Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 05

“SI ප්‍රදීප් සර්...”

පුළුවන් තරම් ගරුත්වය ලබාදෙමින් දුරකථනයේ රැදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව ආමන්ත්‍රණය කලෙමි. ඔහුගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන මම පසු වුනේ මඳක් කැලඹුණු සිතිනි. කාන්තාවගේ දුරකථනය හරහා ඔහුට සවන්දීමට කීකරු නොවීම ගැන ඔහු කෝපයෙන් පසුවෙනවා විය හැකියි. යලිත් ඔහු අපරාධ විමර්ශන අංශයේ දුරකථනයෙන් මා ඇමතීම තුලින් ඔහුත් කාන්තාවත් අතර තිබෙන හිතවත්කමේ දිග පළල මම මැනගත්තෙමි.

“ ප්‍රදීප්..., ඔයා මල්වත්ත පාරේ ඒජන්සියක ලේඩි කෙනෙක් ඇරෙස්ට් කරන්න ගියාද..?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගෙන් විමසීය.

“ ඔව් සර්...”

මම සෘජු කෙටි පිළිතුරක් ලබාදුන්නේ කීකරු බවක් ද මවාපාමිනි.

“ මොකක්ද හේතුව..?”

හේතුව ඉතාමත් පැහැදිලිව කෙටියෙන් දැනගැනීමට අවශ්‍ය බව ඔහුගේ විමසීම තුල විය.

“සර් කම්ප්ලේන් එකක් ඇවිල්ලා තියෙනවා රට යවන්න පොරොන්දු වෙලා හතර දෙනෙක්ට මුදල් වංචා කල සිද්ධියක් ගැන ..., දැන් මේ මුදල් වංචාකල පුද්ගලයා පැනලා ගිහිල්ලා..., මේ පුද්ගලයා මුදල් වංචාකරලා තියෙන්නේ මේ ලේඩිත් එක්ක ඇවිත්..., මේ ලේඩිගේ ඒජන්සියෙන් තමයි මේ අය රට යවන්න පොරොන්දු වෙලා තියෙන්නේ... ඉතිං සර්....”

කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉතාමත් නීතිමය වටපිටාවක් තුල බව මම ඔහුට විස්තර කරන්නට පටන් ගත්තෙමි. බොහෝ විට විදේශ රටවලට පුද්ගලයන් යවන නියෝජිත ආයතන තුලින් වංචා කිරීම් සිදු කිරීම එදත් අදත් අපට අසන්නට ලැබෙන ප්‍රසිද්ධ රහසකි. මේ තත්ත්වය ගැන ජ්‍යෙෂ්ඨ නිලධාරියාද ඉතා හොඳින් දැනුවත්ව සිටියේය. කෙසේ වුවත් ඔහු විපරම් කර බැලුවේ ඔහුට මේ සිද්ධිය සම්බන්ධව යම් අතපෙවීමක් කිරීමට අවස්ථාවක් ඇද්ද යන්නයි. මම කල පැහැදිලි කිරීම තුල ඔහුට එවැනි අවස්ථාවක් නොමැති බව වැටහෙන්නට ඇත. එබැවින් ඔහු අතර මඟ මා නතර කලේ මෙලෙසිනි.

“හ්ම්.. හරි..., හරි..., හරියට වැඩේ කරගෙන යන්න..., WPC ල එක්කරගෙන ගියා නේද ඇරෙස්ට් කරන්න යනකොට...?”

“ඔව් සර්...”

සංවාදය නිමා වුනි. කෙසේ වුවත් ඔහුට කිසිදු අවස්ථාවක් නොදෙන්නට මම රාජකාරිය ඉටුකරමින් සිටින බව ඔහු වටහාගන්නට ඇත. කෙසේ වුවත් එදායින් පසු ඔහුගේ ප්‍රසාදයට මා ලක්නොවුනු නිලධාරියෙක් විය. පසු කලෙක ඔහු මා සම්බන්ධව කටයුතු කල ආකාරයෙන් එය මට සනාථ කරවීය. ඔහුගේ ප්‍රසාදයට ලක්වෙන අයුරින් රාජකාරිය ඉටුකිරීමට මට ඕනෑතරම් අවස්ථාව තිබුනි. එහෙත් දුප්පත් අහිංසක තරුණයින් හතර දෙනාගේ දුක් කඳුලු තුලින් එවැනි ප්‍රසාදයක් ලබාගැනීමට මට අවශ්‍ය නොවිනි. මට අවශ්‍ය වුයේ කෙසේ හෝ වංචාකල පුද්ගලයා හැකි ඉක්මනින් නීතිය හමුවට පමුණුවා තරුණයන්ට ඉටුවිය යුතු යුක්තිය සාධාරණය ඉටුකරදීමයි. 

ඊළඟට මා අවධානය යොමු කලේ සැකකරු පැමිණි වෑන් රථයේ අංකය තුලින් ඔහු කොටුකරගැනීමටයි. ඒ සඳහා නාරාහේන්පිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ගොස් වෑන් රථයේ වත්මන් ලියාපදිංචි අයිතිකරුවාගේ තොරතුරු ලබාගැනීමට අදහස් කලෙමි.

“සර් හම්බවෙන්න කෙනෙක් ඇවිල්ලා...”

නිලධාරීයෙක් මට දැනුම් දුනි.

“සර් මේ මගේ යාලුවෙක් මම ආවෙ මෙයාට ඇපගන්න පුළුවන් ද බලන්න...”

අවුරුදු 27 ක පමණ වයසකින් යුතු රූමත් කාන්තාවක් පැමිණ මා විමසුවාය. වත් පොහොසත් කම් වලින් සපිරි තැනැත්තියක් බව ඇගේ නවීන ඇඳුම් ආයිත්තම් දකිද්දී මට සිතුනි.

“මට තවම ඒ ගැන කියන්න බෑ... මම යාලුවගෙන් තවම ප්‍රශ්න කරෙත් නෑ... අපි හවසට බලමු...”

“ අනේ සර් ලොකු උදව්වක් පුළුවන් නම්...”

ඉක්මනින් මා සමඟ හිතවත් කමක් ඇතිකරගන්නා අභිලාෂයෙන් යුතුව ඇය මේ ඉල්ලීම කලේ ඉඟි බිඟි පාමින්ය.

“ ඕකේ..., අපි බලමු...”

මම ලබාදුන් උත්තරයෙන් සෑහීමකට පත් නොවු ඇය තවදුරටත් මට ඇවිටිලි කිරීමට සුදානම් වන විට මම තවත් රාජකාරියක් උදෙසා හිද සිටි පුටුවෙන් නැගිට ඉවතට ඇවිදගෙන ගියෙමි.
අපරාධ විමර්ශන අංශයේ පාවිච්චියට ලබාදී තිබූ සුසුකි GN 250 යතුරු පැදියෙන් මම තවත් නිලධාරියෙක් සමඟ නාරාහේන්පිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව බලා ඉක්මනින්ම පිටත්ව ගියේ එහි කාර්යාල කටයුතු නිමවීමට පෙර වෑන් රථයේ හිමිකරුගේ තොරතුරු ලබාගැනීම සඳහායි.

පැය දෙකකට ආසන්න කාලවේලාවක් තුලදී රථයේ ලියාපදිංචි හිමිකරුගේ සියලු තොරතුරු රැගෙන නැවත අපි පොලිස් ස්ථානය වෙත පැමිණෙන විට දිනය හමාරවීමට ද ආසන්න වී තිබුනි.

“ ආ.. , මචං ප්‍රදීප්..., අර ගෑනු කෙනාව දැන්ම produce කරන්න එපා...! මම එනකම් පොඩ්ඩක් ඉන්න...”

පොලිස් ස්ථානයට පැමිණෙන විටම තවත් මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැමිණ ඉල්ලා සිටියේ මා එන පෙර මඟ බලාසිටය. බොහෝ දෙනෙක්ගේ අනුකම්පාවට භාජනය වී ඇත්තේ වංචාකරුවා සමඟ කටයුතු කල කාන්තාව වු අතර අසාධාරණයට ලක් වු තරුණයින්ට ඉටු විය යුතු සාධාරණය වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් නොවීම ගැන එක්තරා විදියකින් මට කලකිරීමක් එක් කලේය.

“ අත්තනායක දැන්ම ගල්කිරියාගම පොලීසියට මෙසෙජ් එකක් දෙන්න. මෙන්න මේ පුද්ගලයයි වෑන් එකයි ඇරෙස්ට් කරලා අපට දන්වන්න කියලා...”

අත්තනායකට මම උපදෙස් දුන්නේ මෝටර්රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ගෙනා තොරතුරු ඔහුට ලබා දෙමිනි.

එල්ලවෙන බාධක අභියෝග මැද ඒ කිසිවෙකුට අවනත නොවී අත්අඩංගුවට ගත් කාන්තාවත් තරුණියත් ස්ථානයට ඉදිරිපත් කලේ අගතියට පත් තරුණයින්ට සාධාරණය ඉටුකිරීම මගේ ප්‍රධාන වගකීම බව සිතට ගනිමිනි.

අත්අඩංගුවට ගන්නා සැකකාරියන් රඳවා තබාගැනීමට වෙනම සිරමැදිරි නොමැති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය ලබාදීමේ වගකීම භාරදෙනු ලබන්නේ මේට්‍රන් වරියකටයි. කාන්තා සැකකාරියන් අත්අඩංගුවට ගත්විට ඒ සඳහා සේවය සැපයීමට සූදානමින් පොලිස් වසම තුල කාන්තාවක් සිටි. ඔවුන්ට ඒ සඳහා යම් දීමනාවක් ගෙවනු ලබයි. මෙකී මේන්ට්‍රන්වරියට සැකකාරියන් දෙදෙනා භාර දී එදින රාජකාරියට මම විරාමයක් තැබුවේ හෙට දින නැවතත් විමර්ශන කටයුතු ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙනි.

“ සර් අපි යන්න කියලා...”

තරුණයින් සිව්දෙනා සමුගන්නට මගෙන් අවසර පතයි.

“හරි ඔයාල යන්න..., මම කොහොම හරි මූව හොයාගෙන ඔයාලගේ සල්ලි අරන් දෙන්න බලන්නම්...., හැබැයි ඊළඟ සැරේ කාට හරි සල්ලි දෙනකොට නම ගම ඉන්න තැන හරියට දන්න කියන මනුස්සයෙකුට දෙන්න..., නැත්නම් ඉතිං අපට තමයි කට්ට කන්න වෙන්නේ...”

තරුණයන්ට බලාපොරොත්තුවක් හා අවවාදයක් ද එකතු කොට ඔවුන්ට සමුදුන්නෙමි.

සුන් වු බලාපොරොත්තු සහිතව හිස් අතින් තරුණයින් නැවත තම ගම් බිම් බලා පිටත්ව යනු දුටු මට ඇතිවුණේ ඔවුන් කෙරෙහි දැඩි අනුකම්පාවකි.


No comments:

Post a Comment