Monday, July 2, 2018

සිත තාම තරුණයි 06

තේ ටිකක් වත්කර බීමට වත් උත්සුක නොවූ සිරියා ගෙට ආ විගස සයිමන් විමසුවේ දැන් ඉතින් ගුණේට මොකද කරන්නේ කියාය. සිරියාට අනේ අම්මයි අප්පයි දෙන්නම නැති කොලුවා ගැන බොහෝ දුක සිතී තිබුණි. ඔහුට දැන් තමාත් පිහිට නොවුනොත් යන එන මං නැතිව අතරමංව පාරට වැටෙනු ඇත. එසේ වීමට ඉඩ දිය නොහැක. සුමනක්කා සිටියදී කුසුම්සිරිගේ කුස පිරවූ වාර ගණන අනන්තය. කුසුම්සිරි බඩගින්නේ හඬනු ඇසුනහොත් සුමනක්කා....


“මොකද සිරියෝ කොල්ලා අඬන්නේ? යි විමසා නිකං සිටින්නේ නැත. 

"වරෙන් කොලුවෝ පිට්ටු කෑල්ලක් දෙන්න....“  කියා කුසුම්සිරිගේ සාගින්න නිවාලයි. 

කුසුම්සිරි නැවත තම නිවසට පැමිණෙන්නේ සිනා පිරුණු මුවක්ද, පිට්ටු පිරුණු කුසක්ද ඇතිවය. එසේ තමාට සැළකූ සුමනක්කාට අද තමාට ද්‍රෝහි විය හැකිද? ගුනේරිස් තම නිවසේ හදා වඩා ගැනීමට සිරියා එක සිතින්ම එකඟව සිටියාය. නමුත් තම සැමියා විමසිය යුතුය. ඔහුද එපා යැයි නොකියනු ඇත. එපා කීවොත් කෙසේ හෝ කැමති කරවා ගැනීමට අවි ආයුධද ඈ සූදානම් කරගෙන සිටියාය.

නමුදු සයිමන්ගේ සිතේ නම් එක පයින්ම ගුණසිරි නවතා ගැනීමේ සූදානමක් නොවීය. කැමැත්ත නැති නමුත් සිත තුළ යටි අරමුණක්ද වූයෙන් සයිමන් ගුණේ තම නිවසේ නවතා ගැනීමට එකඟ වූයේය. තමාගේ නිවස සුමනාගේ නිවසටත් වඩා කුඩා හුණ්ඩුවකි. දැන් සුමනාගේ නිවසට හිමිකාරයෙකුට ඇත්තේ ගුණසිරි පමණි. ගුණසිරි තම නිවසේ නවතාගෙන පසුව හෙමිහිට ඔහු කොහේ හෝ පිටමං කළ හැක. ඉන් පසු සුමනාගේ නිවසද තම නිවසටම ඈඳා ගැනීමට ඇත්තේ නිවෙස් දෙක මැදින් ඇති ලෑලි පටි ටික ගලවා දැමීම පමණි. එය සයිමන්ගේ සිතේ තිබූ කෛරාටික සැළසුම විය. සයිමන් ස්වභාවයෙන්ම කපටි කෛරාටික මිනිසකු වූයේය. නාට්ටාමි රැකියාව තුලින් ඔහු තවදුරටත් තෙම්පරාදු වී සිටියේය. කෙසේ හෝ මේ අදහස පසුව සිරියාට ඉදිරිපත් කළ යුතුය. හෙමිහිට ඇය එකඟ කරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට තම නිවස ප්‍රමාණයෙන් දෙගුණයක් වේ. එතරම් විශාල ගෙයක් මේ පේලි ගෙවල කාටවත් තිබුණේ නැත. පසු කලෙක ගුණේ මඟ හරවා දැමූ විට මුළු නිවසේම අයිතිය තමාටය. එසේ සිතමින් සයිමන් ගුණසිරි. තම නිවසේ නවතා ගැනීමට කැමැත්ත පළ කළේය.

“ ගුණේ...... මල්ලිත් එක්ක ගිහින් උ‍ඹේ ඇඳුම් කෑළි ටික ගෙනෙං.....“

සිරියා නැන්දා කාරුණිකව ගුණේ ඇමතුවාය. ගුණේට ඇවැසි ඇඳුමක් නැත. හූල්ලමින් පැත්තක් අල්ලාගෙන අඬමින් සිටි ගුණේට මුළු ලොවෙන්ම තමා තනිවී ඇති බවක් හැඟෙයි. කුසුම්සිරි මල්ලීට සිරියා නැන්දා ඇත. පේමාට එළිසා නැන්දා ඇත. “ මට..........? මට මගේ අම්මා නැත. මට දැනෙන දුක අනිත් අයට නෑ නේ.....? “ ඉතා දුකින් හඬමින් ගුණේ ඇද සිටි කමිසයේම හොටු සීරුවේය. නහය ඉහලට අදිමින් සිරිය නැන්දට කීකරුව ඇදුම් ටික ගේන්නට නිවසට ගිය ඔහුට නැවත මහ හඬින් හැඬෙන්ට විය. ඔහු නිවස මැද පොළවේ වැටී හැඬුවේය. ඇබිත්තං කලු කොළුවා කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වුයේය. “ අනේ දැන් පේමක්කා සිටියානම්....“ ඇය සිටියානම් ඇඟිල්ල උස්සා “ දැන් ඇඬුවා ඇති අඬන එක නවත්වනවා ගුණේ.... මෙතන හැම වෙලාවෙම අඬන්න තියාගත්තා....“ කියා ගුණේ අයියාට බැණ වදිනු ඇත. අනේ ඇයට තරම් ශක්තියක් තමාට නොමැතිවීම  පිළිබඳව කුසුම්සිරි තැවුනේය. 

කෙසේ හෝ අවසානයේ ගුණේගේ නවාතැන සිරියා නැන්දාගේ නිවස වුයේය.
අම්බලමේ හිඳ මුල්ලක් අල්ලාගෙන සිටින කණාටු බැල්ල කිසිඳු හැල හොල්මනක් නැත. ඇයත් මුවින් නොපවසනා නමුත් සිතින් අතීතාවර්ජනයක යෙදෙන ගුණසිරිට නිහඬවම සවන් දෙමින් බාධාවක් නොකර සිටිනවා වැන්න. නැවත ගුණසිරි බාල කාලයේය. 

ඔහුට සිරියා නැන්දාගේ නිවස තමාගේ නිවස මෙන් හුරු පුරුදු වීමට ටික කලක් ගතවිය. ගුණේ වැරදීමකින් නිතරම දිව්වේ තම ගෙදරටමය. අම්මාගේ කොස්සේ පහස නොලද ගේ අහුමුළු තුල මකුළුවෝ තවත් අලුත් ගෙවල් සෑදුහ. අම්මාට කඩයප්පන් සෑදීමට පමණක් නොව වගා කිරීමේ ද මහඟු අත් ගුණයක් විය. ඇය අතින් කිරි හට්ටියක, පරණ තීන්ත බෙලෙක්කයක ඉන්දුනු රම්පේ කරපිංචා සේර පැල ඒ කාලයේ ඉතා සරු සාරව වැඩෙමින් තිබුනි. නමුත් අම්මාගේ වියෝවත් සමඟ ඇති වු දුක නිසාම රම්පේ කරපිංචා ගස් ද සුදු මැළි වී ගිය සෙයකි. ඒවාට වතුර පොඳක් ඉසලන්නටවත් කවුරුන් හෝ නොවු නිසාම රසකාරක පැළෑටි ශෝකයෙන් හේබා ගොස් තිබුනි.

සිරියා තමාට හැකි පමණින් තම දරුවෙකු ලෙසට ගුණසිරි හදාවඩා ගත්තාය. කුසුම්සිරි ද අය්යා කෙනෙකුට මෙන් ගුණේට සැළැකු නමුදු සයිමන්ට නම් තවම තම යටි අරමුණ සිරියාටවත් ඉදිරිපත් කරගත හැකි නොවීය. ඒ තමාගේ හදිස්සිය නිසා සිරියා එක්වරක් අකමැත්ත පලකරන තැනට වැඩ යෙදුනහොත් නැවත ඈ කීයටවත් කැමතිකරවා ගැනීමට නොහැකි බව තමාගේ වසර ගණනක පවුල් කෑමේ අත්දැකීම් තුලින් සයිමන්ට සාක්ෂාත් වී ඇති බැවිනි. 
මේ සියළුම කරුණු කාරනා මෙසේ සිදු වෙද්දී ගුණේ අල්ලපු නිවසට පැමිණීම සම්බන්ධව පේමා තදබල ලෙස ප්‍රීතියෙන් පසු වුවාය. තමාගේ නිවසට ඔහු කැඳවාගෙන ඒමට නොහැකි වුවත් අල්ලපු නිවසේ ඔහු විසීම ඇගේ ප්‍රීතියට හේතු විය.

ටික දිනකට පසු ගුණේ පාසැල් යාමට පටන් ගත්තේය. ඒ යන එන සෑම විටකදීම ගුණේ තනි නොකිරීමට පේමා වගබලා ගත්තාය. 

“ ගුණේ..... ගුණේ.........“

“ ඇයි මොකද.......? ????? 

ගුණේගේ කාරුණික වාග් විලාශය ද අම්මාගේ මරණයත් සමඟ හොරු ගෙන ගියා වැන්න.

“ ගහගන්ඩ වගේ කථාකරන්න එපා ගුණේ.... ආ මේ ලොසින්ජරේ... අම්මා අද මට දීපු සතෙන් ගත්තේ....

එපමණක් නොව එළිසා විසින් පේමාට දෙනු ලබන ඕනෑම කෑමකින් ටිකක් ඉතිරි කරගෙන ගුණේට දීමට ද පේමා පුරුදු වුවාය. 

ගුණේට විටක කන් බිහිරිවීමේ රෝගය වැළඳේ. විටක මුව ගොළු වීමේ රෝගය වැළඳේ. තවත් විටක තමාගේ ඇඟට කඩා පැනීමේ රෝගය වැළඳේ. පේමා මේ සියල්ල ඉවසුවේ තරමක අපහසුතාවයෙනි. ඔහු අම්මා මිය ගිය සොවින් තවමත් තැවෙන්නේය. එදානම් ඔහු තම්නට ඉතා කීකරුය. අදනම් විටක තමා ද අභිබවා යමින් සැරවැර පායි. පේමා විටක තරහින් ද විටක කනස්සල්ලෙන් ද තවත් විටක ශෝකයෙන් ද ගුණසිරි සමඟ කුළු පග වීමට තැත් දැරුවාය. ඇබිත්තං කලු කොළුවාත් මේ සියළුම සිදුවීම් අතර සජීවි චරිතයක් චිත්‍රණය කරමින් මතකයේ රැදී සිටියේය. කාලය ගෙවී යත්ම ඔවුන් තිදෙනා අතර නොමියෙන මිතු දමක් බැදෙමින් පැවතුනි.

ගුණේට පේමාත් කුසුම්සිරිත් නැතිවම බැරි වුවා සේම ඔවුන්ටද ගුණේ හොඳ මිතුරෙක් සහෝදරයෙක් විය. නමුත් පේමා තවමත් තමා සැම විටම පළවෙනියා විය යුතුය යන අදහසින් මිදීමට නොහැකිව පසුවුවාය. ඒ පිළිබඳව නම් කුසුම්සිරි තුල වුයේ කැමත්තකි. මන්ද යත් ගුණේ අය්යා කනස්සල්ලෙන් පසුවන විටක ඔහුට අවවාද කිරීමට තමා කුඩා වැඩිවා මෙන්ම පේමක්කා වැඩි මහළු වීම වාසනාවක් යැයි ඔහු සිතු බැවිනි.

පේමාගේත් කුසුම්සිරි මල්ලීගේත් කෙළි කවට සිනා බස් අතර කාලය ගෙවමින් සිටින ගුණසිරිට මදින් මද අම්මාගේ මතකය බැහැර යන්නට විය. සිරියා නැන්දාගේ ද ආදර වදන් තුලින් නිතැතින්ම ඇය ගුණේට අම්මාගේ චරිතය රඟ දැක්වීමක් දැක ගත හැකි විය. සයිමන් උදෑසනම අවදිව නිවසින් පිටවේ. පැමිණෙන්නේ රාත්‍රී කාලයේය. ඒ නිසාම සයිමන්ගේ දසුන වෙනදා පරිදි ගුණේට හුරු පුරුදු නොවීම පුදුමයක් නොවීය. පේමාගේ අම්මා එලිසා නැන්දා ද ආරොං මාමා ද ගුණේට සෙනෙහස පෑම මහත් අස්වැසිල්ලක් විය. මේ හැම දේටමත් වඩා ඔහුට වටින්නේ පේමාගේ හා කුසුම්සිරි මල්ලීගේ සමාගමයයි.
පේමාගේ කට කතුරක් වැන්න. එක්වරම හොල්මන් කථාවකින් තම රඟ දැක්වීම ආරම්භ කරන ඇය එහි සිටිනා යකින්නියන් අවතාර මේ දැන් තමා ඉදිරියේ සිටිනා ලෙසක් මවා පෙන්වයි. ඇබිත්තං කලු කොලුවාව බියෙන් සලිත කරවනා ඇය හිටි වනම සුරංගනා කථාවකට මාරු වී ඔහු සිනා ගැන්වීමට ඉතා දස්සය. බියපත්ව හැඩුවේ තමාදැයි විශ්වාස කල නොහැකි සේ කුසුම්සිරි කොක් හඬලා සිනාසෙන්නේ ගුණේව ද ඒ හිනාවට ඈදා ගනිමිනි. 

“ මොකද මේ උඹලට වෙලා තියෙන්නේ...? කොයි වෙලාවේ බැලුවත් හිකි හිකිය... ඉවරයක් නෑ.......“

කොල්ලන්ගේ කෙලි කවටකම් සතුටින් ඉවසන සිරියා නැන්දාගේ කට හඬයි ඒ.

එක්වරම මීයට පිම්බාක් මෙන් නිහිඬවන ඔවුන් තිදෙන නැවත හිකිස් ගා සිනාසෙන්නේ තරඟයට එකයි.... දෙකයි.... තුනයි.... කීවාක් මෙනි. 
මෙසේ දින දින ගෙවී යද්දී ඔවුන් තිදෙනා අතර නොමියෙන මිතු දමක් බැඳුන ආකාරය ගුණසිරි සිහිකරනුයේ මහත් සොම්නසිනි. නමුත් කිසිදා නොසිතු නොපැතු ආකාරයට දිනක් ඔවුන් තිදෙනා අතර මහා ප්‍රාකාරයක් බැන්දේ එළිසා නැන්දාය. එදා නම් ඒ පිළිබඳව ගුණේගේ සිතතුල අම්මා වියෝ වු දා තරම්ම දුකක් පැන නැගුනද අද නම් නිතතින්ම සිනාවක් මතුවේ. 

එදා ද අද මෙන්ම වැසිබර දිනයකි. වැසි දවසට පේලි ගෙවල්වල කොළු කුරුට්ටන් සියල්ලෝම එළියේය. එක අතකට නිවස තුල සිටියත් එළියේ වගේමය. එක්කෝ ගෙයි දොරකඩින් ගලායන ජල ගංගාව ගේ මැදින් ගලා ගොස් පිළිකන්නෙන් එළියට දුවයි. නැතිනම් අහසේ වළාකුළු කපාගෙන ඇද හැලෙනා වැහි බිඳු වහලේ හිල් අතරින් නිවස තුලට වැද දෝරේ ගලායයි. එසේත් නැත්නම් කැළණි ගඟ ගේ ඇතුලේය. ඉතිං වැහි දවසට නිවස තුලත් එළියත් දෙකම එක වගේමය. 

කොළු කෙල්ලන් වැහි දියේ බෝට්ටු යවති. ලී දඩුවලින් වතුර වලවල් වලට ගසිමින් දියේ උඩ පනිති. දිය තලති. එය ඔවුන්ට එකම ජල ක්‍රිඩාවකි. 
එදින වැස්සෙන් බේරීමට ගුණේ හබරල කොලයක් ඔසවාගෙන හිස ආවරණය කරගෙනත් පේමා කබල් කුඩයක යටත් පාසැල් ගොස් පැමිණෙමින් සිටිහ. ඔවුන්ට ද මොර සූරන වැස්ස ගානක් නොවු ආකාරයකි. ටික දුරක් හබරල කොලය යට ආ ගුණේ එය විසිකර වැස්සට පැන්නේය. 

“ මොකක් ද ගුණේ ඔය කරන්නේ....? වැස්සේ තෙමිලා ලෙඩ හදාගන්න ද හදන්නේ....? “

“ ආ.... අපේ අම්මා වගේ නේ මෙයාගේ කථාව.... “ ගුණේ ද දෙවැනි නොවේ.

“ මෙන්න මෙහෙ දෙනවා ඔය පොත් ටික... තෙමන්නැතුව මංවත් අරගෙන යන්ඩ...“

“ ආ මෙන්න...“

ගුණේ පොත් ටික පේමාට දී යළි වතුරේ නටන්නටත් පේමාට වැසි වතුර විසිකරන්නටත් තරහ මුහුණක් පෙන්වු නමුදු පේමා ද මේ සෙල්ලමට යටි සිතින් ඇලුම් කලාය.

කැළණි ගං මිටියාවතට මෙන්ම සමනල කන්දට ද තදින් වැසි වැටෙනා යම් දිනවල දී කැළණි ගං කොමළිය වඩ වඩාත් චණ්ඩ වේ. ඒ මදිවාට ගස් අතු අඹරවාගෙන වැසි ඇද වැටේ. ඒ මොර සුරන වැස්සේ තව තවත් චණ්ඩ වන කල්‍යාණි ගංගා මනාලිය ඉවුරු දෙපස ගම් බිම් යට කරගෙන සිය ස්වාමියා වු සමුදුරු රළ සොයා ඇදී යන්නේ දේපල සමඟ ජීවිත ද බිලි ගනිමිනි. මේ සිදුවන විශාල විනාශය පිළිබඳව ගං කොමළියට වගේ වගක් නැත. කලක් ඇවෑමෙන් මිනිසුන්ට ද වගක් නොවේ. සියල්ල ටික දවසකින් අමතක වන්නේ කිසිවක් සිදු නොවුනාක් මෙනි. 

එදා ද වැස්සේ කඩිමුඩියේ මිනිස්සුන් එහා මෙහා දිව යති. එලිසාට ද සිරියාට ද දරුවන් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට අවශ්‍ය නොවුනි. ඒ ඔවුන් වැසි දිනයේ දිය කෙලියේ යෙදීම සාමාන්‍ය දෙයක් වු බැවිනි. පාසැල් ගොස් පැමිණි ගුණසිරි හා පේමා ද කුසුම්සිරි සමඟ ගේ ඉදිරිපස වතුර වලවල්වල උඩ පනිමින් නටන්නට වුයේ පාසැල් ඇදි ඇඳුම් පිටින්මය. එක් වරම හෙණ ගෙඩියක් පාත් වුවාක් මෙන්

“ මොකද බොල කෙල්ලේ මේ කරන්නේ....? වරෙං මෙන්න මේ ගේ ඇතුලට...“

කියමින් එලිසා නැන්දා පේමාව ඇදගෙන නිවස තුලට දිව ගියාය. 

 “ අනේ අම්මේ... මොකද මේ....?  අතාරින්නකො මාව ..... ”  පේමා නහයෙන් ඇඬුවාය.

ගුණේරිසුත් කුසුම්සිරිත් බයෙන් බිරාන්තව බලාසිටියහ. 

“ අය්යේ... පේමක්කට අම්මා ගහයි ද...?  ඇයි අයියේ එලිසා නැන්දා පේමක්කව ඇදගෙන ගියේ...? “ 

කුසුම්සිරි මල්ලීගෙන් ප්‍රශ්ණ වැලකි. 

“ අනේ මන්දා මල්ලි අපි මඩ වතුර නැටුව හින්දද දන්නෑ....“

“ ඒත් අපි වෙනදටත් වතුරෙ සෙල්ලං කරනවනේ අයියේ... “

ගුණේරිසුත් කුසුම්සිරිත් හෙමි හෙමින් එලිසා නැන්දාගේ ගෙදරට එබිකම් කරන්නට වුහ. එලියට ආ එලිසා නැන්දා 

“ පලයවු යන්න.... එනවා මෙතැන බිතක්කනෙං කොකං පාන්න... 

එන්නෙහෙම නෑ මීට පස්සේ මේ ගේ පැත්ත පලාතේ.....“ බෙරිහන් දුන්නාය.

මේ ඔළුව උඩට කඩා පාත්වුන හෙන ගෙඩිය මොකක්දැයි තේරුම්ගත නොහැකිව ගුණේත් ඇබිත්තං කලු කොලුවාත් මුහුණට මුහුණ බලා ගත්හ. 
අම්බලමෙන් එපිට කලුවර මැදින් නොපෙනෙන මානයට දෑස් යොමාගෙන සිටින ගුණසිරිට හදිසියේම සිරියා නැන්දාත් කුසුම්සිරි මල්ලීත් සිහිපත් විය. 
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

07 වෙනි කොටසට.

No comments:

Post a Comment