Friday, July 9, 2021

පොලීසිය භාරව සිටින ගරු සරත් වීරසේකර ඇමතිතුමා ගේ අවධානයට....

Sarath Weerasekera
"ගරු අමාත්‍යතුමනි....,"
රටේ නීතිය ආරක්ෂා කරන්න ගිහින් මුලු ජීවිතයම ඒ වෙනුවෙන් පුජා කරලා, අවුරුදු 21 ක් පුරා මම ජීවත් වෙන්නේ රෝද පුටුවක..... ඒ වගේම අවුරුදු 07 ක් මේ රට වෙනුවෙන් උතුරේ යුද්ධ කල නිලධාරියෙක්... රට වෙනුවෙන් උපරිම සේවාවක් ශරීරාංග පුද කරලා ඉටු කල මට, අද ජීවත් වෙන්න නිවසක් නෑ.... අවුරුදු 20 ක් මට ජීවත් වෙන්න සිද්ධ වුනේ කුලී ගෙවල් වල. දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ සහෝදරයාගේ නිවසේ. ජීවත් වෙන්න නිවසක් නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ "අපි වෙනුවෙන් අපි " අරමුදලෙන් ක්‍රියාත්මක කරන "මෙත් සෙවන" නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් හදාගන්න මම ඉල්ලුම් කරේ 2019 දී... ග්‍රාම නිලධාරීගේ, ප්‍රාදේශීය ලේකම්ගේ, කොට්ඨාශ භාර පොලිස් අධිකාරීගේ නිර්දේශ ඇතුලු, එකී, මෙකී, සියලු ලිපි ලේඛණ සහිතව භාර දුන් ගොනුවට පොලිස් සුබසාධක අංශයේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබා දී තිබුනේ 2019.10.07 වෙනිදා....
ගොනුව භාරදීලා අවුරුදු දෙකකට පස්සෙ පොලිස් සුබසාධක අංශයට මම කතා කරේ එතෙක් මගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසයි.... ඒ අවස්ථාවේ දී සුබ සාධක අංශයේ අධ්‍යක්ෂවරයා දැනුම් දැනුම් දුන්නේ මගේ ගොනුව අස්ථාන ගත වෙලා තියෙන නිසා නැවැත ගොනුවක් හදලා එවන්න අවශ්‍ය වන බවයි.... ඔහුගේ ඒ ප්‍රතිචාරය ගැන මම අතිශයින්ම විශ්මයට පත් වුනා. ඒ වගේම පොලිස් සුබසාධක අංශයේ ගැන ඉතාමත් කලකිරීමට පත් වුනා. මෙවැනි වගකීම් විරහිතව කටයුතු කරන පොලිස් සුබසාධක අංශය ගැන විස්වාසයක් තබන්න බැරි නිසා නැවැත ගොනුවක් සකස් කර ඔවුන්ට යවා, සුබ සාධක අංශයෙන් අපට සිදු වෙන මේ අසාධාරණ කම් ගැන 2021.03.25 දින ඔබතුමාට මම අභියාචනයක් ඉදිරිපත් කලා. ඔබතුමාගේ කාර්යාලයෙන් ඒ අභියාචනය ඉදිරි කටයුතු සදහා පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.... පොලිස්පති විසින් එය ඉදිරි කටයුතු සදහා පොලිස් සුබ සාධක අංශයේ අධ්‍යක්ෂවරයා වෙත යවා ඇත. ගරු අමාත්‍ය තුමනි..., සුබ සාධක අංශයේ අධ්‍යක්ෂවරයා එයට මට එවු පිලිතුරු ලිපිය තමයි මේ තියෙන්නේ... ඔවුන් දන්වා සිටින්නේ යුද්ධයේදී ආබාධිත නිලධාරියෙකු නොවන බැවින් ප්‍රමුඛතාවයක් මට ලබාදිය නොහැකි බවයි.... ජීවත්වෙන්නට නිවසක් නොමැතිව, බරපතල, දැවෙන ගැටලුවකට මුහුණ දී සිටින මට ලැබුන පිලිතුර තමයි මේ....
පොලිස් සුබසාධක අංශයෙන් අපට හැමදාම ලැබෙන්නේ මෙවැනි කර්කෂ වු අප්‍රසන්න උත්තරමයි... කිසිම දවසක මේ අංශයෙන් පොලීසියේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගිහිල්ලා ආබාධිත වුන නිලධාරීන්ට සහන සලසන්න කටයුතු කරලා නෑ... අදටත් මම පාවිච්චි කරන රෝද පුටු පවා ලබාගන්න සිද්ධ වෙලා තියෙන්නෙ හිතවතුන්ගේ පරිත්‍යාග වලින් ... පොලිස් සුබසාධක අංශයෙන් සිදු කරනු ලබන්නේ අපි ඔබතුමාලා වෙත ලිපි මගින් ඉදිරිපත් කරන ගැටලු වලට, සහන සලසන්න, විසදුම් ලබා දෙන්න හැකියාවක් නෑ කියලා ආපහු ලිපියක් අපට එවන එක විතරයි... ගරු අමාත්‍යතුමනි...., 👉“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතිය තියෙන්නේ යුද්ධයේදී මියගිය, ආබාධිත අය වෙනුවෙන් නම් මෙම ව්‍යාපෘතියෙන් අපට නිවාස ඉල්ලුම් කරන්නට දැනුම් දුන්නේ ඇයි....? 👉යුද්ධයේදී මෙන්ම, පොලීසියේ නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී විපතට පත්වු නිලධාරීන්ට, අඩුම තරමේ පූර්ණ ආබාධිත නිලධාරීන්ටවත් නිවාස සාදා දෙන්න වෙනත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නේ නැත්තේ ඇයි...? 👉ඉටු නොවන බලාපොරොත්තු දී අවුරුදු ගනන් රස්තියාදු කරමින් අපට ණයක් අරන් නිවසක් සාදා ගන්න තියෙන අවස්ථාවත් නැති කරන්නේ ඇයි...? ගරු අමාත්‍යතුමනි..., අපි මුහුණ දී සිටින ගැටලු ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ පොලිස් සුබසාධක අංශයෙන් අපට කිසිදු සුබසාධනයක් සිදු නොවන නිසයි... ඒත්...., ඔබතුමා නැවැත ඔවුන්ටම ගැටලුව විසදන්න යොමු කිරීම තුලින් හා ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරෙන් ගම්‍ය වෙන්නේ අපට කිසි දිනක සාධාරණයක් ඉටු නොවන බවයි.... ගරු අමාත්‍යතුමනි..., 👉ඔබතුමා දිවා රෑ පොලිස් නිලධාරීන්ට නියෝග හා උපදෙස් ලබාදෙමින් කටයුතු කරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නටයි. එහෙත් එලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට ගොස් විපතට පත්වන නිලධාරීන්ට මෙලෙස අන්ත අසරණ තත්ත්වයට පත්වන්නට සිදු වන්නේ නම් එය බරපතල ගැටලුවක් නොවන්නේ ද....????? පොලිස් සුබසාධක අංශය තිබෙන්නේ අපට මෙවැනි ලිපි එවන්නට නොව රාජකාරියේදී විපතට පත්වු නිලධාරීන් මුහුණ දී සිටින ගැටලු වලට හොඳින් ඇහුන්කම් දී, පැහැදිලිව අවබෝධ කරගෙන ඒ ගැටලුවලට නිසි පිලියම් ලබාදීමටයි... ඒත්..., එම රාජකාරිමය වගකීම ඔවුන් කිසිසේත් ඉටු කරන්නේ නැත.... අඩුම තරමේ ඔවුන් අපි මුහුණ දී සිටින ගැටලුව ගැන ඇහුන්කම් දෙන්නටවත් සූදානමක්, කාරුණික බවක් පෙන්වන්නේ නැත. දුරකතන ඇමතුමක් දුන් විට ඔවුන් හැකි පමණ උත්සාහ කරන්නේ ඉක්මනින් එය විසන්ධි කිරීමටයි... ඔබතුමා අවස්ථාවක් ලබාදෙන්නේ නම් සාක්ෂි සාධක සහිතව පොලිස් සුබසාධක අංශයෙන් සිදුවන මේ අසාධාරණකම් ඔප්පු කර පෙන්විය හැක.
පසුගිය වසරේ සිට ඔබතුමාට අප මුහුණ දි සිටින ගැටලු ගැන අභියාචනා කීපයක් ඉදිරිපත් කොට ඇතත් ඒවා කිසිවෙකට ද මෙතෙක් පිළිතුරක් වත් නොලැබීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටින අතර එම අභියාචනා ඔබතුමාගේ කාර්යය මණ්ඩලය විසින් ඉදිරිපත් කර නොමැති දෝයි සිතේ.... පාතාලේ, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් මෙන්ම, වෙනත් ජාවාරම්කරුවන්, අත්අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන් ද, රථවාහන රාජකාරියේ යෙදී සිටියදී බරපතල අනතුරු වලින් තුවාල ලබා විපතට පත් වු නිලධාරීන් ද අද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ ඔවුන්ට සහන සලසන්න මෙතෙක් ඔබතුමාල කිසිවෙකු ගේ අවධානයක් යොමු වී නැති නිසයි. මම ආබාධිත තත්ත්වයට පත්වුනාට පස්සේ අවුරුදු 21 ක් පුරා පොලීසිය භාරව කොතෙකුත් ඇමතිවරු පත්වුනත්, පොලිස්පතිවරු පත්වුනත්, පොලිස් සුබසාධක අංශය දක්වන ප්‍රතිචාරයන්ගේ කිසිම වෙනසක් වෙලා නෑ. පොලීසිය භාරව ඔබතුමා පත්වුනාට පස්සේ අපි බලාපොරොත්තු වුනේ ඒ තත්ත්වය වෙනස් වෙලා අපට සහනයක් අත්වෙයි කියලයි. මොකද ඔබතුමාත් නිල ඇදුමක් ඇදි නිලධාරීයෙක් නිසා.... ඒත්..., ඒ බලාපොරොත්තුව තවමත් ඉටුවෙලා නෑ... නීතිය රකින්න ගිහින් ඇස් දෙකම අන්ධ වුන, දෑත් දෙපා අහිමි වුන, මොළයට සුෂුම්නාවට සිද්ධ වුන අනතුරු නිසා සදාකාලිකව ඇදන් වලට, රෝද පුටුවලට ජීවිත සීමා වුන අප වැනි නිලධාරීන් මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය ගැන පොලීසියේ බලධාරීන් කිසිවෙකු ඔබතුමා දැනුවත් කරන්නට මෙතෙක් කටයුතු කර නැති බව තමයි පෙනෙන්නට තියෙන්නේ .... අප නමට පමණක් පොලිස් විරු දිනය සමරන්නට යොදා ගන්නා පොලිස් විරුවන් පමණක් වී ඇත....
අවසන් වශයෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටින්නේ අපි මුහුණ දී සිටින ගැටලු වලට ඔබතුමා ගේ පුද්ගලික අවධානය යොමු කර සහන සැලසීමට කටයුතු කරන ලෙසයි... මෙම ලිපිය ද සමාජ මාධ්‍යයේ පලකරන්නට සිදු වුනේ, මෙවන් පසුබිමක් මතයි. ගරු අමාත්‍යතුමාගේ අවධානයට ලක්වෙනතුරු මේ ලිපිය Share කර මට සහය දක්වන මෙන් ඔබ හැමගෙන් ඉල්ලමි....


Tuesday, April 27, 2021

ජීවිතේ තවත් එක් අත්දැකීමක් 03.




ජීප් එක අත්දෙකින් Drive කිරීමේ හීනය හැබෑ කරගන්න යන ගමනේදී මට මුහුණ දෙන්නට වුන බාධක අභියෝග එමටයි...

ඒත්..., නොපසුබසින උත්සාහය, ධෛර්යය නිසා අවසානයේ මම හිතුවටත් වඩා හොදට ඒ හීනය හැබෑ කරගන්න පුලුවන් වුනා...

ඉතින් අද මම කියන්න යන්නේ
Manual වාහනේ Auto කරගැනීමේ දී මුහුණ දීමට සිදුවුන අභියෝග ගැන....

Mahindra scorpio Jeep එකේ පෙනුමට මම ආස වුනත්, engine එකේ සද්දෙට නම් මගේ පොඩ්ඩක් වත් කැමත්තක් තිබුනේ නෑ... සද්දේ නිකන් ටැක්ටර් එකක වගේ...😂😂😂

ඕකේ සද්දේ අඩු කරන්න මුල් කාලේ මම නොකරපු දෙයක් නැ... Injector pump, Injectors වගේ නොයෙකුත් උපාංග අලුත් වැඩියා කරත් සාර්ථක වුනේ නෑ... ඒකේ තිබුනේ උප්පත්තියේම දෝෂයක්...
මේක Wheel drive engine එකක් තිබුනේ.... ඒ නිසා සද්දේ කොහොමත් වැඩියි....

ජීප් එකට හරියන ජපන් engine එකක් Auto box එකක් එක්කම මේකට තියන්න මට අවශ්‍ය වුනා... එතනදිත් මම අවධානය යොමු කලේ, අංක එකට සද්දේ අඩු engine එකක් ගන්න. පිකප් එකත් හොද, ඉන්ධන පරිභෝජනය අඩු, කල් පැවැත්මත් හොද engine එකක් හොයාගන්න තමයි මම උත්සාහ කලේ.

ජපන් engine වලින් Nissan, Toyota, Mitsubishi, Isuzu engine වලට තමයි මගේ අවධානය යොමු වුනේ...
Engine capacity එක, තියෙන එකේ 2600 නිසා ඊට වැඩි එකක් තියන්න තමයි මම හිතුවේ.
Engine වල ගුණ දොස් මම මෙතන වැඩිය විග්‍රහ කරන්න යන්නේ නෑ... මොකද මේ filed එකේ මේ වාහන brand වලට Lovers ලා ඉන්නවා... එයාල කැමති නෑ තමන් පාවිච්චි කරන වාහන වල engine විවේචනය කරනවට...😂
ඒ නිසා ඒවා ගැන මම compare කරේ කොහොමද කියන එක ලියන්නේ නෑ...😂

කොහොමින් කොහොම හරි engine ගැන හොයලා, හොයලා දන්න කියන ගොඩක් දෙනෙක් ගෙන් අහලා මම select කර ගත්තේ Isuzu 4JG2 3.1 intercooler turbo auto transmission engine එක.... මේ engine එක ගැන කිව්වොත්, මේකේ සද්දේ ඇත්තෙම නෑ ... හඬ හරිම ලස්සනයි...
ඒ වගේම engine capacity එක 3100 ක් නිසා හොද පිකප් එකක් තියෙනවා.. කල් පැවැත්ම අතිනුත් ගොඩක් ඉදිරියෙන්...
ඉන්ධන පරිභෝජනයත් අනෙක් engine වලට වඩා හොදයි... මේ engine එක එන්නේ Isuzu bighorn Jeep වලට...
මගේ ජීප් රථයේ බර kg 2000ක්. ඒකට හරියන බරක් තමයි Bighorn එකේ තියෙන්නෙත්. Bighorn එකේ kg 2030 යි...
ඉතින් ඔය ආකාරයට මට සාර්ථකව engine එකක් තෝර ගන්න පුළුවන් වුනා....

engine එක මම ගත්තේ ගම්පොල අනුර මෝටර්ස් එකෙන්...
ඇත්තටම මට හොදම engine එකක් එතනින් අරගන්න පුලුවන් වුනා...
engine එක ගන්න ගිහින් හම්බ වුන අනුර මෝටර්ස් එකේ Pamalka Aluthge අද වෙන කොට මගේ හොද මිත්‍රයෙක්... 😃
නොයෙකුත් අවස්ථා වල අමතර කොටස් හොයාගන්න ප්‍රශ්න මතු වුනාම, ඔහු නිර්ලෝභීව අමතර කොටස් දීලා මට උදව් කරනවා.... මේ සමාජයේ එවැනි චරිත විරලයි. ඒ නිසා පමල්ක මට කල උදව් උපකාර සියල්ලටම මම කෘතවේදීත්වය පුද කල යුතු නිසයි ඔහු ගැන මේ සටහන් කලේ...

ගම්පොල ඉදලා engine එක අරගෙන ආවේ දෙල්කඳ garage එකකට... එතනට මම ගෙනාවේ මගේ මිතුරෙක් හදුන්වලා දුන්න කාර්මික මහත්තයෙක් නිසා... ඔහු මෝටර් මැකනික් ඉන්ජිනියර් කෙනෙක් කියලා තමයි කිව්වේ....
කොලඹ ප්‍රසිද්ධ කාර්මික විද්‍යා ආයතනයක පින්සිපල් හැටියටත්, වැඩකරපු කෙනෙක්...
වයසක වගේම අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් වගේ තමයි දැනුනේ, පෙනුනේ...😂
කාර්මික මහත්තයගේ මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන ගොඩක් කතා මට කිව්වා... කතාව ටිකක් එයාගේ වැඩි වුනාට වැඩේ බාරදෙන්න මම ඔහුව තෝර ගත්තා....

"මම මේකට engine එක තියලා දෙන්නම් කාර් එකක් වගේ smooth එකට"
අපි Money back granti තමයි වැඩකරන්නේ...."
ඔන්න ඔහොම කියලා තමයි වැඩේ භාර ගත්තේ....😂

මමත් කිසිම සැකයක් නැතිව වැඩේ බාර දුන්නා..
ඒ දවස්වල මටත් ලොකු කාර්මික දැනුමක් තිබුනේ නෑ... ඒ නිසා කියන දේවල් අහගෙන ඉන්න තමයි මට සිද්ධ වෙලා තිබුනේ...😂😂

සති දෙකකින් විතර වැඩේ කරලා දෙන්න තමයි පොරොන්දු වුනේ... සති දෙකකින් වාහනේ auto කරගෙන ගමේ යනවා කියලා හීන මවාගෙන තමයි මම හිටියේ...

සති දෙක ගෙවිලා ගියත් වැඩේ එතනම බව මට පෙනුනා... engine mount දෙකයි gear mount එකයි හරියට හදාගන්න බැරිව දඟලන බවක් තමයි පෙනුනේ....
අන්තිමේදී මෝටර් කාර්මික ඉංජිනේරු විදුහල්පතිතුමා ජීප් එක නිශ්පාදනය කරපු රටට බණින්න පටන් ගත්තා ලවක්, දෙවක් නැතිව...😂😂😂
මගේ තවත් යාලුවෙක් හිටියා Scorpio එකට 4JG2 engine එකක් තියපු. බලා ඉදලා බැරිම තැන මම කිව්වා ඒ ජීප් එක බලලා අදහසක් අරගෙන මේකේ mount ටික ගහමු කියලා....

"චැක්... මට ඕවා බලන්න ඕනි නෑ මම කරන්නම් වැඩේ කියලා..." ඒ පාර කියපි... මේ පුද්ගලයා ගේ වැඩ වලට වඩා තියෙන්නේ කයිවාරුව කියන එක මේ වෙන කොට මට හොදටම අවබෝධ වෙලා තිබුනේ..
තව කාගෙන්වත් දැනුමක් ලබා ගැනීම ඔහුට මදි පුංචි කමක්
හැටියට තමයි සැලකුවේ...

ඉතින් ඒ වෙන කොට මට හොදටම තේරුම් ගිහිල්ලා තිබුනේ වැඩේ අලවෙන්න යනවා කියලා...
ඒත් ඉතින් මට වැඩිය මැදිහත් වෙලා බලපෑම් කරන්නත් පුළුවන් කමක් තිබුනේ නෑ.... එහෙම උනොත් තවත් ප්‍රායෝගික ගැටළු ගොඩකට මට මුහුණ දෙන්න වෙන නිසා..

වැඩක් කරන්න යනකොට අවශ්‍ය පිලිවෙල, දැනුම, උපකරණ, කලමනා කිසිවක් නැතිව සාර්ථකව යමක් කල නොහැකි බව මම අත්දැකීමෙන් දන්න දෙයක්...
වාහනේට engine එක තියන්න යන වැඩ පිලිවෙලේ අඩු පාඩුකම් දකින කොට
අන්තිමේදී මට ඉතාමත් ආගන්තුක මෝටර් කාර්මික ක්ෂේත්‍රය ගැන අධ්‍යනයක් කරන්න සිද්ධ වුනා...
ඒ තුලින් මට හොයාගන්න පුළුවන් වුනා මේ මහදැන මුත්තයගේ දැනුමේ දුප්පත් කම...
මම අධ්‍යයනය කරද්දී සොයාගත්ත දෙයක් තමයි මේ Auto gearbox එක වැඩකරන්නේ computer box එකකින් කියලා...
මේ ගැන කිව්වම ඔහු කිව්වේ...

" පිස්සුද? මේක computer box එකකින් නෙවෙයි වැඩ කරන්නේ, මේ තියෙන්නේ kick down cable එක, මේකෙන් තමයි gear change වෙන්නේ...""
මමත් ඉතින් එතනින් එහාට argue කරන්න ගියේ නෑ... හයිකරලම බලමුකො gear change වෙන හැටි කියලා හිතාගත්තා....

මිත්‍රවරුනි.... මේ වෙන කොට මට හොදටම තේරුම් ගිහිල්ලා තිබුනේ වැඩේට මම තෝරගෙන තියෙන්නෙ වැරදි මිනිහෙක් කියලා... ඒත් ආපසු හැරෙන්න කොහොමවත් විදියක් තිබුනේ නෑ...

මම වැටිලා ඉන්න අමාරුවෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක ගැන තමයි ඊට පස්සේ මට හිතන්න වුනේ...

ජීවිතේ ඕනෑම අසීරු, අමාරු, දුෂ්කර අවස්ථාවකට පත් වුනත්, ඒ ඕනැම අවස්ථාවකට මුහුණ දෙන්න, ඒකෙන් ගොඩ එන්න ධෛර්යයක්, ශක්තියක් මට උත්පත්තියෙන් පිහිටලා තියෙනවා... බොහෝ දෙනෙක් ගැටලුවකට, කරදරයකට මුහුණ දීපුවම ඒ කරදරය ගැන හිත හිතා තැවෙනවා හැරෙන්නට ඒකෙන් ගොඩ එන්න තියෙන විකල්ප ක්‍රියා මාර්ග මොනවද කියලා හොයලා බලන්නේ නෑ...
අනිත් එක තමයි කෙනෙක් අමාරුවේ වැටුනම ඕක තමයි අපි කිව්වේ ඕක හරියන්නේ නෑ කියලා... අපරාදේ සල්ලි කියලා කියන්න බොහෝ පිරිසක් ඉන්නවා....
අපි කොහොම හරි වැඩේ ගොඩ දාමු... තව try එකක් කරලා බලමු කියන්න ගොඩක් වෙලාවට එක් කෙනෙක් වත් නෑ... ඉතින් මටත් මූණ දෙන්න වුනේ ඔය වගේ අවස්ථාවකට...
ඒත් මම පොඩ්ඩක් වත් සැලුනේ නෑ... තනිවම හිතුවා කොහොම හරි මම වැඩේ ගොඩදාගන්නවා කියලා...

මාසයක් විතර ගත කරලා යන්තම් mount ටික හදලා engine එක තියලා තිබුනා... gear selector එකට මෙයාල හයි කරලා තිබුනේ Hijet van එකක එකක්.... ඒක දැක්කම මට යකා නැග්ගා...👹

මම සල්ලි වියදම් කරලා ලස්සනට finishing එකක් බලාපොරොත්තු වුනාට මේ ලොකු උන්නැහේ කරන්නෙම වැඩේ අවුල් කරන එක...

ඒ අවස්ථාවේ දී මට පිහිටට ආවේ වාහනේ වයරින් කරන්න ආව Tikiri Wapa ටිකිරි. ඔහු තේරුම් ගත්ත
මම පත්වෙලා ඉන්න අසීරු තත්ත්වේ.. electrical part එකට අමතරව මගේ ඉල්ලීමට FB 14 කාර් එකක gear selector එකක් ටිකිරිගේ උදව්වෙන් සවි කරගත්තා...
මහදැන මුත්තගේ තර්කය වුනේ Hijet gear selector එක හැරෙන්න වෙන එකක් හයි කරන්න බෑ කියන එක... ඒත්, ඒ තර්කය පුස්සක් බව අපට පෙන්වන්න පුළුවන් වුනා....

ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න මතින් වාහනේ අටවගෙන Test run එකක් මුලින්ම ගියා... බුදු අම්මෝ වාහනේ හොදටම vibrations වැඩියි... ඒ වගේම අර මහදැන මුත්තා කිව්වට gear මාරු වෙන්නෙත් නෑ... L එකට දාලා පිකප් කරලා ඊට පස්සේ 2 එකට දාල ඉන්පස්සේ D එකට දාලා තමයි යන්න වුනේ...😂😂
Auto gear වුනාට Manual එකක වගේ gear දාගෙන තමයි යන්න වුනේ.... ඔය ජර මර ගොඩක් එක්ක කොහොම හරි මම වාහනේ ගෙදර අරන් ආවේ බොහොම කලකිරීමෙන්...

ඊට පස්සේ මට තිබුන අභියෝගය තමයි Vibrations නැතිව engine එක ආපහු තියාගන්න එක, ඒ වගේම Gear control unit එකක් හොයාගෙන හරියට වයරින් කරලා Auto gear shift වෙන්න හදාගන්න එක....

ඊලග කොටසින් මම කියන්නම් ඒ දේවල් කොහොමද මම ගොඩ දාගත්තේ කියලා.. .

ජීවිතයේ තවත් එක් අත්දැකීමක්... 2 වන කොටස.

 






Driving කියන්නේ මගේ Hobby එකක්....

මේ කොටසින් මම කියන්න උත්සාහ කරන්නෙ මෝටර්රථ කාර්මික අංශයේ කාරණා ටිකක්..

ඒ අංශයට කැමති නැති කෙනෙක් නම් මම ලියන මේ දේවල් Greek වගේ වෙන්න පුළුවන්...😂😂😂

ඔය ස්ත්‍රී පාර්ශවයේ අයට විශේෂයෙන්ම...😂😂😂

ඉතින්..., මුලින්ම මම අවධානය යොමු කලේ කුමණ ආකාරයේ වාහනයක් මට සුදුසු වෙයි ද කියලයි....

පොලීසියේ ඉන්න කාලෙත් මම පැද්දේ ජීප්...

ඉතින් මම ආශම වාහනේ වුනේ ජීප්...

ජීප්, ජීප් කියන කොට සමහර  American Jeep වර්ගයේම Jeep පාවිච්චි කරන අය  ඒකට කැමති නෑ...😂

ඒත් ඉතින්..., කරන්න දෙයක් නෑ,  ලංකාවේ 4wheel SUV හදුන්වන්නේ ඔය නමින් තමයි...

පොලිසියේ තියෙන Toyota Land cruiser එක, Mitsubishi pajero එක, Mahindra scorpio එක පොදුවේ හදුන්වන්නේ Jeep කියන නමින්....

ඒක අපේ බස් වහරට ඇවිල්ලා ඉවරයි...

කතාව ටිකක් වෙන පැත්තකටත් ගියා වගේ...😂 සමාවෙන්න ඒකට...😭

හරි දැන් ඔන්න ආයෙත් කතාවට යමු... 

ඉතින් වාහන වලින් මම ආශම Jeep වලට නිසා මම අවධානය යොමු කරේ මගේ ඒ ආශාව කොහොම හරි ඉෂ්ට කරගන්නයි...

ඒත් ඉතින්..., ඒ ගැන සමහර මගේ හිතවතුන්  විරුද්ධ මත ප්‍රකාශ කලා මෙන්න මෙහෙම...

" ඔයාට ජීප් එකක් හරියන්නෙ නෑ..., ඔයාට හරියන්නේ පොඩි කාර් එකක්..."

"ඔය ජීප් නඩත්තු කරන්න හරි අමාරුයි...."

" ඔය පරණ වාහන අරගෙන අමාරුවේ වැටෙන්න එපා...! "

ඔය වගේ නොයෙකුත්, මගේ මතයට විරුද්ධ මත තමයි මට අහන්න සිද්ධ වුනේ...😂😂😂

මොන කරුමයක්ද මන්දා  මට නිතරම හම්බ වෙන්නේ ඒ වගේ, බැ යන්නෝ, නැ යන්නෝ....😂😂

එහෙමත් නැත්නම්.....,

යම් වැඩක් කරන්න යනකොටම

ඕක හරියන්නේ නෑ....,

ඕක අමාරුයි...., වගේ පූර්ව නිගමන තුල ඉදගෙන උපදෙස් දෙන්නන්...😭

අන්තිමට වෙන්නේ මම හිතුවක්කාර වෙන එක....😂

පසුගාමි අදහස් වලින් මට උදව් කරන්න ආව ඒ ඈයින්ට කුදගහගන්න කියලා...

මම තීරණය  කලා Jeep එකක්ම මිලදී ගන්න...

ඒකට බලපෑව කාරණා තමයි....,

අපේ රටේ බහුතරයක් දෙනා ආබාධිත පුද්ගලයෝ ගැන හිතන්නේ ටිකක් අවතක්සේරුවෙන්....

එයාල හිතන්නේ එයාලගේ අනුකම්පාව යටතේ අපි ජීවත් විය යුතුයි කියලා...

ඔය පොඩි කාර් එකක්...,

ත්‍රී වීල් එකක් එලෙව්වට කමක් නෑ....

ඒත්....,

Jeep එකක්....???

ඒක හොද වැඩියි අබ්බගාතයෙකුට....😂😂😂😂

ඔන්න ඔය මානසිකත්වය  කඩන්නත් මට ඕනි වුනා.....

ඒ වගේම  මට රෝද පුටු දෙකක් යන තැනකට ගෙනියන්න වෙනවා...

Wash room wheelchair එකකුත් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන නිසා..

කොලඹ ඉදලා ගමේ යනකොට ඔය දෙකයි, මගේ බඩුයි, සේරම එකතු වුනාම කාර් එකක හිතන්න වත් බෑ....

ගමේ ආවමත්  මගේ සහෝදරයින්ගේ ලමයි, ඒ ලමයිගේ ලමයි... ඔය ඔක්කොටම Transport දෙන්න ගියාම ලොරියක් තිබුනත් මදි...😂😂

අනිත් විශේෂම කාරණයක් තමයි.....

පාරට වාහනේ දැම්මට පස්සෙ මග මරුවන්ගෙන් බේරෙන්න...

ඒ වගේම දුෂ්කර මාර්ගයක වුනත් කරදරයක් නැතිව ගමන් කරන්න පුළුවන් වීම....

ඔය පොඩි පොඩි වලවල්, ගැටිති උඩින් අපහසුවකින් තොරව යන්න...

ඉතින් ඔය  අවශ්‍යතාවයන් සියල්ල සපුරා ගන්න පහසු නිසා තමයි., Jeep එකක්ම මිලදී ගන්න තීරණය කලේ...

ඉතින්, මිත්‍රවරුනි...,

SUV 4wheel Jeep එකක් හොයන්න මාකට් එකට බැස්සම තමයි මට තරු විසි වුනේ....😢

මගේ උපන් වර්ෂයට ආසන්න කාලෙදි නිශ්පාදනය කරපු එකක් වත් හිමි කරගන්න එක ලේසි, පාසු නෑ කියලා  පෙනුනා...

ඒත්.., ඉතින් ලේසියෙන් යමක් අතාරින සිරිතක් මගේ නෑ නේ....💪😃

ඔන්න හොයාගෙන යනකොට,  මගේ බජට් එකට  හරියන, පෙනුමත් හොද, ඉංග්‍රීසි අකුරු තියෙන, සැප පහසුව උපරිම, පිකප් එකත් උපරිම තියෙන, 4wheel SUV එකක් හම්බ වුනා...

හැබැයි මේක නිශ්පාදනය කරලා තිබුනේ ඉන්දියාවේ... ඒ නිසා තමයි මගේ බජට් එකට හරිගියේ... 😃

ඒත්..., ඉතින් ඔන්න ආයෙත් මට නොයෙකුත් අවවාද ලැබෙන්න පටන් ගත්තා....

"හපෝ... ඔය ඉන්දියන් ලඩි ගන්න එපා...!!!

හැමදාම ගරාජ්වල ඉන්න වෙයි, ඕක ආයි විකුණන්න නම් හම්බ වෙන්නේ නෑ.... සදාකල් ඔබ මගේ තමයි...

ඔය වගේ කොච්චර උපදෙස් ලැබුනත්, හිතුවක්කාර මම මගේ අදහස වෙනස් කලේම නෑ...

ඔය බාධක රැසක් මැද මම දැන් පාවිච්චි කරන Mahindra Scorpio Jeep එක මිලදී ගත්තා....

මේ Jeep එක ලංකාවට ගෙන්නලා තිබුනේ 2003 දී, අපේ රටේ මැති ඇමතිලට, පාවිච්චි කරන්න.. 

ඒ නිසා මේ Jeep රථය VIP ලාට පාවිච්චියට  සුදුසු පරිදි නිශ්පාදනය කරලා තියෙනවා...

මේක 2.6 enging capacity එකක් තියෙන, Intercooler Turbo

GLX  7 Seats රථයක්...

ඔන්න ඔහොම කොහොම හරි මම රථයක් මිලදී ගත්තා.

හැබැයි මේක Manual gear පද්ධතියක් තියෙන රථයක්...

මගේ ටාගට් එකට යන්න නම් Auto gear පද්ධතියක් තිබිය යුතුයි....

ඉතින් ඊළඟට මට මුහුණ දෙන්න සිද්ධ වුනේ ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන එකටයි...

ඊළඟ කොටසින් මම ඔබ හමු වෙන්නම් කොහොමද මම ඒ අභියෝගය ජයගත්තේ කියලා කියන්න....

01. වෙනි කොටසට.

 https://pradeepdesilvablog.blogspot.com/2021/04/1.html