සවස තුන පමණ විය. කුරුණෑගලදී අපි ගිරිබාව බසයකට නැඟගත්තේ පැයක් පමණ එහි රැදී සිටීමෙන් අනතුරුවයි.

කුරුණෑගල සිට අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 80 ක් පමණ ගොස්   මහගල්කඩවල හංදියෙන් වමට හැරී මහගල්කඩවල - වරාවැව මාර්ගයේ ගිරිබාව දක්වා බසය ගමන් කලේය. මේ මාර්ගය  ඉතාමත් වංගු සහිත පටු මාර්ගයක් විය.  දෙපසින් ගල්කුළු විශාල වශයෙන් දක්නට ලැබු හෙයින් ගිරිබාව යන නම කදිම ගැලපීමකින් යුතුව තබා ඇතැයි සිතුනි. මේ මාර්ගයේ කිලෝමීටර් 20 කට ආසන්න දුරක් ගෙවා ගිරිබාවට පැමිණෙන විට ඉර අවරට යන්න ඉතාමත් ආසන්න වී තිබුනි. ගමනේ වෙහෙස ගතත් සිතත් වෙලාගෙන තිබුන අතර මට අවශ්‍ය වී තිබුනේ විගසින් වෑන් රථය රැගෙන නැවත  කොළඹ පැමිණීමටයි.

ගිරිබාව පොලිස් ස්ථානයට අප යනවිට සවස හය පමණ විය. පොලිස් ස්ථානයට පිවිසෙන විටම මගේ නෙත ගැටුනේ මිදුලේ පසෙකින් නතරකොට තිබු සුදු පැහැති ඩොල්ෆින් වර්ගයේ වෑන්රථයයි.
මම රාත්‍රි කාර්යභාර නිලධාරීයා ලෙස කටයුතු කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා හමුවීමි.

මම කොටහේන CDB එකෙන් SI ප්‍රදීප්..., අර වෑන් එක ගෙනියන්න කියලා ආවේ...”

මගේ නිලහැඳුනුම්පත ඔහු වෙත ඉදිරිපත් කරමින් පැමිණි කාරනාව දැනුම් දුන්නෙමි.

... අර ඩොල්ෆින් එක නේද...? කපිල මේ මහත්තයට අර වෑන් එක භාරදෙන්න...”

පොලිස් ස්ථානයේ උපසේවා රාජකාරියේ නිරතව සිටි නිලධාරියාට වෑන්රථය මාවෙත භාරදෙන ලෙසට ඔහු දන්වා සිටියේය.

පොලිස් ස්ථානයක උපසේවා රාජකාරිය භාර නිලධාරියාට පැවරෙන්නේ ඉතාමත් භාර දූර වගකීම් සහිත රාජකාරි ගොන්නකි. විශේෂයෙන්  අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන සියලුම සැකකරුවන් හා නඩුභාණ්ඩ භාරගැනීම, භාරදීම, ඒවා සුරක්ෂිත කිරීම ඇතුලු එකී මෙකී නොකී වගකීම් රාශියක් නඩත්තු කරන්නේ   උපසේවා භාර නිලධාරියා විසිනි.

උපසේවා රාජකාරි භාර නිළධාරි තැන විසින් දෛනික තොරතුරු සටහන් පොතේ (RIB)  නියමිත සටහන් යොදා වෑන් රථය මා වෙත භාරදීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළේය.

“ සර් ඔය වෑන් එක අයිතිකාරයාටම කොටහේන පොලිසියට ගේන්න කියන්නද ? ඕකේ මොන ලෙඩ තියෙනවද දන්නෙ නෑනේ සර් “

වෑන් රථය නීත්‍යානුකූලව මා වෙත භාරදීමේ කටයුතු සිදුවෙමින් තිබියදී අඩ නිළ ඇඳුමින් සැරසුණු නිළධාරියෙක් ( පොලිස් කාකි කලිසමකින් සහ කැමා ටී ෂර්ටයකින් ) මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අදහසක් ඉදිරිපත්  කළේය. මේ නිළධාරියාගේ ප්‍රකාශය මට ඇති කළේ විශාල ගැටළුවකි. පැය ගණනක් වෙහෙසී විශාල දුරක් ගෙවාගෙන මෙහි පැමිණියේ රථය ගෙන යාමටයි. නමුත් එයට දැන් මේ බාධාවක් එල්ල කරනුයේ එයට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති නිළධාරියෙකි. කාර්යය භාර නිළධාරියා හෝ උප සේවා භාර නිළධාරියා හෝ වෙනත් කිසිදු නිළධාරියෙකුගෙන් මෙවැනි විරුද්ධත්වයක් ප්‍රකාශ නොවිණි. ක්ෂණිකවම මට මේ නිළධාරියා ඉදිරිපත් කළ අදහසේ අග මුල ගළපා ගැනීමට හැකි විය. මේ නිලධාරියා වෑන් රථයේ හිමිකරු සමඟ ඇති කිනම් හෝ සම්බන්ධතාවයක් මත ඔහුට වාසිදායක අයුරින් යමක් කරන්නට දරණ උත්සාහයක් මිස, මේ මොහොතේ දුටු මා කෙරෙහි ඇති වූ සද්භාවාත්මක හැඟීමකින් කළ ප්‍රකාශයක් නොවන බව මට ඉතාමත් පැහැදිලිව පෙනී ගියේය.

“ මම කොළඹ ඉඳලා මෙච්චර දුරක් ගෙවාගෙන  මෙහාට ආවේ මේ වෑන් එක ගෙනියන්නනේ.... මේක ගෙනියන්නේ නැතුව මම නිකං ආපහු යන එකේ තේරුමක් නැහැ... මොකක් හරි ප්‍රශ්ණයක් වුණොත් ඒක මම බලාගන්නම්...“

 නිළධාරියා ඉදිරිපත් කළ අදහස මම එකහෙලා ප්‍රතික්ෂේප කළෙමි. පසුව එම නිළධාරියා එතැනින් ඉවත්ව ගියේ මා පිළිබඳව ඇති කරගත් නොපහන් වු හැඟීමකින් බව මට දර්ශනය විය.

රථය නීත්‍යාණුකූලව භාරගැනීමෙන් අනතුරුව මට අවශ්‍ය වුයේ හැකි ඉක්මනින් එය රැගෙන පොලිස් ස්ථානයෙන් නික්මීමටය. තවත් මොහොතක්වත් එහි රැඳීමට මට හිත් නොදුන්නේ පෙර කී නිලධාරියාගේ අප්‍රසන්න හැසිරීමයි.

මම රථයේ එන්ජිම පනගැන්වීමට උත්සාහ කලෙමි. අහෝ...., අවාසනාවක මහත...., එය පණගැන්වීමට නොහැකි තත්ත්වයට පත්ව තිබුනි. මට දැනී ගිය ආකාරයට එහි බැටරිය බැස ගොස් ඇති සැටියකි.  ක්ෂණිකව මා පත් වුයේ අසරණ තත්ත්වයකටය.

“ මල්ලි පොඩි තල්ලුවක් දාමුද....?“

ඊළඟට මා උත්සාහ දැරුවේ රථයට තල්ලුවක් දමා හෝ එය පණගැන්වීමටයි. ඒ සඳහා අවට රැඳී සිටි නිලධාරීන්ගෙන් මට සහාය ඉල්ලා සිටීමට සිදු විය. 

මගේ ඉල්ලීම අනුව වික්‍රමසිංහත් සමඟ  කීපදෙනෙකු  වෑන් රථය පිටුපසට ගොස් තල්ලු කරන බව හැඟුණද ප්‍රමාණවත් බලයක් ඔවුන්ගෙන් ලැබුණු බවක් නොදැණුනි. අසාර්ථක බලයක් ලැබෙද්දී වුව වාහනය පණගැන්වීමට මා කීපවිටක් උත්සාහ කලද ඒවා අසාර්ථකම උත්සාහයන් පමණක් විය.

රථවාහන සම්බන්ධව ප්‍රමාණවත් කාර්මික දැනුමක් එදවස මා සතු වුයේ නැත. එනමුත් වාහනයේ බැටරිය නිසිආකාරව සවි වී ඇද්දැයි මට සැකයක් ඇතිවිය. මගේ සැකය නිවැරදි කරමින් බැටරිය පරීක්ෂා කිරීමේදී එහි ටර්මිනල් බුරුල් වී තිබුනි. එය හැකි අයුරින් සවිකර ගෙන නැවැත උත්සාහයක් ගත්විට රථය පණගැන්විනි.
රථය පණගන්වා ගැනීමට හැකි වුවත්,  මට පූර්ණ සතුටක් සැනසීමක් අත්විඳීමට නොලැබුනේ රථයේ ඉන්ධන මාපකය රතු කට්ටටම බැස තිබෙනු දැකීමෙනි.

“ මල්ලී මේකේ ඩීසල් නෑ..., මෙහෙ කොහෙන්ද ඩීසල් ටිකක් ගන්න පුළුවන්... ළඟපාත ෂෙඩ් එකක් තියෙන්නේ...?“

“ ආ..... සර්... මෙහෙ නම් ෂෙඩ් එකක් නෑ.... Main Road එකටම යන්න වෙනවා... හැබැයි සර් එහා පැත්තේ ඇල ළඟ කඩේක නං ඩීසල්  විකුණනවා... ඒත් හරියටම කියන්න බෑ තියෙයි ද කියලා....“

“ ඒ කඩේට මෙතන ඉඳලා කොච්චර දුර ද ....?“

“ කිලෝමීටර් 4 ක් විතර....“

නැවතත් මම මුහුණ දුන්නේ බැරෑරුම් ගැටළුවකටය. පොලිස් ස්ථානය ද පසුකොට මේ වෙළද සැලැට ගොස් පැමිණීමට   කිලෝමීටර් 8 ක් පමණ දුරක්  රථය ධාවනය කිරීමට සිදු වේ.  මේ කියු කඩයේ ඉන්ධන  තිබුනොත් හොඳය. නොතිබුණොත්.....? තවත් තත්ත්වය නරක අතට පත්වී ප්‍රධාන මාර්ගය දක්වා යෑමට තිබෙන ඉන්ධන ටිකත්  නිරපරාදේ නාස්ති කරගැනීමකි.  එසේ වුවහොත් අපට මහමඟ අතරමං වන්නට සිදු වනු ඇත.  මේ අවදානම් අවස්ථාව උරගා බැලීමට අවසානයේ මම තීරනය කලේ සුබවාදී ආකල්පයෙනි.

වෙළඳ සැලට යන ගමන් මඟ අසා දැනගෙන රථය පණගැන්වීමට උදව් දුන් නිලධාරීන්ට ද තුති පුදා වික්‍රමසිංහත් මමත් ගිරිබාව පොලිස් ස්ථානයෙන් පිටත්ව ඉන්ධන විකිණීමට ඇති වෙළද සැල සොයා ගමන ආරම්භ කලෙමු. රථයේ ආලෝක පහන් දැල්වීමට තරම් පරිසරය අඳුර විසින් ගිලගෙන තිබුන බැටරියේ  තත්ත්වය ගැන සැලැකිල්ලට ගෙන පාකින් ලාම්පු පමණක් දල්වාගෙන රිය ධාවනය කිරීමට මට සිදු විය.

“සර් මාර මිනිස්සු තමයි මෙහෙ ඉන්නේ...“

මගට පිළිපන් ඇසිල්ලේම වික්‍රමසිංහ දොඩමළු වන්නට පටන් ගත්තේ නෝක්කාඩුවක්ද සමඟිනි.

“ ඇයි වික්‍රමසිංහ....?“

“සර් මට කිව්වනේ වාහනේ තල්ලු කරන්න කියලා..., එතකොට අර වාහනේ ගෙනියන්න එපා කිව් මනුස්සයත් එතන හිටියා.... මිනිහා කියනවා අපට වාහනේ තල්ලු කරන්ඩ එපාලු... මටත් කිව්වා... මිනිහා දන්නේ නෑ මම ආවේ සර්ත් එක්ක කියලා....“

පිරිස වෑන්රථය තල්ලු කරද්දී මට දැනුන අමුත්තට හේතුව වික්‍රමසිංහ පැහැදිලි කරද්දී සියල්ල මට වටහාගන්නට හැකි විය. එ් තුල හාස්‍යද ගැබ්ව තිබු බැවින් ටිකක් හිනාවෙන්නට අපට ඉඩක් ලැබිනි.

“ ආ.... ඒක තමයි කට්ටිය හතර පස් දෙනෙක් තල්ලු කරත්,  මට දැනුනෙවත් නැත්තේ...“

කොහෙ දැනෙන්නද සර්.. සමහරු නිකං බොරුවට අත තියන් හිටියා විතරයි.. අර අපට කතාකල එක්කෙනා විතරයි හරියට තල්ලු කරේ....”

ඉන්ධන අලෙවි කරන වෙළද සැල සොයාගැනීමත් එතරම් ලේසි පහසු නොවීය. මග දිගට හමුවු පුද්ගලයන් කීපදෙනෙක්ගෙන්ම මග අසාගෙනය අතුරු ගුරුපාරක් ඔස්සේ ද ගමන් කිරීමෙන් අනතුරුව ඉන්ධන අලෙවි කරන වෙළද සැල සොයාගැනීමට හැකි විය.

හොද වෙලාවට ඩීසල් ටිකවත් තිබුනේ සර්....”

වෙළද සැලෙන් ඉන්ධන ලීටර් 10 ක් ලබාගැනීමට හැකි වීම නිසා අපි දෙදෙනා බෙහෙවින්ම සතුටට පත්වීමු.
අපේ වෙලාව නරකම නෑ වගේ... “

දිගින් දිගටම බාධක අභියෝග එල්ලවෙද්දී දුර්ලබව ලැබුන සාර්ථකත්වය නිසා  මට විශාල ජවයක් ලැබුනි.  ගතේ සිතේ වෙහෙස මහන්සිය ද තරමක් දුරුවීමට එය හේතු සාධක විය.  මුවින් නොදෙඩුවද වික්‍රමසිංහගේ සිත තුළ සහනශීලි හැඟීමක් දනවන බව ඔහුගේ වත දෙස බැලු මම දුටිමි.

ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව රථය සැලැකිය යුතු දුරක් ගමන් කර තිබු නිසා බැටරියද නැවත  ආරෝපණය වී රිය ධාවනය මට පහසුකරලීය.

දැන් වෙලාව කීයද වික්‍රමසිංහ...?”

දැන් සර් 9.15 යි...”

මම හිතුවේ ඊටත් වඩා රෑවෙලා ඇති කියලා..., දැන්නම් හොදටම බඩගිනියි නේද...? “

ඔව් සර් කුරුණෑගලින් එනකොට බිව්ව තේ එකින් පස්සේ මොකුත්ම බඩට වැටුනෙ නෑනේ....?  මේන් රෝඩ් එකටම යන්න වෙනවා කඩයක් හොයාගන්න...”

ගිරිබාව සිට මහගල්කඩවල දක්වා දිවෙන මාර්ගයේ දෙපස ගෙවල් දොරවල් ද පිහිටා තිබුනේ ඉතාමත් දුරින් දුරටය. වෙනත් කිසිදු  රථ වාහනයක්ද අවස්ථාවේ මාර්ගයේ ගමන් කරනු දක්නට නොවීය. අප ගමන් කරමින් සිටියේ   මිනිස් පුළුටක්වත් නොමැති පාළු ඉසව්වක් ඔස්සේය. වෑන්රථයේ ආපදාවක් හට නොනැඟේවායි සිතින් ප්‍රාර්ථනා කරමින්, ඉන්ධන දහනයද අවම කරගැනීමට සැහැල්ලු ගියරයන් තුල මම වේගයෙන් රථය ධාවනය කලේ හැකි ඉක්මනින් මේ පාළු මාවතෙන් ප්‍රධාන මාර්ගයට පිවිසීමටයි.

 සර්... ඔන්න, ඔන්න...........,”




12 comments:

  1. Hondama hariyen nawaththalaa 😟

    ReplyDelete
    Replies
    1. පෑනෙ තීන්ත ඉවර වුනා...
      😂😂😂😂

      Delete
  2. හයියෝ.......... මෙහෙම කරන්ඩ එපා අප්පා

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙයි කියලා මමත් හීනෙකින්වත් හිතුවෙ නෑ අප්පා... 😂😂😂😂😩

      Delete
  3. හොදම හරියේ නවත්තලා .....

    සතියකට එකද ?

    ReplyDelete
    Replies
    1. සිකුරාදා වෙනකම් තමයි නැවතුනෙ...
      බොහොම ස්තුතියි.. සූටික්කා...

      Delete
  4. අදනම් හරි කෙටියි ලිපිය...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ඩ බෑ ලොකු පුතා... වෙනදටත් වැඩියි අද... වචන ප්‍රමාණය ගනන් කරලා දැම්මේ.... සාමාන්‍යයෙන් එක ොටසකට මම වචන දාහක් විතර තමයි දාන්නෙ....
      😊😊😊😊
      Thank you for your comment 🙇

      Delete
  5. සතියකට දෙක තුනක්වත් දාන්ඩකො. සතියක්ම බලං ඉන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දෙක තුනක් තමයි තව සිද්ධියේ තියෙන්නේ.... Thank you කසුන්...

      Delete
  6. ඉදියෙ ගිරිබාවෙ.
    රෑ 9.00 පහු
    අනිව අලියෙක්

    ReplyDelete