Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 06.


“සර්.., සර්..., අන්න පතිරණයා පැයගානක් තිස්සේ අර ලේඩිත් එක්ක කදේ දාගෙන..., සර්ට විරුද්ධව ඇක්ෂන් ගන්න කියලා උගන්නනවා..., අර බලන්න සර්..., අර..........”

හිමිදිරි උදෑසන නැවුම් හැඟීම් සමුදායකින් පිබිදුනු සිතින් යුතුව පොලිස් ස්ථානයට ඇතුලු වු මා අභියසට නිලධාරීන් අතරින් කලබලයෙන් දිව ආ අත්තනායක කියාදැමුවේය. අත්තනායකගේ මුවින් පිටව මා සවනතට රිංගූ පණිවිඩය එතරම් සුබදායි නොවීය. චෝදනාගාරයට පැමිණි මා දෛනික තොරතුරු සටහන් පොතේ (RIB) රාජකාරියට රපෝර්තු කරන්නට පටන් ගත්තා පමණි. මදකට මාගේ කාර්ය නැවතු මා අත්තනායක දෑස් උලුප්පා දිගු කරමින් පෙන්නු දිශාව ඔස්සේ නෙතු යැවීමි.


මා දුටුවේ පෙරදින මවිසින් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවත් තරුණියත් සමඟ කතා බහක යෙදී සිටින පොලිස් නිලධාරියෙකි. විමසිලිමත් වු මා දෑස එම නිලධාරියා පතිරන නම් පොලිස් කොස්තාපල්වරයා බව හදුනාගැනීය. මා සේවයට රපෝතු කරමින් සිටි ගොඩනැගිල්ලේ සිට පිටුපසට බැසීමට පියගැට කීපයකි. එතන විවෘත මිදුලක් වු අතර ඔබ්බෙහි වු දෙමහල් ගොඩනැගිල්ලේ පහල මාලයේ පාලන අංශයද පසකින් වු පියගැටපෙළ නැඟ ඉහලට ගිය තැන අපරාධ විමර්ශන අංශය ද පිහිටියේය. ඔවුන් කතාබහේ යෙදී සිටියේ පාලන අංශයේ ආලින්දයේය.

රාජකාරිය රපෝතු කරමින්ම...
“මොනවද මිනිහ කියන්නේ...?”

අත්තනායක විමසුවෙමි.

“සර් ඒ ගෑනිව ඇරෙස්ට් කල එක වැරදියිලු... සර්ට විරුද්ධව ඒ ගැන ඩී.අයි.ජී ට කම්ප්ලේන් කරන්නලු.. මානව හිමිකම් යන්නලු... වගේ දේවල් කිය කිය ඒ ගෑනිට මූ හලනවා සර්..., දැන් පැය ගානක් තිස්සේ..., මහ ජරා මිනිස්සු සර් මුන්...’

සිදුවෙමින් පවතින තතු සියල්ල අත්තනායක හෙලිකලේ ඉතාමත් කලකිරීමෙනි.

“හ්ම් බලමුකෝ අත්තනායක... මම කරේ මගේ ජොබ් එකනේ, ඒ නිසා මම කාටවත් බය නෑ...”

ක්ෂණිකවම මසිත තුල කෝපය, කලකිරීම, සංවේගය, නොරිස්සුම සම්මිශ්‍රිත වු හැඟුම් සමුදායක් පෙරලි කරන්නට විය. යුක්තිය සාධාරණය පසිඳලීම වෙනුවෙන් ගෞරවනීය නිල ඇඳුම ලාගත්තෙකු එහි දුගඳ තවරනා අන්දම දෑසින් දැකගත්තෙමි. මොහොතකින් මගේ සිත මෑත අතීතයට දිව ගියේය. අපරාධ විමර්ශන අංශයේ සේවයට මාරුවීමට පෙර මා සුළු පැමිනිලි අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කලෙමි. සුළු පැමිනිලි අංශයේ සේවය කරද්දී මෙම නිලධාරියා ඒකාධිකාරිත්වයක් පවත්වාගෙන යන ආකාරය මට පෙනෙන්නට විය. ඔහුට අභිමත ආකාරයට ඔහුට වාසියක් අත්කරගත හැකි පැමිනිලි විභාග කිරීමට යාමට ඔහු තම බලය සුළු පැමිනිලි අංශය පුරා පතුරුවා තිබුනි. මේ නිලධාරියාගේ පාලනයෙන් පිටතට බලය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් නොවීය. සියලුම ක්‍රියා පටිපාටීන් පාලනය කරමින් පැමිනිලි විභාග කිරීමට යෑමේ ඒකාධිකාරි බලය සේම අදාල නිලධාරීන් තෝරා ගැනීමට ද ඔහු කටයුතු කල අතර අනුමැතියට මගේ අත්සන පමණක් බලාපොරොත්තු විය. මේ ක්‍රමවේදයට නොකැමති වු මා වර්ග කිරීමකින් හෝ බෙදීමකින් තොරව සියලුම නිලධාරීන් අදාල රාජකාරි සදහා යෙදවුවෙමි. දූෂණ අක්‍රමිකතාවකින් තොරව ජනතාවට සේවය ලබාදීමේ නීතිමය රාමුව තුල කටයුතු කිරීමට රිසි වු මා එම නිලධාරියාට රිසි නොවීය. තැන් තැන් වලට වී මේ සම්බන්ධව මාහට විරුද්ධව කුමන්ත්‍රණ සිදු කලද ඒවා ක්‍රියාවට නංවන්නට නම් නොහැකි විය. නමුදු කෙදිනක හෝ මා අරඹයා එම විරුද්ධත්වය පලකරන බව මා වටහාගෙන තිබුනද සුළු පැමිනිලි අංශයෙන් පිටව එනතුරුම නම් එවැන්නකට මට මුහුණ දීමට සිදු වුයේ නැත.

පතිරන නිලධාරියා විසින් එදා මගෙන් ගත නුහුණු පලිගැනීම අද දින කාන්තාව සහ තරුණිය උසිගන්වමින් සිදු කිරීම තම රැකියාවේ ගෞරවයටත් කෙතරම් නොතරම්දැයි සිතමින් මම අපරාධ විමර්ශන අංශය වෙත යාමට පියගැටපෙළ නැග්ගෙමි. ඒ අතරම හොරැහින් ඔවුන්ව නිරීක්ෂණයක යෙදුනු මා දුටුවේ මා දැක තිගැස්සී බියපත්වු පතිරන කාන්තාව හා තරුණිය අතරින් වේගයෙන් ඉවත්ව යන අයුරුයි.

“ මල්කාන්ති අර ගෑනු දෙන්නව එක්කරගෙන එන්න...”

රාජකාරි මේසය වෙත පැමිණ විගස සැකකාරියන් දෙදෙනා කැඳවාගෙන ඒමට මම කාන්තා නිලධාරිනියකට උපදෙස් දුන්නෙමි. මොහොතකින් ඇය ඔවුන් මා ඉදිරිපිටට කැඳවාගෙන ආවාය.

“මේ ඔයා ඩී.අයි.ජී ට බැරිනම් ඊට වැඩි කෙනෙකුට හරි කම්ප්ලේන් කරන්න... මානව හිමිකම් බැරි නම් ඕන තැනක ගිහින් කම්ප්ලේන් කරන්න..., හැබැයි මම ඒ එකකටවත් බය නෑ..., මොකද, මම මගේ රාජකාරිය අවංකව කරන නිසා...”

මගේ සිතේ කැකෑරෙමින් තිබූ කලකිරීම, කෝපය වචන වලට හැරවිනි.

“අනේ සමාවෙන්න සර්..., සර් ගැන නම් මගේ ඊනෙකින්වත් අයිතක් ඉතන් නෑ... මෙතන සර්ගේ රාජකාරිය අවංකවම කරනවා කියලා අපි දෙක්කා... ඒත් සර්ලගේ පොලීසිය ගෙන නම් කියන්න ලෙජ්ජයි....”

කාන්තාවගේ ප්‍රතිචාරය මම කිසිවිටකත් බලාපොරොත්තු නොවූවකි. මා බලාපොරොත්තු වුයේ ඈ මේ අවස්ථාවේ සිතින් මට දොස් පවරමින් නිහඬව සිටී යන්නයි. එහෙත් ඇයගේ ප්‍රතිචාරය මා කිසිසේත් බලාපොරොත්තු නොවුවකි. ඇයට පවසන්නට ලොකු කතාවක් ඇති හැඩකි.

“ඒ මොකද ..?”

විශ්මය මිශ්‍රිත හැඟීමෙන් මම ඈ විමසුවෙමි.

“සර් ඊයේ රෑ ඉදලා අපට උදව් කරන්න තමා කට්ටිය ඉදිරිපත් වෙනවා.... සර්ට විරුද්ධව අතෙන්ට මෙතෙන්ට කම්ප්ලේන් කරන්න කියාගෙන...., ඕන උදව්වක් ඉල්ලන්න කරනවා කියාගෙන..., ටෙලිෆෝන් නම්බර්ස් දෙනවා බේරෙන්ඩ බේ සර්..., හරිම ලෙජ්ජයි සර්...”

ඇයගේ ප්‍රකාශය සත්තකින්ම මා හතර විලිලැජ්ජාවට පත් කලේය. ඇය මා සිතුවාට වඩා අත්දැකීම් සහිත බුද්ධිමත් කාන්තාවක් බව මට තේරුම් ගියේය. මේ ගෙන්දගම් පොලොවේ මැනවින් තෙම්පරාදු වී ඇය ලබා ඇත්තේ විශිෂ්ඨ දැනුමකි. මට ඇය ගැන සංවේගයක් හා පැහැදීමක් ඇති වුනි.

“හැමතැනම ඔහොම තමයි..., ඔයාලට විරුද්ධව කරලා තියෙන කම්ප්ලේන් එක අනුව, අරූව අල්ලගන්න ඔයාලව ඇරෙස්ට් කරලා ප්‍රශ්න කරන් නැතිව බෑ... ඔයා ඒ මිනිහගේ විස්තර ටික දුන්න නම් ඔයාට මේ මොකුත් කරදර නෑ... දැන්වත් ඇත්ත කියන්න කෝ... මට උදව් කරන්න මූව අල්ලගන්න මම ඔයාට ඇප අරන් දෙන්නම්...”

මට ඇයට දෙන්නට වෙනත් උත්තරයක් නොවිනි. කාන්තාව මා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන තිබීම ගැන මම සතුටු වුයෙමි. විමර්ශනය සාර්ථකව කරගෙන යාමට ඇයගේ උදව් ද ලබාගත හැකි බව ඒ තුල විය.

“සර් කුමාරගේ ටෙලිෆෝන් නම්බර් එක නම් මගේ ළඟ තියෙනවා....”

සුවිශේෂී තොරතුරක් ...සැකකරු අත්අඩංගුවට ගැනීමට මාර්ගය පාදාගැනීමට අතිශයින්ම වැදගත් වන. ...

සැබැවින්ම මේ කාන්තාව හා තරුණිය මා අත්අඩංගුවට නොගත්තේ නම් ඇයගෙන් මේ තොරතුරු කිසිවක් හෙලිදරව් වන්නේ නැත. ඇය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය උත්සාහ කලේ මේ මුදල් වංචාවට ඇය කිසිසේත් සම්බන්ධ නොවු බව පෙන්වා මඟහැර යාමටයි. උසස් නිලධාරීන්ගේ උදව් ඉල්ලමින් ඇය උත්සාහ කලේද ඒ සදහායි. එහෙත් මේ වනවිට ඇයගේ ඒ මුරණ්ඩු හැසිරීම නැතිවී කෙසේ හෝ ඇය මුහුණ දී සිටින කරදරයෙන් මිදීමට උත්සාහ දරමින් සිටියාය.

“ආ.... මිනිහගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයා ළඟ තියෙනවා...? ඔයා පුදුම එක්කෙනෙක්නෙ...., ඇයි ඕක මට කලින් නොකීවේ....?

මුල් අවස්ථාවෙම මෙම තොරතුර ලබානොදීම ගැන මම ඇයට දොස් පැවැරුවෙමි.

“අනේ නේ සර්..., හිතලා නෙවෙයි..., මේක මට අමතක වුනා.., එත්තටම කීනවනම් මේ මනුස්සයා තුන් හතර සැරයක් තමයි මගේ ඒජන්සියකට එවිත් තීනවා..., මේ නම්බර් එක මිනිහා දුන්නේ මේ නෙංගිට දෙන්ඩ කියලා..., එයා මේ නෙංගිට කෙමෙතියි කීලා මට කෝම අරි මෙයාව යාලු කරලා දෙන්ඩ කීවා..., මෙනියා වෙඩිපුරම මගේ ඒජන්සියට ආවේ ගියේ මේ නෙංගිව යේලු කරගන්ඩ.....”

ඇයගේ ප්‍රකාශයෙන් සැකකරුගේ එක් දුර්වලතාවයක් මම ක්ෂණිකව හඳුනා ගත්තෙමි. ඔහු ස්ත්‍රී ලෝලියෙකි. ඔහුගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන ඔහුව කොටුකරගැනීමට ඇති හැකියාව මම වටහාගත්තෙමි.

“හ්ම්..., හරි දැන් ඉතිං මට ඇත්ත කියන්න..., එතකොට ඔයාලා මුකුත්ම දන්නේ නැද්ද ..., මේ කොල්ලන්ගෙන් සල්ලි ගත්තා කියලා...?”

මට තවදුරටත් ඇවැසි වුයේ මොවුන් දෙදෙනාගේ කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇත්දැයි සැකහැර දැනගැනීමටයි. එය බොහෝ සීරුමාරුවෙන් කල යුත්තකි.

“දෙයියම්පල්ලා යෙපි දෙන් නේ සර්...”

ඇයව මට විශ්වාස කල නොහැක. දෑස් පනාපිට සොරකම් කල සොරෙකු වුවද පොලීසිය ඉදිරියේ මුලදී දිව්රුම් ප්‍රකාශ ලබාදෙන්නේ මෙසේය. මම තවදුරටත් ඇයව ප්‍රශ්න කලෙමි.

“එහෙම නම් ඔයාල මොකද මිනිහගේ වෑන් එකේ නැගලා කොටහේනට ආවේ...?”
,


07 වන ‍කොටසට.

11 comments:

  1. මේ system එක හැදිල තියන හැටි ගැන නම් පුදුම කලකිරීමක් තියන්නෙ, මේ ගූ වලට බැහැල ගූ නාගන්නෙ නැතුව ඉන්න හදන එක තරම් වහෙසකර දෙයක් නම් තවත් නැතුව ඇති, විසඳුමක් නම් පේනතෙක් මානෙක නෑ...

    - Jana

    ReplyDelete
    Replies
    1. මේ system එක වෙනස් කරන්න නම් කට්ටිය ඕන තරම් කතාකරනවා... ඒත් ප්‍රාෙයා්ගි ක්‍රියාකාරිත්වයක් නෑ... මම මේ ලිව්වේ ටිකයි....

      Delete
  2. බලාසිටිමි ඊලග කොටස

    ReplyDelete
  3. Replies
    1. ඉතිරිය අද... තව පොඩ්ඩකින් දානවා...

      Delete
  4. අයි යයි යයි යයි යයි...! මම අටං ගෙ මගපෙන්වීමෙන් මෙහෙ ආවෙ. එක දිගට කියවං ගියා. මෙතනිං නතර උනහම හුළං ගියා වගේ උනා. ඉතිරිය ඉක්මණට බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න අද ඔයාට 07 වෙනි කොටස බලන්න පුලුවන්...
      බොහොම ස්තුතියි....

      Delete
  5. ලියන්න ලියන්න. ආ අද සිකුරාදා නේහ්? හත්වෙනි කොටසත් දාන්න.

    ReplyDelete
    Replies
    1. තව පොඩි වෙලාවක් දෙන්න upolad කරන්න...
      Thank you කසුන්..

      Delete