“ සුමනක්කේ........ අර ඉවුරේ බුරුතු කොස් ගහේ වැල ගෙඩි ඉදිලා වැටිලලු..... මටත් කිව්වේ එහා ගෙදර එලිසා... වරෙන් අපිත් යන්න ඇට ටිකක් අහුල ගන්න....“
සිරියා එක හුස්මට කියාගෙන ගියාය.
“ හිටිං.... මං වට්ටිය ගන්නකං....“
සුමනා ද එක පයින්ය. ඈ අසුරු සැනින් පං වට්ටිය ද ගෙන මිදුලට පැන්නාය. ගුණේ ද ඈ පස්සේ වැටුණේය.
“ උඹ කොහේ එන්න ද...? ඉදිං ගෙදරට වෙලා...“
ඒ නැවතුම ගුණසිරිටය. ඔහු කොහේ නවතින්න ද....? සුමනා වැල ඇට මිරිකන තුරු ගුණේට ගඟේ නැටිය හැක. ඔහු එය අමතක කර ගෙදර ඉන්නේ කෙසේ ද....?” එලිසා නැන්දා ගියානම් ඒ පසුපස පේමා ද ගොස් ඇතිවාට සැක නැත. ඇයටත් මටත් ඇති තරම් අද ගං වැල්ලේ නැටිය හැක.”
පේමා යනු ගුණසිරිගේම වයසේ ඔහුගේම පංතියේ සිටිනා කෙල්ලකි. ඇය සිරියා ගේ නිවසට අල්ලපු නිවසේ විසුවාය. තලෙලු පැහැ ප්‍රියමනාප එකියක වු ඇයගේ සමාගමය ගුණේ ප්‍රිය කළේය . ඔහුට හරි නොගියානම් ඒ කෙළි සෙල්ලමේ යෙදෙන බොහෝ විටක ඈ ගුණේව පාලනය කිරීමට උත්සාහ දැරීමය.
ඉතිං ගුණේත් සුමනා පස්සේ වැටුණේය. සුමනා පය ඉක්මන් කරමින් සිරියා පස්සේ වැටීය.
ගං ඉවුරේ ගැහැණු ගොඩකි. බුරුතු කොස් ගහේ ඇට මාලුව කෑමට පේලි ගෙවල කවුරුත් පාහේ ප්‍රිය කල නමුත් ඉදුණු වැල ගෙඩි දෙස නම් කවුරුත් ඇසක් ඇරවත් බැලුවේ නැත.
සුමනා හනි හනික ඇට පං වට්ටියට දමා ගැනීමට උත්සුක වුවාය. ගැහැණුන්ගේ කටවල්වලට ද කමසිරියාවක් නැත. අත ද කට ද වේගයෙන් ක්‍රියා කරවන මැසිමක් සරිය.
ගුණේ වට පිට බලමින් පේමා සෙව්වේය. ඇය අහලක නැත. එපිට බැලුවේය. පෙනෙන ඉසව්වක නැත. ගුණේට මහා කම්මැලිකමක් දැනුනි. ගං දියට පහත් වු අත්තික්කා අත්තක් කඩා ගත් ඔහු ගඟේ වු ගල් පොත්තක් මත වාඩි වීය. වතුරට පයින් ගැසීය. වතුරට අත්තික්කා දණ්ඩෙන් ගැසීය. පේමා පැමිණ නැතුවාට වතුර ද පලි සෙයකි. නැවත ගං දියට පයින් ගසාගෙන ගසාගෙන ගියේය.
“ ඒඒඒ................යි..........“
වැල ඇට අහුලමින් සිටි සුමනා දෑත ඉනට ගසා ගුණේට කෑ ගැසුවාය. මහ හඩින් බැණ වදිමින් අසලට දිව ආ ඇය ගුණේගේ කණ මිරිකුවාය.
“ ඊයේ නේද ගුණෙයෝ හෙම්බිරිස්සාව හැදිලා හොඳ වුනේ...? උඹ අද වතුර තලන්නේ ආයි ලෙඩ හදාගන්න ද....? ගෙදර ඉන්න කිව්වහම ආවා මටත් ඉස්සර වෙලා....“
සුමනාගේ අඬහැරය නිමක් නැත.
“ හී... හිහී........, හි හි හී..... හී.................“
කාගෙදෝ නොසන්ඩාල හිනාවකි. ඒ ගුණේටය. කාගෙදෝ කීවාට ඒ හිනාව ඔහුට නොදැකම කාගේදැයි කිව හැක. ඒ පේමාය. ඇය කොහේ හෝ සැඟව මේ සියල්ල නරඹමින් සිට ඇත. සියළුම කරදරත් ඈ නිසාය. දැන් ඇයම ඔහුට සිනාසේ. නැවත පේමා සමඟ යහළු නොවෙමියි ක්ෂණික සිතුවිල්ලක් ගුණේගේ සිතට පිවිසුණි.
ගුණසිරි ඈත එපිට බලා දෑසට නැඟුන කදුළු පිසදාගත්තේය. ඇසිල්ලකින් පේමා ගුණේ ඉදිරියේය. ගුණේ ඉවත බලා ගත්තේය.
“ ගුණේ ඔයා තරහ ද මාත් එක්ක....? ඉතිං තරහ වෙන්න එපා....! මට හිනා ගියානේ... ඔයා ඇයි හෙම්බිරිස්සාව තියාගෙන වතුරේ හිටියේ...?“
“ උඹ ආවේ නැති තරහටනේ...“ කියා කිව නොහැකි බැවින් ඔහු එය සිතුවිල්ලක් පමණක් කරගෙන සිතේ සිරකරගති.
පේමා ගුණේගේ අතකින් ඇල්ලුවාය.
“ අපි යමු ගුණේ අර කොටේ උඩට... එතන වතුර නෑ... එතෙන්ට යමු...“ නැවත පේමාය. ඇය සමඟ යහළු නොවෙමියි සිතනා ගුණේගේ දෙපා ගල් වී ඇත.
පේමා ගුණේ ඉදිරියට ආවාය... දඹරැඟිල්ල ලෙලවමින්,
“ එනවද නැද්ද අර කොටේ උඩට යන්න....? නැත්තං මං යන්න ද....?“
තදින් ඇසුවාය.
නැවත සැම දා මෙන් ගුණසිරි ඇයට පරදින සෙයකි. ඇය ඔහු පාලනය කිරීමට උත්සාහ දරයි. “මගේ දයාබර යෙහෙලිය ඇයය. ඇය අමනාප කර ගැනීම මට කල නොහැක්කකි.”
“ ඔන්න මම ගියා...“ පේමාගේ දැඩි කටහඬය. ගුණේද ඈ පස්සේ වැටුණේය. ඇය වාඩි වු ගස යට ඇති කොටය මතම ඔහුත් වාඩි වූයේය.
ඇය හිනැහුණාය... ඒ තමා හට පෑ ඔලොක්කු හිනාවක් දැයි ගුණසිරිට සැක සිතුනි. නැත. “ඇය මට දයාබරය... දයාබර සිනාවක් පෑවාය.”
“ ගුණේ ඔයා මාත් එක්ක තරහ නෑ නේද...? ඔයාට අම්මා බණිනකොට මට නිකම්ම හිනා ගියා... මාත් එක්ක තරහ වෙන්න එපා...! “
ඉතිං ඔවුන් නැවත යාළුය. සිදුවුන අමනාපයක් නැත. ගුණේව මිතුරිය පාලනය කරාට කම් නැත. “ඇය තමාගේ එකම මිතුරියයි.” ගුණේ සිතීය.
“ ගුණේ ඔයා දන්නව ද...? මේ කොස් ගහට බුරුතු කොස් ගහ කියන්නේ ඇයි කියලා....? “
ඇය ගුණේ නොදත් යමක් ප්‍රශ්ණ කළාය. බුරුතු කොස් ගහ.... ගුණේ දන්නා කල සිටම බුරුතු කොස් ගහ දැන සිටිය ද එසේ කීමට හේතුව නම් නොදත්තේය. එසේම ඇය තම මිතුරාගේ කදුළු අමතක කරවාලීමට උත්සාහ කරන ලෙසකි.
“ ඇයි දන්නව ද....? මේ කොස් ගහේ ඉස්සර බුරුතු පිටින් කොස් හැදිලා තියෙනවලු... අපේ තාත්තා නම් කියන්නේ ඉස්සර මේ ගහේ කොලවලට වඩා ගෙඩි වැඩියි කියලා.... අපේ සීයටත් වඩා වයසලු මේ කොස් ගහට... දැන් තමයිලු මේ ගෙඩි අඩු....“
ඇය කට උල් කරමින් ඔහු නොදත් කථාවක් කීවාය. අනේ ගුණේ අසරණ වන තරම්. එය ඔහු දැන සිටියානම් ඇගේ ආඩම්බර නොබලා පිළිතුරු දිය හැකිව තිබුනි. එවරත් ඈ පලවෙනියා වී හමාරය.
බොහෝ වේලාවක් අවසන අම්මා වැල ඇට වට්ටිය පුරවාගෙන නැඟී සිටියාය.
“ කොල්ලෝ යමං ගෙදර.....“
ගුණේට දුකය. ඒ දයාබර යෙහෙලියගෙන් තාවකාලිකව හෝ සමුගැනීමට සිදුව ඇති නිසාය. අම්මා නැවත කෑගැස්විය නොහැක .
පේමාට දුකින් සමුදුන් ගුණේ සුමනා පසු පස ගෑටුවේය....
එදා දවාලට පේළි ගෙවල්වල හැමෝම බත් සමඟ මුසුවූ රසවත් කොස්ඇට මාළුවකින් සන්තර්පණය වූහ. සුමනාත් ගුණසිරි දවල්ට පමනක් නොව රෑට කෑවේද කොස් ඇට මාළුවත් බතුත්ය. ඉතිරි වූ කොස් ඇට වලින් සුමනා වැලි කොස් ඇට මුල්ලක්ද සෑදුවාය. දැන් ඔවුන්ට කොස් ඇට අවාරේදීද ප්‍රණීත කොස් ඇට මාළුවක් කෑ හැක. හෙට ඉස්කෝලේදී පේමාගෙන් කොස් ඇට මාළුව රහයි නේදැයි ඇසීමට ගුණේ සිතා ගත්තේය. ඈ දෙතොල් තර කොට පියා නැවත උල් කොට මහා පණ්ඩිත කථාවක් කියනු ඇත. එය ඇසීමටද ඇගේ දඟකාර ක්‍රියා බැලීමටද ගුණේ ඉතා ආසා කළේය. ඔහුට පෙන්නන්න බැරි දෙය නම් ඇය සැමවිටම එක වීමට උත්සාහ දැරීමය.
රාත්‍රී කෑමට පසු නිදාගැනීමට සූදානම් වූ විට අම්මා තරමක අසනීපයකින් පෙළෙන අයුරක් ගුණසිරි දුටිවේය.
“ අම්මෙ ... අම්මෙ... මොකද අම්මට ....?”
“නෑ බං .... කොස් ඇට දෙවේලක් කාලා වාත අමාරුව වෙන්න ඇති .... ටිකකින් හරි යයි…”
නමුත් සුමනා තරමක අමාරුවකින් හුස්ම ඉහල පහල දැමුවාය.
“ අනේ ඇයි අම්මේ...? “
“ කෑ නුගහ කොළුවො ඔය සිද්ධාර්ථ බෝතලේ අරන් මගේ පපුවේ ටිකක් ගාපන්....“
ගුණේ හනික අඩියටම ඉවර වු තෙල් කුප්පිය අල්ලට හැලුවේය. අඩියේ වු තෙල් බිංදු කීපය අම්මාගේ පපුවේ ගෑවේය. “ අනේ අම්මට කරදරයක්නම් වෙන්න එපා...!!!!“ සිතින් දෙවියන් යදිමින් සිටි ඔහු දුටුවේ අම්මා තදින් හුස්ම ගන්නා අයුරුය. දිරාගිය ඇය ගේ කය දෙස බැලු ගුණේගේ පපුව හෝස් ගා පත්තු වී ගියේය. ඔහුට මහත් දුකක් දැනුනි. තමා උස් මහත් කිරීමට ආප්ප පුච්චමින් ඇය විදිනා දුක මෙතකැයි කිව නොහැක. ඇය මෙතරම් කෘෂ වී ඇත්තේ ද තමා ගැනම සිතමින් විඳි දුක්වල ප්‍රතිපලයක් ලෙස නොවේදැයි ගුණේට ක්ෂණිකවම ඒ අවස්ථාවේදී ද සිහිපත් විය. තවත් බලා සිටිය නොහැක. අසරණයා උඩින් පැනගෙන සිරියාගේ නිවසට දිව්වේය.
“ සිරිය නැන්දේ..... සිරිය නැන්දේ.....“ බිම හිදගෙන සිටි ඇබිත්තං කලු කොළුවා ගුණේගේ පයේ හැපී විසි විය.
“ මොකද ගුණයෝ...? “
05 වන කොටසට.
No comments:
Post a Comment