Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 03

“ අත්තනායක පිටකොටුව පොලීසියට Message එකක් දෙන්න, අපි දැන් පිටකොටුවට එනවා කියලා....“

පොලිස් ස්ථානයෙන් පිටවීමට පෙර අත්තනායක අමතා මම එසේ දැනුම් දුන්නෙමි. සාමාන්‍යයෙන් තම පොලිස් බල ප්‍රදේශයෙන් පිටත වෙනත් පොලිස් බල ප්‍රදේශයකට යාමට පෙර අදාල පොලිස් ස්ථානය දැනුවත් කිරීම කලයුතුය.

පිටකොටුව මල්වත්ත පාර බලා ගමන් කරන අප නිලධාරි පිරිසෙන් එක් නිලධාරියෙකු පමණක් නිලඇඳුමෙන් සැරසී සිටිය අතර මා ඇතුලු අනෙක් නිලධාරීන් තිදෙනාම සැරසී සිටියේ සිවිල් ඇඳුම් වලිනි. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිවිල් ඇඳුමෙන් සැරසුන නිලධාරීන්ට අපරාධකරුවන් ආසන්නයට ඔවුන්ට කිසිදු සැකයක් ඇතිනොවන පරිදි සමීප වන්නට පහසුවක් තිබේ. බොහෝවිට නිලඇඳුම් හැඳගත් නිලධාරීන් කරලියට පිවිසෙන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ අවසන් අදියරේදීය. නිලඇඳුම් හැඳ සිටින නිලධාරියා අපේ අනන්‍යතාව විය. අපට පැවරී තිබුනේ ප්‍රදේශයේ සියලුම තරාතිරමේ අපරාධ මැඩලීමේ වගකීමක් නිසා ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට හා ක්‍රියාකිරීමට පෙර සුදානමින් යුතුව අවි ආයුධ කීපයක්ද රැගෙන ගියෙමු. පුද්ගලිකව පරිහරණය කිරීම සඳහා මට නිකුත් කර තිබු සේවා පිස්තෝලය නිරතුරුවම මගේ ඉනෙහි රඳවා ගැනීම මගේ පුරුද්දකි. එය යම් කරදරකාරි බවක් ගෙන දුන්නත්, අපට නිරතුරුවම කටයුතු කරන්නට සිදුවී තිබුනේ විවිධ තරාතිරමේ අපරාධකරුවන් සමඟ නිසා එය කොයි මොහොතක ප්‍රයෝජනවත් වේදැයි කිව නොහැකිය. සමහරක් නිලධාරීන් තමන්ට නිකුත්කර ඇති සේවා අවිය අවි ගබඩාවට පමණක් සීමාකර තිබුනේ ඒවා ගෙන යෑමට කම්මැලිකමෙනි. එහෙත් හදිසියේ අපරාධකරුවන් සමඟ ඇතිවන ගැටුම්වලදී ඔවුන්ව මෙල්ල කිරීමට අවි ආයුධ රැගෙන නොයෑම නිසා බොහෝ නිලධාරීන් අපරාධකරුවන්ගෙන් පහර කා තුවාල ලබන අවස්ථා බොහොමයක් මම දැක ඇත්තෙමි. එහෙත් කිසිවිටක මම එවැනි අවස්ථාවකට පත් නොවීමට තරයේ සිතට ගෙන තිබුනි. අවුරුදු 07 ක් පමණ උතුරු යුධ බිමේ මා රාජකාරි කලේ අවි ආයුධ සමඟ ඉතාමත් සමීපවය. ඒ පුරුද්ද ද මා තුල තිබුනි.

පිටකොටුව මල්වත්ත පාරේ පිහිටි අදාල විදේශ රැකියා ඒජන්සිය වෙත තරුණයින්ගේ මඟ පෙන්වීම මත පැමිණීමට අපට වැඩි වේලාවක් ගත නොවිය. අප පිරිස ඒජන්සිය තුලට ඇතුල් වුයෙමු. පුද්ගලයින් කිහිපදෙනෙක් එහි සිටියහ. එය කුඩා කාර්යාලයකි. පරිගණක ක්‍රියාකාරිනියක් ඉදිරිපස කොටසේ සිටි අතර වීදුරු වලින් වෙන්කල කොටසක ඒජන්සියේ හිමිකරුගේ කාර්යාලය විය. මම එම කාර්යාලයට ඇතුල්වීමි. එහි අවුරුදු 35 ක 40 ක පමණ වයසින් යුතු සාරියක් හැඳි අත කණ කර යහමින් රනින් සරසාගත් රූමත් කාන්තාවක් සිටියාය.

“ මම SI ප්‍රදීප්..., කොටහේන CDB එකෙන්....”

මගේ නිලහැඳුනුම්පත ඇය වෙත පාමින්, මම කොටහේන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් බව හඳුන්වා දුන්නෙමි. (අප CDB ලෙස කෙටියෙන් හඳුන්වන්නේ Crime Detection Bureau යන්නයි.) ඇය තිගැස්සී විශ්මය මුසු දෙනෙතින් නිහඬවම මා විමසුවාය.

“මේ ඒජන්සිය ඔයාගෙද...?”

ආයතනයේ හිමිකාරිය ඇයමද යන්න මට තහවුරු කරගැනීමට අවශ්‍ය විය.

“ඔව්, ඇයි...?”

මුහුණට දමා ගැසූ කෙටි පිළිතුරකි.

“ එතකොට කුමාර කියන්නේ කවුද...?”

කෙලින්ම මම දැනගත යුතු අදාල කාරණාව විමසුවෙමි.

“ ම්...හ්... කුමාර ...?? ආ..හ් මොන කුමාර ද...? “

ඇය එය විමසු ආකාරයෙන්ම මා විමසන කුමාර පිළිබඳව ඇය හොඳින් දන්නවා වුවත් එය මට නොපෙන්වීමට තැත් දරන බවක් පෙනුනි. ඇය උත්සාහ දරණුයේ ඇය කුමාරලා කීපදෙනෙක් දන්නා බවත් ඔවුන් අතරින් මා විමසනා කුමාර කවුදැයි ඇගේ මනසට ක්ෂණයකින් නොනැඟෙන බව පෙන්වීමටය. මම ඊළඟ පියවර තැබුවෙමි. තරුණයින් දෙසට හැරුන මම.....

“ ඊයේ මේ අයත් එක්ක ආව...? ඊට පස්සේ ඔයාලවත් එයාගේ වෑන් එකේ දාගෙන කොටහේනට එක්ක ගිය කුමාර....?”

ඇය හඳුනන කුමාරයන් අතරින් මා සොයනා කුමාරයා කවුදැයි ඇයට හොඳින් වැටහී යන පරිද්දෙන් තේරෙන භාෂාවෙන් මම ඇය විමසුවෙමි.

“ ආ... ඔව්...”

ඇය මේ කෙටි පිළිතුර ලබාදුන්නේ මඳක් තැති ගැනුන ස්වරූපයෙනි. මේ ප්‍රශ්න කරනුයේ සියලු අග මුල දැනගෙන බව ඇගේ තැතිගත් මුහුණේ ඉරියව් මට කියා පෑවේය.

“ඊයේ කුමාර ඔයාලත් එක්ක කොටහේනට ගිහිල්ලා මේ ළමයින්ගෙන් ලක්ෂ දෙකක් වංචා කරලා පැනලා ගිහිල්ලා තියෙනවා.... මට මිනිහව අල්ලගන්න අවශ්‍යයි, දැන් කොහෙද කුමාර ඉන්නේ...?”

මම අදාල අවශ්‍යතාව ඇයට සෘජුවම ඉදිරිපත් කලෙමි.

“ අපි දන්නේ නෑ.... එයා ඉන්න තැනක්.... ඊයේ මෙයාලත් ආවා අපෙන් එයා ගැන ආගෙන... එයා ගැන අපිත් එච්චරටම මොකුත් දන්නේ නෑ... එයා දෙපාරක් තුන්පාරක් මෙතනට ඇවිල්ලා ගීල්ලා තියෙනවා ඒ ඇඳුනුම්කම තමයි අපි අතරේ තීනවා... මෙයාලයි එයයි අතර තීන ගණුදෙනු ගැන අපි මුකුත් දන්නේ නෑ... අනික ඒවට අපිට වගකියන්නත් බෑ... අපිට ඒ ගැන කරදර කරන්න එපා !, දැන් මෙතන අපි අවුරුදු 10 ක ඉඳන් මේ බිස්නස් එක කරනවා අපිට විරුද්ධව කිසිම පොලීසියක කම්ප්ලේන් එකක් නෑ..., ඔයාළගේ ඩී.අයි.ජී, එස් එස් පී මහත්තරු දෙන්නවත් අපිව හොඳට දන්නවා...”

මා විමසු නොවිමසු කාරණා රාශියක් එකවර එකදිගටම ඇය මාවෙත මුදාහලේ T56 අවියකින් පොකුරු උණ්ඩ මුදාහරිනවා සේය. ඇය පත්ව සිටි අසීරු අවස්ථාවෙන් ගැලවෙන්නට අවසන් තුරුම්පුව ද දමා ගැසුවාය. උසස් නිලධාරීන් ද හඳුනන බව පවසමින් ඇය උත්සාහ දරන්නේ එමඟින් මා යම් දුර්වලතාවයකට පත් කිරීමට හැකියාවක් ඇද්දැයි උරගා බැලීමටය.

බොහෝ විට ධනය බලය තිබෙන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙවැනි ප්‍රකාශයන් අසන්නට සිදු වීම සුලබ තත්ත්වයකි.

“හ්ම්.., ඒකට කමක් නෑ... ඔයාලට විරුද්ධව මට Complaint එකක් ඇවිල්ලා තියෙනවා ඒකයි මම ආවේ..., මට ඒකට ඔයාලගෙනුත් කටඋත්තර ගන්න තියෙනවා අපි යමු පොඩ්ඩක් පොලීසියට....”

මෙම අපරාධය සම්බන්ධව මෙතෙක් ලද සාක්ෂි සාධක මත ප්‍රධාන සැකකරු හා මොවුන් අතර ඇති සම්බන්ධය නිවැරදිව පරීක්ෂා කර බැලිය යුතුව තිබුනි. ඒ අනුව සැකකාරියන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමට මම තීරණය කලෙමි.

“ඉන්පෙක්ටර්.... , අපට පොලීසි ගානේ යන්න වෙලාවක් නෑ අපට වැඩ තීනවා... ගන්න කටඋත්තරයක් මෙතනදී ගන්න...”

නැවතත් ඇය විරෝධයක් පායි. තවදුරටත් මම ඇයගේ කිසිදු යෝජනාවකට අවනත නොවන බව අවධාරණය කලයුතු අවස්ථාවට එළැඹිණි.

“මේක බිස්නස් කරන තැනක් නේ.., මෙතන පොලිස් inquiry කරන්න බෑ.. ඒකට තමයි පොලීසිය තියෙන්නේ... කරුණාකරලා අපිව වැඩිය මහන්සි කරවන්නේ නැතිව දැන් අපිත් එක්ක පොලීසියට යං...”

මගේ හඬ උස්විය, දැඩිවිය, රළු විය. අනෙක් නිලධාරීන් ද අභිනයෙන් එයට එක් විය.

කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තෙමි. ඒජන්සිය හිමිකත මුස්ලිම් ජාතික තැනැත්තියකු වු අතර අනෙක් තරුණිය ද්‍රවිඩ තරුණියක වුවාය. පොලිස් ස්ථානයට යන අතරමඟදී එකදිගටම කාන්තාව ඇයගේ ජංගම දුරකථනයෙන් ලොකු ලොක්කන් කීපදෙනෙක් හා සම්බන්ධවීමට උත්සාහ දරමින් සිටියාය.

“මෙන්න ඔයාලගේ SSP මහත්තයා කතාකරනවා...”

කොටහේන පොලිස් ස්ථානයේ මාර්ග බාධකයෙන් ඇතුල්වීමට ඔන්න මෙන්න තිබියදී ඇය මට දුරකථනය දිගු කලාය.


04 වන කොටසට..............

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

No comments:

Post a Comment