Sunday, July 1, 2018

තල්අරඹේ මතකයන්. 01

(සත්‍ය අත්දැකීම් ඇසුරින්)

පොලිස් සේවයට එක්වී වසරකට විතර පසු මට රාජකාරි සඳහා වාර්තා කරන්නට සිදු වුනේ මන්නාරමටය. නිලධාරීන්  30 දෙනෙකුගෙන් සමන්විත අනුඛණ්ඩයක් භාරව 1991 සිට 1995 දෙසැම්බර් දක්වා  අවුරුදු තුනහමාරක් පමණ කාලයක් මේ උතුරු  තල්අරඹේ මම රාජකාරි කලෙමි. මන්නාරම තලෙයිමන්නාරම හා පේසාලේ මගේ රාජකාරි ස්ථානයන් විය. 

මේ සටහන් තුලින් ඒ මතකයන් නැවත ආවර්ජනය කරන්නට උත්සාහ කරමි.

 1991 දී අනුඛණ්ඩයක්  භාරගෙන මෙහෙයුම් රාජකාරි සදහා මම මුලින්ම වාර්තා කලේ වව්නියාව මුලස්ථාන පොලීසියට වන අතර මෙහෙයුම් රාජකාරිවල ආරම්භය සිදුවුනේ වව්නියාව තාඩිකුලම් මාර්ග බාධකයනි.  වව්නියාව පොලිස් මුලස්ථානයේ ටික කලක්  රාජකාරි කරමින් සිටියදී මන්නාරම පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවීමක් ලැබුනු අතර  මගේ අනුකණ්ඩයට සේම තවත් අනුඛණ්ඩයකටත් මේ ස්ථාන මාරුවීම ලැබුනි. ඒ අනුව මන්නාරම වෙත යෑමට වව්නියාවේ සිට  අනුඛණ්ඩ දෙකේ අප නිලධාරීන් පිරිස පොලිස් ට්‍රක්රථ දෙකකින් කල්පිටිය වෙත ගෙන එන ලදී.  අනෙක් අනුඛණ්ඩය භාර නිලධාරියා වුනේ උප පොලිස් පරීක්ෂක ප්‍රනාන්දුයි. (දැන් ඔහුගේ තොරතුර පිළිබඳ කිසිවක් මම නොදනිමි.) වව්නියාවේ සිට අප ගෙනත් හැරලීමට පැමිණියේ උප පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකරයි. (ඔහු මේ වනවිට සහකාර පොලිස් අධිකාරිවරයෙකි.)

 එකල මන්නාරමට ගමන් කිරීමට හැකියාව තිබුනේ ගුවනින් හා මුහුදු මාර්ගයෙන් පමණි. කල්පිටියේ සිට හෝ කොළඹ සිට නාවික හමුදා යාත්‍රාවලින් ත්‍රිවිධ  හමුදා  හා පොලිස් නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීය. වව්නියාවේ සිට අප කල්පිටියට පැමිණියේ එසේ මුහුදු මාර්ගයෙන් මන්නාරම වෙත ගමන් කිරීමටයි.  අප කල්පිටියට  පැමිණෙන විට රාත්‍රිය උදා වී තිබුනි. කල්පිටියේදී මට වැඩි පුරම දකින්නට ලැබුණේ අධික වැලි සහිත පොලවයි. ගස් කොලන් අතර ද වැඩි පුරම දකින්නට ලැබුණේ  තල්ගස්ය. මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන බවක්ද දුටුවෙමි.  මුලින්ම මට ආඬියා ළිං  මුණගැසෙන්නේ කල්පිටියේදීය.  ජලය සපයාගැනීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් බව පෙනුනි. බරින් අඩු ජලය පානය කිරීම  ඉතාමත් අපහසු කාර්යයක් විය.

එදින  රාත්‍රි අපට නවාතැන් ගන්නට සිදු වුනේ පාසලක් තුලයි. අප අනුකණ්ඩ දෙකේ නිලධාරීන්ට අමතරව නිවාඩු පැමිණි රාජකාරි සදහා නැවත  මන්නාරම වෙත ගමන් කිරීමට පැමිණි නිලධාරීන් පිරිසක් ද වුයෙන් නිලධාරීන් පිරිස සියයක් පමණ විය.   කලුතර කොට්ඨාසයේ සිට තලෙයිමන්නාරම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස වැඩ භාර ගැනීමට යෑමට පැමිණි විජේරත්න මහත්මයා මට මුලින්ම හමුවන්නේ එදිනයි. නිවාඩු හමාරවී නැවත රාජකාරි වාර්තා කිරීමට  යෑමට පැමිණි දමිළ ජාතික උප පොලිස් පරීක්ෂක රඝු ද අපට එකතු වුනි. අප  සියලු දෙනාට නවාතැන් ගන්නට සිදු වුනේ මෙම පාසල තුලයි.  නිදාගැනීමට ඩෙස් බංකු යහන් බවට පත්කර ගැනීම හැර වෙනත් විකල්පයක් නොවීය.  මා මුහුණ දෙමින් සිටියේ ඉතාමත්  නුහුරු නුපුරුදු අත්දැකීම් රැසකටය. එන්න  එන්නම සුපුරුදු පරිසරයෙන්  ඈතට  මා පියමන් කරන සෙයක් දැනුනි.

  නවාතැන් පහසුකම් සපයාගැනීමෙන් අනතුරුව අපට අවශ්‍ය වුයේ රාත්‍රී ආහාර සපයාගැනීමයි. ඒ සඳහා කල්පිටිය නගරයේ එහෙ මෙහෙ ඇවිද යෑමේදි බොහෝ ආපන ශාල තුල කොත්තු රොටී සකස් කරනු දුටුවෙමි. කොත්තු රොටී සකස් කිරීමේදී නැඟ එන සුවඳ අපේ නාස් පුටු විනි විඳ ගියේය. සුවඳ මෙන්ම ඒවාගේ පෙනුමද ඉතා අනර්ඝ විය. උණුසුම් ප්‍රනීත කොත්තු රොටියක රස විඳීමට එදින මට හැකි විය. අදටත් මම විස්වාශ කරන්නේ ඉතාමත් ප්‍රනීත කොත්තු රොටී සාදන්නේ කල්පිටියේ බවයි.  බොහෝ නිලධාරීන්ගේ එදින රාත්‍රී ආහාරය වුයේ කොත්තු රොටීය.


අධික තෙහෙට්ටුව හා මුහුණ දෙමින් සිටි දුෂ්කර වටපිටාවත් නිසා අපි ඉක්මනින්ම නින්දට වැටුනේ පසුදා උදෑසනින්ම අවදි විය යුතු නිසාය.

02 වන කොටස

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

6 comments:

  1. අටම පාර පෙන්නුවෙ.

    ReplyDelete
    Replies
    1. අටම්ගේ පිහිටෙන් තමයි මේක අටවගත්තෙත්...
      ආවට බොහොම ස්තුතියි...
      🙏🙏🙏

      Delete
  2. Replies
    1. මේ යාපනේ ආවා නෙවෙයි නේද ? 😂
      බොහොම ස්තුතියි..

      Delete