Sunday, July 1, 2018

තල්අරඹේ මතකයන් 04

පසුදා උදෑසන පාතරාසයෙන් අනතුරුව මා මිත්‍ර ප්‍රනාන්දුට සමුදී අනුකණ්ඩයේ නිලධාරීන් සමඟ පේසාලේ බලා පිටත් වුනෙමි. ELF වර්ගයේ ලොරි රථයකින් අපට ගමන් පහසුකම් සැලසුනි. තාසිම් නැමති පොලිස් සැරයන්වරයා රථය ධාවනය කල අතර ඔහු ඉතාමත් වේගයෙන් රථය ධාවනය කිරීම මා සිත් නොගත්තේය. කිසිදු ආවරණයක් නොමැති ලොරියේ පිටුපස සිටි නිලධාරීන්ගේ ඉවසීමේ සීමාව ද ඉක්මගොස් තිබුණි. ඒ අවි ආයුධ හා බඩු බාහිරාදිය අතින් කටින් එල්ලාගෙන අසීරුවෙන් සිටි ඔවුන්ට රථය ගමන් කරන වේගය නිසා නොයෙකුත් අපහසුතාවයන්ට ලක්වීමට සිදු වු නිසාය.

“ පොඩ්ඩක් හිමින් යමු... පිටිපස්සේ කොල්ලෝ ඉන්නේ අමාරුවෙන්...”
බැරිම තැන මම කිවෙමි.

“ සර් මේකයි වැඩේ හිමින් යන්න පුළුවන් ඒත් අපට මේ පාර ෂුවර් නෑ... කොච්චර පිකට් කරලා තිබුනත් ටෙරා ඇවිල්ලා සමහර විට Attack කරනවා... මෙහෙම හයියෙන් ගියාම ටිකක් හරි safe එකක් තියෙනවා...”
අපට වඩා යුධබිමේ අත්දැකීම් සහිත රියදුරා වේගයෙන් ධාවනය කිරීමේ හේතුව පැහැදිලි කලේ ඒ අයුරිනි. ජීවිත අවදානම, හැම මොහොතෙම හැමතැනමය.

එදා ඒ මොහොතේ මට නොවැටහුණු රියදුරාගේ ප්‍රකාශයේ සත්‍යතාව අත්විදින්නට එතරම් කලක් ගත නොවීය. ඒ මරු නොකැඳවු වේගය පිළිබඳ අත්දැකීම මට සිහිපත් වේ. මේ සිදුවීම වුයේ මා පේසාලේ රාජකාරි කල කාලසීමාව තුලයි. එක්දිනක් තලෙයිමන්නාරම පොලිස් ස්ථානයේ සේවය කල උප පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා (දැන් ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි) රාජකාරි කටයුත්තක් සඳහා මන්නාරම පොලිස් මූලස්ථානය බලා යාමට පැමිණියේය. කෙසේ වෙතත් මාර්ගය පූර්ණ ලෙස පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරන්නට පෙර ඔහු ගමන ආරම්භ කොට තිබුනේ සන්නිවේදන පහසුකමේ දුර්වලතාවයකිනි. Isuzu trooper වර්ගයේ ජීප්රථයෙන් ඔවුන් පැමිණ තිබුණේ පැයට කිලෝමීටර් 125 කට වඩා වේගයකිනි. තලෙයිමන්නාරම පේසාලේ මාර්ගයේ පේසාලෙට ආසන්න ස්ථානයක ත්‍රස්තවාදීන් විසින් අධි බලැති බිම් බෝම්බයක් බෝක්කුවක් යට අටවා තිබුනේ මේ ජීප්රථය ඉලක්ක කර ගෙනය. ජීප්රථය බෝක්කුව උඩින් ගමන් කරන විටම බෝම්බය පුපුරුවා හැරියත් අධික වේගයෙන් පැමිණි ජීප්රථය බෝම්බයට වඩා වේගවත්ව මරඋගුලෙන් අඩි ගණනක් ඉදිරියට ගමන්කර තිබු නිසා ජීප්රථයේ පැමිණි සියලු නිලධාරීන්ගේ ජීවිත එදින ආරක්ෂා වුනි. අධික ශබ්දයකින් පුපුරා ගිය බෝම්බයෙන් නිකුත් වුන සුන්බුන් සහිත කලු දුම් වලාවන් තල්ගස්ද පරයා ඉහල අහසට විහිදී යනු මම දුටුවේ එම ස්ථානයට මීටර් 750 ක පමණ දුරක සිටයි. අධික වේගය මරු කැඳවනමුත් එදින අධික වේගය ජීවිත රැසක් බේරීමට දායක වුනි.

මන්නාරම සිට පේසාලේ දක්වා අප ගමන් ගත් මාර්ගය දීර්ඝ කාලයකින් පිළිසකර කර නොතිබුණු බැවින් ඉතා අබලන් වී තිබුණි. තැනින් තැන අති විශාල වළවල්ය. සමහර වළවල් බිම් බෝම්බ නිසා හෑරුන ඒවාය. එහෙත් වංගු රහිත ඉද්ද ගැසුවා සේ සෘජු මාර්ගය ඈත දුරකට දර්ශනය වේ. වෙනත් වාහනද ගමන් නොකරයි. මේ නිසා වේගයෙන් ගමන් කිරීමේදී අප වඩා සැලකිලිමත්වීමට අවශ්‍ය වුයේ රථය තදින් අල්ලා ගැනීමට පමණී.

ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන තිබු ප්‍රදේශයක් වුවත් කුඩා කණ්ඩායම් ලෙස මතුවී ඔවුන් ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ලකර පලායන වටපිටාවක් තිබුනි. මුහුදෙන් වටව තිබු දුපතක් බැවින් ත්‍රස්තවාදීහු බෝට්ටු වලින් ද යම් අවස්ථාවල ගොඩබිමට පැමිණ ක්ෂණික ප්‍රහාරයන් එල්ල කරති. මේ නිසා ආරක්ෂක අංශවල රථ ගමන් කරනවිට හමුදාව හා පොලීසිය එක්ව මාර්ගය දෙපස රැකවල් ලා ආරක්ෂාව සපයයි. රථ ගමන් කිරීමට ප්‍රථම මාර්ගය සෝදිසි කරයි. බිම් බෝම්බ හෝ පැති බෝම්බ අටවා ඇද්දැයි සොයාබැලීම එයින් සිදු කරයි. එය හඳුන්වන්නේ “පිකට්” කිරීම යනුවෙනි. මන්නාරම සිට පේසාලේ දක්වා මාර්ගයේ තැනින් තැන ආරක්ෂක මුරපොලවල් තිබුනි. හමුදා හා පොලිස් සාමාජිකයින් එක්ව මේවායේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින ලදී.
මාර්ගය දෙපස මීටර් 100 ක පමණ දුර පරතරයක් සහිතව, මීටර් 50 ක් පමණ කැලේ ඇතුලට වන්නට ඉතා විමසිලිමත්ව යුධහමුදා හා පොලිස් සාමාජිකයින් මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියේය.
ඉරුක්කුලම්පිටියේදී විශාල කලපුවක් හමුවිය. මාර්ගය දකුණු පසින් එය මුහුද දක්වා විහිදී තිබුනි. ඈත දුරකට දෑස් නිදහසේ ගමන් කරයි. හිස් භුමියේ දකින්නට ලැබුණේ වැලි කඳු පමණි. හිරු රශ්මිය පොලොවත් නිල්දියඹත් සිපගෙන තිබුනි.

විනාඩි 45 ක පමණ ගමනකින් පසු දහවල් 11.30 ට පමණ අපි පේසාලෙට ළඟා වුයෙමු.


No comments:

Post a Comment