Monday, July 2, 2018

සිත තාම තරුණයි 07

සිරියා ඉතා වීර්යයවන්ත ගැහැණියකි. සිහින්දෑරි පැහැපත් පෙනුමකින් යුතු වු ඇය ඇගේ සෝභන බව මවගෙන් උපතින්ම ලබාගෙන තිබුනාය. පියාගේත් මවගේත් ආදර කරුණාව මැද හැදී වැඩුනු සිරියා දුටු වනම කෙනෙකු දෙවරක් හැරී බලන රූපශ්‍රීයකින් එකල යුතු වුවාය. කෙල්ල අවදියේ සිටම ඇය පන් විවීම සඳහා උගත්තාය. ඉස්කෝලෙක පයක් ගසා නොතිබු සිරියා පන් හාමිනේගෙන් වට්ටි පෙට්ටි විවීමේ කර්මාන්තය ප්‍රගුණ කලාය. බිලිං වත්තේ සිට පන් හාමිනේ ළඟට උදෑසන රංවු ගැසී යන කෙල්ලන් අතර සිරියා ද වුවාය. දිනක් අහම්බෙන් හමු වු සයිමන්ට සිරියා වෙත හිත ගියේය. ඉඟි බිඟි කථාවට සිරියාද දස්ස වුවාය. අවසානයේ පන් ඉගෙනීමේ පංතිය නතරවුයේ සයිමන්ගේ පැලට සිරියා රහසේම කැන්දාගෙන ඒමත් සමඟය. සිරියාගේත් සයිමන්ගේත් එකම කොලුවා කුසුම්සිරිය. පියාගේ කපාපු පලුවක් මෙන් අගුරු කලුපාටින් යුතු වු ඔහුගේ සුදට පෙනුනේ දත් ටික විතරමය.
සයිමන් නාට්ටාමිවරයෙකු ලෙස රැකියාවේ යෙදෙමින් තම දරු පවුල නඩත්තු කලේය. නිතරම පාහේ ඔහුගේ මුව කොනක කලු සුරුට්ටුවකි. ඒ කොටයක් වන්නට සපමින් ඔහු මුව විටින් ඒ පැත්තටත් මේ පැත්තටත් කරයි. ලගට ලංවන්නට බැරිතරමේ සුරුට්ටු ගඳත් දහඩිය සමඟ මුසු වු ගස් ගඳත් රාත්‍රියට නම් සිරියාට ඉවසන්නට බැරිය. දැල් වී තිබුන ද නිවී තිබුන ද සුරුට්ටු කොටය මුව තුලින් එළියට ගෙන කෙල තල්ලියක් එළියට ගසා සයිමන් නැවත සුරුට්ටු කොටය රස කරයි. ඔහුගේ කේෂ කලාපය උරහිසට තරම් දිගය. පුංචි පුවක් ගෙඩියක් තරමට එය බෙල්ල මුලට කර බැදි ඔහු නිතරම පාහේ ඉරුණු මේස් බැනියමකින් සැරසී සිටි. හම්පඩ ගැසුනු සරම් කොටය ලිපට දැම්මත් පුච්චන්නට බැරි තරම්ය. ඒ ඔහුගේ නාට්ටාමි නිල ඇඳුමයි.................
සුරුට්ටු වලටත් මත්පැන් පානයටත් ඉතා ගිජු වුවෙකු වු සයිමන් කලු පැහැති උස මිනිසෙකි. සිරියා සහේට ගන්නට පෙර ගජ ඉලන්දාරියා කාලයේ සිටම බර එසවීමට පුරුදු වු ඔහු තම පියාගේ රැකියාවම තම බඩ වියත සරිකර ගැනීමට තෝරා ගත්තේය. ඉලන්දාරි කාලයේ සිටම සොයන සොච්චම මත්පැන් පානයට වියදම්කල සයිමන් අතේ ඉතිරි වු සතයක් නොවීය. එසේම වැඩිකල් නොගොස්ම වෘත්තීය ආබාධයක් ලෙස ශරීරය කුදු වීම ද නාට්ටාමි රැකියාවෙන් ඔහු ලද දායාදයක් විය. සිරියා සමඟ හාදකමක් ආරම්භවීමත් සමඟම හොර රහසේම පේලි ගෙදර පැලට ඇය

සහේට කැදවාගෙන එනවිටම සයිමන් රෝගියෙකු වී හමාරය.

සිරියා සයිමන්ගේ මත්පැන් බීම නැවැත්වීමට කොපමණ දත කෑවද එය කිසි දිනක සාර්ථක නොවු ව්‍යායාමයක්ම වුයේය. මේ සඳහා සයිමන් ඉදිරිපත් කල නිදහසට කරුණු කාරනා රැසක්ම විය.

“ ඇඟේ පතේ අමාරුව යන්න නං හැන්දෑවට ෂොට් එකක් දාගන්නම ඕන

බං.......“

“ කාලක් නැත්නම් ඉතිං මට කොහොමටවත් රෑට නින්ද යන්නේ නෑ බං... උඹ ඒක ඉතිං දන්නවනේ....“

“ අරක්කු බීලා මැරිච්චි එකෙක් නෑ බං... මේක අවුසදයක්.... “

“ බත් ටිකක් කන්න නං අඩියක් ගහන්නම ඕනෙ බං.......“

ඔහුගේ මේ අඩිය, යාරය මීටරය දක්වා ඇදී යන ආකාරය සිරියා බලාසිටියේ මහත් වු කනස්සල්ලෙනි. සයිමන් ඉදිරිපත් කරන නිදහසට කාරනා වලට ප්‍රති උත්තර සැපයීමට තරම් සිරියා තුල වු දැනුම් සම්භාරය මදිවිය. ඒ නිසාම සිරියාට සෑම විටම කරබාගෙන ඔහුගේ පිලිවදන් අසා සිටීමට සිදු විය. පැමිනි දුක් පැණි රසයි යනුවෙන් ඇති පිරුල සනාථ කරන්නට දෝ සිරියා පැමිණෙන දුක් සියල්ල මැදහත් සිතින් ඉවසුවේ

දුකක් නොදී කුසුම්සිරි හදා වඩා ගැනීම තම යුතුකම වු බැවිනි.

ස්වභවයෙන්ම සයිමන් කපටි පුද්ගලයෙකු සේම සොරකමට ද දක්ෂයෙකු විය. ගම්මැන්ඩියේ සිට සිදාදියට දෙහි ගෝනියක් පුවක් ගෝනියක් අලෙවිකර ගැනීමට පැමිණෙන අහිසංක ගැමියෙකු රවටා ගැනීම ද සයිමන්ට කජ්ජක් නොවීය.

“ මාත්තයා... මං දන්නවා යන්න ඕන තැන..... දෙන්න මාත්තයා ඔය ගෝනිය... මාත්තයා එන්න මං පස්සෙන්.... හරි හරි... මාත්තයා හරි හරි....“

ගැමියාගේ කැමත්ත අකමැත්ත නොවිමසාම සයිමන් අතැති යකඩ කොක්කේ ආධාරයෙන් ගෝනිය කරට ගනී. දකුණතින් කොක්ක අධාරයෙන් ද වමතින් ගෝනිය කරෙන් ඇද ගනිමින් ද දිග අඩි තබමින් යන සයිමන් පසු පස ගැමියාට ගෑටීමට සිදුවේ. කෙතරම් හෙට්ටු කලද සයිමන්ගේ කුලියනම් අඩු නොවේ. ඔහු මහන්සියට නොව කුලිය කියන්නේ පුද්ගලයන්ගේ ස්වරූපය අනුවය. පෙනුමෙන් අහිසංකයෙකුනම් ඔහුගේ කුලිය වැඩිවේ. සයිමන් අහිංසක ගැමියන් සුරාකන්නේ අනුකම්පා විරහිතවය. ගැමියාට දරාගැනීමට නොහැකි වුව ද හෙට්ටු කිරීමට නොයන්නේ සයිමන් අතරැදි යකඩ කොක්ක උලුක් කරගැනීමට ඇති බිය නිසාය. අවසානයේ බඩු මල්ල රැගෙන ගිය මහන්සියට වඩා නොවටිනා ගනනක් ගැමියාගෙන් කඩා වඩා ගන්නා සයිමන් ගෝනියේ ඇති බඩු වලින් කොටසක් හොර රහසේ සරමේ කොනක ගැට ගසා ගැනීමට ද සමතකි.

පේමා වැඩිවිය පැමිණුනාය. ඇය නොදැක ඇය සමඟ කථා නොකර සිටීම තරම් තවත් දුක් ගෙනදුන් කාරණයක් ගුණසිරිට නොවීය. සතියකුත් දින දෙකක් පෙට්ටි ගෙදර අඳුරු මුල්ලකට ගුලි වී සිටි පේමාටද ගුණේ ඇසුණා පමණි. රුව දැක්ම තහනම් විය. දින නවයක ඇවෑමෙන් ඈ බොහෝ ශෝභමානව සිටියාය. දිය නාවා ගෙට ගැනීමේදී ඇය කෝල බැලුම් හෙලමින් ගුණේ සෙව්වාය. එහෙත් ඔහු පෙනෙන මානයක නොවීය.

එලිසාට නම් දූගේ කොටහළු මගුල මහ ඉළින් සැමරීමට ඕනෑ වී තිබුණි. ආරොං නම් දැරුවේ ඊට වෙනස් මතයකි. නමුදු ස්ත්‍රී ආධිපත්‍යය රජයන නිවස තුළ පුරුෂාධීපත්‍යය දෙවැනි තැනට වැටී තිබුණි. බිරිඳගේ කීමට සෑමවිටම හිස නැමීමට පුරුදු වී සිටි අරොං තුල එලිසාට පිටින් යමක් කිරීමට හැකියාවක් නොවීය. නාට්ටාමිකමක් හෝ කුලී වැඩක් කර නිවසට පැමිනෙනා ආරොං අතැති මුදල් සියල්ලම පාහේ එලිසා භාරයට පත්වේ. මෝඩ පහේ ගති ඇත්තෙකි වු ආරොංගේ චරිතයට හාත් පසින්ම වෙනස් වු සැරපරුෂ තැනත්තියක විය එලිසා.

පේමා වැඩිවිය පැමිනීම නිමිත්තෙන් පේලි ගෙවල උන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් එලිසා ලක ලෑස්ති කළාය. කොල්ලන් ද බල්ලන් ද පිරිවරාගෙන ගෙවල සියල්ලෝම පාහේ එදා එහේය. සිනා සාද කථා මැද රැය මදක් ගෙවී යත්ම කෑමෙන් ද බීමෙන් ද පිරිස සප්පායම් වුවෝය. මදු විත තොලගෑ ඇතැම් පිරිමින් මුවින් ගී නාදයක් පිටවුයේ පැමිණ සිටි බජව් කරුවන් ද අභිබවමිනි. මැදියම් රැය වනවිට බජව් සාදයේ උච්චතම අවස්ථාවට පැමිණ තිබුනි. එක සින්දුවක කෙලවර තවත් සිංදුවකි. ඩොලැක්කිය, මැඩ්ලීනය වයන වාදකයින් අතර මැද කලගෙඩියට තට්ටු දමමින් මිහිරි නාදයක් මතුකර ගැනීමට අයෙක් වෙහෙසති.

“ පෙම් කැකුල පිපී එනවිටම මහදේ..... එය පරව ගියා.......

මා හෙලා මේ දුක් අඳකාරේ..... අඳකාරේ.....“

අන්ධකාරේ සිටියේ පේමාය. දැන් අනෙක් එවුන්ට රජ මඟුල්ය. දවස තිස්සෙම හරියට ගුණේව දැක බලාගන්නට පේමාට හැකි නොවීය. පේමා එහෙන් එනවිට ගුණේ මෙහෙන් දිව්වේය. පේමා මෙහෙන් එනවිට ගුණේ එහෙන් දිව්වේය. වෙන දවසකදී නම්.....

“ මොකද ගුණේ...? අල්ලන සෙල්ලම් කරන්න හදනවාද....? මාත් එක්ක... නැත්තං ඔට්ටු තියනව ද මෙතන...? එන්න කිව්වේ මෙහෙට ගුටි නොකා.....“

දබරැඟිල්ල උළුක්කොට කිව හැකිය. අදනම් එසේ බැරි අම්මා තමාව යදමකින් හිරකර ඇති නිසාය.

“අහුවෙයිනේ හෙටානිද්දා.....“ අවසානයේ රැය නිදිමත බේරෙද්දි යන්තමින් පේමාට ගුණේව දැක ගතහැකි වු අතර යන්තම් මන්දස්මිතයකින් පේමාට දමා ගැසු ගුණේ පැන දිව්වේය. පේමාට ඒත් ඇතිය.

ගුණේට නම් ඒ මදිය. ඉස්සර කාලේ පේමාගේ අතින් අල්ලාගෙන ගං ඉවුර දිගේ දිව ගිය හැටි.... බට්ටා පැනපු හැටි... තරඟයට ඇඬුව හැටි.... තරඟයට සිනාසුන හැටී.... ගුණේගේ සිතේ සිනමා රූප පෙලක් මෙන් මේ සියල්ල ඇඳී යයි. පේමා නැවත තමා සමඟ සෙල්ලමට එනු නැති ද...? නැවත කථාවෙන් සිනාවෙන් තමා සමඟ මුකුළුවට එනු නැති ද..? බොහෝ සෙයින් දුකය...

පේමා ලොකු ළමයෙකු වුනේ නැත්නම් කොච්චර හොඳ ද ? එසේනම් ඇය තමා සමඟ පෙර පරිදිම කෙලි සෙල්ලමෙන් කල් යවනු ඇත. කවුරුත් කීවාට පේමා ලොකු ළමයෙක් වුවාට පසු සිඳුව ඇත්තේ තුමක් දැයි ගුණේට සිතාගත නොහැක. ඇය උස වැඩි වෙලා ද....? නැත්නම් මහත් වෙලාද...? එසේත් නැත්නම් සුදු වෙලා ද....? කෙසේ වුවත් මොකක් නමුත් සිදු වී නම් ඇත. පේමා පැහැබර වෙලාය. ඇය තමා දෙස බැලුවේ වෙනදා බැලු සුපුරුදු බැල්මට වඩා කෝල සිනාවකින්ය.

දැන් ඉතිං අලුත් දවසක පේමා දුටු විට තමා හැසිරෙන්නේ කෙසේ ද...?

“ ආ පේමා කොහොම ද...?“

එහෙම හරි නැත.

“ පේමා අපි ගඟට යං ද ඇටඹ අහුලන්න....? “

ඒකත් හරි නැත. පේමා ගුණසිරිගෙන් දුරස් වී ඇති තරම්. ඒ වුනාට..... ඒ වුනාට.... ගුණේට වචන අහුලාගන්නට සෑහෙන වෙලා යනු ඇත.

“ ආ... හු..... මෙයාට මේ මොකදවෙලා තියෙන්නේ...? හු.... හු.... “

කියා පේමා ඇගේ කෝපි මල් සිනාව පෑවානම් සියල්ල සාමාන්‍ය වනු ඇත. පේමා එසේ කරයි ද..? ඇයටත් තමාට වගේම ප්‍රශ්ණ වැලක් පැන නැඟී ඇද්ද...? ගුණේ විඩාබර ශෝකයකින් කල්පනාවක නිමග්න විය.

“ ඇවිත් තේ බීපං ගුනේ....“

ගුණේගේ නිහඬ කල්පනා ලෝකයෙන් ඔහු මුදවාලන්නී සිරිය නැන්දාය. ගුණේත් කුසුම්සිරිත් හුලං විස්කෝත්තුවක් කා අල්ලට දමාගත් සීනි බිඳක් සමඟ කහට කෝප්පය තොල ගෑහ.

“ දැන් මෙහෙම ඉදලා හරියන්නේ නෑ ගුණයෝ... මොකක් හරි බිසිනොස් එකක් පටන් ගන්න ඕන බං....“

ගුණේගේත් ඇබිත්තං කලු කොලුවාගේත් දෑස් මහත් වී නලල දක්වා ගමන් කරයි. සිරියා අලුතින් පටන් ගන්නට යන බිසිනොස් එක මොකක්දැයි ඔවුන්ට තේරුම්ගත නොහැක. සිරියා නැන්දාගේ දෑසේ ඇති තීරණාත්මක බැල්ම ඇය දැඩි නිගමනයකට එළඹ ඇති බවක් හඟවයි. ගුණේ ඉස්සර වුනේය.

“ මොකක්ද සිරියා නැන්දේ බිසිනොස් එක....? “

“ උඹටත් පුරුදු එකේ ඇවිදලා විකුණලා එන්න අපි කඩයප්පන් ටිකක් හදමු කොළුවෝ.... මං හවහට හවහට පිට්ටුයි ඉදිආප්පයි ටිකක් තම්බන්නං.... ආප්ප ටිකකුත් පුච්චමු.... උඹට බැරියැ විකුණන්න... මේ මල්ලිත් එක්කම පලයං.... උඹවයි මල්ලිවයි දෙන්නම ඉස්කෝලේ යවන්න කාසි පනමුත් එපැයි බං....“

සිරියා නැන්දාගේ කථාව හැබෑවකි. ගුණේට සිතුනි. ඔහුත් දැන් සිරියලගේ ගෙදරට බරකි. ඒ බර ටිකක් හෝ හෑල්ලු කිරීමට තමාටත් හැකියාවක් ඇත්නම් කොපමණ හොඳද. ගුණේ සිරියා නැන්දාගේ යෝජනාවට එකපයින් කැමති වුයේය.

“ මල්ලි දන්නව ද ඉස්සර අම්මා කඩයප්පන් වට්ටිය දුන්නම මම ඈත යනවා ඒවා විකුණන්න.... මල්ලි දැකලා නෑනේ.... අර ඈත... ඈත.... හරි ලස්සනයි... රෑට අර හෝටල් මාළිගාවල් වගේ පේන්නෙ....“

කුසුම්සිරි කට ඇරගෙන බලා හිදී.

“ ඉතිං අයියා ඒ මාළිඟාවල් වලට ගිහින් තියෙනව ද....? “

ගුණේ සිය එක් කුස නූපන් සහෝදරයා දෙස බලනුයේ මහත් දයාවක් පිරුණු දෑසිනි. කෙසේවත් පියංකර බවක් කුසුම්සිරිට ලබාදීමට සිරියා නැන්දා උත්සාහ කර නැති සෙයකි. ඔහු සයිමන්ගේ කපාපු පලුවක්මය. ඒ මදිවාට අහිංසක කම...... පොඩි එකා දැක ඇති මාළිගාවක් නැත.

“ මම ඔයාව එක්ක ගෙන යන්නංකො මල්ලි ඒවා පෙන්වන්න.... හරි ලස්සනයි... සුරංගනාවියෝ වාගේ ගෑනු අයත් රෑ වෙනකොට ඒ හරියෙ ඉන්නවා... අපි යංකො.....“

ඔවුන්ගේ ලෝකය ඉතා කුඩාය. එසේම සුන්දරය. කඩයප්පන් විකිණිමත් ඔවුන්ට සෙල්ලමක් වී ඇති හැඩකි.

පලමු දවසේ නමෝ විත්තියෙන් සිරියා ආප්ප පිච්චීමට පටන් ගත්තාය.

“ මේක අද හරි ගියොත් හෙට අපි පිට්ටු ටිකකුත් හදමු කොල්ලෝ....“

“ හා නැන්දේ....“

පලමු ආප්පය ලස්සනට වට්ටියක් මෙන් පිච්චූ සිරියා නැන්දා එය පං වට්ටියට දැමුවාය. බලන්න ලස්සනය. ඊට එහා ආප්ප වලින් එන කිරි සුවඳය. මක්කරලාවත් ඉවසන්නට බැරිය. දෙවෙනි ආප්පය පුච්චන්නට පෙරම වට්ටියට පැන්න කුසුම්සිරි ආප්පය රහසින්ම ඩැහැ ගත්තේය. මවට හොරා ආප්පය ගෙන පිළිකන්නට දිව්වේය.

“ ම්..... රහ..... හරිම කිරි රහයි....“

ගුණසිරි මුව තදකරගනිමින් සිනහව මැඩ ගත්තේ මහත් වෑයමිනි. දෙවෙනි ආප්පය පිච්චු සිරියා එය වට්ටියට දැමීමට ගොස් උඩ බිම බැලුවාය.

“ කෝ බොල මේකට දාපු ආප්පෙ....? අන්තරස්දාන වුනාද මේ ටිකට....? “

එවරනම් සිනාව මැඩ ගැනීමට ගුණේට නොහැකි විය. ඔහුට බකස් යනුවෙන් සිනා ගියේය. සිරියා

“ ගුණේ......“ යි

මහහඬින් හඩ තැලුවේ අමනාපයෙන් නොවේ.

“ කෝ මේ කුසුම්සිරියා.....?

සිරියාට ද හිනාය. හිනා හඬ මැදින්ම

“ අන්න ආප්පෙත් අරන් පිළිකන්නට දිව්වා....“ යි

කියාගැන්මට ගුණේ සමත්විය.

ආප්ප පිච්චීම පසෙක තැබු සිරියා වහා පිළිකන්න දෙසට ඇදුනාය. අම්මාගෙන් දැන් දැන් කෝටු පාර කන්නට වෙතැයි බියපත් වු කුසුම්සිරි අසරණව පිළිකන්නේ ගුලි වී සිටියේය. සිරියා මුණ රකුසු කරගෙන සිය ඇබිත්තං කොළුවා දෙස බැලුවේ සිනාව සඟවා ගනිමිනි. බියපත් වු කොළුවාගේ දෙපැරැන්ද අස්සෙන් වතුර වැලක් පහලට ගලා යන්නට වුයේ ඇද සිටි කොට කලිසම ද තෙමාලමිනි. උණු උණුවේ දෙකකුල් තෙමාගෙන යන මේ දියරය කුමක්දැයි කුසුම්සිරි භීතියෙන් මුසපත්ව බැලුවේය.

“ මල්ලිට චූ යනවා.... “

ගුණසිරි කියත්ම කුසුම්සිරි මහහඬින් හැඬුම් විලාපයක් මුවින් පිට කරමින් සිරියාගේ ඇගේ එල්ලුනේය. සිරියාට මහත් ශෝකයක් දෝමනස්සයක් දැනුනි.

“ කොල්ලෝ මං උඹට ගහන්න ආවේ නෑ නෙ....? වරෙං වරෙං..... ආප්පයක් දෙන්න.... තව ඒ සැරේ හුඡ්ඡත් කරගත්තා ජංගියෙම.... වරෙං මයෙ පුතා ඔය ජංගිය අහවර කරලා ආප්ප ලිප ළඟට....“

කුසුම්සිරිට ලැජ්ජාය. අම්මා පමණක් සිටියානම් කම් නැත. තමාට චූ යනවා ගුණේ අයියාත් බලාගෙනය. එක අතකින් කමක් නැත. ඒ තමාගේ අයියාය. ඒ මදිවාට තමා කලේ වැරදි වැඩකි. ආප්පය ගත්තේ ගුණේ අයියායි අම්මා සිතාවි යැයි තමාගේ සිතුම වැරදි වී ඇත.

කමක් නැත. අම්මා තව ආප්පයක් දීමට කථා කලාය. වෙනත් ජංගි කොටයකින් සැරසුන කුසුම්සිරි එදා බඩ පුරා ආප්ප ලිප ළඟට වී හිඳ ආප්ප කෑවේය. සිරියා එදා ආප්ප වෙළදාම අත්හලේ තම පුතාගේ ආප්ප කෑමේ හපන්කම නිසාය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් රාත්‍රිය තරුණ වන්නට පටන් ගත්තේය. තමන් හාමත් නොවන්නේ සැන්දෑවේ කෑ පාන් භාගය නිසා වන්නට ඇත. අම්බලම මුල්ලක වක්කුලු ගැසී නින්දත් නොනින්දත් අතර හිඳිමින් මතක අහුලන ගුණසිරිට සිතුනි. ඉබේම නින්ද යාගෙන එන්නට විය. දෑස පියවෙනුයේ ගුණසිරිටත් නොදැනීමය. ඔහු සුව පහසු නොවු ගැඹුරු නින්දකට වැටුනේ අම්බලම මුල්ලේමය. නිදි දෙව්දුව ඔහු වැළඳ ගති. ස්වප්න මායාවන් පෙනී නොපෙනී යද්දී ගුණසිරි ඒවා මැද අතරමංව සිටියේය. සිහිනයන් ඔහුට ග්‍රහණය කරගත හැකි වුයේද සිහිනයේදීම පමණී. සැබෑ ලොවේදී මෙතෙක් ඉටු කරගැනීමට නොහැකි වූත් නමුත් ඉටු කරගැනීමට බලාපොරොත්තුවෙන් පසු වන්නා වුත් යටි සිතේ තැන්පත් වු ආශාවන් සිහින ලෙස විද්‍යමාන වේ. නින්දේදී උඩු සිත නිද්‍රාවකට පත්වීමෙන් පසු යටි සිත අවදි වීම ස්වප්නයයි. සිග්මන්ඩ් ප්‍රොයිඩ් ගේ සිහින විග්‍රහය එයයි. නමුත් ගුණසිරිට ඒ නින්දේදී එය සැබෑවක් නොවීය. ඔහු සිහිනයෙන් දුටුවේ තමා කලකදී අත්පත් කරගත්තා වූ ද කලක් වින්දා වූ ද සිහිනෙන් ගෑ සුවඳක් බදු වු කටුක වූත් සොඳුරු වූත් තමාගේ අතීතයමය. ඔහුට එය සැබැවින් ද සිහිනෙන් ද මතකයේ ස්පර්ශිත විය.

රාත්‍රිය මහළු විය. මියැදිනි. වාහනවල ඝෝශාකාරි කටුක කර්ණ රසායනය ගුණසිරිව ඔහුගේ සිහින ලොවින් කකුලෙන් ඇද යථාර්තයට ගැනීමට සමත් විය. දෑස් පිසලමින් සිහි එළවා ගැනීමට මිනිත්තු කීපයක් වැය කල ගුණසිරිට තමා තවමත් සිටින්නේ ඊයේ සැදැවේ පැමිණි අම්බලමේ බවත් තමා රැය ගෙවුයේ මෙහිම බවත් පසක් විය. කනාටු බැල්ල ද කූං කූං
ගාමින් හිතෛෂිවන්ත බවක් පාමින් ඔහු අසළට ලං වුවාය.

“ උඹත් මෙතන නේද කළුවෝ......? 


08 වෙනි කොටසට.

No comments:

Post a Comment