Friday, August 3, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 11


“ඩෝං................“

මගේ පිටුපසින් කන්දෙක අඟුල් වැටෙන තරමේ වෙඩි හඬක් මුලු පලාතම දෙදරවමින් පුපුරා ගියේය.... ඒ හඬින් මම ගල් ගැසුනෙමි.... අනපේක්ෂිතව සිදු වු දෙයින් මොහොතකට කිසිවක් මට සිතාගැනීමට නොහැකි විය. වෙඩි බෙහෙත් ගඳ ද දසත විසිරිනි.
“මිස් ෆයර්...., මිස් ෆයර්......“

නිලධාරියෙක් කෑ ගැසුවේය..... රිවොල්වරයක් රැගෙන ආවේ රාජපක්ෂය... සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෑන් රථයේ ඉදිරිපසින් මම දුවගෙන එද්දී රාජපක්ෂ වෑන් රථයේ පිටුපස දෙසින් දිවගෙන ආවේ වෑන් රථයේ පැති දොර විවෘත කිරීමට සුදානමිනි.  නියතයෙන්ම ඔහුගේ රිවෝල්වරය පත්තු වී ඇති බව ඒ “මිස් ෆයර්“ කියා කෑගසන හඬත් සමඟ මට අවබෝධ වුනි.  වෙඩි හඬත් සමඟ මා අධික කම්පනයකට ලක්වු නිසා එයින් මගේ සිරුරට දැඩි බලපෑමක් වී ඇති බව දැනුනි. එහෙත්, කෙසේවත් මා වෙඩි පහරකට ඉලක්ක වුවායැයි නොසිතුවෙමි. වෙඩි ප්‍රහාරයකට මා ඉලක්ක විය යුතුව තිබුනේ වසර ගණනක් උතුරේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිද්දීය. බෝම්බ, වෙඩි උණ්ඩ මැද ඒවාට මුහුණ දෙන්නම සූදානමින් සිටි කාලයේය. ජීවිතයේ ආශාව අත් හැර සිටි ඒ අවදියේය. එබැවින් මම මුහුණ දෙමින් සිටි මේ අවස්ථාවේදී, මේ සාමාන්‍ය රාජකාරිය ඉටුකිරීමේදී එවැනි වෙඩි උණ්ඩයක් කිසිසේත්ම මම බලාපොරොත්තු නොවුනෙමි. මම එය සිතින් තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටියෙමි.

මට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවුනේ ක්ෂණිකවමය. ඒත් සමඟම දරාගැනීමට අපහසු වු වේදනාවකි. මම පපුව අල්ලා ගත්තෙමි.... පපුවේ දකුණු පැත්තෙන් රතු රුධිරය මා හැඳ සිටි සුදු කමිසය තෙමාගෙන ගලායයි...  හුස්ම ගැනීමද එන්න එන්නම අපහසු වෙයි.... මෙය සිහිනයක් නොව සැබෑවක් බව ප්‍රත්‍යක්ෂ වුනි. ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු මගෙන් ගිලිහී යමින් තිබුනි.

හිරු රශ්මියෙන් කැලතෙමින් තිබු ගොඩනැගිලි, රථවාහන, මිනිසුන් බොඳ දසුන් බවට පත්වී මට පෙනෙන්නට විය. මගේ ඉනෙහි තිබු පිස්තෝලය බිමට වැටුනි. එය අහුලා ගැනීමට මට ශක්තියක් නොවීය. වෙනත් අවස්ථාවක එසේ වුවානම් මම එය අහුලා ගන්නේ ක්ෂණිකවමය. මම පත්ව සිටින බරපතල තත්ත්වයත් එයින්ම මට අවබෝධ විය.

එළඹෙමින් පවතින්නේ මා මෙලොවෙන් සමුගන්නා මොහොතට දෝයි සිතුනි. අවසන් සුසුම හෙලීම කෙතරම් පීඩාකාරි අත්දැකීමක් වේදැයි දැඩි බියක්ද හට ගැනුනි. පිටුපසට ඇද වැටීමට ගිය මාව නිලධාරීන් විසින් අල්ලාගත් බව දැනුනි.

“ අය්යෝ සර්....., අනේ සර්.......“

නිලධාරීන් ඔවුන්ගේ උකුල්මත මා හොවාගෙන ළඳරුවන් මෙන් හඬන්නට පටන් ගත්තේය. ඔවුන්ගේ විළාප හඬ මගේ සවනත සිප ගනිමින් තිබුනි.

වෙඩි පහර පපුව පසාරු කරගෙන ගොස් තිබු නිසා නිසැකවම මා මරණයට පත්වේයැයි ඔවුන්ද සිතන්නට ඇත. පපුවේ දකුණු පැත්තෙන් නොනවත්වා  රුධිරය වෑහෙමින් තිබුනි. මරණයේ ඡායාමාත්‍ර පෙනෙද්දිත් මට අවශ්‍ය වුනේ ජීවත් වීමටයි. පවුලේ සමීපතයින් සියලු දෙනා සිහියට නැඟුනි. ඔවුන් වෙනුවෙන් මා පණ නල රදවා ගත යුතු යැයි සිතුනි. අවුරුදු 30 ක් වැනි අඩු වයසකින් ජීවිතය හැර යෑම දැඩි සේ මම ප්‍රතික්ෂේප කලෙමි.

මුව විවර කර දැඩි ආයාසයක් ගෙන, දැඩි වීර්යයක් ගෙන යාන්තමින් ඉතාමත් අපහසුවෙන් හුස්ම ගැනීමට හැකියාවක් ශේෂ වී තිබුනි. එහෙත් එය ඉතාමත් දුෂ්කර වෙහෙසකර කටයුත්තකි. ශරීරයේ මුළු ශක්තියම ඒ සඳහා යෙදවීමට අවශ්‍ය විය.

ජාතික රෝහල බොරැල්ලට සමීපය. උපරිම පැය භාගයක කාලසීමාවක් ජීවිතය කෙසේ හෝ රැකගතහොත්..... යම් වාසනාවක් තිබුණහොත්.... නැවත ජීවත්වීමට වරම් ලැබෙනු ඇතැයි මට සිතුනි. ශරීරයේ ශක්තිය, ආත්ම ධෛර්යය, විශ්වාසය මේ හැම එකක්ම පණ නල රැකගැනීම සඳහා මට උපරිමයෙන් යොදාගැනීමට සිදුව තිබු අවස්ථාවකි  එළඹ තිබුනේ.

“මාව ඉක්මණට හොස්පිටල් ගෙනියන්න......“

කිසිත් කරකියාගත නොහැකිව හඬා වැළපෙමින් සිටි නිලධාරීන්ට මම කීවෙමි. මම කතාකරමින් එලෙස ඉල්ලීමක් කිරීම තුල මරණය හා තවදුරටත් සටන් වදින්නට මා සතුව යම් ශක්ති ප්‍රමාණයක් ඉතිරිව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇත. කිසිවක් කරකියාගත නොහැකිව සෝබරව ළතැවෙමින් සිටි නිලධාරීන් මගේ ඒ ප්‍රකාශයත් සමඟ වහාම ක්‍රියාත්මක විය.

“ අනේ බුදු සර්...., කොහොම හරි ඉන්න හොස්පිටල් එකට යනකම්.... අපි සර්ව කොහොම හරි බේරගන්නවා.....“

ඔවුන් මා වෑන්රථයට යුහුසුලුව ඔසවා තබමින් කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ද සිදුවූයේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව තුෂ්ණිම්භූතව වෑන් රථය තුළම සිටියහ.

පුළුවන් තරම් ඉක්මණට ජෙනරල් හොස්පිට්ල් එකට යමු....

නිළධාරියෙක් රථයේ රියදුරුට අණ කළේය.

මේ සියල්ල සිදු වීමට ගතවූයේ විනාඩි 2 කටත් අඩු කාලයකි. ජනාකීර්ණ බොරැල්ල නගරයේ සිටි අන් කිසිවෙකුටත් එම මොහොතේ එම ස්ථානයේ සිදු වූයේ කුමක්දැයි පැහැදිලි නොවන්නට ඇත.

මගේ හිස නිළධාරියෙකුගේ උකුල මත තබාගත්තේය. මුළු සිරුරම අසුන මත තබා ගන්නට නොහැකි විය. මා අඩි 6 කට ආසන්න උසකින් යුතු නිසා දෙපා අසුනින් බිම තැබීමට සිදු විය.මගේ එක් පාදයක් ඉතාමත් අස්වාභාවික ලෙස පැත්තකට හැරී තිබුණි. එය නිවැරදි ආකාරයෙන් තබා ගන්නට කීප සැරයක් උත්සාහ කළ මුත් නොහැකි විය.

අනේ ඉන්න සර්... කොහොම හරි ඉන්න ... හොස්පිට්ල් එකට යනකං...

එක දිගට හඬමින් නිළධාරින් මට ආයාචනා කළහ.

වෑන් රථයේ ඉදිරිපසින් එක් නිළධාරියෙක් නැඟ සිටියේය. රථවාහන තදබදයක්ද තිබූ නිසා ඔහු මාර්ගයේ ඉඩ ලබාගැනීමට ක්‍රියා කළේය.

“වාහන අයින් කර ගන්න... SI මහත්තයෙකුට වෙඩි වැදිලා...

රථයේ කවුළුවෙන් හිස එළියට දමාගෙන ඔහු හයියෙන් කෑ ගැසුවේය.

හුස්ම ගැනීම මට එන්න එන්නම අපහසු විය . රුධිරය මුවෙන්ද වැගිරෙන්නට පටන් ගත්තේය.

“ඔය ග්ලාස් එක අරින්න... මට කෙළ ගහන්න ඕන....“

මුවට පැමිණෙන රුධිරය ඉවත දැමීමට මට අවශ්‍ය විය.

“අනේ.. කිසි ප්‍රශ්ණයක් නෑ සර්..අපේ ඇඟට හරි දාන්න...“

විජේසිංහ මට ලෙංගතුව පැවසූහ.

“මගේ බඩ තද වෙලා හුස්ම ගන්න අමාරුයි... බෙල්ට් එක බුරුල් කරන්න...“

ඔවුන් බඳපටිය ගැලවූහ. එයින් මට මද සහනයක් සැලසිණි. කුස පෙදෙස පිම්බී තිබුණි. නිළධාරින් හැකි පමණ මට සුවපහසුව සැලසීමට ක්‍රියා කළහ. ඇඳ සිටි කමිසය රක්ත වර්ණ ලේ දහරාවන්ගෙන් සම්පූර්ණයෙන්ම පෙඟී තිබුණි.

රෝහලට ගිය විගස හුස්ම ගැනීමේ අපහසුව නැතිකිරීමට මට ඔක්සිජන් ලබා දීමට වෛද්‍යවරු ක්ෂණිකව ක්‍රියාකරනු ඇතැයි සිතුණි. එහෙත් ඒ මොහොත වෙනකම් මට දරා ගැනීමට හැකියාවක් තිබේදැයි සැකයක්ද සිත තුළ මෝදු වෙමින් තිබුණි. ශරීරයේ ශක්තිය කෙමෙන් හීන වෙද්දී මාරයා සමඟ මම දැඩි සටනක යෙදුණෙමි. ගතවන සෑම තත්පරයක්ම මට කල්ප කාලාන්තරයක් විය.

මාර්ග සංඥා නීති රීති තැකීමක් නොකර වෑන් රථය වේගයෙන් රෝහල කරා ගමන් කළේය. ජාතික රෝහලට පිවිසෙන රීජන්ට් වීදිය මංසන්ධියේ තිබූ මාර්ග බාධකයේ යුධ හමුදා භටයෙක් වෑන් රථය පරීක්ෂා කිරීමට නතර කළේය.

SI මහත්තයෙකුට වෙඩි වැදිලා....අපට ඉක්මණට හොස්පිට්ල් එකට ගෙනියන්න ඕන.....“

නිළධාරීන් සියල්ලෝම කෑ ගසා මාර්ග බාධකයේ නිළධාරීන්ට කීහ. රථය ආසන්නයට පැමිණි යුධ හමුදා භටයා ලෙයින් නැහැවී අසාධ්‍යව සිටි මා දැක පුදුමයට පත්විය. රථයට යෑමට ඉඩ සලසමින් ඉක්බිතිව ඔවුන් සියල්ලෝම රථය දෙස විමසිල්ලෙන් බලා සිටියෝය.
මේ වන විට මට පියවි සිහිය නැතිවෙමින් ඇතිවෙමින් තිබුණි. ඊළඟ මොහොතේ මා ට්‍රොලියක දමාගෙන හදිසි අනතුරු අංශයේ දොරටුවෙන් රැගෙන යනවා දැණුනි. වෑන් රථයෙන් ට්‍රොලියට ඔසවා තබනවා මට මතක තිබුණේ නැත. යළි පියවි සිහිය ලැබුණේ හදිසි අනතුරු අංශයට පිවිසෙන එළමහන් කොරිඩෝවේ ට්‍රොලිය තල්ලු කරගෙන යනවිට නැගුන “ගිඩි ගිඩි“ ශබ්දයෙනි.

“අනේ ඉක්මන් කරලා අරන් යමු... අපට මහත්තයාව කොහොමහරි බේර ගන්න ඕන...“

 ට්‍රොලිය තල්ලු කරගෙන ගිය උපස්ථායකයින්ට නිළධාරීන් පැවසූහ.මේ වන විට අවට වටපිටාව සියල්ලම භ්‍රමණය වන්නාක් මෙන් දැණුනි. රෝගීන් බැලීමට පැමිණ සිටි විශාල පිරිසක්ද රෝහල් භූමියේ සිටියහ. ඔවුන්ද ට්‍රොලිය වටා එක් රොක් වී පැමිණියේ මෙම සිද්ධියේ කිසියම් හෝ තොරතුරක් ලබාගැනීමේ අභිලාෂයෙනි.

හදිසි අනතුරු අංශයේ එක් සුවිශේෂි කාමරයකට මා රැගෙන යන ලදී. ට්‍රොලිය වටා එක් රැස් වී පැමිණි සියල්ලන්ටම එම ස්ථානයට පැමිණෙන්නට අවසර නොලැබෙන්නට ඇත. ඉන්පසු මා වටා එක් රැස් වූයේ වෛද්‍යවරුන් හා හෙදියන්ය.

“මොකක්ද සිද්ධ වුණේ....? කොහෙ ඉඳලාද ගෙනාවේ...? “ වෛද්‍යවරු නිළධාරීන්ගෙන් විමසූහ.

“අනේ සර් SI මහත්තයාට වෙඩි වැදුණා.... පිං සිද්ධ වෙයි අපේ සර්ව බේරලා දෙන්න....“

නිළධාරිහු වෛද්‍යවරුන්ට මගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා ආයාචනා කළහ.

රෝහලට ගිය සැණෙකින් වෛද්‍යවරුන් සියල්ලටම ප්‍රථම මට හුස්ම ගැනීම පහසු කරවීමට ඔක්සිජන් ලබා දීම හෝ වෙන යම් ප්‍රතිකර්මයක් කරනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් මා සිත තුළ තිබුණි. එහෙත් ඔවුන් මා දෙස බලමින් නිළධාරින්ගෙන් සුළු මොහොතක් සිදු වූ දේ පිළිබඳව තොරතුරු විමසමින් සිටියහ. එයට එතරම් කාලවේලාවක් ගත නොවුණත් ඒ කාලය මා ගෙවා දැම්මේ ඉතාමත් අමාරුවෙනි.

“ඩොක්ටර්... මට හුස්ම ගන්න අමාරුයි.... මට මොනවා හරි කරන්න....“

වේදනාවෙන් යුතුව මම ආයාචනා කලෙමි.

මට අවශ්‍ය වූයේ හැකි පමණ ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන හුස්ම ගැනීම පහසු කර ගැනීමටයි . වේදනාවන්ගෙන් පිරි සිරුරෙන් මට දැණුනේ ඉතා දැඩි බවකි. එයින් නිදහස් වීමට, සැහැල්ලු වීමට මට අවශ්‍ය විය.

සම්පූර්ණ නිළ ඇඳුමින් සැරසුණ පොලිස් කොස්තාපල්වරයෙක් ගමන් කථන යන්ත්‍රයක්ද අතැතිව මා ඉදිරි පසින්ම බලාගෙන සිටියේය. ඔහුව දැක පුරුදු බවක් මට දැණුනි. ඒ දින දෙක තුනකට ප්‍රථම රාජකාරි කටයුත්තකට ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ රෝහල් පොලිස් මුර පොලේදී ඔහු හමු වූ බව මට සිහිපත් විය. වේදනාවෙන් කෑ ගසන මා දෙස ඔහු ශෝකයෙන් බලා සිටියේය. අඳුරු පසුබිමක් තුළින් ඔහු මට දිස් විය. කෙමෙන් කෙමෙන් මට ඈත දසුන් නොපෙනී යමින්, දෑස අඳුරකින් වසා ගනිමින් තිබුණි.

“ඉක්මණට ෂර්ට් එක ගලවමු...“

කිසිවකු කියා සිටියේය. 

වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීමට ආරම්භ කළ බව එයින් මට තහවුරු විය. එය වගකීමක් භාර ගත්තාක් මෙනි. එතෙක් වේලා දැඩි ආයාසයකින් ජීවිතය රැක ගැනීමට උත්සාහ කරමින් සිටි මම එම කර්තව්‍ය වෛද්‍යවරුන් ට භාර කොට සැහැල්ලු වූයෙමි. මේ අවස්ථාව වන විට මට පෙණුනේ අඩි 2 පමණ ආසන්නයේ දේවල් පමණි. දෑසට විඩාබර බවක්ද දැණුනි.
මා පළඳාගෙන සිටි මුදුව ගැලවීමට උත්සාහ කරන පුද්ගලයකුගේ දෑත පමණක් මම දැක්කෙමි. මේ මුදුව ගැලවීමට ඊට පෙර මා කොතෙක් උත්සාහ කර ඇති මුත් එය ගැලවීමට නොහැකි තරමට ඇඟිල්ලට තදව තිබූ බව මතක් විය. එම නිසා එය ගලවන විට මට අධික වේදනාවක් දැණෙනු ඇතැයි සිතූ මුත් මුදුව වේදනාවකින් තොරව ගැලවෙන ලදී.

සියල්ලම මොහොතකින් මට නොපෙනී ගියේය..... ඒ අන්ධකාරය තුලින්ම,

“කීයටද දන්නෙ නෑ මෙයා කෑවේ....?“

කිසිවකු විමසුවේය. ඒ වන විටත් මා ආහාර නොගෙන සිටි බව කීමට උත්සාහ කළ මුත් කථා කිරීමට මට නුපුළුවන් විය. කටහඬවල්ද ඉන්පසු නොඇසී ගියේය.

සිරුර ඉතාමත් සැහැල්ලු වෙමින් එතෙක් වේලා උසුලාගෙන සිටි වේදනා කැක්කුම් සහ සිරුරේ දැඩි බව ටිකෙන් ටික තුරන් වන්නට විය. මම ඉතාමත් සැහැල්ලු සුවබර නින්දකට පත්වීමි. එය අතිශයින්ම ප්‍රියජනක සුවබර ආශ්වාදයක් විය. එය එක්තරා අන්දමක පාවෙන තත්ත්වයකි.

මරණයේ අත්දැකීම ලත් මිනිසුන් හා මියගිය මිනිසුන් මරණාසන්න මොහොතේ කියන ලද පාවෙන ගතිය, සැහැල්ලු බව සැබැවින්ම මම අත්විඳිමින් සිටියෙමි.  



ඉරණම තීන්දු කල රාජකාරිය අදින් නිමියේය... 

මෙතෙක් මා සමඟ රැඳී සිටිමින් කතාව කිය වූ, අදහස් දක්වමින් මා දිරිමත් කල ඔබ සැමට මගේ ස්තුතිය.......




18 comments:

  1. පළවෙනිම දවසෙ මේ මාතෘකාව දැක්ක ගමන් හිතුණා මේ ගැන තමයි කියන්න යන්නෙ කියල. අවසන් කොටස කියවන්න ඕන වුණේ නෑ. ඒත් කියෙව්වා මම..

    ReplyDelete
    Replies
    1. . බොහොම ස්තුතියි.. දොස්තර නෝනට... ඊළඟ කොටසින් දොස්තර නෝනලා ගැනත් ලියන්න තියෙනවා... 😂😂

      Delete
  2. Glad you survived. The other officer must have held the revolver carelessly

    ReplyDelete
    Replies
    1. You are correct. He did carelessly ... thank you...

      Delete
  3. අනික් post valata yanna ba..

    ReplyDelete
    Replies
    1. යටම තියෙන Home batton එක ඔබන්න...
      නැත්නම් Web version එක ඔබන්න...
      ස්තුතියි.. ඔබට

      Delete
  4. සැබෑවටම දුකයි සහෝ. රාජකාරියක් ඉටු කිරීමට ගොස් මෙය සිද්ද වුනු දෙයක් නිසාවෙන් කාහටවත් දොසක් කියන්නත් බෑ, නමුත් ආයුධ පරිහරණය කිරීමට සියල්ලන්ටම පුහුණු කරනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... ආයුධ පරිහරණය හැමෝටම පුහුණු කරනවා... නමුත් මේක සිද්ධ වුනේ මේ නිලධාරියාගේ දැඩි නොසැලකිල්ල නිසයි.... දෙවෙනි කොටසක් ලිව්වොත් මම ඒ විස්තර සියල්ල පැහැදිලි කරන්නම්...
      බොහොම ස්තුතියි ඔබට...

      Delete
  5. /// “ අය්යෝ සර්....., අනේ සර්.......“

    නිලධාරීන් ඔවුන්ගේ උකුල්මත මා හොවාගෙන ළඳරුවන් මෙන් හඬන්නට පටන් ගත්තේය. ඔවුන්ගේ විළාප හඬ මගේ සවනත සිප ගනිමින් තිබුනි. ///

    /// “මාව ඉක්මණට හොස්පිටල් ගෙනියන්න......“

    කිසිත් කරකියාගත නොහැකිව හඬා වැළපෙමින් සිටි නිලධාරීන්ට මම කීවෙමි. මම කතාකරමින් එලෙස ඉල්ලීමක් කිරීම තුල මරණය හා තවදුරටත් සටන් වදින්නට මා සතුව යම් ශක්ති ප්‍රමාණයක් ඉතිරිව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇත. කිසිවක් කරකියාගත නොහැකිව සෝබරව ළතැවෙමින් සිටි නිලධාරීන් මගේ ඒ ප්‍රකාශයත් සමඟ වහාම ක්‍රියාත්මක විය. ///

    මේ වචන තුල ඔවුන්ගේ නොසැළකිල්ල, අත්දැකීම් විරහිත බව වැනි බොහෝ දේ දකින්නට තියෙන බව මට හිතෙනවා...
    අනික ගිණි අවියක් පාවිච්චි කරන අයෙකු සතුව තිබිය යුතු විනය ඔබගේ සහය නිලධාරියට තිබිල නැති බවත් මටනම් පැහැදිළිවම හිතෙනවා...
    මෙවැනි රාජකාරියකදී මැරයින්, මංකොල්ල කරුවන් අතින් මෙවැනි දෙයක් සිදු උවත් තමන්ගේ සහයකුගේ නොසැලකිලිමත් භාවයක් නිසා මෙවැනි අනතුරක් සිදුවීම ඉතා කණගාටුදායක තත්ත්වයක්...

    කෙසේ නමුත් ඔබගේ ජීවිතය බේරීම වාසනාවක්...
    මින් ඉදිරියට ඔබේ සටන දකින්න කැමැත්තෙන් පසු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කර ඇති කරුණු සියල්ල නිවරැදියි... ඒ සියල්ල සමඟ මම එකඟයි... පොලීසිය මට කවදත් සුවදායි තැනක් වුනේ නෑ... පොලීසියේ ගොඩක් දේවල් වෙනස් විය යුතුයි... බොහෝ දේ ගැන අදටත් මට විවේචන තියෙනවා... අවි ආයුධ පරිහරණය... ආත්ම ආරක්ෂක සටන් ක්‍රම ආදී සියලු දෙයින් සන්නද්ධ පොලිස් නිලධාරීන් බිහිවෙනකම් අපට පොලීසිය ගැන සතුටු වෙන්න බෑ... නිල ඇදුමේ සිට වෙනස් විය යුතු බොහෝ අංග තිබෙනවා... ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ ආකල්ප ද බොහෝ සෙයින් වෙනස් විය යුතුයි... ලියන්න ගියොත් මේ ගැන පිටු ගනණනක් ලියන්න පුළුවන්...
      ඔබට බොහොම ස්තුතියි..
      .

      Delete
  6. වචන නැහැ.
    අපරාදෙ ලංකාවට පින නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබේ සංවේදී ප්‍රතිචාරයට ප්‍රතිචාර දක්වන්න මටත් වචන නෑ මද්දා.... ඔබේ වචන මට මහමෙරක්... ඔබට බොහොම ස්තුතියි...

      Delete
  7. කලින් කොටසෙදි මං හිතුවෙ කුමාරගෙ සෙට් එකෙන් වෙඩි තිබ්බා කියලයි. ඔබේම සහයකයෙකු අතින් මෙය සිදු වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

    ReplyDelete
  8. Good story writing, though it is sad at the end.

    Well, life is such my friend (easy to say,but) look at the bright side, you are not dead at 30. Life goes on, hope you are happy and still be useful to our society like you did in the Police force. Take care, Keerthi

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ටික කාලෙකට පස්සේ කියෙව්වේ, එක හුස්මටම ගිරිබාවට යන තැන ඉදලා කියෙව්වා. හිතට දුකයි, ඒත් ඇත්තට මුහුණ දෙන්න වෙනවා, ඒක කොච්චර අමාරැද කියලා ඔයාගේ ඇස් වලින් පේනවා. මට තේරෙන්නේ නෑ , නොසිතන නොපතන වේලාවට අවාසනාව ඇයි දිනන්නේ...

    ReplyDelete
  11. මා ඔබ හොදින් හදුනමි....ඔබද මා හොදින් හදුනමි.....! අප දෙදෙනාම ඉටුකර ඇත්තේ එකම රාජකාරියයි. සිදුවීම් දෙකක් උවද ඔබටත් මටත් අද උරුමව ඇත්තේ එකම ඉරණමයි. අපසු හැරී බලනකළ පොලිස් දෙපාර්ථමේන්තුව ගැනම මට ඇත්තේ කලකිරීමකි. අවසනයේ අප ලග සිටියේ දෙමාපියන් පමණි! ඔවුන්ද බලාපොරොත්තු පමණක් ඉතිරිකර ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. අපටද එලෙසම සමුගෙන යාමට සිදුවේද? - සුමිත් (රත්නපුර)

    ReplyDelete
  12. මා ඔබ හොදින් හදුනමි....ඔබද මා හොදින් හදුනමි.....! අප දෙදෙනාම ඉටුකර ඇත්තේ එකම රාජකාරියයි. සිදුවීම් දෙකක් උවද ඔබටත් මටත් අද උරුමව ඇත්තේ එකම ඉරණමයි. ආපසු හැරී බලනකළ පොලිස් දෙපාර්ථමේන්තුව ගැනම මට ඇත්තේ කලකිරීමකි. අවසනයේ අප ලග සිටියේ දෙමාපියන් පමණි! ඔවුන්ද බලාපොරොත්තු පමණක් ඉතිරිකර ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. අපටද එලෙසම සමුගෙන යාමට සිදුවේද? - සුමිත් (රත්නපුර)

    ReplyDelete