Friday, July 27, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 10

තවත් එක් විමර්ශනයක් සාර්ථකව නිමකිරීමේ බලාපොරොත්තුවෙන්  කොටහේන පොලිස් ස්ථානයෙන් පිටකොටුව මල්වත්ත පාර බලා මම නිලධාරි කණ්ඩායමත් එක්ක පිටව ගියේ ඉතාමත් සතුටින්… මේ මෙහෙයුම සඳහා  අපි පිටව ගියේ විමලසේන නිලධාරියා නිලඇඳුමෙන් හා   මා ඇතුලු අනෙක් නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුම් වලින්  සැරසීගෙනය.

මල්වත්ත පාරේ ශ්‍රීනාගේ රැකියා ඒජන්සිය වෙත ළඟාවීමට අපට එතරම් වෙලාවක් ගත නොවිනි. ඒජන්සියට ආසන්න වත්ම අපි සිව්දෙනා මොහොතකින් නන්නාඳුනනා පුද්ගලයන් බවට පත්වී එකිනෙකාගෙන් ඈත් වුයෙමු. අරමුණු හතරක් ඔස්සේ පිටුකොටුවේ සැරිසරන පුද්ගලයන් ලෙස රඟපෑම ආරම්භ කලෙමු. 

රැකියා ඒජන්සියේ පිටතින් නිලධාරීන් දෙදෙනෙක් සෝදිසියෙන් සිටි අතර මම තවත් නිලධාරියෙක් සමඟ ඒජන්සිය තුලට ගොස්  පුටු දෙකකට බරදී නිස්කලංකව පත්තර දෙකක් බලන්නට පටන් ගත්තේ කිසිවෙකුටවත් සැකයක් ඇති නොවන පරිදි  සිටීමටය. අපි සුදානම්ව සිටියේ සැකකරු කිනම් මොහොතක හෝ ඒජන්සියට ගොඩවැදෙන තුරුය. ශ්‍රීනා ද මඳක් තැතිගැන්මෙන් යුතුව සැකකරුගේ පැමිණිම බලාපොරොත්තුවෙන් පසු වුයේ ඇගේ සැමියාද සමඟය. 

සැකකරු එහි පැමිණීමට පොරොන්දු වු කාලවේලාව ඉක්ම ගියත් ඔහුගේ පැමිණීම සිදු නොවීම අපේ සිත් තුල කුතුහලයක් ඇති කලේය. ඊළඟ පියවර වුයේ ඔහුට සැකයක් ඇති නොවන පරිදි ඔහුගේ පැමිණීම ගැන පිරික්සීමයි. ඒ සඳහා මගේ උපදෙස් පරිදි ශ්‍රීනා, සැකකරුට දුරකථන ඇමතුමක් ගත්තාය. 

“සර්…, දැන් මිනිහා ඉන්නේ රත්නම් හොස්පිටල් එක ගාවලු…, පුළුවන් නම් අපට එතනට එන්නලු…” 

අපි කිසිසේත් බලාපොරොත්තු නොවු ප්‍රතිචාරයක් සැකකරුගෙන් ලැබී තිබුනි. 

“ඒ මොකද…? මිනිහට අපි ගැන සැකයක් ඇති වෙලාද…? “

“නෑ සර් රත්නම් එකේ කවුද ලෙඩෙක් බලන්න ඉන්නවලු… මෙතන වාහනේ පාක් කරගන්නත් බෑ කියලා තමයි එතනට එන්න කියන්නේ…”

“හරි එහෙනම් අපි එතනට යමුද…?  මේ චාන්ස් එක අපි මිස් කරගන්න හොඳ නෑ…” 

ශ්‍රීනා සහ ඇගේ සැමියා මගේ අදහසට එකඟ වුනි. ඒ අනුව ඇය සැමියාගේ ත්‍රී විල් රථයෙනුත් අපි  තවත්  ත්‍රීවීලර් දෙකකත් නැගී රත්නම් රෝහල බලා පිටත්ව යන්නට පටන් ගත්තෙමු.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ රහසිගත මෙහෙයුම් වලදී පුද්ගලික ත්‍රී රෝද රථ බෙහෙවින් අපට උපකාරී වෙයි. සමහර අපරාධකරුවන් අප ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට පොලිස්  ස්ථානයෙන් පිටවන විටම දැන ගැනීමට තරම් සංවිධානාත්මකය. එවැනි අභියෝග ජය ගැනීමට මා නිතරම පුද්ගලික ත්‍රී රෝද රථ කීපයක සහය ලබා ගෙන අවශ්‍ය ස්ථාන වෙත උපක්‍රමශීලිව ළඟා වීමට පුරුදු වී සිටියෙමි. මේ ත්‍රී රෝද රථය කොටහේන පොලිස් ස්ථානයේ සිට පැමිණීමට එලෙස ලබා ගත් දෙවන ත්‍රී රෝද රථය විය.

රත්නම් රෝහල අසලට පැමිණි අපි නැවතත් රැකවල් ලාගෙන අපේ ගොදුර කිනම් මොහොතක හෝ ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් රැදී සිටියෙමු.

“ හරිම බඩගිනියි...... සර් කෑම කාලද ඉන්නේ...?“

විජේසිංහ  මගෙන් අසා සිටියේ ඈනුමක්ද පිටකරමිනි. 

“තාම නෑ ඊයේ නයිට් S.D.O.  නෙ. උදේ 10 විතර වෙනකම් මම රෙස්ට් කරා.. ඊට පස්සෙ තේ එකක් විතරයි බිව්වෙ.. මොකුත් කන්න නම්  බැරි වුණා..“

ඒ වන විට වෙලාව දහවල් 12ත් 1ත් පමණ වූ අතර උදෑසන ආහාරයද මා ගෙන නොතිබූ නිසා මටද බඩගින්න ඉතා තදින් දැනෙමින් තිබුණි.
විජේසිංහ අසල වු කුඩා පෙට්ටි කඩයකින් ෆැන්ටා බීම බෝතලයක් රැගෙන විත් මට දුන්නේ අවස්ථාවේ හැටියට බඩඟින්න මඳක් හෝ තුරන් කරගැනීමටය. 

“ සර් අද නුවරඑළියේ යන්නත් තියෙනවා නේද..? අර “ සී හෝස්“ හොටෙල් එකේ කේස් එකට...?“

බීම බෝතලය හිස් කරමින් දිනය තුළ ඉටු කිරීමට තිබූ තවත් රාජකාරියක් පිළිබඳව ඔහු   මට සිහිපත් කළේය.

“ ඔව් අපි මේ මිනිහව ඇරෙස්ට් කරලා පොලිසියට ගිහිල්ලා ඊට පස්සේ කෑම කාලා නුවරඑළි යන එක ගැන ප්ලෑන් කරමු..“

මගේ ඉදිරි සැලැස්ම ගැන ඔහුට  පැහැදිලි කළෙමි.

සාර්ථක තොරතුරක් ලැබුණහොත් රැය, දහවල, බඩගින්න නොතකා ක්‍රියාකිරීමට මා කිසිවිටක පසුබට වී නැත. පොලිස් ඇසට වැලි ගසමින් අපරාධ කරන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් මා ලබන්නේ ඉමහත් වූ ආත්ම තෘප්තියකි. 

දූෂිත බියගුළු අලස නිළධාරින්ගෙන් පිරි පොලිස් දෙපාර්තමේන්තුවේ අවංකව යුක්තිගරුකව නොබියව අපරාධ මර්දනය වෙනුවෙන් ක්‍රියාකරන නිළධාරින් සිටිනුයේ ඉතා අතලොස්සක් පමණි. අපරාධකරුවන් මර්දනය කිරීමේදී වඩාත් ක්‍රියාශීලීව දැඩිව කටයුතු කළයුතු යැයි හැඟීමක් මා තුළ විය. එලෙස අයුක්තියට අසාධාරණයට එරෙහිව යුධවැදීම සාර්ථක කර ගැනීමට නම් මා උසස් නිළයක් හෙබවිය යුතු විය. හැකි පමණ ආපරාධකරුවන් අත් අඩංගුවට ගෙන උසස් නිළයකට පත් වී ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීමේ දැඩි අභිලාෂයක්  මා තුළ වුයේ පොලීසියට එක් වු කාලයේ සිටයි.

අපි සිටි ස්ථානයට ශ්‍රීනාගේ සැමියා කලබලයෙන් දුවගෙන ආවේය. 

“සර්.. සර්... අන්න අරූ අපට call එකක් දුන්නා... දැන් ඉන්නෙ බොරැල්ල super market එක ගාවලු.... එතෙන්ට අපට එන්න කියනවා....“

සැකකරු නැවතත් ඔහුගේ ස්ථානය වෙනස් කර ඇත. ඔහු අප සමඟ හොරා පොලිස් ක්‍රීඩාවේ යෙදෙනවාදැයි ක්ෂණිකව මට ඇතිවුණේ සැකයකි. මෙම අවස්ථාවේ තීන්දු ගැනීමේ බලධාරියා වී තිබුණේ සැකකරුය. අපි ඔහු කියනා පරිදි කටයුතු කළ යුතුය..

“හරි එහෙනම් ඔයාලා ඉස්සර වෙලා එතෙන්ට යන්න.... අපි ඔයාලගෙ පස්සෙන් එන්නම්....“

නැවතත් අපි සැකකරු හඹා යන්නට වූයෙමු....

“ අදවත් පුළුවන් වෙයිද මිනිහව කොටු කර ගන්න සර්..“

නිළධාරියෙක් මගෙන් ඇසුවේය.

“ මම හිතනවා අද නම් මිනිහව අල්ල ගන්න අපට පුළුවන් වෙයි කියලා....“

සැකකරු අත්අඩංගුවට ගැනීමේ ස්ථිරසාර අධිෂ්ඨානයෙන් යුතුව මම කියා සිටියෙමි.

“සර්.. නාරාහේන්පිට පාරේ තියෙන පෙට්රල් ෂෙඩ් එක ගාව නේද මිනිහා වෑන් එක නතර කරගෙන ඉන්නවා කිව්වේ...?“

“ ඔව් කියපු හැටියට නම් මිනිහා ඉන්න ඕන එතන තමයි. ඒත් අපි follow කරන එක ගැන සැකයක් ඇති වුණොත් එතනිනුත් මාරු වෙන්න පුළුවන්, කෝකටත් ඔය යන එන වෑන් ගැනත් හොඳින් බලන්න...“

“59-xxxx  මැස්ඩා බ්‍රවුනි සුදු පාට....“

වාහනය පිළිබඳ තොරතුරු සටහන් කරගත් කොළ කැබැල්ල නැවත වතාවක් බලමින් නිළධාරියෙක් කියා සිටියේය.

“ මූ නිසා තව පොඩ්ඩෙන් ගිරිබාවෙදි අපිට අලින්ගෙන් ගුටි කාලයි මැරෙන්න වෙන්නේ.... කොච්චර මහන්සි වුණාද මූව අල්ල ගන්න..මාස 2ක් විතර...“

මම යන එන වාහන පිළිබඳව සුපරික්ෂාවෙන් කියා සිටියෙමි.

“මේ වගේ වංචාකාරයින්ට නම් බුරුලක් දෙන්න නරකයි සර්.. අර කොල්ලො කුලී වැඩ කරලා රත්තරං බඩු උගස් තියලනේ රට යන්න මූට සල්ලි දීලා තියෙන්නේ...“

“ ඒ කොල්ලොත් හරි මෝඩයි. උන් දන්නෙ මුගේ නම කුමාර, ගම කුරුණෑගල කියල විතරයි. අඩුම ගානේ මිනිහගේ අයිඩෙන්ටි කාඩ් එකවත් බලලා නැහැනේ. එහෙම නැත්නම් ගෙදර එඩ්‍රස් එකවත් හරියට දැනගෙන ඉන්න එපැයි.මුදල් ගනුදෙනු කරන්න කලින් ඔහොමත් මිනිස්සු විශ්වාස කරනවද..?“

තවත් නිළධාරියෙක් කටහඬ අවදි කළේය.

“ එහෙම තමයි ගම්වල හැදෙන දුප්පත් කොල්ලො... ඒ අය දන්නේ නෑනේ මේ වගේ කාක්කෝ ඉන්නවා කියලා... අනික රැවටීම් වංචා වලට අහුනොවිච්ච මිනිස්සු කවදාවත් මිනිස්සු අවිශ්වාස කරලා ප්‍රශ්ණ කරන්න යන්නේ නෑ.. මොකද එහෙම ප්‍රශ්ණ කරන්න ගියොත් ඒ මනුස්සයා තරහා වෙලා රට යන වැඩේ ගැස්සෙයි  කියලා හිතන්න ඇති...“

මම තරුණයන්ට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීමේ පසුබිම පිළිබව පැහැදිලි කළෙමි.  මගේ පරීක්ෂණ කටයුතු වලින් පසුව අනාවරණය වූයේ සැකකරු තරුණයන්ට ලබා දී තිබූ නමද ව්‍යාජ බවයි. සැකකරු ව්‍යාජ නම් වලින් පෙනී සිටිමින් පුද්ගලයන් විදේශ රැකියා වලට යැවීමට පොරොන්දු වී මුදල් වංචා කිරීම සූර ලෙස කරමින් කූට ව්‍යාපාරයක නියැලී සිටි අයෙක් බව ඒ වන විට අපි හදුනාගෙන තිබුනි.

 “අන්න සර් වෑන් එක...“

නිළධාරියෙක් බොරැල්ල නාරාහේන්පිට පාරේ නවතා තිබූ ඒ සැකකටයුතු වාහනය හඳුනා ගනිමින් කියා සිටියේය.

“ වාහනේ ස්ටාට් එකේ වගේ තියෙන්නේ... යන්න නම් දෙන්න එපා.. වට කරලා අල්ල ගමු...“

මම නිළධාරින්ට උපදෙස් දුනිමි.

වෑන් රථය නාරාහේපිට දෙසට මුහුණ ලා තිබුණි. වම් පසින් පිහිටි බොරැල්ල සුපිරි වෙළඳ සංකීර්ණය අසළ රථය නවතා තිබූ අතර එම ස්ථානයේ අරලිය ගසක්ද තිබුණු බව මට මතකය.
දැඩි හිරු රශ්මියෙන් පරිසරයම උණුසුම් වී තිබුණි. කාර්යබහුලත්වයෙන් යුත් මිනිසුන් තම තමන්ගේ කාර්යයන් සඳහා ඔබ මොබ ගමන් කරමින් සිටියහ. ඔවුහු අවට සිදුවන කිසිවක් ගැන වැඩි අවධානයක් යොමු නොකොට තම තමන්ගේ කාර්යයන් වෙතම යොමුව සිටියහ.

ඒ 1999 ඔක්තෝම්බර් 23 වෙනිදාය.... 

අද ඉදිකොට තිබෙන බොරැල්ල උමං මාර්ග පද්ධතිය සඳහා සිදු කර තිබූ කැණීම් නිසා එදා මාර්ගය දෙපස පස් කඳු ගොඩගසා තිබුණි. මම ඒවා මතින් පනිමින් වෑන් රථයේ ඉදිරිපසට දිව ගියෙමි.   මට අවශ්‍ය වූයේ හැකි පමණ ඉක්මණින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටය. මා පසුපසින් සෙසු නිළධාරින් තිදෙනාද දිව එන්නට වූහ. වෑන් රථයේ ඉදිරිපස අසුන් වල රියදුරුත් සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙක් වාඩිවී සිටිනු මම දුටුවෙමි. ඔවුන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමුව තිබුණේ තරමක් දුරින් නවතා තිබූ ත්‍රී රෝද රථයෙන් බැසි ශ්‍රීනා වෙතටය. වෑන් රථයේ වම් පස කෙළවරේම අසුනේ සිටි පුද්ගලයා ශ්‍රීනාට වෑන් රථයට පැමිණෙන ලෙස අතින් සන් කරමින් සිටියේය. මා ළඟා වනු ඔවුන් නුදුටු මුත් එය දුටු මම එම සැකකරු “කුමාර“ විය යුතුයැයි අනුමාන කළෙමි. 

“ අපි කොටහේන පොලීසියෙන්... එන්ජින් එක නතර කරලා වාහනේ යතුර දෙනවා...“

වෑන් රථයේ ඉදිරි පස දොර හැර රථයට මදක් ඇතුළු වී මම සැකකරුවන්ට අප හඳුන්වා දුනිමි. මේ අවස්ථාවේ අනෙක් නිළධාරින් තිදෙනාගෙන් එක් අයෙක් වෑන් රථයේ ඉදිරියෙන් රියදුරු ආසන්නයට පැමිණ සිටි අතර අනෙක් දෙදෙනා රථයේ පිටුපස දෙසින් මා සිටි දෙසට පැමිණෙමින් සිටියහ.

“ හැමදාම තමුසෙලාට වෙස් මූණූ බැඳන් අපරාධ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඉන්නකම්....“

මේ අනපේක්ෂිත සිදුවීමෙන් බියට පත්ව තුෂ්ණිම්භූතව මගේ මුහුණ දෙස බලාගෙන සිටි සැකකරුවන්ට අප කවුරුන්ද යන්න තව දුරටත් අවබෝධ කරවූයෙමි. 
අපගේ හැසිරීම, කථාබහ තුළින් හා නීතිවිරෝධි ක්‍රියා සිදු කිරීම ඔවුන්ගේ වෘත්තිය වූ බැවින් කිසියම් දිනෙක මෙසේ නීතියේ රැහැනට අසුවෙන බව ඔවුන් දැන සිටින්නට ඇත.
කෙසේ වුවත් වැඩි වෙහෙසක් නොදරා වචන දෙක තුනකින් සැකකරුවන් යටත් කර ගැනීමට අපට හැකිවිය. රියදුරු වෑන් රථයේ ස්වීච් යතුර මට ලබා දුන්නේය. රථයේ වම් පස සිට පුද්ගලයින් දෙදෙනෙකු  පසුකරගෙන රියදුරු අසුන වෙත ළඟා වීමට අපහසු නිසා දකුණු පසින් වෑන් රථයේ රියදුරු අසුනට ගොඩවීමට සිතා මම බිමට බැස්සෙමි. කිසිදු කරදරයකින් තොරව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ලැබීම නිසා එවෙලේහි මගේ සිතට පුංචි සතුටක්ද මෝදු වී තිබුණි. 

“ඩෝං.....“

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි....

11 වන කොටසට.

14 comments:

  1. ලංකාවේ ඉතාමත් කලාතුරකින් හමුවන නීතිගරුක පොලිස් නිලධාරියෙක් වූ ඔබ කල සේවය ගැන ආඩම්බර වනවා සේම ඔබට සිදුව ඇති අනතුර ගැන කනගාටු වෙනවා. ඒ ගැන අමතක කර ඔබගේ අත්දැකීම් ලෝකය ඉදිරියේ තැබීම ගැන ඔබට ප්‍රණාමය පල කල යුතුයි. ලංකාවේ පොලිසිය ගැන තියන ආකල්ප වෙනස් කල හැකි යූ ටියුබ් වීඩියෝ එකක් මම දින කිහිපයකට ඉහතදී අහම්බෙන් දැක්කා. ඔබ හෝ මෙය කියවන වෙනත් කෙනෙකු ඒක මේ දක්වා නරඹා නැත්නම් https://www.youtube.com/watch?v=g1cevgq5zIE" ලිපිනයේ හෝ "Kindness Social Experiment on Sri Lankan Police "" කියන යෙදුම යූ ටියුබ් එකේ search කර ""පොලීසිය කොල්ලෙක්ට කරපු දේ "" කියන වීඩියෝව නරඹන්න. දස දහස් ගණනින් තියන පොලිසියේ නරක පෙන්වන වීඩියෝ ක්ලිප් අතර පොලිසියේ ඉන්නා සංවේදී මනුෂ්‍යයන් තම මනුස්සකම පෙන්වන මේ වීඩියෝව (මෙය පටිගත කල ආකාරය මම අනුමත නොකලත් ) අපි පොලිසිය දිහා බලන කෝණය වෙනස් කිරීමට හේතු වෙනවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්මයා... ඔබේ ප්‍රතිචාරය මම ඉතාමත් අගයමි. ඔබට බොහොම ස්තුතියි.... අර වීඩියෝව ගැන දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්... පොලීසියේ හොඳ නිලධාරීන් සේම නරක නිලධාරිනුත් සිටිනවා... හැම ආයතනයකම සේම... ඒත් පොලීසියේ නරක නිලධාරීන් සමාජයට නිරතුරුවම අනාවරණය වෙනවා රාජකාරි ස්වභාවය අනුව... හිටපු පොලිස් නිලධාරියෙක් හැටියට ඔබතුමා දක්වපු විඩියෝව තුල දකින්නනට තිබුන දේවල් ගැන මම ඉතාමත් සතුටු වෙනවා... ඒ විඩියෝව මම ආඩම්බරයෙන් යුතුව මගේ මුහුණු පොතේ share කරනවා....

      https://www.youtube.com/watch?v=g1cevgq5zIE

      Delete
  2. ඉතාමත් කුතුහලය දැනවෙන අයුරින් ඔබ සිද්ධීන් විස්තර කරනවා...
    හැකි ඉක්මණින් ඉතිරි කොටස් බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. මට නොදැනෙන ඔබට දැනෙන දේ සටහන් කරාට ඔබට බොහොම ස්තුතියි....

      Delete
  3. “ඩෝං.....“ - අයියෝ 😓😓

    ReplyDelete
    Replies
    1. තවත් අනුමානයක්
      මේ පාරත් මම වැරදි වේවා!

      Delete
    2. ආදණීය මද්දා....,

      ඔබත් මමත් හිතන දේවල් අනුමාන කරන දේවල් 50 හට 50 වගේ හරියන වරදින වෙලාවන් තියෙනවා.. ඔබේ අනුමානය ගැනත් එසේමයි... ලබන සතියේ බලමු....

      Delete
  4. නිව්ස් වලට කියන්නෙ නම් ගියා සුටුස් ගාල අත්ඩංගුවට ගත්ත වගේනෙ...අඩුම ගානෙ ""පොලිස් නිළධාරීන් විශේෂ විමර්ෂණයක් සිඳුකොට මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්ඩංගුවට ගන්නාලදී..."" කියලවත් කියනවනම් ඒ කරන නිලධාරීන්ගේ මහන්සියට යම් අගයක් එකතුවෙනව කියල මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරය දැක්කාම මම කුඩා කල අත්දුටු සිද්ධියක් මතක් උනා. ඒක පොලිසිය අවඥාවට ලක් කිරීමේ අදහසකින් නොව හුදෙක් විනෝදය සඳහා මෙහි ලිවීම ගැන ප්‍රදීප් මහතා අමනාප නොවනු ඇතැයි සිතමි. හැටේ දශකයේ අන්තිම කාලේ විය හැකි දිනක, ගමේ කසිප්පු පෙරන්නා කසිප්පු බූලි (මේවා ගැලුම් පහේ වීදුරු බෝතල්) දෙකක් දෑතින් ඔසවාගෙන අපේ ගේ අසලින් ඇති දෙවැට පාරකින් මහා පාරට පැමිණ වට පිට බලා පාරට ගොඩවුනා. ඉන්පසු ඔහු ඒ අසලින්ම තියන තවත් දෙවැට පාරකින් හැරී, මහා පාර මගහැර යනවා මම කිහිප විටක් දැක තිබෙනවා. මේකියන දිනයේ පොලිසියේ ජීප් රථය (International Scout වර්ගයේ පැට්‍රෝල් වලින් දුවන ජීප් ) ඒ අසල තිබුන මළ ගෙදරකට ඇවිත් ආපහු යමින් තිබුනා. පාරේ පල්ලම නිසා එන්ජිම නවතා නියුට්‍රල් එකේ කිසිම සද්දයක් නැතිව (අර මිනිහාගේ පිටුපසින්) ආපු ජීප් එක මිනිහාව පසුකර නවත්වා "සිරා, නැගපං කිව්වා" . මිනිහා කිසිම කතාවක් නැතිව බඩුත් එක්කම වාහනයට නැග්ගා. මේ සිද්ධියට වැඩිම උනොත් තත්පර දහයක් ගත වෙන්න ඇති. දැක්කේත් එවකට වයස අටක් නමයක් වූ මම විතරමයි. සතියකට පමණ පසු "දවස" පත්තරේ පිටු කාලක පමණ පුවතක් අර බෝතල් දෙක සහ පොලිස් නිලධාරීන්ගේ පින්තුර සමග පලවී තිබුනා. ඒ පුවතට අනුව, සති ගණනක විමර්ශනයකින් පසු මේ වැටලීම සිදුකල බවත්, සැකකරු පලා යද්දී විශාල පරිශ්‍රමයක් දරා ඔහු ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගැනීමට පොලිසියේ නිලධාරීන් සමත් වූ බවත්, ඉන්පසු ඔහුගේ මගපෙන්වීම අනුව ගොස් මේ කසිප්පු ස්ප්‍රීතු තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පල වී තිබුනා. මේක නම් මහන්සියට අගයක් එකතු කලාට වඩා වැඩිමනත් දෙයක් කියලයි මට හිතෙන්නේ.

      ප.ලි. මම ප්‍රදීප් මහතාගේ ලිපියට දාපු පිළිතුරේ (පළමු වැනි පිළිතුර) අර යූ ටියුබ් ලිපිනයේ අන්තිමට කොමාවක් ( " ) වැරදීමකින් එකතු වෙලා. ප්‍රදීප් මහතා ඒක නිවැරදිව එතුමාගේ ප්‍රතිචාරයේ පල කරලා තියනවා.

      Delete
    2. SDC මහත්ඔමයා...ඔබේ කතාවේ සත්‍යතාවක් තියෙනවා... ඒත් මම හිතනවා පොලීසියට තවම හරි අවබෝධයක් නෑ කොහොමද හරියට මාධ්‍යට තොරතුරු දෙන්නෙ කියන දේ... මොකද ඔවුන් අපරාධකරුවන් අල්ල ගන්න යොදපු ක්‍රම උපායන් සියල්ල හෙලිදරව් කරනවා... ඒකෙන් නැවත වතාවක් ඒ උපක්‍රම යොදාගන්න තියෙන අවස්ථාවන් නැති කරගන්නවා....මේ පොලීසිය නිවරදි කරගත යුතු දේවල්...
      අනෙක් පැත්තෙන් පොලීසිය කොච්චර හොඳ දේවල් කරත් හොඳක් නොදකින කලු චරිතත් ඉන්නවා... පොලීසියෙත් එහෙමයි... මේ සම්බන්ධව නම් මට ලියන්න පුළුවන් පොත් ගනනාවක් වුනත්... අදහස් දැක්කුවාට ඔබට බොහොම ස්තුතියි..

      Delete
    3. Sam මහත්මයා...
      ඔබ කියන්නෙත් සත්‍යයක්. .. සමහර නිලධාරීන් ඉන්නවා මාධ්‍යවේදීන් යොදාගෙන තමන්ගේ ප්‍රසිද්ධිය ගොඩ නඟාගන්න අය... ඔබ එදා ඒ දැක ඇත්තේ එහෙම නිලධාරීන් පිරිසක්... 😂😂😂

      Delete
  5. කවුරුත් අකමැති පිළිකුල් කරන කාකි නිල ඇදුම ඇතුලේ දුක කදුල වේදනාව දැනෙන හොද හදවතුත් නැතුව නෙවෙයි.....
    අපි ඒ දිහා බලන කෝණය ටිකක් වෙනස් කරගත්තොත් හැමදාම අපි දකින මඩ වලේ නෙලුම් පිපිලා තියනවත් දකින්න ලැබෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඒත් ඒක කල යුත්තේ පොලීසිය විසින්මයි. පොලිස් තවත් ඉගෙන ගන්න ඕන තමන් විසින් සමාජයට ලබාදෙන වටිනාකම් මාකට් කරන්න... ඒවා ජනතාව අතරට ගෙනියන්න.
      .. ඒ පැත්තෙන් අපේ පොලීසියට ගොඩක් දේවල් හදාරන්න තියෙනවා... ඔබ වැනි පුරවැසියන් වැඩි වැඩියෙන් එ්කරාශි කරගන්න පොලීසිය මීට වඩා උනන්දු විය යුතුයි...
      ඔබට මගේ ප්‍රණාමය... 🙏

      Delete
  6. People in SL blame Police for anything and everything (most of the times just for doing their job). I saw photo (in Facebook) of a Policeman with a speed checking device, every comment was derogatory to the Policeman. Not a single person said "Idiots, he is doing his job and speed checking if for your own good". Here in Australia, fine for speeding and demerit points are doubled during long holiday periods, and people are happy about it.

    ReplyDelete