Monday, July 2, 2018

සිත තාම තරුණයි 05

“ මොකද ගුණයෝ...? “ 

“ අපේ අම්මට අමාරුයි සිරිය නැන්දේ.... දවල් කොස් ඇට කාලා වාතේ අමාරුව හැදිලා ඉක්මනට යංකෝ....“ 

ගුණේ එක පිම්මට කියා ගත්තේය.


“ කොස් ඇට කියන්නේ... සුමනක්කා වෙනදත් නොකන දෙයක්යැ.... අද අමාරු වෙන්න තරං අමුතු කෑමක්යැ.... යමං.... යමං... මොකද බලන්න....“

ඇය රාක්කයෙන් සිද්ධාර්ථ තෙල් බෝතලය ගෙන චීත්තය තදකර හදිමින් ගුණේ පසු පස දිව ආවාය. සිද්ධාර්ථ තෙල් ඔවුන්ගේ කෝකටත් තෛලයයි.

“ අ..... ම්...... මේ........එ............ඒ...............“ 

සුමණාවතී අසනීප වුවාය. අසනීපවීමට හේතු වුයේ කොස් ඇට මාළුව දෙවේලක් කෑම නොව ඇය අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමත් පමණ තරමට ශරීරයට පෝෂ්‍යදායි ආහාර නොලැබීමත්ය. ඇය ක්ෂයරෝගයෙන් දැඩි ලෙස පීඩා වින්දාය. කුස්සි කාමරයේ ලිපෙන් නැගි දුම කමින් ඒ දුමම බොමින් සිටි ඇයට කෑමට මස් මාළු බිත්තරවත් බීමට මෝල්ටඩ් මිල්ක්වත් තිබුනේ නැත. දරිද්‍රතාවයේ පහලටම ගිලා බැස සිටි ඔවුන් කුසගින්නේ හූල්ලමින් සිටි දවස් අපමණය. 

සිරියාත් ගුණසිරිත් නිවසට දිව එනවිට ගුණේගේ මව බිම වැටී සිහි විසඥව සිටියාය. ඇය දුටු වනම ගුණේ බියපත්ව බෙරිහන් දෙමින් කෑ ගැසීය. සිරියා ද ඊට දෙවෙනි නොවුවාය. අහල පහල මිනිසුන් එක් රොක් වුයේ ඇසිල්ලකිනි. සුමණාගේ එකම නෑයාද, ආදරනීය එකම පුතා ද ගුණේ වුව ද කිසිවෙකු ඔහුට අම්මා අසලට යෑමට ඉඩ නොදුන් අතර ඇය වහා රෝහල් ගතකිරීමට සැවොම උත්සුක වුහ.

අඬමින් කොනක් අල්ලාගෙන භීතියෙන් වෙව්ලන ගුණේ අසල ගැවසුනේ පේමාත් කුසුම්සිරිත්ය. සුමණා ළඟම පිහිටි රෝහලට මුලින්ම ඇතුලත් කල අතර ඉන්පසු ඇය කාස රෝහල හෙවත් ලය රෝහලට දින කිහිපයකට පසු මාරු කලාය. 

සුමණා එහිදී මියගියාය ...................................................................................................

මෙතැනින් පසු ගුණසිරිගේ ජීවිතයේ අදුරුතම කාල පරිච්ජේදයන් දිග හැරුනේ ඔහුටවත් සිතා ගත නොහැකි ලෙසටය. අම්මාගේ මරණය සමඟ ඔහු ද මිය ගියේය. මෙලොව සිටි එකම ඥාතියා........., ආදරනීයම ඥාතියා ගුණේගේ අම්මා............, ගුණේගේ ආදරනීයම අම්මා..... ඔහු දමා ඇය යන්නට ගියාය. දැනිදු ඒ සිහිවන ඇසිල්ලේ ඔහුගේ වියපත් දෙනෙතින් කඳුළු ගොඩ ගොඩ ගා ගලායන්නේ ඔහුටත් නොදැනුවත්මය. අම්මා නොමැති ලොවක ජීවත් වන්නේ කෙසේ ද.....? අම්මා ............... අනේ අම්මා.......

ඇ උදේ හිරුට පෙර අවදිවෙයි. රෑ සඳුට පාර පෙන්වමින් පසුදා වෙලදාමට අවශ්‍ය කලහලමනා සකස් කර නින්දට යයි. ඒ අතර කාලය තුල තම එකම දරුවා රැක්මට අපමණ වෙහෙස විඳි. රාත්‍රී නින්දද ඇයට සැප නැත. නින්දේදී ද දුම් ගැසුනු ඇගේ චීත්තය දරුවාට පොරවා ඇය සීතලේ ගුලිවෙයි. දැන් ඈ නික්ම ගොසිනි. මෙය සත්‍යක්දැයි එදා වටහා ගත නුහුනුව ගුණසිරි බෙරිහන් දුන්නේය. අම්මා ඉල්ලා හැඬුවේය. අම්මා නැවත ළගට ආවේ සිහිනෙන් පමණි. අවදි වන විට ඈ නික්ම ගොසිනි. සුවඳ පමණක් ඉතිරිකොට ඈ ගොසිනි. තනියට ඇත්තේ කඳුළු පමණි. අම්මා සිහිපත් නොවන වේලාවක් නැත. 

අම්මා නැති ලොව
කඳුළු සයුර මැද
මල් පිබිදී නැත
කැළණි ගඟේ ජීවන ගමනේ..........

සැබෑ ලොවේ ඔබ
දකින දිනක් නැත
සිහින ලොවෙන් විත්
මා අසලම ඔබෙ
සුවඳ තබාපන්නේ...........

රුවල බිඳී ඇත
හබල කැඩී ඇත
මා තනිවී ඇත
අසරණ වු ජීවන ගමනේ
කැළණි ගඟේ ජීවන ගමනේ...........

වෙනත් ඥාතියෙකු කියා කිසිවෙකු නොසිටි ගුණසිරිට සිටිය එකම ළඟම ඥාතියා අම්මා ද අම්මාට සිටියේ ගුණසිරි ද පමණි. ඉතිං ඇයට අවමඟුල් උත්සව සංවිධානය කරන්නට ගුණ කථා වයන්නට කිසිවෙකු සිටියේ නැත. කාස රෝහලේ සිටම එහි සුසාන භූමියේ ඇය මිහිදන් කිරීමට සිරියා ඇතුළු පිරිස තීරණය කළහ. ගුණේ ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කෙසේදැයි පසු කලෙක ඔහුට සිහිපත් කිරීමටවත් නොහැකි තරම් විය. ඔහු පොළොවේ පස් කෑවේය. මහ හඬින් බෑ ගිරි ගසමින් අම්මාට නැවත එන ලෙස අයදිමින් විලාප දුන්නේය. අම්මා නැවත ආවේ නැත. නමුත් පේමාත් ඇබිත්තං කලු කොළුවාත් මොහොතකටවත් ඔහු අසළින් සෙලවුනේ නැත. ඒ ගුණේට යම් තරමකට සැනසිල්ලක් ගෙන දුන් කරුණකි.
අම්මා නොඑන ගමන ගියාට පසු නිවසට ආවේ කෙසේදැයි ගුණේගේ මතකයේ නොවේ. පේමාගේ සිතේ ද ගුණසිරි කෙරෙහි වුයේ අපමණ දුකකි වේදනාවකි.

“ අනේ මට මගේ අම්මා නැතිව කොහොමවත් ඉන්න බෑනේ...? දැන් ඉතිං ගුණේ කොහොම ද අම්මා නැතිව ඉන්නේ...? “ 

පේමාගේ සිතට මහත් වදදෙන ප්‍රශ්ණය වුයේ එයයි. පසුගිය දිනවල ඔහු සිනාසෙමින් ඇය පස්සේ වැටී කෙලි සෙල්ලම් කල අයුරු......... වැලි බත් පිසු හැටි.... ගුණේ තාත්තා වී තමා අම්මා වී සෙල්ලම් ගෙදර ලී කොට කෑලි බෝනික්කන් නැලවු හැටි.... ඇයට සිතුවම් පටක් මෙන් මතකයේ ඇඳි ඇඳී මැකී යන්නට විය. ගුණේ නැවත සෙල්ලම් කිරීමට එනු නැති ද...? ඔහු දැන් නවතින්නේ කොහේ ද....? පේමාගේ සිතට නැවත වදයකි. 
“ ආ..... ගුණේව අපේ ගෙදර නවත්ත ගන්න පුළුවන්නේ....“ විසදුමත් ඈ ළඟය. අම්මා කැමති වුවානම් තාත්තාගෙන් ප්‍රශ්ණයක් නැත. එවිට ඇයට ගුණේ සමඟ එකටම පාසැල් යා හැක. ඉගෙනුම් වැඩ වලට ගුණේ දක්ෂයෙකු නිසා නොතේරෙන යමක් අහගැනීමටත් පුළුවන. සෙල්ලම් ද කල හැක. නමුත් ප්‍රශ්ණය අම්මා කැමති වේද යන්නයි. හැබැයි සුමනා නැන්දා සිටිද්දි අම්මා ඈ සමඟ ඉතා මිතුරුව විසුවාය. එසේනම් සුමනා නැන්දා නැති කල ඇගේ පුතා තම නිවසේ හදා වඩා ගැනීමට අම්මා අකමැති නොවනු ඇත. අවසන් නිගමනයකට එළැඹි ඈ නිවසට ආ විගස අම්මාට පැනය ඉදිරිපත් කලාය. 

“ අම්මේ ගුණේ පව් නේද .....? “ පේමා කපටිය.

“ ඔව් බං....... ඕක තමයි ජීවිතේ හැටි.... මේ උන්නා මේ මළා... 

සුමනක්කා කවදා මැරෙන්න හිටිය ගෑනියෙක් ද...? “ අම්මාගේ පිලිතුරේ මුල් කොටස පේමාට වුව ද අග කොටස ආරොන්ටය.

ආරොන් එළිසාගේ සැමියාය. පේමාගේ පියාය. එදිනෙදා ලැබෙන කුලී වැඩක් කර කීයක් හරි උපයා තම දරු පවුල නඩත්තු කරන ඔහු තරමක මෝඩ පහේ ගති ඇත්තෙක් ද වුයේය. එබැවින් පේමාගේ නිවසේ සියළුම පාලන කටයුතු සිදු කෙරුනේ මව වු එළිසා අතිනි. 

“ වේලාව ආවම කවුරුත් යන්න ඕන බං.... මොකද බෑ කියලා ඉන්ඩයැ ......  ”ඒ ආරොන්ය.

කථාව වෙනතකට යන හැඩකි. පේමා නැවත මැදට පැන්නාය. 

“ අම්මේ දැන් ගුණේ කොහෙද නවතින්නේ.....? පව්නේ අම්මේ අපි ගුණේව මෙහෙ නවත්ත ගමු ද...?

පේමා බියෙන් නමුත් දෙවරක් නොසිතාම අම්මාගෙන් ඇසුවාය. 

 බුලත් විටක් ඒදමින් සිටි එළිසා එකවරම හිස එසවුවාය. ඈ ලොවි ගෙඩි තරම් වී එළියට පනින්නට දඟලන දෑසින් ආරොන් දෙස බැලුවාය. ආරොන් කැළණි ගං මිටියාවතට දෑස් යොමු කරගෙනම 

“ ඔන්නොහෙ ඒ කොල්ලා මෙහේ නවත්ත ගමු බං...” කිවේය.

“ ඈ බොල මේ මිනිහටයි කෙල්ලටයි අමු කැවිල ද යකෝ....? පොඩි එකීනම් පොඩි කමට කියමුකෝ මේ මිනිහට තේරෙන් නැද්ද... 
හෙටානිද්දා ගෙට වෙන්න ඉන්න ළමිස්සියක් ඉන්න ගෙදරට මේ කොල්ලෙක් වැද්ද ගන්න හදන්නේ...... ඕන්න මම නොකීවා කියන්න එපා කෙල්ලේ කට වහගෙන පල ගෙට....“

ඉතිං අම්මාගේ තීරණය අවසන් තීරණයයි.තවත් අසා පලක් නොවුන තැන පේමා කරබාගත්තාය.

මේ අතර සිරියාගේ ගෙදර තවත් කලබැගෑනියකි. සිරියාත් සිරියාගේ සැමියා වූ සයිමනුත් කුසුම්සිරිත් ගුණසිරි සමඟ සුමනා සුසාන භූමියේ වල දමා සිරියා ගේ නිවසට පැමිණියහ. ගුණසිරි තවමත් හැඬූ කඳුළිනි. හැඬීමෙන් හෙම්බත් වූ ඔහුගේ මුවින් පිටවන සිහින් ඉකිබිඳුම් හඬ ඇබිත්තං කලු කොලුවාගේද දෑස තෙමා දැමීමට සමත්ය. දැන් ඉතින් හැඬීමෙන් පලක් නැත.

“අඬන්න එපා මයෙ පුතේ...” කියා තම හිස පිරිමැදීමට අම්මා නොවේ.

 පුච්චන විට රස්නෙ පිටින්ම ආප්පයක් අතට දී 

“ කාපං මයෙ පුතේ ... ”  කියා තමා එය රස කර බුදිනු බලා හිඳ දෑසේ නැඟි කඳුළක් රහසේ චීත්ත පොටින් පිස දා ගැනීමට අම්මා නොවේ. 

“ලොකු මහත්තැං කෙනෙක් වී ලොකු ගෙයක් සාදන්නැයි” කීමට අම්මා කෙනෙක් නොවේ....  ඉතින් නැවත දෙගොඩ තලා ඇස් ඉවුරු කඩා ගෙන ගලා යන කඳුලු ගංඟාවන් නවතා ගන්නේ කෙසේද? ගුණසිරි හැඬුවේය. වැළපුණේය. අවසන ඉකි ගසමින් හීල්ලුවේය.

06 වන කොටසට.

No comments:

Post a Comment