Pradeep De Silva
මෙතෙක් ආ ජීවන ගමනේ සත්‍ය අත්දැකීම් හා ලියු තවත් දෑ.....
තල්අරඹේ මතකයන්
- My Paintings (28)
- අලුත් අත්දැකීම් (7)
- ආබාධිත පොලිස් නිලධාරියෙකුගේ දින සටහන් (7)
- ඉරණම තීන්දු කල රාජකාරිය (11)
- තල්අරඹේ මතකයන් (6)
- රාජකාරි දිවියේ රසබර සිදුවීම් (1)
- රැඳුණ ජීවිතය (5)
- සිත තාම තරුණයි (12)
- සොඳුරු මිනිසුන් (1)
Sunday, March 12, 2023
Tuesday, March 7, 2023
වර්තමාන පොලිස්පතිවරයා ගැන මගේ අත්දැකීම.
වර්තමාන පොලිස්පතිවරයා මට මුලින්ම හම්බ වෙන්නේ 2018 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී. ඒ කාලේ මේ අමාත්‍යංශය හැදින්නුවේ නීතිය හා සාමය අමාත්‍යංශය කියලා.
සතියකට එක දවසක් පොලීසිය භාර ඇමතිවරයා හම්බ වෙන්න දවසක් වෙන්කරලා තිබුනා.
ඉතින් ඒ දවසක මම ගියා ඇමතිවරයා හම්බ වෙන්න. එතකොට ඇමති හිටියේ රංජිත් මද්දුම බණ්‌ඩාර. එදා මම ගියේ පොලීසියේ යුද්දෙන් සහ නීතිය ආරක්ෂා කිරීමේ රාජකාරි වලදී, පූර්ණ ආබාධිත වෙලා ගිලන් ඇදන් වලට, රෝද පුටුවලට සීමාවෙලා ජීවත් වෙන මගේ සහෝදර නිලධාරීන් 27 දෙනාගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න. ඔය සාකච්ඡාවට පොලීසිය පැත්තෙන් සහභාගි වෙලා හිටියේ වර්තමාන පොලිස්පතිවරයා. ඔහු ඒ වෙන කොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන දිශාව භාරව කටයුතු කලා.
මම ඇතුලු පූර්ණ ආබාධිත නිලධාරීන් 27 දෙනා බරපතල ගැටලු රාශියකට මුහුණ දෙමින් හිටියේ... අපි වගේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙලා ඉන්න ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් රැක බලා ගන්න පුනරුත්ථාපන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබුනත්, පොලීසියේ අපට එක මධ්‍යස්ථානයක් තිබුනේ නෑ. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයෙන් ආබාධිත නිලධාරියෙකුට වඩා මේ පූර්ණ ආබාධිත නිලධාරීන්ට වැඩි වියදමක් ඔවුන්ගේ නඩත්තු කටයුතු සදහා වැය කරන්න සිද්ධ වෙලා තිබුනා. රෝද පුටුවලට, වෛද්‍ය ප්‍රතිකාර වලට වගේම දෛනික කටයුතු තනිවම කරගන්න බැරි සමහර නිලධාරීන් රැක බලාගන්න උපස්ථාදායකයෙකුගේ සේවය ලබා ගන්නත් ඔවුන්ට මුදල් වැය වුනා. මේ නිසා ඔවුන්ට ලැබෙන වැටුප කෙසේවත් මේ අමතර වියදම් සදහා ප්‍රමාණවත් වුනේ නෑ. ඔවුන් ජීවත් වුනේ දැඩි ආර්ථික දුෂ්කරතා රාශියක් මැද. මේ නිලධාරීන් රැක බලා ගන්න පොලීසිය කිසිම පියවරක් අරන් තිබුනේ නෑ...
ඇමතිවරයාට මම මේ නිලධාරීන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරන්න ආරම්භ කලා විතරයි....
'ආ.. අමතර දීමනාද ඉල්ලන්නේ...? එහෙම දීමනා නම් දෙන්න විදියක් නෑ. ඒකට තමයි ඔයාලට පඩියක් ගෙවන්නේ.. "
මට ගැටලුව හරිහැටි පැහැදිලි කරන්නවත් අවස්තාවක් නොදී ඇමතිවරයා සියල්ල දත් වගේ උත්තර දුන්නේ ඔන්න ඔහොම. මම හීනෙකින්වත් හිතුවේ නෑ ඇමතිගෙන් මට ඒ වගේ උත්තරයක් ලැබෙයි කියලා. මට ඔහු ගැන හරිම කලකිරීමක් ඇති වුනේ. ඔන්න ඔහොම තමයි රංජිත් මද්දුම බණ්‌ඩාර පොලීසියේ රාජකාරිය ඉටුකරන්න ගිහින් විපතට පත්වුන නිලධාරීන්ගේ ගැටලු විසදුවේ...
"සාමාන්‍ය තත්ත්වයෙන් ආබාධිත අයට නම් ඔය පඩිය සෑහෙනවා..., ඒත් මං මේ කතා කරන්නේ, තව කෙනෙක්ගේ උදව්වක් නැතිව දෛනික කටයුතු ටිකවත් කරගන්න බැරි රෝද පුටුවල, ඇදන් වල ජීවත් වෙන පූර්ණ ආබාධිත නිලධාරීන් ගැන සර්...."
හිතට ඇති වුන කලකිරීම වේදනාව යටපත් කරගෙන මම ටිකක් දැඩි ස්වරූපයෙන් ඇමතිවරයාට කරුණු පැහැදිලි කරේ, ඔහු මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය ගැන දැනගන්න.
"සර්..., මෙයාලට අපි පොලිස් විරු සෙවණක් හදන්න හොරණින් ඉඩමක් අරන් තියෙන්නේ, ඒකට සල්ලිත් පාස් වෙලා තියෙන්නේ ඒක අපි දැන් ඉක්මනට හදනවා, එතකොට මෙයාලගේ ගැටලුව විසදෙනවා සර්...
වර්තමාන පොලිස්පතිවරයා ඇමතිවරයාට ඔන්න ඔය විදියට තමයි අපේ ගැටලුව විසඳන ආකාරය ගැන පැහැදිලි කරේ. තවත් ප්‍රශ්න කප්පරයක් තිබුනත්, දෙන්න ගෙන්ම ලැබුන ප්‍රතිචාරය එච්චර සුබවාදී නොවුන නිසා මම එන්න ආවා. ඔය ඔහු හම්බ වුන පලවෙනි අවස්ථාව.
දෙවෙනි වරට මට ඔහු හම්බ වෙන්නේ අවුරුදු එක හමාරකට විතර පස්සේ 2019 වසරේ දවසක. ඒත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේදී. එතකොට ඔහු වැඩ බලන පොලිස්පතිවරයා. කලින් සැරේ ඔහු කිව්ව පොලිස් විරු සෙවන හදන්න තබා මුල් ගල වත් ඒ වෙන කොට තියලා තිබුනේ නෑ. වෙනත් කිසිම සහනයක් මේ නිලධාරීන් වෙනුවෙන් ලබාදීලා තිබුනෙත් නෑ.
ඒ සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කල උන්නැහෙත්, අමාත්‍යාංශ ලේකම්වරයාත් සහභාගි වෙලා හිටියා. මේ දෙන්න අපේ ගැටලු විමසුවේ කොහොමද කියල මේ ලින්ක් එකේ තියෙනවා
පොලිස්පති පොරොන්දු වුන පොලිස් විරුසෙවන ගැන අහන්න මම සූදානම් වෙනකොටම,
"ආ ඔයාලට විරු සෙවනවල් වගේ project එකක් හරියන්නේ නෑ, ඔයාලට මොකක් හරි package එකක් තමයි හරියන්නේ, ඔයාලගේ ඔය ප්‍රශ්න ටික ඔක්කොම ලියාගෙන සිකුරුදා ඇවිත් මාව හම්බ වෙන්න කෝ...."
ඔන්න ඔහොම තමයි ඒ සාකච්ඡාවේදී එතුමා හැසුරුනේ... අපේ ප්‍රශ්න වලින් සූර විදියට ලිස්සලා යන විදියක් දැනුනත්, සිකුරාදා හම්බ වෙන්න අවස්ථාව දුන්න නිසා ඒ ගැන බලාපොරොත්තුව තියා ගත්තා.
කොහොම හරි ඒ සිකුරාදා අපි පොලිස් මූලස්ථානයට යනකොට එතුමා යාපනේ ගිහින් හිටිය. ඒ නිසා ඒ සිකුරාදා අපි රස්තියාදු වෙලා ගෙදර ආවා. නමුත් පස්සේ දවසක් පොලිස් මූලස්ථානයේදී ඔහුව හම්බ වෙන්න අවස්ථාව ලැබුනා.
මම ගැටලු 07 ක් ලියාගෙන ගියාට එක ගැටලුවයි පැහැදිලි කරන්න ලැබුනේ. ඒ ගැටලුව තමයි පොලීසියේ පරිපාලනමය දෝෂයක් නිසා ක්‍රියාත්මක නොකල චක්‍ර ලේඛණයක් නිසා අපට නොලැබුන දීමනා වල හිඟ මුදල් ලබාගැනීම.
ඉතින් ඔහු කිව්වේ ඒකට මුදල් ජනාධිපතිවරයාට කියලා ගන්න ඕනි, ඊලග දිනයේ ජනාධිපතිතුමා හම්බ වෙන්න ගිහිල්ලා, මේ ගැටලුව කෙටියෙන් ජනාධිපතිතුමාට පැහැදිලි කරලා වචනයක් ගන්න කියලා.
පොලීසිය භාර ඇමතිවරයා හැටියට එවකට කටයුතු කලේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.
ජනාධිපතිවරයාට මම කරුණු ඉදිරිපත් කලාට පස්සේ පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ....
"මේ රෝද පුටුවල, ඇදන්වල, අමාරුම තත්ත්වෙන් ඉන්න 30 දෙනාට ඔය හිඟ දීමනා ටික මුලින්ම දෙන්න.... ජීවිතාන්තය දක්වා වැටුප් දෙන්න සකස් කරන කැබිනට් සංදේශයට මෙයාලත් ඇතුලත් කරන්න එහෙම සංශෝධනය කරන්න බැරි නම් මෙයාල වෙනුවෙන් වෙනත් සංදේශයක් ඉදිරිපත් කරන්න...."
පොලිස්පතිවරයා මට පවරපු වගකීම අනුව ජනාධිපතිවරයාගෙන් ඔය වගේ සුබවාදී පිලිතුරක් අරන් දෙන්න මට පුලුවන් වුනා.
මාස ගනනාවක් ගත වූනත්, ජනාධිපති ලබාදුන් ඒ උපදෙස් අනුව අපට සහන සලසන්න පොලිස්පතිවරයා කටයුතු කර තිබුනේ නෑ. ඒ ගැන විමසලා යවපු එක ලිපියකටවත් අද වෙනකම් කිසිම උත්තරයක් එවන්න වත් කටයුතු කර නැත.
එදා ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කලා නම් පොලීසියේ රාජකාරි කරන්න ගිහින් විපතට පත්වුන නිලධාරීන්ට විශාල සහනයක් අත්වෙලා... නමුත්,
අවුරුදු 04 ක් පමණ පොලිස් පති ධූරය දරලා ඔහු විශ්‍රාම යන්නේ ඒ වගකීම් කිසිවක් ඉටු නොකරය.
අපි ඔහුට රැවටුනා නොව අපි ඔහු විස්වාස පමණි.
Friday, March 3, 2023
🛑 යුක්තිය උදෙසා සටන් වැදීමෙන් කුරිරු පලිගැනීමකට ලක්වීම.....03
පොලිස් රෝහලේ පාලන අධ්‍යක්ෂවරයා වැසිකිළියට රෝද පුටුවෙන් ප්‍රවේශ පහසුකම් නැති පරීක්ෂකවරුන්ගේ වාට්ටුවට මා ඇතුලත් කොට පලිගැනීමට උත්සාහ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට, ලේකම්වරයාට හා පොලිස් වෛද්‍ය දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මම පැමිණිලි කලෙමි.
එම පැමිණිල්ලට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් 2023 පෙබරවාරි 13 දින මට පිලිතුරු ලිපියක් එවා ඇත.
මේ ලිපියෙන්,
පොලීසිය කණිෂ්ඨ නිලධාරීන්ට,
රාජකාරියේ යෙදී සිටියදී ආබාධිත වුන නිලධාරීන්ට හා,
විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත නිලධාරීන්ට,
,සහන සැලසීම, රැකවරණය ලබාදීම, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සම්බන්ධව
බලධාරීන් කටයුතු කරන්නේ කෙසේද යන්න මැනවින් පිළිබිඹු කොට ඇත.
මට සාධාරණය ඉටු නොවීම සම්බන්ධව, නැවැත ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යතුමාට හා එම ලේකම්තුමාට 2023.02. 22 දින Fax කලෙමි.
එම ලිපියෙන් මට සිදුව තිබෙන අසාධාරණය සම්බන්ධව සියලු තොරතුරු දැනුම් දුන්නෙමි. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට ඔවුන් ට යම් කිසි කාල අවකාශයක් ලබාදී බලා සිටින්නෙමි.
විරාමයක්.......
පලමු කොටසට..
Monday, February 20, 2023
🛑 යුක්තිය උදෙසා සටන් වැදීමෙන් කුරිරු පලිගැනීමකට ලක්වීම.....02.
"මිනිහට ඔය වෙඩි වැදිලා තියෙන්නෙත් මිනිහගේ අතෙන්ම මිස් ෆයර් එකක් වෙලා... කොහෙද ගාමන්ට් එකක් ළඟ කෙල්ලෙක් එනකම් පිස්තෝලේ කරකව කව ඉදලා ඒක පත්තු වෙලා වෙඩි වැදිලා තියෙන්නේ.."
මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන ආකාරයේ ඉතාමත්ම පහත් නින්දිත ආකාරයේ මඩ ප්‍රචාරයක් පොලීසියේ මේ උසස් නිලධාරීන් විසින් මට එරෙහිව මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටී. මේ නින්දිත මඩ ප්‍රහාරය, වෙඩි ප්‍රහාරයෙන් මා ලත් තුවාල වලට වඩා වේදනාවක් මගේ ගතට සිතට දැනෙයි. සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙලා රෝද පුටුවක ජීවත් වෙන්න ඉරණම තීන්දු කලාට වඩා දරුණු කම්පනයකට එය මා ලක් කර ඇත.
ඇත්තටම මම යුක්තිය සාධාරණය ඉටු කරන්න ගියේ අහිංසක දුප්පත් තරුණයෝ හතර දෙනෙකුට. ඔවුන්ව, විදේශ රැකියා වලට යැවීමට පොරොන්දුව මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් කොස්තාපල් 32493 රාජපක්‍ෂ නිලධාරියා ඉතාමත් අපරීක්ෂාකාරි අන්දමෙන් රිවෝල්වරය පාවිච්චි කිරීමෙන් එය ක්‍රියාත්මක වීම නිසයි, මට වෙඩි වැදුනේ. වෙඩි ප්‍රහාරය එල්ලවුනේ මගේ කොන්දේ පිටුපස සුෂුම්නාවට අඟලක් පමණ ආසන්නයෙන්. උණ්ඩය පිටවුනේ දකුණු පෙනහැල්ල හා අක්මාව හානිකරගෙන.
මට වෙඩි වැදුනත්, සැකකරුට පලා යන්න ඉඩක් ලැබුනේ නෑ... සැකකරුව අධිකරණය ට ඉදිරිපත් කරලා තරුණයන්ට වංචාකල මුදල් නැවත ලබාදීමෙන් අනතුරුවයි මගේ ඒ අවසන් වැටලීම, රාජකාරිය නිමා වුනේ...
මේ සියලු කරුණු කාරණා පොලීසියේ සටහන් පොත් වලත්, අධිකරණයේ ලේඛණ වලත් සටහන් වෙලා තියෙනවා. ඊටත් අමතරව මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මණ්ඩල වාර්තාවද සාක්ෂි දරයි. සිද්ධිය සම්බන්ධව මේ සියලු සාක්ෂි තිබියදී මේ අඳ බාලයන් පවසන්නේ ඇත්ත සිද්ධිය පොලීසිය විසින් වෙනස් කර ඇති බවයි. අධිකරණයේ සාක්ෂි තිබියදී, වෙඩි තැබු නිලධාරියා එය පිලිගෙන තිබියදී, එවකට මා සමග රාජකාරි කල නිලධාරීන් සියලු දෙනා සිදුවීම සම්බන්ධව සාක්ෂි දරද්දී, තුට්ටු දෙකේ පොලිස් කාරයෙක් මට කුහක සිතින්, මට විරුද්ධව, ද්වේශසහගත ව නිර්මාණය කල මඩ ප්‍රචාරය සත්‍ය සිද්ධිය ලෙස හිස් මුදුනින් පිලිගෙන, පොලිස් රාජකාරිය වෙනුවෙන් ශරීරාංග පුජා කල නිලධාරියෙකුට Meeting වලදී අවමන් කිරීමට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීනියන් තම නිලබලයෙන් බේරී සිටියත්, සොබාදහමේ විනිශ්චයෙන් නම් කෙදිනකවත් ගැලවීමක් නොලැබෙනු ඇත.
Sunday, February 19, 2023
යුක්තිය උදෙසා සටන් වැදීමෙන් කුරිරු පලිගැනීමකට ලක්වීම.....01.
ඒත්.....,
නැවැත ඔවුන්ට ප්‍රයෝජනයක් ගත නොහැකි, අප වැනි ආබාධිත, කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ට, කිසිදිනක ඔවුන් සාධාරණය ඉටු නොකරන බවට, මේ වෙන කොට ඔප්පු කර හමාරයි.
උසස් පොලිස් නිලධාරීන් කීප පොලක්, දිගින් දිගටම මගෙන් පළිගැනීමට, අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධව, සත්‍ය තොරතුරු එළිදරව් කිරීමට, බලධාරීන් ගෙන් මම කීපවරක් ඉල්ලා සිටියත්, ඔවුන් එයට මට අවස්ථාව ලබා දුන්නේ නැත.. මේ හේතුවෙන්, මට තීරණයක් ගන්න සිද්ධ වුනා මට සිදුවුන, සිදුවෙන, අසාධාරණකම්, පළිගැනීම්, හා එල්ලකරන අසත්‍ය අභූත චෝදනා ගැන රට හමුවේ එළිදරව් කරන්න....
මගේ මිතුරු ලැයිස්තුවේ හැමෝගෙන්ම මම ඉල්ලා සිටින්නේ, මේ ලිපිය ටිකක් දිග වුනත් කියවන්න. ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කර, දුප්පත් තරුණයින් පිරිසකට, යුක්තිය, සාධාරණය ඉටු කිරීමේ රාජකාරියකදී, ආබාධිත තත්ත්වයට පත්වු, පොලිස් නිලධාරියෙකුට අත්ව ඇති, ඉරණම ගැන දැනගන්න.

2023.01. 29 දින, ඩෙංගු රෝගය වැළදීමෙන් අසාධ්‍යව නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් වුනෙමි.
රෝහලේ පොලිස් පරීක්ෂකවරුන්ට වෙන් කර ඇති වාට්ටු අංක 06 හි, වැසිකිළියට රෝද පුටුවෙන් ප්‍රවේශ පහසුකම් නොමැත. එහි වැසිකිලියේ දිග අඩි 5 කට අඩු අතර පලල අඩි 2යි අඟල් 11 ක් පමණි. මේ නිසා වෛද්‍ය සේවා අධ්‍යක්ෂතුමා මගින් රෝහලේ පාලන අධ්‍යක්ෂතුමාගෙන්, රෝද පුටුවෙන් වැසිකිලියකට ප්‍රවේශ පහසුකම් සහිත කාමරයක, නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට, ලිඛිතව අවසර ඉල්ලා සිටියෙමි. ඒ සඳහා වෛද්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ අවසරය ලැබුනත්, හිස් කාමර විශාල සංඛ්‍යාවක් තිබියදී, පාලන අධ්‍යක්ෂතුමා ඒ සඳහා අවසර ලබා දුන්නේ නැත. මේ හේතුවෙන්, රෝගාතුරුව සිටි මට දින දෙකක් සනීපාරක්ෂක කටයුතු ඉටුකර ගැනීමට නොහැකි වී, රෝගී තත්ත්වයද උත්සන්නව, දැඩි සේ පීඩා විඳීමට සිදු විය. එය මා මහත් කම්පනයටත්, සිත්තැවුලටත් පත්කරලීය.
https://www.facebook.com/586445182/videos/pcb.10167087444455183/721630716087820
විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත තැනැත්තන්ට, රෝද පුටුවෙන් ප්‍රවේශ වී, සනීපාරක්ෂක කටයුතු ඉටුකර ගැනීමට, ප්‍රමාණවත් ඉඩ කඩ හා පහසුකම් සහිතව, වැසිකිලියක් ඉදිකර තිබීම, එවැනි තැනැත්තන්ගේ මානව හිමිකමක් බව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හා, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ගණනාවකින් ම ආවරණය කර තිබුනත්, මගේ එම මානව හිමිකම් ඔහු අමු අමුවේ උල්ලංඝනය කලේ ඒ තීන්දු තීරණ, අණ පණත්, තුට්ටුවකටවත් මායිම් නොකරය. ඒ සදහා ඔහුට, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ හා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියගේ සහාය ලැබී තිබුනි.

පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට කාමර 05 ක් පොලිස් පරීක්ෂකවරුන්ට තිබිනි. පෙර දවස මම ප්‍රතිකාර ලබා ගත්තේ එම කාමරවල සිටයි. පසුකලෙක එම කාමර පාලන අධිකාරිය විසින් වෙනත් කටයුතු සඳහා යොදා ගෙන ඇත. මේ වන විට කාමර පහසුකම ඇත්තේ කාන්තා පොලිස් පරීක්ෂකාවන්ට හා සහකාර පොලිස් අධිකාරි නිලයෙන් ඉහල නිලධාරීන්ට පමණි. නමුත්, මීට පෙර පාලන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල මහතුන් මා රෝහල්ගත වූ සෑම අවස්ථාවකම, රෝහලේ වෙනත් ස්ථානයක පහසුකම් සහිත කාමරයක් ලබාදීමට, මගේ විශේෂ අවශ්‍යතා සම්බන්ධව සලකා බලා කටයුතු කර ඇත.

නමුත්, වර්තමාන පාලන අධ්‍යක්ෂවරයා හිස් කාමර කොපමණ තිබියත්, වෛද්‍ය සේවා අධ්‍යක්ෂතුමා ඇතුලු වෛද්‍යවරුන් මට එම පහසුකම ලබාදීමට ඔහුගෙන් ඉල්ලා සිටියත්, ඔහු එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කර වැසිකිළියට ප්‍රවේශ පහසුකම් නැති වාට්ටුව ට මා ඇතුලත් කිරීමට අවස්තා තුනක්ම උත්සාහා දරා ඇත. ඔහු මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ඔහුට ඉහලින් සිටින උසස් නිලධාරිනියක් මගෙන් පලිගැනීමේ චේතනාවෙන් ලබාදෙන උපදෙස් අනුවයි.
පොලීසියේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරි වලදී, ආබාධිත තත්ත්වයට පත්ව සිටින, නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හා, ඔවුන්ට සිදුකර ඇති අසාධාරණකම් වලට එරෙහිව, මම හඬ නඟන්නෙක්මි. මේ නිලධාරීන්, අද වැටුප් ලබන්නේ, ඔවුන් වෙනුවෙන් මා තනිවම අරගල කොට, චක්‍ර ලේඛණ අණ පණත් සංශෝධනය කිරීමට කටයුතු කල නිසාය. රුපියල් ලක්ෂයකටත් වඩා අඩු වන්දි මුදලක් පමණක් ලබාදී, විශ්‍රාම ගැන්වු ආබාධිත නිලධාරීන්ට, අවුරුදු 16 කට පසු, මාසිකව, වැටුප් ලබාගැනීමේ විශාල සහනය මෙන්ම, ඔවුන්ට හිමි සියලුම දීමනාද ඒ සමඟ අත්කර දෙන්න, උරහිසේ තනි තරුවක් පැළැඳ සිටි, රෝද පුටුවේ ජීවත්වන මට හැකි වී ඇත. නමුත්, තරු ඔටුනු වලින් උරහිස බරවූ, ආබාධිත නිලධාරීන් ගැන මුලු මනින්ම වගකීම පැවරී ඇති උසස් නිලධාරීන්ට, අඩුම තරමේ ආබාධිත නිලධාරීන්ට, තමන් හිටපු පොලිස් නිලධාරියෙකු ලෙස හඳුන්වාදීමට හැදුනුම්පතක්වත්, ලබාදීමට අපොහොසත් වී ඇත.
ආබාධිත නිලධාරීන් රැකබලා ගැනීම සම්බන්ධව, රාජකාරිය, වගකීම, යුතුකම පැවැරී ඇති උසස් නිලධාරිනියක්, එය ඉටු නොකිරීම සම්බන්ධව, දිනක් මම ඇයගෙන් විමසා සිටීම ඇය මා සමඟ උරණ වීමට හේතුවයි.
පසුගිය කාලය පුරාම මම පසුවුයේ අසනීප තත්ත්වයෙනි. ඒ සියලු අසනීපයන්, ආබාධිත තත්ත්වය නිසා හටගන්නා අතුරු රෝගාබාධයන්ය. පසුගිය නොවැම්බර්
29 දින ද, මට රෝහල් ගතවීමට සිදුවිය. වෛද්‍ය සේවා අධ්‍යක්ෂතුමා හා වෛද්‍යවරු, පෙර මා නැවතී සිටි කාමරයේ සිට, ප්‍රතිකාර ගැනීමට පහසුකම් සලසා දීමට උත්සාහ කලද, , එවරද රෝහලේ පාලන අධ්‍යක්ෂ එයට අවසර ලබා දුන්නේ නැත. ඒ හේතුවෙන් අසනීප තත්ත්වය එලෙසම තිබියදී බලාපොරොත්තු සුන්ව, නැවැත මට මොණරාගලට ඒමට සිදු වීම, කොතරම් නම් පලිගැනීමකට, අසාධාරණයකට, මුහුණ දීමක්දැයි සාක්ෂි දරයි.
රෝහලකට රෝගියෙකු ඇතුලත් කරගනු ලබන විට රෝගියාගේ තත්ත්වය අනුව, ඇතුලත් කලයුතු වන්නේ කුමන වාට්ටුවකටද, කුමන ස්ථානයකටද යන්න, තීන්දු කිරීමේ වගකීම තිබිය යුත්තේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂතුමාටයි. නමුත්, පොලිස් රෝහලේ එම බලතල පවරාගෙන සිටින්නේ, වෛද්‍යවරයෙකු නොවන පාලන අධ්‍යක්ෂවරයායි. වෛද්‍ය කාර්යය මණ්ඩලය රෝගී නිලධාරීන්ගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන්න උත්සාහ කරන සෑම අවස්ථාවකම එයට බාධා පමුණුවන්නේ මේ පාලන අධිකාරියයි.
පාලන අධ්‍යක්ෂවරයා මේ ආකාරයෙන් දිගින් දිගටම මගෙන් පළිගැනීම සම්බන්ධව, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ටිරාන් අලස් අමාත්‍යතුමාට, ලේකම්තුමාට,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, වෛද්‍ය හා සුබසාධක දිශාවට, පැමිණිළි හතරක් ඉදිරිපත් කොට ඇත. එහෙත් ඒවා සම්බන්ධව නිසි පියවර නොගැනීම, එම නිලධාරියාගේ පාර්ශ්‍රවයෙන් පමණක් කරුණු විමසීම. ඔහුත්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මා පිළිබඳව ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු පිළිගැනීම, මගේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා, අද මට දැඩි අසාධාරණයකට මුහුණ දීමට සිදුවී ඇත.
පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණිෂ්ඨ නිලධාරීන්ට කොපමණ අසාධාරණකම් සිදුකලත් ඉවසා දරා සිටිය යුතුයි. ඒ සම්බන්ධව ඉහල නිලධාරීන්ට පැමිණිළි කිරීමෙන් සිදුවන්නේ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පළිගැනීමට තව දුරටත් ලක්වීමයි. අද මට මුහුණ දීමට සිදු වී ඇත්තේ එවැනි ශෝචනීය තත්ත්වයකට බව ඔබහැමට අනාවරණය කරමි.
Wednesday, December 7, 2022

Friday, July 9, 2021
පොලීසිය භාරව සිටින ගරු සරත් වීරසේකර ඇමතිතුමා ගේ අවධානයට....
රටේ නීතිය ආරක්ෂා කරන්න ගිහින් මුලු ජීවිතයම ඒ වෙනුවෙන් පුජා කරලා, අවුරුදු 21 ක් පුරා මම ජීවත් වෙන්නේ රෝද පුටුවක..... ඒ වගේම අවුරුදු 07 ක් මේ රට වෙනුවෙන් උතුරේ යුද්ධ කල නිලධාරියෙක්... රට වෙනුවෙන් උපරිම සේවාවක් ශරීරාංග පුද කරලා ඉටු කල මට, අද ජීවත් වෙන්න නිවසක් නෑ.... අවුරුදු 20 ක් මට ජීවත් වෙන්න සිද්ධ වුනේ කුලී ගෙවල් වල. දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ සහෝදරයාගේ නිවසේ. ජීවත් වෙන්න නිවසක් නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ "අපි වෙනුවෙන් අපි " අරමුදලෙන් ක්‍රියාත්මක කරන "මෙත් සෙවන" නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් හදාගන්න මම ඉල්ලුම් කරේ 2019 දී... ග්‍රාම නිලධාරීගේ, ප්‍රාදේශීය ලේකම්ගේ, කොට්ඨාශ භාර පොලිස් අධිකාරීගේ නිර්දේශ ඇතුලු, එකී, මෙකී, සියලු ලිපි ලේඛණ සහිතව භාර දුන් ගොනුවට පොලිස් සුබසාධක අංශයේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබා දී තිබුනේ 2019.10.07 වෙනිදා.... ගොනුව භාරදීලා අවුරුදු දෙකකට පස්සෙ පොලිස් සුබසාධක අංශයට මම කතා කරේ එතෙක් මගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසයි.... ඒ අවස්ථාවේ දී සුබ සාධක අංශයේ අධ්‍යක්ෂවරයා දැනුම් දැනුම් දුන්නේ මගේ ගොනුව අස්ථාන ගත වෙලා තියෙන නිසා නැවැත ගොනුවක් හදලා එවන්න අවශ්‍ය වන බවයි.... ඔහුගේ ඒ ප්‍රතිචාරය ගැන මම අතිශයින්ම විශ්මයට පත් වුනා. ඒ වගේම පොලිස් සුබසාධක අංශයේ ගැන ඉතාමත් කලකිරීමට පත් වුනා. මෙවැනි වගකීම් විරහිතව කටයුතු කරන පොලිස් සුබසාධක අංශය ගැන විස්වාසයක් තබන්න බැරි නිසා නැවැත ගොනුවක් සකස් කර ඔවුන්ට යවා, සුබ සාධක අංශයෙන් අපට සිදු වෙන මේ අසාධාරණ කම් ගැන 2021.03.25 දින ඔබතුමාට මම අභියාචනයක් ඉදිරිපත් කලා. ඔබතුමාගේ කාර්යාලයෙන් ඒ අභියාචනය ඉදිරි කටයුතු සදහා පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.... පොලිස්පති විසින් එය ඉදිරි කටයුතු සදහා පොලිස් සුබ සාධක අංශයේ අධ්‍යක්ෂවරයා වෙත යවා ඇත. ගරු අමාත්‍ය තුමනි..., සුබ සාධක අංශයේ අධ්‍යක්ෂවරයා එයට මට එවු පිලිතුරු ලිපිය තමයි මේ තියෙන්නේ... ඔවුන් දන්වා සිටින්නේ යුද්ධයේදී ආබාධිත නිලධාරියෙකු නොවන බැවින් ප්‍රමුඛතාවයක් මට ලබාදිය නොහැකි බවයි.... ජීවත්වෙන්නට නිවසක් නොමැතිව, බරපතල, දැවෙන ගැටලුවකට මුහුණ දී සිටින මට ලැබුන පිලිතුර තමයි මේ....

පසුගිය වසරේ සිට ඔබතුමාට අප මුහුණ දි සිටින ගැටලු ගැන අභියාචනා කීපයක් ඉදිරිපත් කොට ඇතත් ඒවා කිසිවෙකට ද මෙතෙක් පිළිතුරක් වත් නොලැබීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටින අතර එම අභියාචනා ඔබතුමාගේ කාර්යය මණ්ඩලය විසින් ඉදිරිපත් කර නොමැති දෝයි සිතේ.... පාතාලේ, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් මෙන්ම, වෙනත් ජාවාරම්කරුවන්, අත්අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන් ද, රථවාහන රාජකාරියේ යෙදී සිටියදී බරපතල අනතුරු වලින් තුවාල ලබා විපතට පත් වු නිලධාරීන් ද අද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ ඔවුන්ට සහන සලසන්න මෙතෙක් ඔබතුමාල කිසිවෙකු ගේ අවධානයක් යොමු වී නැති නිසයි. මම ආබාධිත තත්ත්වයට පත්වුනාට පස්සේ අවුරුදු 21 ක් පුරා පොලීසිය භාරව කොතෙකුත් ඇමතිවරු පත්වුනත්, පොලිස්පතිවරු පත්වුනත්, පොලිස් සුබසාධක අංශය දක්වන ප්‍රතිචාරයන්ගේ කිසිම වෙනසක් වෙලා නෑ. පොලීසිය භාරව ඔබතුමා පත්වුනාට පස්සේ අපි බලාපොරොත්තු වුනේ ඒ තත්ත්වය වෙනස් වෙලා අපට සහනයක් අත්වෙයි කියලයි. මොකද ඔබතුමාත් නිල ඇදුමක් ඇදි නිලධාරීයෙක් නිසා.... ඒත්..., ඒ බලාපොරොත්තුව තවමත් ඉටුවෙලා නෑ... නීතිය රකින්න ගිහින් ඇස් දෙකම අන්ධ වුන, දෑත් දෙපා අහිමි වුන, මොළයට සුෂුම්නාවට සිද්ධ වුන අනතුරු නිසා සදාකාලිකව ඇදන් වලට, රෝද පුටුවලට ජීවිත සීමා වුන අප වැනි නිලධාරීන් මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය ගැන පොලීසියේ බලධාරීන් කිසිවෙකු ඔබතුමා දැනුවත් කරන්නට මෙතෙක් කටයුතු කර නැති බව තමයි පෙනෙන්නට තියෙන්නේ .... අප නමට පමණක් පොලිස් විරු දිනය සමරන්නට යොදා ගන්නා පොලිස් විරුවන් පමණක් වී ඇත....
අවසන් වශයෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටින්නේ අපි මුහුණ දී සිටින ගැටලු වලට ඔබතුමා ගේ පුද්ගලික අවධානය යොමු කර සහන සැලසීමට කටයුතු කරන ලෙසයි... මෙම ලිපිය ද සමාජ මාධ්‍යයේ පලකරන්නට සිදු වුනේ, මෙවන් පසුබිමක් මතයි. ගරු අමාත්‍යතුමාගේ අවධානයට ලක්වෙනතුරු මේ ලිපිය Share කර මට සහය දක්වන මෙන් ඔබ හැමගෙන් ඉල්ලමි....