Monday, July 2, 2018

සිත තාම තරුණයි 03

“මොකද කොලුවෝ කෑගහන්නේ...”

“ මේ පාරත් මම පන්තියේ පලවෙනියා අම්මෙ…… “

“ ඇත්ත ද මයෙ රත්තරං පුතේ...”
 ඇය ගුණසිරි විමසන්නේ දෑසේ නැගි කදුළු නැමී චීත්ත පොටින් පිස දමන ගමන්ය.

අම්බලමට එපිටින් වැටෙන චිරි චිරි වැස්සේ හඩ අසාගෙනම අතීතාවර්ජනයක යෙදෙන ගුණසිරි හට ඔහුගේ දිවියේ සතුටුම දවස් සිහි වේ.


“ අද රෑට නම් අපේ ගෙදර  මගුල් ගෙදරක වගේඋයනවා අපේ අම්මා...”

ගුණේ කුසුම්සිරි මල්ලීටත් සිරියා නැන්දා ටත් කීවේය ...

“ඇයි අයියෙ ඒ ...”

ඔහුගේ සිතේ සතුට ඇබිත්තං කලු කොලුවා ත් බෙදා ගන්නට සැරසෙන හැඩකි...

“මම අද පන්තියේ පලවෙනියා වුණානෙ මල්ලි...”

ගුණේ එවදන් පවසන්නේ සතුටින් උඩ පනිමිනි.

දැන් ඉතින් සුමණාගේ කටට නිවනක් නොවේ .ඇය නාන තොටට ගියත් ආප්ප පිච්චීමට පිටි ගේන්න ගියත් අතරමග යමෙකු හමු වුවත් පවසන්නේ තම කොළුවාගේ හපංකම පිළිබදවය.

“ අපේ කොලුවා ... ගුණසිරි...කැලෑසියෙ පළවෙනියා වෙලානෙ මැගි අක්කෙ ...”
මැගි ආච්චී ගේ මුවේද මදහසකි.
“ අපේ පුතා කැලෑසියෙ පළවෙනියා නෙ මිසියො...”

“ හැ...බෑ...ද... ? “

කට කොනකින් සිණාසුනු මිසි නෝනාට නම් එතරම් සතුටක් නැති සෙයකි .ඒ මන්දැයි ගුණේට නොවැටහේ.ඉදින් ඔහුගේ සිතේ කුහුල විසදන්නේත් සුමණාමය.

“මයෙ පුතේ ... මිසියාගේ ඊරිසියාව...දැක්කා නේද උඹ පළවෙනියා කිව්වහම හැබෑද කියලා ඇහුව හැටි ...ඕකි හි‍තේ එකක් තියාගෙන එකක් පෙන්නන්නේ ...අනේ ඕකිට මට ...ඕකි දන්නෙ නැතුව ඇති මම දොරේ සද්දෙයි අර අනිකෙ සද්දෙයි අදුරන්නේ නැතුව ඇති කියලා ...”

සුමණාගේ අර අනික ගුණේ තේරුම් ගත්තේ පසු කලකය.

එදා රාත්‍රි යට සුමණා බත් උයා පරිප්පු උයා අල තෙල් දැමුවාය. සැමන් ටින් එකක් කඩා සම්බෝලයක් සාදා පපඩම් ද බැද්දාය. ඒ ඔවුන්ගේ ඉහළම රාත්‍රි භෝජනයකි. වේලාසනම සුමණා කෑම පිඟානක් සිරියාට ද යැව්වා ය. ගුණේට අතින් කන්නට නොදුන් සුමණා එදා රෑ ඔහුට කැව්වාය. කවන අතරතුර කදුළු ද පිස දැමුවාය.

පසුදා ආප්ප පිටි වලින් කුඩා කැවුමක් සෑදු ඈ ඉන් පුතුගේ සුරත තැව්වාය. ගුණේ හොඳින් ඉගෙන ලොකු මහත්තැන් කෙනෙකු වේවා යැයි දෙවියන් යැද්දාය.

නමුදු ගුණේගේ පන්තියේ ඥානවතී නෝන මහත්තයාගේ සිතේත් නොරිස්සුමක් ඇති කල දෙයක් ලෙස ගුණේ පළවෙනියා වීම සැලකිය හැක. ඒ ගුණසිරිලා මුඩුක්කු ගෙවල්වල සිට පාසල් පැමිණෙන ළමයින් වීම නිසා බව ඔහුට පසක් වී බොහෝ කල්ය.

“ ඇයි ගුණේරිස්ම පන්තියේ පළවෙනියා වෙන්නේ...? අනෙක් ළමයින්ට බැරි මොකද......? ”

ඥානවතී නෝන මහත්තයා ගුණසිරිගේ අනුස්මරණ පුස්තකයේ පිටු අතරින් වේගයෙන් පෙරලී ගියේ කණාමැදිරි එළියක් විහිදුවාගෙන ආ පුස් බයිසිකලය අම්බලම පසුකරගෙන යනු ඔහු දැකීමෙනි. එක් කලෙකදී ගුණේරිස් බයිසිකලයකට අපමණ ඇළුම්කලේය. රෝද දෙකක් අත්පත් කර ගැනීම ඔහුට සැබෑවක් නොවුවා පමණක් නොව එවැන්නක් අතපත ගෑමට ද වරම් නොවීය.

පේලි ගෙවල් අතරින් මිනිසුන් පැදයන බයිසිකල් දෙස ඔහු දෑස් නොපියා බලා හිදියේය. පාසැල් යන අතරතුරදී ද කඩයප්පන් වෙලදාමේදී ද ඔහු ඉදිරියේ එහා මෙහා ඇදෙන බයිසිකල් ඔහුව නව ලොවකට රැගෙන යයි.
“ අනේ මටත් බයිසිකලයක් තිබුනානම්.......“

දහස්වර ගුණේගේ සිත පෙලු එම ආශාව එකල ඔහුට හැබෑ කරගත හැකි වු හීනයක් නොවීය.

බයිසිකලයක් දකින නිරන්තරව නලලත වු තුවාල කැලල වෙත ඔහුගේ සුරත ඇදී යයි. ඒ වෙන කිසිවක් නිසා නොව බයිසිකලයක් ඇල්ලීමේ තල්ලු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ගුණේ ලද දායාදය එයම වු බැවිනි.
දිනක් සිරියාගේ නිවසට අමුත්තෙක් පැමිණියේය.

“ සිරියක්කේ......, සිරියක්කේ......,“
“ ආ... මේ උඹනේ.... වරෙං ගෙට....“ ඒ සිරියාය.
“ හරිම දාඩියයි බං....“

ලේ බිඳකවත් තෙතමනයක් ගැබ් වී තිබුනා යැයි කිව නොහැකි මුහුණක් හිමිව තිබු ඔහුගේ පපුවේ නම් වුයේ “ අම්මා බුදු වේවා...“ යනුවෙන් ගැසු පච්චයකි. එය ගුණසිරි දුටුවේ ඔහු සිරියාගේ නිවසට පැමිණ ටික වේලාවකින් කමිසය උනා දහඩිය නිවාගනු පිණිස පපුවට පිඹිමින් සිටියදීය. පලමුවනම් ගුණේ ඔහුට බිය වීය. සැඟවගොස් නිවසට වී ලෑලි සිදුරු අතරින් මේ ආගන්තුක ජීවියා නිරීක්ෂණයක යෙදුනේය.

ගුණසිරිට ඔහු විශේෂ වු කාරණය වුයේ වෙනත් යමක් නොව ඔහු පැමිණියේ පරණම පරණ මළකඩ කෑ කසිකබල් බයිසිකලයක වීමය. ( පසුව ඔහු සිරියාගේ මල්ලී බවත් ඔහුගේ නම තිලකේ බවත් ගුණසිරි දැනගත්තේය.)

තිලකේ බයිසිකලය නැවත්තුවේ ගුණසිරිගේ නිවසටත් සිරියාගේ නිවසටත් අතර මැද ලෑලි බිත්තියට හේත්තු කරමිනි. ඉන්පසු බයිසිකලය දෙස හොද විමසුම් බැල්මක් අත්හල ඔහු ගුණසිරි හට ද මරුමුස් බැල්මකින් දමා ගසමින් සිරියාගේ නිවස තුලට වුයේය.

යකඩ ගොඩ හරියට ගුණසිරිගේ ගෙදර ආ කෙනෙකුගේ වගේය. ඔහු සතුටින් ඉපිලෙමින් ටික වේලාවකින් බයිසිකලය අසලට ලං වීය. .

අතගාන්නත් හිතය.... අත ගාන්නත් බැරිය..... මිනිසා නිවස තුලය. ඔහු හෙමිහිට බයිසිකලයේ හැඩලය ඇල්ලුවේය. බෙල් එක ගසාගෙන රවුමක් පැදගෙන යාමට ඇත්නම්...... ඔහුට ඊට වඩා දෙයක් නැත. එහෙත් බයිසිකලයක් පදිනවා තියා තල්ලු කරගෙන යාමටවත් තවම ඔහුට බැරිය. නමුත් සිහිනෙන් නම් ඕනෑ තරම් ගුණේ බසිසිකල් පැද ඇත්තේය. ඉතිං මේ සිහිනෙන් දකිනා බයිසිකලයක් දැන් ඔහුගේ දෑස මානේය.

ඔහු ඉතා ආශාවෙන් එය අත පත ගෑවේය. දැන් ඔහුට මේ යකඩ ගොඩ ආගන්තුක ජිවියාගේ බව අමතකය. “දැන් මෙය මගේය“. හේත්තු කර ඇති බයිසිකලය ගුණේ හෙමින් කෙලින් කර ගත්තේය.

“ ආපෝ ඉතා බරය.....“ නමුත් මෙවැනි අවස්තාවක් නැවත කවදා ලැබේදැයි කිව නොහැක.
ඔහු බයිසිකලය ඉදිරියට තල්ලු කලේය. පිටු පසට ගත්තේය. නැවත අඩි කීපයක් ඉදිරියට තල්ලු කිරීමට සුදානම් වුවා පමණි.

“ දඩ බඩාං..... දඩාං.................“

දුවගෙන ආ කොළුකුරුට්ටන් රෑනක් බයිසිකලයේ හැපුණෝය. අහස පොළවට නොව ගුණේගේ හිස මතට කඩා වැටුනි. තරු විසි වෙමින් තවමත් අහස හිස මත තබාගෙන සිටිනා ගුණේට එය බර වැඩීය.

“ මොකක් ද බොල තෝ මේ කෙරුවේ....? තොට කවුද මගේ බයිසිකලේ අල්ලන්න කිව්වේ....?“

ගෝරනාඩුව ආගන්තුක ජිවියාගේය. ඔහු බයිසිකලය ගුණේගේ ඇග මතින් උස්සාගත් ඇසිල්ලේ ගුණේ දනි පනි ගා නැගිට ගත්තේය. “නලල මැදින් නහය කට දිගේ ලේත් කකුල් දෙක මැදින් කලිසම තෙමාගෙන මුත්‍රාත් ගලායන්නේ මගේය..... දැන් ඔහු මා අල්ලා පොළවේ ගසනු නියතය.

නමුත් මෙතනින් පැන දිවිය නොහැකි සේ මගේ කකුල් පොළවට මුල් ඇද ඇත...“  යනුවෙන් සිතමින් ගුණේ මහ හඩින් බෙරිහන් දෙමින් හැඩුවේය.

“ අනේ මල්ලියේ පව් බං මේ එහා ගෙදර සුමනක්කගේ කොලු....ආසාවට බයිසිකලේ අල්ලන්ඩ ඇති... අනේ මේ කොල්ලගේ නලල පැලිලා නේද මේ ලේ ගලන්නේ....? අනේ මල්ලියේ හංදියේ බේත් මහත්තයාගෙන් කොල්ලගේ නලලට බෙහෙත් ටිකක් දාං වරෙං මල්ලියේ....සුමණක්කත් ගෙදර නැති එකේ....“ සිරියා තිලකේට කිවේය.

“ හා හා වරෙං වරෙං ඕන් නැති පන්ඩිතකං කරන්න හදනවා....“

ඇදව තිබු හැඩලය කෙලින්කල ආගන්තුකයා මුත්‍රා ගඳ ගසන කලිසම පිටින්ම ගුණේ ඔසවා බයිසිකලයේ පොල්ල උඩ හිදුවීය. හංදියේ බේත් මහත්තයාගෙන් ගුණේගේ නලලට බෙහෙත් දමාගෙන නැවත නිවසට එන විට තිලකේත් ගුණේත් ගජ මිතුරන් වි හමාරය.

ආගන්තුක ජිවියාව එතැන් පටන් ගුණේ ඇමතුවේ “ අම්මා බුදුවේවා මාමා..“ ලෙසය. ඉන් පසු ඔහු ගුණේගේ ප්‍රියතමයෙකු වු අතර ඔහු ඉතා ප්‍රිය කල බයිසිකලය නම් පෙන්නන්නට බැරි විය.

‍එවකට ගුණසිරිට අවුරුදු 13 ලැබුවා පමණි. අම්මා හතලිස් හැවිරිදි පමණ වියේ පසු වුවාය. දිනක් ගුණේ වැල්ලේ ඉරටු කූරකින් බලි රූපයක් කුරුටු ගාමින් සිටියේය.

“ සුමනක්කේ...., සුමනක්කේ......“

සිරියා ගුණේව ද නොතකමින් සුමණා හොයාගෙන ගෙතුලට දිව්වාය. ඇය පුංචි ගුණේව නොතැකුවාට කම් නැත. ඔහු අඳිමින් සිටි රූපය..... එය ද දෙපයින් පාගමින් දිව ගිය හැටි. ගුණේ සිතතුළ ඈ කෙරෙහි අමනාපයක් හටගත් නමුත් හදිසිය කුමක් දැයි දැනගැනීමේ ආශාව ඊට වඩා බලවත් විය. ඈ පසු පස ඔහු ද ගෙතුලට වැදුනේය.

“ මොකෝ සිරියෝ.... කෑ ගහන්නේ.....?“

04 වෙනි කොටසට.


ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

No comments:

Post a Comment