Tuesday, July 3, 2018

සිත තාම තරුණයි 11

තිලකෙ මාමා ගියේය. ගියේ තම හදවත ගලවාගෙන වගේ නේදැයි ගුණසිරි ට සිතුණි. හිස මත මහා මේරැ පර්වතයක බරක් තබා ඔහු යන්නට ගියේය. දැන් තමා කුමක් කළ යුතුදැයි ගුණසිරි ට නිනව් නොවීය. හද කමල විකසිත කරමින් පෙම් මල් පොට්ටුවක් පූදින්නට මන බැලුවා පමණි. මනෝ රම්‍ය සිහින උයනෙන් තමා බිමට කඩා වැටෙන්නට යන සෙයකි. මේ යැයි පහදා දිය නොහැකි දුක්ඛ දෝමනස්ස හැඟුම් කලතක් ගුණේ ගේ සිත තුළ පෙරළි කරන්නට විය.
ප්‍රේමා...... සොඳුරු ආදරවන්තිය ..... ඇය දමා යන්නේ කෙසේද ?.....

නිතර කථා නොකළද තමාට ඇය දකින්නට ලැබීමම සිත සැනසෙන්නට කරුණක් නොවේද....? මේ පාත් වෙන්න යන හෙණ ගෙඩිය කුමක්දැයි ගුණේ ගේ සිත වල්මත් වන්නට විය.

තිලකෙ මාමා සිටින ඉසව්ව හරි හැටි නොදනිතත් ඒ ගොඩපර යාය වත්ත බව ගුණේ දැන සිටියේය.

“ ඉතිං සිරියා නැන්දේ ඇයි මම එහේ යන්නේ.....?

ගුණේ සිරියා විමසීය.

“ නෑ බං උන්ටත් ළමයි නැති එකේ කමලාත් සාංකාවෙන්නේ මෙච්චර කල් උන්නේ ..... උඹව උන්ගෙම දරුවෙක් වගේ හදා ගන්නවා කිව්වේ .......“

“ ඉතිං සිරියා නැන්දා කැමතිද සං එහේ යනවට.......? ගුණේගේ නොකැමැත්ත සිරියා පිටින් යවන්නට තැත් දරනවා සේය.

“ මං මොනවා කියන්නද බං.... අපි .......මාමා ගෙනුත් අහලා බලමු. උඹට හොඳක් වෙනවා නං කොහොම හරි කමක් නෑ......“

ඒ හොඳෙන් මට කමක් නැහැ. මං හැමදාම මෙහෙම ඉන්නං ..... මට බෑ තිලකේ මාමලගෙ ගෙදර යන්න කියා සිරියාට කියාගත නොහැකිවගුණේ ලතැවුණේය............

පෙර දිනයක තමා මෙලොව තනිකර නොඑන ගමන් ගිය අම්මාට ගුණේ තම දුක කියා පෑවේය.

“ අනේ අම්මේ..... මට බැහැ අම්මේ තිලකේ මාමා එක්ක යන්න...... අම්මා හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නෑනේ.....මගේ අවාසනාවට අම්මාත් මාව දාලා ගියානේ....“

ගුණේගේ සිත අද්දර සුමනාගේ රූප කාය ඇඳි ඇඳී මැකී යන්නට විය. අහිමි වූ මව් සෙනෙහසද අහිමි වෙන්නට යන ප්‍රථම ප්‍රේමයේ සංවේදනාවෙන්ද ගුණේගේ සිත මුසපත් වෙන්නට විය.

තවම පේමා මේ කිසිත් නොදනී අනෙක් අතට කුසුම්සිරි මල්ලී............ ඹහුත් සමඟ බැඳි සහොදරත්වය ................... මිදුලට බැස ගුණේ කුසුම්සිරි කොහේදැයි ඈත මෑත බැලුවේය. කුසුම්සිරි ට කීවා නම් උපකාරයක් ලැබෙනු ඇත. නමුත් ඹහු පෙනෙන මානයක නොවීය. කොල්ලන් සමඟ රැලේ වැටී ගං ඉවුර දෙස යන්නට ඇත.

මේ කිසිත් නොදත් ප්‍රේමා ගුණේගේ ප්‍රේමයෙන් මුසපත්ව සිටියාය. එදා අම්මා නොආවා නම් ගුණේ සම තව වචනයක් හෝ දොඩන්නට ඉඩ ප්‍රස්ථාව තිබුණි. තමා තනිව නිවසේ බව ඹහු දැන ගත්තේ කෙසේද....? අම්මා පොළට තනිව යනවා ඹවුන් දකින්නට ඇත. ඇස් කොන් මනමාල බැල්මක් හෙළුවා විනාමෑත කාලයේදී ඈ ගුණේ දෙස කෙළින් බලා තිබුණේ නැත. ප්‍රේමා ගුණේ ගේ රුව සිත් සේ දැක බලා ගැනීමටත් , ඔහු සෙනෙහස සිත් සේ වි ගැනීමටත් නොමැතිව සිත් තැවුලෙන් පසු වූවාය.

කුසුම්සිරිත් එහෙනම් මේක දන්නවා. ගුණේ කුසුම්සිරි ට මොනවා කිව්වාද දන්නේ නැහැ. නෑඹුල් පෙම්වන්තිය පියෙවි ලොවදීම සිහින සාගරයක ගිළුණාය. කිමිදුණාය. ඇයට අවට නිනව්වක් නොවීය. එලිසාට තම දියණියගේ කුමකුදෝ වෙනසක් දැනෙමින් තිබිණි. දුවලාගේ වෙනස්වීම් අම්මලාගෙන් වසං කරන්නට අමාරුය. තමා පොළේ යනකොට සහලෝලා උණ තිබූ කෙල්ල තමා නැවත ගෙදර එනවිට මේ පාන සිරික්කිය එළිසාගේ හිතේ රතු විදුලි එළි කෙටවීමට සමත් විය.

“ හොදයි දුවේ ඔහොම යමුකෝ.....“ මගෙත් කෙස්ස පැහුණේ අකලට නෙමේනේ.... යි සිතමින් එළිසා මිදුලට බැස්සාය. කොණ්ඩා ගැටය ලිහා තදකර බැන්දාය. චීත්ත ගැටයද ලිහා නැවත ඇන්දාය. ඈත මෑත බැලුවාය. ගුණෙවාද අල්ලපු ගේ දොරකඩ හිදි බැවින් කිසිත් නොකීවාය.

“ ආ.... එළිසක්කේ.... වරෙංකො බුලත් විඩක් කන්ඩ....“ ඒ ඇරයුම සිරියාගෙනි. දැන් ඉතිං දෙන්නත් එක්ක ඕපදූප මල්ල ලෙහන්න ගනියි. තනිව සිතමින් ගුණසිරි නිවසින් එළියට බැස තොටුපළ පැත්තට ගෑටුවේ තෝන්තුවාවෙනි.

සිරියා විට වට්ටිය ගෙන නිවසේ කෙළවර බංකු කොටේ ඇණ බා ගත්තාය. එළිසාද අසළින් වාඩි විය. බුලත් පුවක් හුණු දුංකොළ පදමට ඒදාගෙන බුලත් විටක රස බැලීමට වත්තේ ලැහැණු පිරිමි දෙගොල්ලම හරි සමර්ථය. ඔවුන්ට බත් වේල වැරදුණත් බුලත් විටේ නම් වරද්දා ගන්නට බැරිය.

තු --------------- ගා රත් වූ තොල් අතරින් මිදුලට කෙළ පහරක් ගැසූ සිරියා එළිසා සමඟ මහ කථාවකට මුල පිරුවාය.

“ එළිසක්කේ මං මේ උඹට කියන්නමයි කියලා එළියට ආවේ.....“ කියා වටපිට බැලුවාය.

“ මොකද්ද බං කියහංකෝ තෙපර බාන් නැතුව.....“.

“ නෑ... මේ ගුණේ කොළුවා ඉන්නවද බැලුවා....“

“ ඌ අං අර තොටුපළ පැත්තට ගියා.....“

“ ආ... එනෙං කමක් නෑ.... උඔ දන්නවනේ අපේ තිලකෙයා.....“

“ මොකද බං මං නොදන්නේ.....“

එළිසාට මේ කථාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නැතුව හදිසිය.

“ තිලකෙ ඉල්ලුවා බං ගුණෙයාව දරු කමට හදා ගන්න කියලා...“

එළිසාගේ සිත් අහසේ හත්දින්නත් තරු පායා දිලේ... ඕකාව එළවා ගන්න එක කියලාවත් කර ගන්න පුළුවන් දෙයක්යැ....“

“ ඉතිං උඔ මොකද කිව්වේ....“?

“ අනේ මන්දා බං .... මං වචනයක් දුන්නේ නෑ... අපේ මිනිහා ආවහම අහලා කියන්නං කිව්වා....“

සිරියා එකල මෙකල වෙමින් කීවාය.

“ උඔලා අකමැති වෙන්නේ අහවල් කාරියකටයැ සිරියෝ....“ තු---- ගා රතුම රතු කෙළ පිඩක් මිදුලට අතහැරි එළිසා තවත් ටිකක් සිරියාට ළං වූවාය.....

“ තිලකෙයි කුසුමයි අපි නොදන්න උන් යැයි ... ඌව උන් හොඳට බලා ගනියි...අනික දැන් ඌ දැඩි මේනි වෙච්ච ඉලන්දාරියෙක් මිස ඇබිත්තං එකෙක්යැ .... යවපං.... ඌට හරි යයි.....“

“ ඒ වුණාට එළිසක්කේ මගේ හිතට එච්චර හරි නෑ බං ... උඔ දන්නවනේ අපේ තිලකෙයාගේ බිසිනොස් මොනවද කියලා එහෙං ගංජා විකුණයි.... මෙහෙං කසිප්පුවා... ඊට එහා මදාවියා.... මේ කොල්ලා නාස්ති කරයි කියලා මට බයයි බං.... ඕකගේ කෙරුං උඔ දන්නවනේ...“

“ එනපොට හරි නෑ වගේ .... සිරියා හදන්නේ ගුණෙයාව මේ ගෙදරම තියා ගන්ඩ . එතකොට මටයි විසුමක් නැති වෙන්නේ. මේකිගේ හිත කොහොම හරි වෙනස් කොර ගත්තානං.... මූව මෙහෙං පිටමං කෙිරන්ඩම ඕනෑ... එළිසා තනිව සිතුවාය.

“ ටිකක් ළං වෙයංකො සිරියෝ.....“

“ ඈ බං තව ලොකු වෙනකොට උඔලා ඌ ගැනත් බලන්න එපායැ... කුසුම්සිරියා විතරක් හිටියා නං ඔය ගෙවල් දෙකම ඌටනෙ බාං.....“

“ මොන ගෙවල් දෙකද බං අක්කේ....“

යකෝ උඔට ඒකවත් තේරෙන්නෙ නැති හැටි. ගුණෙයා පිටමං කොරලා යැව්වොත් ඌ ආයේ මේ ගෙවල් හොයාගෙන එන එකක්යැ. ඌ තිලකෙලත් එක්කම ඉඳියි. එතකොට සුමනාගේ ගේත් උඔලටම ඈඳ ගන්න බැරිද? යකෝ එතකොට ඔය ගෙවල් දෙකම කුසුම්සිරි කොළුවට නේද?....

“ උඔට ඒකවත් තේරෙන්නේ නැද්ද?.....“

සිරියාගේ මුවඟට හීන් කපටි හිනාවක් මතුව ආයේය. ඇත්ත නේන්නං එළිසා කියන්නේ. ඕක මට කල්පනා නූන හැටිනේ . කමක් නෑ. කොල්ලව තිලකේ බලා ගනියි. අපේ එකාට මේ ගෙවල් දෙකම ඈඳ ගත්තම කොච්චර දෙයක්ද? මේ වත්තෙම එක ගෙයක්වත් තියෙනවද එච්චර විසාලෙට... අපේ කුසුමෙයා මඟුලක් කාරිය කොරගෙන ගෑණියෙක් ගෙනාපු කාලෙක ඒ ගේ දෙනවානේ.... එහෙනං ගුණෙයාව ත්ලකෙ එක්ක යවන එකමයි නුවණට හුරු.....

එළිසාගේ උපාය සාර්ථක විය. සිරියා හළිසාගේ අදහස ඉහ මුදුනින්ම පිළිගත්තාය.

“ අනේ අක්කේ උඔ කියනකං ඒක මට හාංකවිසියක් මතක් වුණේ නෑනේ....“

“ ඒක නේන්නං බං අපිම ඉන්න ඔන උඔලට ඕවා හරි ගස්සලා දෙන්න....“

කියමින් එළිසා නැගිට නිවසට ගියේ සැනසුම් සුසුමක් හෙළමිනි.

ගුණසිරිටත් පේමාටත් දෙපසකට වෙන් වන්නට සිදු වූයේ ඔවුන් කිසිදා නොසිතූ නොපැතූ ලෙසිනි. පේමා පෙට්ටි ගෙදරම තනිවූවාය. කුසුම්සිරි මල්ලීත් ගුණේත් සමඟ තමා කෙළි දෙලෙන් පසු වූ ළමා විය නැවත නැවතත් සිහිපත් කරමින් ඇය හීල්ලුවාය.

ගුණේ වත්තෙන් පිටමං වන දිනය මුළු වත්තටම ශෝක දිනයක් විය.තිලකේ විසින් ගුණේව රැගෙන යාමවත්තේ උන්ගේ එකම මාතෘකාව විය. ගුණේගේ නික්මීම පිළිබඳව දුක් නොවූ තිරිසනෙකු පවා වත්තෙන් සොයා ගැනීම උගහට විය. එළිසා තුළද දඅක්මුසු සොවක් හටගෙන තිබුණි. හ් වත්තේ හැම දෙනා තුළම ගුණේ හැදිච්ච එකෙකු ලෙස වැදී තිබූ ධනාත්මක හංවඩුව නිසාමය. තත්පර විනාඩි බවටද විනාඩි පැය බවටද පැය දින බවටද පත් විය. ගුණේ වත්තෙන් පිටගම් ගියේය. සිරියා මළ ගෙදරක සිරි ගන්වමින් හඬා වැටුණාය. ------------සයිමන් තුළද නොපැහැදිලි දුක්ඛාන්තයක් හටගෛන තිබුණි. කුසුම්සිරි ඉහිළුම් නොදෙන දුකකින් හිත ගල් කරගෙන පසු වීය. තව දුරටත් ඔහුට ඇබිත්තං කළු කොළුවාම විය නොහැකිව තිබුණි. ඉලන්දාරි දෙදෙනාම සොව පළකලේ කඳුළින් තොරවූ හැඟීම් විරහිත මුහුණිනි. එකිනෙකා තදින් බදා වැළඳගත් ඔවුහු අතීත මතකානුස්මරණයක යෙදුණාහ. හමුවීමක කෙළවර වෙන්වීම යන පරම සත්‍යය පසක් කරමින් ගුණේ තම අඩුම කුඩුම පොදි ගැසූ සූට්කේසය සුරතට ගත්තේය. ඔහුගේ දිවි සරි පොත් පත් පැස තිලකේ අතය.

“ හ්ම්..... ඔය මදෑ.... එහෙනං යමං කොළුවෝ.... රෑ වෙන්න ඉස්සර. සිරියක්කේ අපි යනවා බං.... මූ මේ නොඑන ගමන් යනවා වගේනේ උඔලා අඬන්නේ . මූට හෙටානාද්දා මෙහෙ ඇවිත් යන්න එන්න බැරියැ බං....“

“ ඕ....න්න හැමෝටම කිව්වා අපි ගියා.... කොල්ලෝ ඉස්සර වෙයං....“

තිලකේ මාමා එක දිගටම කියවාගෙන ගියේය. ගුණේගේ තද කරගෙන සිටි නෙත් බැමි ඉවුරු පුපුරා දෙගොඩ තලා කඳුළු පිටාර ගලන්නට පටන් ගනු දැණුනේ පේමාගේ කඳුළු කඩා හැලෙන දෙනයන දකිද්දීය. නොඉඳුල් ආදරවන්තයෝ මුවගින් නොදෙඩූහ. පේමාට අම්මා සිටිනුද ඇයගේ තහංචි විලංගු ද අමතක විය. වත්තේ සියල්ලෝම අවට සිටිනුද ඇයට අමතක විය. පේමා මහ හඬින් හැඬුවාය.ගුණේගේ රූප කාය බොඳ වෙමින් ඈතින් ඈතට යද්දි එළිසාගේ රැවුම් ගෙරවුම් මැද පේමා හඬමින්ම ගෙතුළට දිව්වාය. ඇඳට වැටුණු ඈ ඇති තරම් හඬා වැටුණාය. දුක කඳුළින් සෝදා හැරීමට ඇය කෙතරම් උත්සාහ කළද මතක පැල්ලම් ගලේ කෙටූ අකුරු මෙන් විය.

මේ සියළු අතෝර මැද එළිසා පෙළුණේ එසේ මෙසේ සහනශීලි හැඟුමකින් නොවීය. තම දියණිය බේරා ගත්තෙමියි ඇය සිත ඇතුළින් තුටුපහටු වන අතරම සිරියාගේ සිත සැනසීමටද ඇය උත්සුක වූවාය.

ඒ මදිවාට පේමා.... මේ කෙල්ල බෙරිහන් දුන්න හැටි... ඇගේ හඬා වැටීම සම්බන්ධව වත්තේ කථාවක් හැදුණොත් වසලා පලක් නැත. මේ කරුමක්කාර කෙල්ල අඬපු හැටි. වත්තේම කට පූචානං අම්මණ්ඩිලා ටික බලාගෙන හිටියේ.මේ නිංගිරාවෙන් බේරෙන්නේ කොහොමදැයි සිතූ එළිසා

“ අනේ බොලව්... තිලකෙ කිව්වා වගේ කොළු නොඑන ගමන් ගියායැයි... උඔලා මේ වැලපෙන්නේ.. ඕන වෙලාවක ඌට මෙහේ එන්න බැරුවයැ.අපිට ඌ බලන්න යන්න බැරුවයැ. ඈ...බොරුද මම කියන්නේ කුසුම්සිරි කොළුවෝ...“ යැයි කුසුම්සිරි ට පැවසුවාය.

“ ඔව් නැන්දේ අයියා තිලකේ මාමලගේ ගෙදරටනේ ගියේ....“

කම්මුලේ තබා ගත් සුරතපහළට දමමින් සියළු දෝමනස්සයන් පා කර හරින තරමේ සුසුමක් හෙළූ සිරියා පෙට්ටි ගේ තුළට වැදුණාය. ඇයට බලන බලන අත පාළුය. කුසුම්සිරි ගේ හිස අත ගෑ ඇය නිහඬ මුනිවතට අත වැනුවාය.


No comments:

Post a Comment