Sunday, July 1, 2018

තල්අරඹේ මතකයන් 02

හිමිදිරි උදෑසනට පහන් වෙද්දී අපි ලහි ලහියේ සුදානම් වුනේ කල්පිටිය නාවික හමුදා කඳවුර වෙත යාමටයි. පුද්ගලික බඩු බාහිරාදිය සහිත විශාල ගමන් මල්ල කරේ එල්ලාගෙන, පතරොම් ගැබ පපුවට තබා ගැටගසා ගෙන, දකුණුතට T56 අවිය ගෙන ගමන ආරම්භ කලෙමි. ඒ වනවිටත් නාවික කඳවුරේ ජැටියේ අප මන්නාරම වෙත රැගෙන යාමට “වාලම්පුරි” යාත්‍රාව සුදානම් කොට තිබුනි. දැන් මා මුහුණ දීමට යන්නේ ජීවිතයේ කෙදිනකවත් නොලැබු අත්දැකීමකටය. දියමතින් ගමන් කරන ඒ අපුර්ව වු අවස්ථාව දැන් උදාවී ඇත.

නිමේෂයකදී දියමතින් ගමන් කිරීම පිළිබඳව මා ළමාවියේ අත්විඳි එක් සොඳුරු අත්දැකීමක් මට සිහිපත් විය. අපේ නිවස අසලින් ගලාබසින පුංචි දියපහර හරස් කර කුඩා වැවක් මගේ පියා විසින් ඉදිකොට තිබුනි. එය වැසි කාලවලදී වැසි ජලයෙන් පිරී ඉතිරී යයි. මල්ලිත් මමත් අක්කාගේ දුව සුසී හා ඇගේ යෙහෙළියක් එකතුව අපි කෙසෙල් කඳන් වලින් පාරුවක් සකසා ගෙන මේ වැවේ ඔරු පැද්දෙමු. පොල් පිත්තක් හබල වෙනුවට පාවිච්චි කරමින් කෙසෙල් කඳන් පාරුවෙන් දියමත ගමන් කිරීම එකල අපේ ප්‍රියතම විනෝදාංශය විය. ඒ සොඳුරු අත්දැකීම හැර වෙනත් කිසිදු දියමතින් ගමන් කිරීමේ අත්දැකීමක් එතෙක් මට නොවීය.

වේගයෙන් ජීවිතයට අලුත් නුහුරු නුපුරුදු අත්දැකීම් එකතු වෙමින් තිබේ. වාලම්පුරි යාත්‍රාව හරියට සිටීබී බස්රථයක් මෙනි . ඇලුමිනියම් තහඩු වැඩි වශයෙන් යොදාගෙන එය නිමවා තිබුනි. අසුන් ද බස්රථ වල මෙන්ය. ජනෙල් කවුළුද එලෙසමය. ලතාවකට පාවි පාවි පැද්දෙමින් තියෙන වාලම්පුරි යාත්‍රාවට ජීවිතය හෝ මරණය පිළිබඳ තීන්දු දෙන උතුරු යුධ බිමේ පහස ලබන්නට පය තබා ගොඩ වුයෙමි. දෙමාපිය සොයුරු සොයුරියන් හා නෑසියන්ගෙන් ගව් ගානක් ඈතකට යන ගමනකට මම ආරම්භය ගත්තෙමි. වයස අවුරුදු 21 ක තරුණ කොළු ගැටයෙකු වු මාහට බියක් නම් නොදැනේ. බිය වී කෙසේද...? තවත් තරුණ කොළු ගැටවුන් 30 දෙනෙකුට නායකත්වය ලබාදෙන්නේ.... ඉරණම් ගමනකට පියමං කරන්නට අපි සියලු දෙනා සුදානම්ව සිටියෙමු. මගේ අනුඛණ්ඩයේ එක් නිලධාරියෙකු අත 110 වර්ගයේ කුඩා කැමරාවක් විය. අප අනුඛණ්ඩ දෙකේ නිලධාරීන්ගේ කුළුදුල් සමුද්‍රීය ගමන ඔහු විසින් අපුරු ලෙස කැමරා කාචයට හසුකර ගෙන තිබුණි. ( මේ සටහන සමඟ එම ඡායාරුප ඇතුලත් කිරීමට සොයා බැලුවත් සොයාගැනීමට නොහැකි විය.)

මගේ සඟයා වු ප්‍රනාන්දු මා අසලම අසුනේ විය. වාලම්පුරිය තම හඬ අවදිකර ගත්තාය. මුහුදු රළ දෙබෑකරගෙන ඇය තම ගමනාන්තය වු මන්නාරම තාල්පාඩු වෙරළ තීරය බලා ගමන ඇරඹුවාය. කෙමෙන් කෙමෙන් අපි ගොඩ බිමෙන් ඈත සයුර වෙත ගමන් කළෙමු. හෝරාවකට පමණ පසු බැලු බැලු අත දිස්වෙන්නේ මහ මුහුද පමණි. ඉදිරිපසින් හා පසුපසින් අප සමඟම තවත් යාත්‍රා දෙකක් ගමන් කරයි. ඒ යාත්‍රා අපට ආරක්ෂාව සැලසීම සඳහා ගමන් ගන්නා වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රා බව කිසිවෙකු කියනු ඇසිනි. ඈත මෑත බැලූවත් මේ යාත්‍රා දෙක හැර වෙනත් කිසිවක් ඇස නොගැටේ.
තම ගමනාන්තය වු තාල්පාඩු වෙරළ තීරය දක්වා වාලම්පූරිය තම බඳ ලෙළවද්දී ඇතැමෙක් බමන හිසින් පසු වුහ. අයෙක් තම උදා ආහාරය මුවඟින් මුහුදට මුදාහරිමින් තිබුනි. ලුණු මිශ්‍ර සුළං රැල්ලත් ගත වෙහෙසට පත් කරන්නට උදව් වී ඇත. උදෑසන සතුටින් ප්‍රසන්න මුහුණු වලින් සිටියෝ දැන් සිටින්නේ බෙරි කරගත් මුහුණු වලිනි. ඔවුන්ගේ සතුටු කතා හා සිනහවල් සියල්ල අතුරුදන් වී ඇති සෙයකි. මාද එසේමය. සියල්ලෝම හිස් බැල්මෙන් තෙරක් නොපෙනෙන මහ මුහුදට නෙත් යොමා සිටිති. මහ සාගරය නුපුරුදු කෝඩුකාරයන්ට මේ Sea Sick නැමති අසනීපය ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව දැනගත්තෙමි.

හෝරා ගණනක් ඉක්බිත්තෙන් ක්ෂිතිජයේ ඈත කෙලවරකින් ගොඩබිමක ඡායාවක් දිස්වන්නට විය. ඒ අපේ ගමනාන්තය වු මන්නාරම තාල්පාඩු වෙරළ තීරයයි. මෙතෙක් වේලා නිහඬව ගොළුවතින් සිටියෝ ඒ දසුන ඇස ගැසෙත්ම නව ජීවයක් ලැබුවා සේ නැවතත් දොඩමළු වන්නට වුහ. ගොඩබිම පෙනි පෙනී වෙරළ තීරය දක්වා යාත්‍රා කිරීමට ගත් කාලය හෝරාවක් පමණ විය. හිරු අවරට යනතෙක් අප මුහුදු ගමනේ යෙදී ඇත.

දුර ඈත වෙරළේ පොලිස් ට්‍රක්රථ දෙකක්, Trooper වර්ගයේ පොලිස් ජීප්රථයක්, අප රැගෙන යාමට සුදානම්ව සිටින බව ඈත සිටම පෙනුනි. නිලධාරීන් කිහිප දෙනෙක් ද අපේ ආගමනය බලාපොරොත්තුවෙන් වෙරළ තීරයේ රැඳී සිටි අතර තවත් පිරිසක් කුඩා ඩිංගි බෝට්ටු කිහිපයකින් අප වෙත පැමිණෙමින් සිටියහ.
එදා තාල්පාඩු වෙරළ තීරයේ ජැටියක් නොවීය. එම නිසා යාත්‍රාවක සිට වෙරළ දක්වා සේන්දුවීමට සිදු වුනේ ඩිංගි බෝට්ටුවල ආධාරයෙනි.

ගමනාන්තය දක්වා අප ප්‍රවේශමෙන් රැගෙන ආ වාලම්පුරියට සමුදෙමින් අපි කුඩා ඩිංගි බෝට්ටු වලට තම තමන්ගේ අවි ආයුධ හා බඩු බාහිරාදිය අතින් කටින් එල්ලාගෙන පැන ගත්තෙමු. ඩිංගි බෝට්ටුවෙන් පැමිණ තාල්පාඩු වෙරළ තීරයට පය තබන විට මුහුදු වතුරින් හා වැලි වලින් අපේ නිලඇදුම් සම්පූර්ණයෙන්ම නෑවී තිබුනි.

03 වන කොටස

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

1 comment:

  1. # මොකක්ද මේ කමෙන්ට් දාද්දි එන විකාරෙ

    ReplyDelete