Sunday, January 17, 2021

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පූජා කළ පොලිස් නිලධාරීන්ට අද අත්ව ඇති දුක්ඛිත ඉරණම

මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය තුමනි, පොලිස්පති තුමනි, පොලිස් සුබ සාධක අංශය නියෝජනය කල, ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති වරුනි, නියෝජ්‍ය පොලිස්පති වරුනි, අධ්‍යක්ෂ වරුනි.., ඇමතිතුමා හැර අනෙක් නිලධාරි මහත්වරුනේ....,  ඔබේ හෘද සාක්ෂියට එකඟව මොහොතක්  සිතා බලන්න...., ඔබ ඔබේ රාජකාරිය, වගකීම හා යුතුකම මේ නිලධාරීන් වෙනුවෙන්  ඉටුකොට ඇද්ද කියා...

කියවන්න මේ සත්‍ය කතාව.

හිටපු පොලිස් සැරයන් ජයලත් පොලිස් සේවයට එක්වන්නේ 1984 වසරේදී. පොලීසියේ අවුරුද්දක සේවා කාලයෙන් අනතුරුව ඔහු පොලිස් විශේෂ කාර්යය බලකායට එක්වන්නේ එදා රට තුල ඉස්මතු වී සිටි රුදුරු ත්‍රස්තවාදීන්ට එරෙහිව  සටන් බිමට පිවිසීමටය. එසේ පොලිස්  විශේෂ කාර්යය බලකායට එක් වු ජයලත්, පුරා වසර 11 ක් ක්‍රියාන්විත රාජකාරියේ නිරත වේ. ඉන් අනතුරුව 1996 වර්ෂයේ  දී

ඔහු විශේෂ කාර්යය බලකායෙන් ඉවත්ව, සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා පොලිස් සැරයන් වරයෙකු ලෙස එකතු වෙයි.  

ශ්‍රී ලංකා පොලීසියේ සාමාන්‍ය පොලිස් රාජකාරිය වු  නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉහලින් ම ඉටු කරන්න  ඉන්පසු ඔහුගේ  දායකත්වය ලබාදේ.

 

ජලත් අවසන් වරට සේවය කර ඇත්තේ  කෑගල්ල විශේෂ පොලිස් ඒකකයේ.

මේ වකවානුවේ මිනී මැරුම් 3 ක් හා ස්ත්‍රී දූෂණ 21 ක් ඇතුලු අපරාධ රැසක් කල පාතාල මැරයෙක් කෑගල්ල යෝදගම ප්‍රදේශයේ ජනතාව බිය වද්දමින් සිටියේය. 

(ගරු අමාත්‍යතුමනි.., ඔබතුමා වෙහෙසෙන්නේ මෙවැනි පාතාල දාමරිකයන්ට නීතිය ක්‍රියාත්මක කර මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි සමාජයක් ගොඩනැගීමටයි.)

ඒ 1998 මැයි 31 වෙනිදා මධ්‍යම රාත්‍රියයි. ජයලත් ඇතුලු  විශේෂ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මේ අපරාධකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කලහ.

නිලධාරීන් පිරිස  අපරාධකරු රැදී සිටි නිවස  වටලා ඔහුව අත් අඩංගුවට ගැනීමට  ක්‍රියාත්මක   වෙයි.  අපරාධකරු අත්අඩංගුවට ගැනීමේ අභිලාෂයෙන්  නිවස  තුලට ප්‍රථමයෙන්   ගමන් කරන්නේ ජයලත්ය.  එහෙත්, ජයලත් අපේක්ෂා නොකල පරිදි පාතාල මැරයා කට්ට කරුවලේ සිට එකවරම ජයලත් වෙත ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරයි. ඒ ඇසිඩ් ප්‍රහාරයෙන් එතෙක් ලෝකය බැලු ජයලත්ගේ ඇස් දෙකම පිච්චී විනාශ වී යයි. මුහුණ ද පිච්චී විකෘති වෙයි. එදා ඒ දරණු වේදනාව උහුලා ගත නුහුණුව ජයලත් සිහි විකල් ව දැඟලු අයුරු සිතුවම් පටක් සේ මට මෙන් ඔබට ද මැවෙනු ඇතැයි  විශ්වාස  කරමි. ඒ බිහිසුණු අනතුරෙන් පසු ජයලත්  දෙඇස් අඳ ආබාධිතයෙකු  බවට පත් වේ. 

රට වෙනුවෙන්, පොලීසිය වෙනුවෙන්,  සේවය කරන්නට ගොස් දෑස් අන්ධ වී සදාකාලික ආබාධිතයෙකු වීම  ඔහුට දරාගැනීමට හැකි වුවත්, ඔහුට දරාගැනීමට නොහැකි වුනේ ඔහුගේ ඇස් දෙකේ වටිනා කමේ  තක්සේරුව දැනගත් විටය. 

එය රු 3,25,000 කි. ඔහුට  ලබාදී  තිබුනේ එම වන්දි  මුදල පමණි. රැකියාව අහිමි ව  ආබාධිතයෙකු ලෙස අන්ධකාර ලෝකයක ජයලත් ට තනිවන්නට සිදු වුනේ, මේ සොච්චම් වන්දි මුදල සමඟය.  ඉදිරි ජීවිත කාලය, ඔහුටත් දරු දෙදෙනටත්, බිරිඳටත් මේ මුදලින්  ජීවත්වීම දැවැන්ත අභියෝගයක් විය.  

එතැන් පටන් ජයලත්ගේ ජීවිතයට දුක් කරදර, ආර්ථික අපහසුකම් පැමිණියේ ලොරි ගනනින්ය...

තමන් මුහුණ පා සිටින අනුවේදනීය තත්ත්වය ගැන අභියාචනා සිය ගනනක් පොලිසියේ බලධාරීන් සියලුම දෙනා වෙත ඔහු යවා ඇත. කීප අවස්ථාවකම කන වැල අල්ලාගෙන ගොස් උසස් නිලධාරීන් ද හමු වී තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇත. එහෙත් පොලීසියේ උසස් නිලධාරීන් කිසිවෙකු ජයලත් ට සංවේදී වී නැත. ජයලත් ඔවුන් ගෙන් ඉල්ලා සිටියේ එක් සහනයකි. එනම් ත්‍රස්තවාදි ප්‍රහාර වලින් ආබාධිත වු නිලධාරීන්ට සේ තමන්ට ද මාසික වැටුප් ලබාදෙන ලෙසයි. බලධාරීන් ඔහුට දන්වා ඇත්තේ කිසිසේත් එසේ කල නොහැකි බවයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 පරිදි සාමාන්‍ය රාජකාරියේදී තුවාල ලබන නිලධාරීන්ට මාස 60 ක වැටුප වන්දිය හැටියට ලබාදෙනවා හැරෙන්නට, වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් දැනුම් දී ඇත. 

බලධාරීන් ගේ අසංවේදිතාව හමුවේ ජයලත් අන්ත අසරණ තත්වයට පත්විය. එදා මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදි ප්‍රහාරයකට තමන් ලක් නොවුනේ වාසනාවකට යැයි සිතාගෙන හිටියත්, ඇත්ත වශයෙන්ම එය ඔහුගේ අවාසනාවට බව සිය දහස්වර  සිතෙන්නට පටන් ගත්තේය. 

රටේ මහජන ආරක්ෂාව, නීතිය, සාමය ආරක්ෂා කීරීමට යෑමේදී අනතුරුවලට මුහුණ දී විපතට පත් වු නිලධාරීන් ලක්වූයේ  කුඩම්මාගේ සැලකිල්ලටය.   ඔවුන් ඉටුකල උදාර කැපකිරීම් අවතක්සේරුවට ලක් කිරීම නිතරම සිදු වුනි. ඔවුන්ගේ දුක් ගැනවිලි වලට කිසිදු බලධාරියෙකු ඇහුන්කන් නොදුන්නේය.

2009 දක්වා වසර 10 ක් පමණ මේ පොලිස් විරුවාට ජීවිතය ගැටගසාගන්න සිදු වුනේ පෙර කී රු 325000/= ක වන්දි මුදලින්ය. 

ජයලත් ගේ ජීවිතය සේම මේ කතාව ලියන මගේ ජීවිතය ද 1999 සිට රෝද පූටුවකට සීමා වුනේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරියක නිරතව සිටියදී මුහුණ දීමට සිදු වු  වෙඩි පහරක් හේතුවෙනි. එම සිදුවීමේ සියලු තොරතුරු මෙම Link එක http://pradeepdesilvablog.blogspot.com/2018/07/01.html?m=0 

හරහා කියවීමට ආරාධනා කරන්නේ එසේ නැතහොත් මේ ලිපිය තවත් දික්වෙන නිසාය. 

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 පරිදි  මටද වන්දි ලෙස ලැබුනේ රු 3,76,000/= ක්  පමණි. ජයලත් මෙන් මමද පොලීසියේ බලධාරීන්ට  1999 සිට 2008 දක්වා අභියාචනා සිය ගනනක් යැව්වේ ලබාදුන් වන්දි මුදල ජීවත්වීමට  කිසි සේත් ප්‍රමාණවත් නොවන, සාධාරණ හෝ යුක්ති සහගත ද නොවන බව දන්වාය. 

එහෙත්   බලධාරීන් කිසිවෙක් අපේ දුක අසන්නට, අපේ ගැටලු වලට විසදුම් දෙන්නට ලෑස්ති නොවීය. ඔවුන් අවසානයේ දන්වා සිටියේ නැවත සහන ඉල්ලා අභියාචනා එවමින් කරදර නොකරන ලෙසයි. (ඔවුන් එලෙස අවවාද කර  එවු ලිපි තවමත් සුරැකිව මා ලග ඇත.)

පොලීසියේ බලධාරීන්ගේ  අසංවේදී ප්‍රතිචාර හමුවේ අපි තව තවත් මානසිකව ද අන්තයටම  කඩා වැටුනි. 

එහෙත් කිසි දිනක අයුක්තිය අසාධාරණය හමුවේ ඔලුව පාත් කරන ස්වභාවයක් මා තුල නොවීය. මා තුල වු සහජ හැකියාවන් හා දක්ෂතාවන් නිසා බොහෝ උසස් නිලධාරීන් ඇසුරු කිරීමේ භාග්‍යය ද මේ වන විට මට ලැබී තිබුණි. එසේ ඇසුරු කරන්නට ලැබුන නිලධාරීන් අතරින් හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වු කේ.ඒ. තිලකරත්න මහතා අප මුහුණ දී සිටින අසාධාරණ තත්ත්වය ගැන දැඩි සේ සංවේදී වීය. එහි ප්‍රතිපලයක් ලෙස,  එතුමාගේ දැඩි කැපවීම හා මැදිහත්වීම  මත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 IV වෙනි සංශෝධනය සිදු කර රාජකාරියේ දී අනතුරුවලින් පූර්ණ ආබාධිත වන රාජ්‍ය නිලධාරීන්ට මාසික වැටුප්  හිමිකම ලබා දෙන ලදී.

ඇත්තටම එය අප මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ලැබූ සුවිශාල ජයග්‍රහණයක් විය. ඒත්, පොලීසියේ බලධාරීන්ගේ හැසිරිම ඉතාමත් අවාසනාවන්ත විය. ඔවුන් මෙම චක්‍ර ලේඛනයේ අතපසු වීමකින් සදහන්ව තිබු, සැලකිල්ලක් දැක්වීමට කිසිසේත් අවශ්‍ය නොවු එක් වචනයක් අල්ලාගෙන මාස ගනනක් වැටුප් ලබා නොදී අපව  රස්තියාදු කලහ. ඔවුන්  මුලින් අපට දැනුම් දුන්නේ සහන සලසන්න චක්‍ර ලේඛ, අණ පණත් නොමැති බවයි. එහෙත් චක්‍ර ලේඛ අණ පණත් සාදා දුන් විට ඔවුන්ගෙන් ලැබුනේ මෙවන් පහත් ප්‍රතිචාරයක්ය.

සිදුකරන අසාධාරණකම් හමුවේ යක්ෂයා ආරූඪ වී සිටි මම දිනක් පොලිස් සුබසාධක අංශයට ගොස් සුද්ධ සිංහලෙන් සිංහල  භාෂාව ද උගන්වා චක්‍ර ලේඛය ක්‍රියාත්මක කරවා ගත්තෙමි. මේ චක්‍රලේඛය සංශෝධනය කිරීම නිසා ජයලත්ටත්, මටත්, රාජකාරිය ඉටුකිරීමට ගොස් පූර්ණ ආබාධිත වු පොලිස්  නිලධාරීන් රැසකට ද ඉන්පසු  මාසිකව වැටුප් ලබාගැනීමට  හැකි වුනි. 

මේ නිලධාරීන් අතර වෙඩි ප්‍රහාරයකින් පූර්ණ ආබාධිතව රෝද පුටුවක ජීවත් වන නිලධාරියෙකු වූ රෝහනට ,  නැවත වැටුප් ලැබෙන්නේ වසර 16 කට පසුය. ඔහුට වන්දි ලෙස ලබාදී තිබුනේ රු 94,500/= ක මුදලක් පමණි. වසර 16 ක් ඔහුට ජීවත් වීමට සිදුව තිබුනේ එම මුදලිනි. ඔහුට මෙන්ම, අනෙක්  පූර්ණ ආබාධිතව දැඩි ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවු  නිලධාරීන්ට ද මේ චක්‍රලේඛය සංශෝධනය කිරීමෙන් සැලසුනේ අති විශාල සහනයකි. 

රෝද පුටුවේ ජීවත් වන උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට,   පූර්ණ ආබාධිත වු නිලධාරීන්ට   විශාල සහනයක් අත්කරදෙන්නට පුද්ගලිකව එලෙස  මට හැකි වුවත්, සැබැවින්ම, නිලය, බලය යටිතල පහසුකම් සියල්ල තිබුනත්,තම යුතුකම, වගකීම ඉටුකරන්න පොලීසියේ උසස් නිලධාරීන්ට අවශ්‍යතාවක් නොතිබුනි. 

1998 සිට 2009 දක්වා සිටි පොලිස්පතිවරුන්  හා  පොලිස් සුබසාධක අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා උසස් නිලධාරීන් තම යුතුකම හා වගකීම ඉටුකිරීම පැහැර හැර තිබුනි.

වර්තමානයේ ද මේ තත්ත්වය එසේමය.  

දැන් නැවතත් ජයලත්ගේ කතාවට යමු. ජයලත්ට වැටුප් ලබාගැනීමට හැකියාව ලැබුණේ 2016 දක්වා පමණි.  වයස අවුරුදු 55 සම්පූර්ණ වු නිසා ඉන් අනතුරුව ඔහුට  වැටුප් ලබාදීම නතර කර ඇත. දැන් ඔහුට ලැබෙන්නේ  විශ්‍රාම වැටුපක් පමණි.  සියලුම දීමනා සමග එය රු 26500/= කි.   දැන්  ඔහුට යැපෙන්නට සිදු වී  ඇත්තේ මේ මුදලිනි. මේ වන විට ජයලත්ට අතුරු ආබාධ රැසකට  ප්‍රතිකාර ගන්නට සිදු වී ඇත. විරුවකු සේ රට වෙනුවෙන් සේවය කරන්නට ඉදිරිපත් වු නිලධාරියාට අද දහසකුත් දුෂ්කරතා වලට මුහුණ දෙමින් අන්ධකාර ලෝකයක සුසුම් හෙලමින් ජීවත් වන්නට සිදුව තිබේ. ජයලත් ගේ කතාව ඔහුගේ වචන වලින්ම අසන්නට අවශ්‍ය නම් මේ අංකයෙන් ඔහුව අමතන්න. 

0352282500

ශ්‍රී ලංකා පොලීසියේ නීතිය සාමය ආරක්ෂා කිරීමට උදාර කැපකිරීම් කරන නිලධාරීන්ට අවසානයේ අත්කර දෙන ඉරණම මෙයද...? අපට බලධාරීන් ගෙන් විමසන්නට සිදුව තිබේ.....

නිලධාරීන් රාජකාරියේ යෙදවීම මෙන්ම,  රාජකාරියක් ඉටුකිරීමට යෑමේදී විපතට පත්වන නිලධාරීන්ට තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන ජීවත් වීමට හැකි වටපිටාවක් සකසා දීමද පොලීසියේ ජේෂ්ඨ  නිලධාරීන්ගේ    වගකීම හා යුතුකම බව ඔවුන් අමතක කොට තිබේ.  

අප ආබාධිත වුවාට පසු පොලිස්පති ධූරයට පත් වී සිටින්නේ 8 වෙනි පොලිස්පති වරයායි. ගරු ඇමතිතුමනි...., ඔබතුමා පොලීසිය භාරව පත් වුන 10 වෙනි ඇමතිවරයායි. එහෙත්, තවමත් වසර 21 ක් තිස්සේ මානසික ව, ශාරීරිකව හා ආර්ථිකව  දැඩි දුෂ්කරතා  රැසකට මුහුණ දෙමින් පරාජිතයින් සේ මේ සමාජයේ  අපට ජීවත් වන්නට සිදුව තිබේ.

ගරු අමාත්‍යතුමනි....,

රටේ ජනතාව වෙනුවෙන්  යුක්තිය ඉටුකිරීමට ගොස්  අයුක්තියට, අසාධාරණයට ලක්ව සිටින  නිලධාරීන්ට කඩිනමින්  යුක්තිය,  සාධාරණය ඉටුකරීමට ඔබතුමාගේ අවධානය  යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර මෙම ගැටලුව සාකච්ඡා කිරීමට  අවස්ථාවක් ලබාදෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙමි.   


සභාපති 

ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය.

0718186342