Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 04

“SSP මහත්තයා නෙවෙයි කවුරු කථාකලත් මට ඔයාගේ ෆෝන් එකට Answer කරන්න අවශ්‍යතාවක් නෑ....”

මම උස්හඬින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලෙමි. ඇගේ දුරකථනයේ රැඳී සිටි පුද්ගලයා එකවරම දුරකථනය විසන්ධි කල බවක් දැනුනි.

“ජයසේකර මේ අය Crime branch එකට අරන් එන්න...”

රථයෙන් බැසයමින් නිලධාරියෙකුට මම උපදෙස් දුන්නෙමි.

උසස් නිලධාරියාගේ හැසිරීම පිළිබඳව සිත තුල කලකිරීමක් අප්‍රසන්න හැඟීමක් මෝදුවන්නට පටන් ගත්තේය. සැකකාර කාන්තාව ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී උදව් ඉල්ලා සිටීම සමාන්‍ය තත්ත්වයක් වුවත්, ඔහු විසින් සැකකාර කාන්තාවට දුරකථනය මට ලබාදෙන ලෙස දැන්වීම ඉතාමත් පිළිකුල් සහගත හැසිරීමක් වුයේය. මෙම කාන්තාව ඔහුගේ හිතවතියක නම්, යම් කිසි විදියකින් ඇයට උදව් උපකාරයක් කලයුතු වුයේ නම්, ඔහු කලයුතුව තිබුනේ ඇයගෙන් තොරතුරු අසා දැනගෙන, පසුව මට පොලිස් ස්ථානයේ දුරකථනයට කථාකොට මේ පිළිබඳව විමසීමයි.

රාජකාරි නිසියාකාරව ඉටුකරන ලෙස දන්වා නියෝග හා උපදෙස් ලබාදෙන පුද්ගලයාම මෙලෙස හැසිරෙමින් අපට නොකියා ලබාදෙන පණිවිඩය කුමක්ද ? කිසිත් කරකියාගත නොහැකි ධනය බලය නැති, දුප්පත් මිනිස්සුන්ට එදිරිව පමණක් නීතිය ක්‍රියාත්මක කරන්නට කියාද ? මෙවැනි සිතුවිලි සමුදායකින් මනස ඔද්දල් වෙද්දී පියගැටපෙළ නැග අපරාධ විමර්ශන අංශයේ මගේ මේසය වෙත පැමිණියෙමි.

පොලිස් නිලඇඳුම ඇඳගෙන මම පොලිස් නිලධාරියෙකු වුවත්, වසර ගණනක් මට සේවය කරන්නට සිදු වුයේ උතුරු මෙහෙයුම් කලාපයේය. ඒ නිසා වැඩි වශයෙන්ම මම අත්දැකීම් ලබා තිබුනේ සන්නද්ධ හමුදා සාමාජිකයින් ලබන අත්දැකීම්ය. කිසිදු බලපෑමකින් තොරව නිදහසේ තම රාජකාරිය ඉටුකිරීමට එහි අවස්ථාව තිබුනි. ඒත් දැන් දැන් මට මුහුණ දීමට සිදුවන්නේ රාජකාරිමය ලෙස ඉතාමත් නුහුරු නුපුරුදු අත්දැකීම් වලටය.

කොටහේන පොලිස් ස්ථානයේ රාජකාරි රපෝර්තු කල මුල්ම දින මට මෙවැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදු විය.

එදින මට පැවරුණු රාජකාරිය වුයේ දිවා ජංගම මුර සංචාරයයි. Land Cruiser වර්ගයේ කොළපාට පැරණි ජීප්රථයෙන් තවත් නිලධාරීන් කීපදෙනෙක් සමඟ කොටහේන පොලිස් වසම තුල සංචාරය කරමින් මෙම රාජකාරිය ඉටුකිරීමට පැවරී තිබුනි. බැංකු මූල්‍ය ආයතන මෙන්ම වෙනත් වැදගත් ආරක්ෂාව සපයන්නට අවශ්‍ය ආයතන කරා ගොස් ආරක්ෂක කටයුතු පිළිබඳව සොයා බලා අපේ පැමිණිම සටහන් කලයුතුය. තවත් ස්ථානවල නිලධාරීන් ද ආරක්ෂක රාජකාරියේ යොදවා සිටී. ඔවුන්වද පරීක්ෂා කර බලා නිසි උපදෙස් ලබාදිය යුතුයි. ජංගම සංචාරය අතරතුර අපරාධ සඳහා අත්අඩංගුවට ගත යුතු සැකකරුවන්, මත්කුඩු නීතිවිරෝධී මත්පැන් ඇතුලු නොයෙකුත් දූෂණ මර්දන නඩු ද ලබාගත යුතුය. ස්ථාන දෙකක පමණ හදිසි මාර්ග බාධක යොදවා රථවාහන හා පුද්ගලයින් ද පරීක්ෂා කලයුතුය. එකී මෙකී නොකී රාජකාරි රාශියක් ඉටුකිරීමට තිබෙන අතර පොලිස් ස්ථානයෙන් දැනුම් දෙන හදිසි පණිවිඩ සම්බන්ධව ද ක්‍රියා කලයුතුය.

“කොටහේන පොලිස් ස්ථානයෙන් ජංගම රථය අමතන්න සර්...”

මගේ අවධානය ජීප් රථයේ Motorola යන්ත්‍රයේ ඇමතුම් හඬට යොමු වුනි.

“ඇමතුම ලැබුනා, නැවත අමතන්න...”

මම පිලිවදන් සැපයීමි.

“සහකාර පොලිස් අධිකාරිතුමාගේ පණිවිඩයක් දැනුම් දෙන්න ස්ථානයට පැමිණීමට දැනුම් දෙනවා සර් ...”

“ පණිවිඩය ලබාගත්තා...”

ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය. පණිවිඩය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාගෙනි. ජීප්රථය හරවාගෙන පොලිස් ස්ථානය වෙත ගමන් කරන ලෙස මම රියදුරු නිලධාරියාට දැනුම් දුන්නෙමි.

“සර් ASP මහත්තයට Call එකක් ගන්න කිව්වා..”

දුරකථන ක්‍රියාකරු නිලධාරියා මා ස්ථානයට පැමිණ පය තබන විටම කාරණාව දැනුම් දුන්නේ කලබලයෙනි.

මම සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

“ප්‍රදීප් ඔතන, බ්ලුමැන්ඩල් පාරේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් දාලා ඇති මහත්තයෙක්..., ඔයා ඒ මහත්තයත් එක්ක එතැනට ගිහිල්ලා .., ඒ අනවසර ඉදිකිරීම තහනම් කරන්න..., ඒකේ අයිතිකාරයට හෙට පොලීසියට එන්න කියන්න පැමිණිල්ල විභාග කරන්න...”

කලයුතු රාජකාරිය ගැන සහකාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබාදුන්නේ ඒ ආකාරයෙනි. ඔහුගේ උපදෙස් පිලිපැදීමට එකඟව මම සංවාදය නිමා කලෙමි.

පැමිණිල්ල ඉදිරිපත් කල තැනැත්තා තවත් අයෙක් සමඟ මා ඉදිරියට පැමිණ ඔවුන්ව හදුන්වා දුන්නේය. එක් අයෙක් ජනාධිපති නීතිඥවරයෙක් වු අතර අනෙකා විශේෂඥ වෛද්‍යවරයෙකි. දෙදෙනා සහෝදරයින්ය. මුස්ලිම් ජාතිකයින් වු ඔවුන්ට හිමි ඇඟලුම් කම්හලක් බ්ලුමැන්ඩල් පාරේ පිහිටා තිබුනි. එම කම්හලට මෙහායින් ඉඩමක තාප්පයක් නීත්‍යානුකූල නොවන අයුරින් ඉදිකිරීම නිසා ඔවුන්ගේ කම්හලට පැමිණෙන විශාල කන්ටේනර් රථවලට මාර්ගය අවහිර වී ඇත. වංගුවක් සහිත ස්ථානයක මෙම තාප්පය ඉදිකර ඇත්තේ කවාකාර නොවන අයුරින් නිසා මෙම ගැටලුව මතු වී තිබීම මෙම පැමිණිල්ලට හේතුව විය.

මම ඔවුන් දෙදෙනා ද කැටුව අදාල ස්ථානය වෙත ගමන් කලෙමි.

“ කෝ..., කවුද .., මෙතන අයිති එක්කෙනා...?”

අනවසර ඉදිකිරීම කර තිබු ස්ථානයේ සිටි පුද්ගලයාගෙන් මම විමසීමි. ඔහු එම ස්ථානයේ සේවකයකු බව පෙනුනි.

“අයිති එක්කෙනා ගැන නම් දන්නෙ නෑ සර්..”

ලැබුන උත්තරය හතර බීරිය.

“ අයිති එක්කෙනා ගැන දන්නැතුව ඔයාලා කොහොම ද මෙතැන වැඩ කරන්නේ...’

අවුල ලිහා ගැනීමට මම ප්‍රශ්න කලෙමි.

“සර් අපි දන්නේ සුපර්වයිසර් මහත්තයා ගැන විතරයි..”

ඔහු පවසන දෑ අනුව මෙම ස්ථානයේ හිමිකරු ගැන ඔහු කිසිවක්ම නොදනී. විශාල ඉඩමක් වු එහි හිමිකරු විශාල ධනවතෙක් විය යුතුමය.

“දැන් කෝ සුපර්වයිසර් මහත්තයා...”

හිමිකරු පිළිබඳව දැනගැනීමට නම් දැන් සුපර්වයිසර්වරයා හමු වී විමසිය යුතුය.

“ ඕෆ් වෙලා ගෙදර ගිහිල්ලා සර්...”

කවුරුන් හෝ මගින් අයිතිකරුට පණිවිඩය දැනුම් දීම අත්‍යවශ්‍යය.

“මේ තාප්පේ හදන එක ගැන අපට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා...., පැමිණිල්ල විභාග කරනකම් මම මේ තාප්පේ හදන එක තහනම් කරනවා.... හෙට උදේට ඉඩම අයිති මහත්තයට පොලීසියට එන්න කියන්න මේක විභාග කරන්න.... කොහොම හරි මේ පණිවිඩය ඉඩම අයිති මහත්තයට දෙන්න....“

මගේ අනන්‍යතාව ඇතුලු සියලු විස්තර පිළිබඳව හිමිකරුට දැනුම් දෙන ලෙස දන්වා මම නැවත පොලිස් ස්ථානය වෙත පැමිණි අතර ඒ වන විට දිනය හමාර වීමට ආසන්නව තිබුනි. මම සූදානම් වුයේ රාජකාරිය නිමාකිරීමටයි.

“ සර් call එකක්...“

නිලධාරියෙකු පැමිණ මට දැනුම් දුන්නේය. ඇමතුම ලැබී තිබුනේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනයටයි. ඒ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා කාර්යාලයේ නොසිටියේය.

දුරකථනයට මම ඇමතීමි.

“ ඔය SI ප්‍රදීප් ද ...?“

දුරකථන ඇමතුමේ රැදී සිටි පුද්ගයා මා විමසීය.

“ඔව්...“

දුරකථනයේ රැදී සිටි ආගන්තුක පුද්ගලයා කවුදැයි මට හදුන්වා දුන්නේය. ඔහු මා ඉදිකිරීම තහනම් කල ඉඩමේ හිමිකරුය.

“ ප්‍රදීප් ඔය ඉඩම මගේ... ඕකේ සේරම ලීගල් ඩොක්‍යමන්ට් මගේ ළඟ තියෙනවා... ඔයා ඇයි අර තාප්පේ බඳින එක තහනම් කරේ...?“

ඉඩමේ හිමිකරු ප්‍රබලයෙකු බව දැනුනි. ඔහුගේ ඒ කථා විලාශය මා නොරිස්සුමට පත්කලේය.

“ ඒ තාප්පේ හදන එකට විරුද්ධව අපට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා..., කරුණාකරලා ඔබතුමා හෙට උදේ 10 ට පොලීසියට එන්න මේක Inquiry කරන්න....“

මතුවුන නොරිස්සුම ආයාසයෙන් මැඩගනිමින් මම කෙටියෙන් කාරණාව ඔහුට පැහැදිලි කර දුන්නෙමි.

“ මේ තමුසෙලාගේ ඔය පොලීසි ගානේ ඇවිල්ල තපින්න වේලාවක් මට නෑ... තමුසේ ගිහින් කරුණාකරලා අර තහනම ඉවත්කරනවා දැනටම තමුසෙට ඒ පණිවිඩය ලැබෙයි තමුසෙගේ සීනියර් ඩී අයි ජී ගෙන්....“

ඉඩම් හිමිකරුගෙන් මට එල්ල වුනේ කිසිවිටක මා බලාපොරොත්තු නොවු ආකාරයේ දැඩි වාග් ප්‍රහාරයකි. ඔහුගේ බල පුලුවන්කාරකම කොතෙක් ද යන්න ද ඔහුගේ ප්‍රකාශයේ විය. මගේ ඉවසීමේ සීමාව ද මුලු මනින්ම බිඳ වැටුනි.

“ මේ තමුසේ කවුරු වුනත් මට කමක් නෑ.... මම කරන්නේ මගේ රාජකාරිය... මම මේ යුනිෆෝම් එක දාගත්තේ එක එකාට ඕන විදියට ජොබ් එක කරන්න නෙවෙයි.....“

ඇමතුම මම විසන්ධි කලේ රිසිවරය දුරකථනය මත දඩස් හඬ නංවමිනි. මුහුණ දීමට සිදු වු තත්ත්වය මා පාෂාණභූත කරවුයේය. කලකිරීමත් කේන්තියත් මා වෙළාගත්තේ ක්ෂණිකවමය.

මට මුහුණ දීමට සිදුව ඇත්තේ බරපතල තත්ත්වයකටය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දැන් මට වගඋත්තර බැඳීමට සිදුව ඇත. ඉඩම් හිමියාගේ නොහික්මුණු මාන්නාධික හැසිරීම හමුවේ පොලිස් නිල ඇඳුමේ ගරුත්වය රැකගැනීමට මට වෙනත් මඟක් නොතිබුනි. මගේ දුරකථන සංවාදය අනෙක් නිලධාරීන්ට හා පැමිණිලි පාර්ශවයට ද ඇසී තිබුනි. ඔවුන්ද තුෂ්නිම්භූතව මගේ මුහුණ දෙස බලා සිටියේ සිදුවුයේ කුමක්ද යන්න මුවින් නොවිමසාය. පැමිණිලිකරුවන් නිසා මට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවය පිළිබඳව ඔවුන් අතිශයින්ම කනගාටුවට පත්ව ඇති බවක් ඔවුන්ගේ මුහුණුවලින් දුටුවෙමි.

පොලිස් රාජකාරි ඉටුකිරීමේදී එල්ලවන බලපෑම් වලට එදිරිව කටයුතු කිරීමට අපට පිහිට වන්නේ අප ඒ සම්බන්ධව තොරතුරු සටහන් පොත්වල තබන සටහනය. එය අපේ ආරක්ෂකයා වන්නේය. විමර්ශකයා විසින් සටහන් තැබු පසු එය වෙනස් කරන ලෙස ඉල්ලීමට කිසිදු උසස් නිලධාරියෙකුට හැකියාවක් නැත. එහෙත් උසස් නිලධාරියෙකුගේ උදහසට ලක්වීම අපේ රැකියාවට බෙහෙවින්ම හානිකරය.

මම ජංගම සංචාරයේ පැමිණීමේ සටහන තබන්නට පටන් ගත්තේ දිනය තුල ඉටුකල රාජකාරි සියල්ල හා මෙම විශේෂ සිදුවීම ගැනද සටහනක් තබන්නට සිතාගෙනය.

“ සර් Police headquarters SSP මහත්තයා සර්ට කථාකරනවා....“

තවත් ඇමතුමක්.

“ ප්‍රදීප් මම ඩිරෙක්ටර් පොලිස් හෙඩ්ක්වාර්ටස්...., මම සිද්ධිය ඔක්කොම දන්නවා... ඔයාට එල්ලවුන බලපෑම ගැන සේරම නෝට්ස් දාන්න... ඔයා බයවෙන්න එපා... මොකක් හරි අවශ්‍යතාවක් වුනොත් මට කථාකරන්න...“

“ තැන්ක්‍යු සර්...“

එවර දුරකථනය මම විසන්ධි කලේ සතුටිනි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබාදුන් උපදෙස් අනුව ඒ වනවිටත් මම කටයුතු කරමින් සිටියෙමි. රාජකාරිය නිවැරදිව ඉටුකිරීමට ඒ වදන් මට විශාල ශක්තියක් ලබාදුනි. මේ අවස්ථාව වනවිට ස්ථානාධිපතිවරයා ද ස්ථානයට පැමිණියේය.

“සර් ඕ අයි සී මහත්තයා සර්ට එන්න කියනවා....“

බලාපොරොත්තු වු කැඳවීමකි. මම ස්ථානාධිපතිවරයා හමුවීමි. ඔහුට සියලු සිදුවීම් විස්තර කලෙමි. සියලු තොරතුරු දැන අසාගැනීමෙන් අනතුරුව ඔහු සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් ලබාගත්තේය. අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයා සමඟ කථාකිරීමට මට දුරකථනය ලබාදුනි.

“ ප්‍රදීප් අර මහත්තයා (ඉඩමේ හිමිකරු)ගොඩක් හොඳ කෙනෙක්, අපේ ලොකු මහත්වරුත් ගොඩක් ළඟින් ආශ්‍රය කරන කෙනෙක්..., ඔයා ගිහිල්ලා අර තහනම් කරපු එක ඉවත් කරන්න.... ඒ මහත්තයටත් ඔයා Call එකක් දෙන්න...“

ඉඩම් හිමිකරුගේ බලවන්තකම හමුවේ සහකාර පොලිස් අධිකාරිවරයා ද දුර්මුඛ වී ඇති සැටියකි. පෙර ඔහුම මට ලබාදුන් නියෝගය නැවත වෙනස් කරන්නට ඉල්ලා සිටීමට තරම් ඔහු දුර්වලයෙකු කිරීමට අදිසි හස්තය ශක්තිමත් වී ඇත.

“ ඕකේ සර්....“

එසේ මා සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශය හා එකඟවන බව දැන්වූවත් එය කිසිසේත්ම ඉටු නොකිරීමට මම සිතාගත්තෙමි.

“ සර් මට නම් බෑ ආපහු ගිහින් ඔය වැඩේ කරන්න... ඊට වැඩිය හොඳයි මේ යුනිෆෝම් එක දාලා ගෙදර යනවා යුනිෆෝම් එක කන්නේ නැතිව....“

මම ස්ථානාධිපතිවරයාට කියා සිටියෙමි. ඔහුද මා හා එකඟත්වය පලකරමින් කියා සිටියේ සියලු තොරතුරු සටහන් තබන ලෙසයි. සහකාර පොලිස් අධිකාරිවරයාට වඩා පෞර්ෂත්වයක් මම ඔහු තුලින් දුටුවෙමි.

“ සර් ප්‍රදීප්ට ඒ වැඩේට ආපහු යන්න කියන එක හරි නෑනේ සර්.... මම මොබයිල් එකේ සාජන් ඇරියා ඒකට....“

සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථානාධිපතිවරයා මෙලෙස පවසා සිටියේ දිගින් දිගටම කීපවතාවක් සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ උපදෙස් පරිදි මා ක්‍රියාත්මක වූයේ දැයි ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටීමේදී බැරිම තැනය.

වෙහෙසකර දුෂ්කර රාජකාරියක් නිමාකරමින් එදින මට පොලිස් ස්ථානයට සමුදෙන්නට සිදු වුනේ බොහෝ රෑ බෝ වීය.

පසුදින නැවත මම රාජකාරි වාර්ථා කලේ රාත්‍රී කාර්යයභාර නිලධාරියා ලෙසයි. ඒ රාජකාරිය පොලීසියේ භාෂාවෙන් හඳුන්වන්නේ SDO ලෙසය. රාත්‍රී රාජකාරි සඳහා මා වාර්ථාකරන විට ස්ථානාධිපතිවරයා හමුවීමි. ඔහු කියා සිටියේ පෙර දින සිදුවීමට මුල් වු පාර්ශවයන් දෙක පැමිනිල්ල සමථයකට පත්කරගැනීමට එකඟතාවයකට පැමිණි බැවින් ලොකු හිසරදයක් ඉවත් වු බවයි.

එදින මැදියම් රෑ ඉකුත් වී හෝරාවකට පමණ පසු සහකාර පොලිස් අධිකාරිවරයා හදිසියේම පොලිස් ස්ථානයට පැමිණියේය. පොලිස් ස්ථානයේ පාවිච්චි කරන දෛනික තොරතුරු සටහන් පොත් සියල්ල ඔහු ගෙන්වාගෙන කිසිදු කතාබහකින් තොරව නිහඬවම පරීක්ෂාකරන්නට පටන්ගත්තේය. ඔහු මේ තොරතුරු සටහන් පොත් සියල්ල පෙරල පෙරලා සෙව්වේ පෙර දින අදාල සිදු වීම සම්බන්ධව මා දැමු සටහන්ය. පැය එකහමාරක පමණ කාලයක් ගතකරමින් ඔහු ඒ සටහන් සෙව්වත් සොයාගැනීමට නොහැකි විය. සුළු පැමිණිලි අංශයේ පැමිනිලි සටහන් කිරීමට CIB I හා CIB ii ලෙස පොත් දෙකක් තිබුනි. එදින මගේ පැමිණීමේ සටහන මා තැබුවේ CIB ii පොතේය. එලෙස මා ක්‍රියාකලේ මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් යන සැකයෙනි. කෙසේ වුවත් එදින සහකාර පොලිස් අධිකාරිවරයාට සුළු පැමිනිලි අංශයේ තොරතුරු සටහන් පොත් වලින් CIB I පොත පමණක් ලබාදුන්නෙමි. සියලුම අංශවල පොත් ලබාදී තිබු නිසා ඔහුට මේ පිළිබඳව සැකයක් ඇති නොවුනි. කෙසේ වුවත් ඔහු දිගින් දිගටම වෙහෙස වී සොයා බැලුවේ අදාල පැමිනිල්ල සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තුලින් මට එල්ල වු බලපෑම ගැන කුමන හෝ ආකාරයක සටහනක් මා තබා ඇද්ද යන්නයි.

“ සර් SSP මහත්තයාගෙන් Call එකක්....“

අතීත රාජකාරියක මතක සටහන් තුල නිමග්නව සිටි මම ඒ හඬින් යලි වර්තමානයට පිවිසියෙමි.



No comments:

Post a Comment