Sunday, July 1, 2018

තල්අරඹේ මතකයන් 05

පේසාලේ පිහිටියේ මන්නාරම හා තලෙයිමන්නාරම අතර ය. පේසාලේ පොලිස් ස්ථානයත් යුධහමුදා කඳවුරත් පිහිටා තිබුණේ එකම භුමි භාගයකය. මන්නාරම පොලිස් මූලස්ථානයේ සේම නිවාස ගොඩනැගිලි සංකීර්ණයක් වටකොට ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුන අතර කඳවුරේ එක පැත්තක් මුහුදට මායිම් විය. යුධහමුදා 3 වන ගජබා රෙජිමේන්තුව සමඟ පොලිස් නිලධාරීහු මේ ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියහ.


පේසාලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වුයේ උප පොලිස් පරීක්ෂක රසික රාජපක්ෂයි (පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට සමුදුන් ඔහු මේ වනවිට ඉහළ පෙලේ ඇඟළුම් ව්‍යාපාරිකයෙකි.)

“අපි යමු quarters එකට....”

රසික මා සුහද ලෙස පිළිගැනීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂක නිවස්නය වෙත කැඳවාගෙන යයි. මගේ අනුඛණ්ඩයේ නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ඔහු නිලධාරීන් කීපදෙනෙකුට වගකීම භාර දුනි. රසික ඉතාමත් ප්‍රියමනාප උසට සරිලන මහතකින් යුත් කඩවසම් නිලධාරියෙකි. මුහුණේ අතුරුදහන් නොවන සිනහව කදිමය. ඔහුගේ ආමන්ත්‍රණයන් ඉතාමත් සුහදශීලි විය. දුෂ්කර ගමනාන්තයකට පසු හමුවු මේ මිතුරාගෙන් මට ලැබුණේ විශාල සහනයකි.

“ඔයා මල්ලලසේකර දන්නවද..? මලලෙත් ඉන්නේ මෙහේ මාත් එක්ක... අපි දෙන්නම එක බැජ් එකේ... ට්‍රේනින් එකෙන් පස්සේ අපිට කෙලින්ම එන්න වුනේ මෙහාට...”

රසික තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් වු රොහාන් මලලසේකර ගැන කියයි. ( දැන් ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරි කරයි.)
ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මලලසේකර


රොහාන්ගෙත් මගෙත් ගම් පියසි පිහිටියේ මොණරාගලය. ඒ නිසා ඔහු මගේ ගමේ සඟයෙකි. හිතට තවත් සහනයක් එක්විය. 

“ මලලයා දැන් කොහේද ඉන්නේ...”

මම නොඉවසිල්ලෙන් විමසුවෙමි.

“ ඌ නිවාඩු ගිහිල්ලා... ලබන සතියෙ තමයි ආපහු එන්නේ...”

ආගිය තොරතුරු කතාබස් කරමින්ම අපි නිවස්නය වෙත පැමිණියෙමු. විශාල කාමර දෙකකින් හා ආලින්දයකින් එය සමන්විත විය. රසික සිටි කාමරයට තවත් ඇඳක් එක්කරමින් මගේ නවාතැන් පහසුකම සැලසිනි. අනෙක් කාමරයේ මා මිත්‍ර මලලසේකරත් යුධහමුදා නිලධාරීයෙකුත් නවාතැන් ගෙන තිබුනි. මට මෙය විමතියට කරුණක් විය. පොලිසියත් හමුදාවත් එක්ව ආරක්ෂක රාජකාරියේ යෙදී සිටීම මන්නාරම දූපතට මා පය තැබු දින සිටම දුටුවෙමි. දැන් නවමු අත්දැකීමකි. පොලිස් නිලධාරියෙකුත් හමුදා නිලධාරියෙකුත් එකම නිවස්නයක, එකම කාමරයක එකට නවාතැන්ගෙන සිටීම.....? මසිත තුළ සියුම් පහන් සිතිවිල්ලක් ජනිත කරවීමට ඒ සංහිදියාවේ සෙවනැල්ල සමත්විය.

කුඩා කල සිටම අප අත්විඳ ඇත්තේ හමුදාව හා පොලිසීය අතර දුරස්ථ බවකි. නමුත් ආදණීයන්ගෙන් දුරස්ව නෙතට සවනට ලෙංගතු දසුනක් වදනක් අහිමිව ගෙවන මේ කටුක කඨෝර යුධ බිමේ අපට අප හැර, වෙන කවුරුන්ද.....? එකට එකාවන්ව එකට බැඳී රුදුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ශ්‍රී ලංකා මෑණියන් එක් ධජයක් සෙවනට ගැනීමේ උදාරතර කර්තව්‍යයට නිළඇඳුම් හරස් නොවු එවන් අභිමානවත් අවස්ථාවන් ඉන්පසු මා දිවියට එකතු වුයේ දැඩි සහෝදරත්වයකිනි.

මඳ වේලාවක් ගතවන විට ඒ හමුදා නිලධාරියා ද අලුතින් ඔවුන් අතරට එක්වු උප පොලිස් පරීක්ෂකවරයා දැකගැනීමට පැමිණියේය. ඔහු ලුතිනන් හෙන්රි වික්‍රමරත්න විය. ( ඔහු ලුතිනන් කර්නල් නිලයෙන් හමුදාවට සමුදී ඇත.) කලක සිට දන්නා හඳුනන කෙනෙක් ලෙස ඔහු මා හා දොඩමළුවේ. ඝණ උඩුරැවුලක්, බොකුටු ගැසුන හිසකේ හා සිහින් සිරුර ඔහුගේ පෙනුමේ විශේෂත්වය විය. හෙන්රි වික්‍රමරත්නව අප ඇමතුවේ “විකී“ කියාය.

“ විකී කෝ වජිර...” රසික විමසයි.

“ආ .. වජිර ටවුන් එකට ගිහිල්ලා..... දැන් මග එනවා ඇති......”

පේසාලේ නගරයට ගොස් සිටි වජිර පැමිණියේ පස්වෙනි සිල්පදය කඩන්නට අපූරු සඟයෙකු කිහිල්ලේ රුවාගෙනය.

“Hello මචං මම ලෙෆ්ටිනන්ට් වජිර කාරියවසම්....”

වජිරගේ මිත්‍රත්වයේ සුරත මට දිගු විය. කොණ්ඩය කොටට කපා මනා ලෙස නඩත්තු කරන ලද විශාල ඝණ උඩුරැවුලකින් හා සිහින් උස සිරුරකින් හෙබි වජිර ඉතාමත් කෙළිලොල්, දඩබ්බර තරුණයෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කලේය. ආලින්දයේ තිබු මේසය වෙත පියමං කල ඔහු, දුකට, සතුටට ප්‍රයෝජනයට ගන්නා ඒ අපූරු සඟයා මේසය මතට සම්ප්‍රාප්ත කරවීය. අනතුරුව වටපිට බැලු හේ කටගැස්ම පිළිබඳව විමසා බැලුවේය.

“ කෝ විකී ඔයා එලුව ඉස්සෝ දැලේ ප්‍රතිපල...?”

“ වැඩිය නෑ මචං ටිකයි තිබුණේ... ඔන්න මම මෙස් එකට හදන්න කිව්වා දැන් ගෙනෙයි...’

වජිර නොඉවසිල්ලෙන් පසුවෙන බවක් පෙනේ. ගතවුයේ සුළු මොහොතකි. රවුමට කපන ලද B ළූණු පෙති, ත්‍රිකෝණ හැඩයට කපන ලද කොළ පැහැති මාළුමිරිස් කෑලි මැදිකරගත් රතු පැහැයෙන් දිදුලන ඉස්සෝ බන්දේසියක් දුම් දමමින් මේසය මැද විරාජමාන වන්නට විය. වටපිටාව ඉස්සෝ සුවඳින් පිරුණි.

මහ දවාලේ සාදයක් සූදානම් වී ඇත. දෙමාපිය නෑ හිතමිතුරන්ගෙන් දුර ඈත දූපතක මව්බිම බේරාගැනීම වෙනුවෙන් වූ උදාරතර කර්තව්‍යයට තාරුණ්‍ය සම්පූර්ණයෙන්ම කැපකර සිටින මේ සඟයින්ට මෙවැනි සාමිචියකින් පමණි සතුටක් ලැබිය හැක්කේ..... හුදකලාව තුරුළු කරගත් තුරුණු සිත්වල පියාසලන්නට මාන බලන නිදහස මුදාහරින්නේ කවදාද.....? කෙලෙසද...? වගකීම් සම්භාරයක් තම උරමතය.... එහෙත් ලබන්නා වු සුළු මොහොතක සාද කතාව මිනිත්තු 10 කට පමණ සීමා විය. එපමණකුදු නොව මමිතුරු වජිර අදද මාහට මුණ ගැසේ. යුධහමුදා මූලස්ථානයේ රණවිරු සුබසාධක අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කරන ඔහු දැන් කර්නල්වරයෙකි. එහෙත් ඔහු මට එදා හමුවුන ලුතිනන්වරයාමය. සෑමවිටම ඔහු හමුවනු විගසම මගේ සිත අතීතයට ඉඟිලගොස් නොදැනුවත්ම කට කොනකට හසරැල්ලක් නැඟේ. එදා අපට මධු පානයට ඇවැසි වීදුරු නිවස්නයේ තිබුනේ නැත. පාවිච්චි කළේ වතුර බීමට ගන්නා වීදුරුව ඇතුළුව තේ පානය කිරීමට ගන්නා කෝප්පයන්ය. එක්වරම මේසය වෙත පැමිණි වජිර මධුපැන් බෝතලයේ මූඩිය හැර වතුර බීමට ගන්නා විශාල වීදුරුවේ මුව විටටම පුරවා එක හුස්මට ගිලදැමීය. මේ දුටු මගේ මුව විවර වුයේ විස්මයෙනි. නොවියැකුණු සිනාව දෝරේ ගලද්දි මා මුවඟින් විසුළු වදනක්ද පිටවිය.

“ මෙහේ ලයිෆ් එක ඔහොම තමයි මල්ලී.... තල්ගස් දිහා බලාගෙන ගෙදර යන දවස ඇඟිළි ගනින අපට මේ පාළු දුපතේ ඔච්චර තමයි....“

සඟයෙකුගේ වදන මා සවනත වැටුණේ ඈත දුරක සිට වාගේ මට දැණුනි.

---------------------------------------------------------------------------------
උතුරු තල්අරඹේ වජිරත් මමත් එක්ව රාජකාරි කලාට පසු නැවත ඔහු මට මුණගැසෙන්නේ වසර 13 කිනි. එකිනෙකට සම්බන්ධ වූ, සම්බන්ධ නොවූ, සිදුවීම් දහසක් කෙළවර දෛවය අපට සරදම් කර ඇති අපූරුව දෙස අප දෙදෙනාම නෙත් දල්වා මොහොතක් බලා හිඳියෙමු. මිලින වෙන්නට ගිය වසන්තය මැද අසෙනි කුසුමක් පූදින්නට වෙර දරන්නාක් මෙන් වජිරගේ දෙතොලඟ මදහසක් මතුවිය. මමුවඟද සිහින් සිනා රේඛාවක් ඇඳෙන්නට ඇත.

දෙපයින් සිටගෙන එදා පේසාලේ දී ඔහුට සුරත දිගුකළ මට මේ නැවත හමුවේදී ඔහුට සුරත දිගුකරන්නට සිදු වුයේ රෝද පුටුවේ සිටයි.

එසේම වජිරටද එදා මවෙත දිගු කළ මිත්‍රත්වයේ සුරත වෙනුවට අද මවෙත දිගු කරන්නට සිදු වූයේ ඔහුගේ නුපුරුදු වමතයි. රුදුරු වූද බිහිසුණු වූද යුද්ධය විසින් ඔහුගේ දකුණත වැලමිටට ඉහළින් ඩැහැගෙන තිබුණි..
කර්නල් වජිර කාරියවසම්


එදා පේසාලේදී හමුවෙන් තුන් මසක්වත් ඉක්ම යාමට මත්තෙන් අප මිත්‍ර සමාගමයෙන් සමුගැනීමට වජිරට සිදුවූයේ ඔහු උතුරු යුධබිමේ ක්‍රියාන්විත රාජකාරියට අනුයුක්ත වීම හේතුවෙනි. ඒ 1993 වසරයි. ඉල් මහේ එක් අඳුරු දිනකදී අඳුරු වූ හෝරාවකදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් පුනරීන් කඳවුරට දැඩි ප්‍රහාර එල්ල කර ඇත. සතුරාට බියේ පලා නොගොස්, පිට පැත්තේ ලේ පැල්ලම් සිතුවම් නොවූ, තාරුණ්‍යය මහී මාතාවට ණයගැති නොව ණයනැති පුතෙකු බව පෙන්වූ, ඒ සටනේදී අවාසනාවන්ත ලෙස වජිරටද තම දකුණත අහිමිව විණි.

No comments:

Post a Comment