Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 01

“ Excuse me Sir...”     

හුරුපුරුදු කටහඬකින් සමාව අයැදීමක්.....

අපරාධ පරීක්ෂණයක සටහන් ලියමින් සිටි මා එම කාර්යය නවතා හිස ඔසවා බැලුවෙමි.

ආ ඔව් අත්තනායක...

නියඟයට ලක්ව හේ බා ගිය ලදළු පත් වැනි මුහුණු වලින් යුතු තරුණයන් සිව් දෙනෙකු සමඟ අත්තනායක නිලධාරියා මා ඉදිරියේ පෙනී සිටියේය. අත්තනායක යනු කොටහේන පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු රාජකාරියේ යෙදී සිටි නිලධාරියාය. පොලිසියේ භාෂාවෙන් කිවහොත් TO ය. මා හඳුනා ගෙන සිටි පරිදි අත්තනායක හිත හොඳ නිලධාරියෙකි. දැන් ඔහු පැමිණ ඇත්තේ කිනම් කාරණාවකටදැයි මසිත කුකුසක් මතු විය.

සර් පොඩි කේස් එකක්... මේ මල්ලිලා අපේ ගම්පැත්තේ වැල්ලවායෙ... මෙයාල රට යන්න එකෙකුට සල්ලි දීලා... ඌ මෙයාලව රවට්ටලා සල්ලි ටික අරන් පැනලා ගිහිල්ලා....

අත්තනායක එක හුස්මට කාරණාව කෙටියෙන් කියා සිටියේය. ඔහු මාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මට වැටහුනි. එය රාජකාරි මට්ටමෙන් ඉටු කල යුතු වුවකි.

කොහෙදිද මේක සිද්ධ වුනේ...?”

මේ සිද්ධියේ පෙරපර ගළපා ගැනීමට මම උත්සුක වුයෙමි.

සර් මෙතන මේ රත්නම් මෙඩිකල් ලැබ් එක ගාවදි...

අත්තනායක විස්තර කිරීම සිදු කරද්දී අසරණ වු තරුණයෝ හිස වනමින් එය අනුමත කලහ. අවුරුදු 20, 25 තරම් වයසේ පසු වු ගැටවරයින්ට ඔවුන් මුහුණ දී සිටි දුෂ්කර අවස්ථාවේ තම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු හමුවීම කතරක අතරමං වුවෙකුට දිය බිඳක් හමු වුනාක් වැනි යම් තරමක සැනසිලිදායක බවක් ලැබුනු බව මට ඒ මැළවුණු මුහුණු කියා පෑවේය.

කියන්න කෝ බලන්න මේ සිද්ධිය වුනේ කොහොමද කියලා මුල ඉදලා ...

මම හරිබරි ගැසීමි.

මල්ලි කියන්න කෝ වෙච්ච දේ සර්ට මුල ඉඳලා ..

අත්තනායක තරුණයන් අතර වැඩිමහලු බවක් ඉසිලූ තරුණයාට ඇරයුම් කළේය.

කොහෙද ඔයාලගේ ගම...?”

තරුණයින්ගේ නිජබිම නිවැරදිව දැනගනු අටියෙන් මම විමසීමි.

සර් අපි වැල්ලවායට එහා හඳපානගල....

ඇරුණු මුවතුලින් බයාදු කටහඬක් ගලා ආයේය.

මූ ඔයාල අඳුනගත්තේ කොහොමද...?”

මුලින්ම අපරාධකරු හා තරුණයන් අතර ඇති සම්බන්ධය දැනගත යුතුමය.

සර් මෙයා මේ ලී බිස්නස් කරන්න අපේ ගමට ආපු කෙනෙක්... ඒ ආපු ගමන තමයි අපිත් එක්ක හිතවත් වුනේ...

මොකක්ද මිනිහගේ නම...?”

අදාල පුද්ගලයාගේ තොරතුරු තිබෙන ප්‍රමාණය අනුව මගේ රාජකාරියේ පහසු අපහසු බව තීරණය කරයි. පැමිණිල්ලක් සටහන් කරගැනීමේදී අප අනුගමනය කල යුතු ක්‍රියා පිලිවෙතක් ඇත. කවුද ?, කවදා ?, කොතනද ? කුමක්ද ? කෙසේද ? යන මේ තොරතුර අනිවාර්යයෙන්ම සටහන් කරගත යුතුය.

සර් නම නං කුමාර කියලා විතරයි දන්නේ...

තරුණයා උත්තර දුන්නේ කොඳුරමින් වරදක් කල එකෙකු සේය. නම වත් හරිහැටි නොදන්නා පුද්ගලයෙකුට මොවුන් රැවටී ඇති සෙයකි.

කොහෙ කෙනෙක් ද ...?”

ගමත් කුරුණෑගල කියලා විතරයි දන්නේ සර්...

හැඬුම්බර හඬකින් දැන් මට පිළිතුරු ලැබෙන්නේ ඔවුන් ද ප්‍රබල අතපසුවීම් ගණනාවක්ම කර තිබු නිසාය. සියල්ල පසෙකලා ඔවුන්ට දෝෂාරෝපණය කිරීමට සිත් වුවත් මම ඉවසීමි. එසේ වුවානම් එය ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේය.

කොටහේන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරියට ගියදා පටන් මගේ අවාසනාවට හම්බ වුනේම අපරාධකරුවන් නොදන්නා ගොනුමය. දැන් තවත් ගොනුවක්.

මෙයා සර් ගොඩක් කල් ඉඳලා අපේ ගමට ඇවිල්ලා ලී බිස්නස් එක කරනවා.... ඒ නිසා අපි පොඩ්ඩක්වත් සැකකරේ නෑ... කුමාර අය්යා කියලා තමයි අපි කිව්වේ.... අපිට කිව්වේ එයාගේ රට යවන ඒජන්සියකුත් තියෙනවා කොළඹ... මල්ලිලා කැමති නම් කියන්න ඔයාලට හොඳ ජොබ් ටිකකට මට යවන්න පුළුවන්... මාසෙකට ලක්ෂයක් දෙකක් පඩි ගන්න පුළුවන්... එක්කෙනෙකුට පනස්දහසක් තිබුන නම් ඇති කිව්වා... මෙයා ගාව ඩොල්පින් වෑන් එකකුත් තියෙනවා සර්...

තරුණයින් පිරිස මේ පුද්ගලයාට රැවටුන හේතුව සාධාරණීය කිරීමට හේතු සාධක ගෙනහැර පායි.

පෙරේදා තමයි එයා අපිව කොළඹ එක්කගෙන ආවේ..

මෙයා ඇරෙන්න අනිත් තුන් දෙනා මීට කලින් කොළඹ ඇවිල්ලත් නෑ සර්...

අත්තනායක තවත් ඌනපූරණයක් එයට එක්කළේ ඔවුන්ගේ නොදනුවත්භාවය ගැන හෙලිකරමිනි. ඒත් අත්තනායක නොදන්නා එක් කරුණක් මට සිහිපත් වුයේ ක්ෂණයකිනි. එනම් මම ද උප පොලිස් පරීක්ෂක සම්මුඛ පරීක්ෂණයට කොළඹ පැමිණියේ මොණරාගල සිට තනිවමය. ප්‍රථම පරීක්ෂණය බදුල්ලේ තිබුන අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මට කොළඹ පැමිණීමට සිදු විය. සම්මුඛ පරීක්ෂණයට ලිපිය ලැබුණේ මට දිනක් ප්‍රමාදව නිසා කිසිදිනක නොගිය කොළඹට යාමට එදිනම කටයුතු කරන්නට සිදු විය. මේ නිසා කොළඹ ගැන දැනුවත් අයෙක් තනියට එක්කරගෙන ඒමට ඉඩ කඩක්ද නොලැබුනි. යන්තම් වයස අවුරුදු 20 ක කොලු ගැටයෙකු වු මම කිසිදු බියකින් චකිතයකින් තොරව මේ ගෙන්දගම් පොළොවට පය තැබුවේ තනිවමය. ප්‍රථම වතාවට මේ ගෙන්දගම් පොළොව ස්පර්ශ කරන අයෙක්ගේ හැඟීම කෙබඳු දැයි ඒ නිසා මම දැන සිටියෙමි.

ඉතිං ඊට පස්සේ කොහාටද ඔයාල එක්ක ගියේ...


02 වන කොටසට.....

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

1 comment:

  1. ඇවිත් කියෙව්වා :D
    "02 වන කොටසට......." link එක වැඩ කරන්නෙ නෑ, blog එකේ නම වෙනස් කරාද? එක හින්දා වෙන්න ඕනෙ...

    ReplyDelete