Sunday, July 1, 2018

තල්අරඹේ මතකයන් 06

කල්පිටියේදී ප්‍රථම වරට දුටු ආඬියා ළිඳෙන් කුළුදුලේම ස්නානය කිරීමට මට අවස්ථාව ලැබුණේ එදින සන්ධ්‍යාවේය. යුධහමුදා නිලධාරීන්ගේත්, පොලිස් පරීක්ෂකවරුන්ගේත් පැන් පහසුව සඳහා එම ආඬියා ළිඳ තල්අතු කීපයකින් ආවරණය කර, වෙන් කොට තිබුණි. සෙසු නිලධාරීන්ට ද ඒ පරිශ්‍රය තුල මෙවැනි ආඬියා ළිං කීපයක් පාවිච්චියට තිබෙන බව දුටුවෙමි.

ඒ සැදෑවේ මමත්, රසිකත්, ලුතිනන් වික්‍රමරත්නත් ඉවරයක් නොමැති ආ ගිය තොරතුරු කථා කරමින් තොරතෝංචියක් නොමැති උසුළු විසුළු කරමින් ස්නානය කළෙමු.

පොලිස් නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය වු නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ රාජකාරිය මේ ප්‍රදේශය තුල ඉටුකිරීමට නොමැත. අපට ඉටුකිරීමට පැවරී තිබුනේ යුධහමුදා සාමාජිකයින් සේම සංග්‍රාම භූමි රාජකාරියයි. එකාවන්ව ජීවිතය පරදුවට තබා රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමේ මෙහෙවර ඉටුකිරීමයි.

නිලධාරීන්ගේ පොලිස් නිලඇඳුම් ද වෙනස් වී ඇත. උඩුකයට කැමා ටීෂර්ට්, කාකි කලිසම, බූට් සපත්තු, පපුවට තදකර ගැටගසන ලද උණ්ඩ ගැබ සහිතව පොලිස් නිලඇඳුම වෙනස් වී ඇත්තේ සංග්‍රාම භූමියට උචිත අයුරිනි. මමද මේ අලුත් නිලඇඳුමට අනුවර්තනය වීමි.

“ප්‍රදීප් ඔයා කැමති නම් ලක්මාල් එක්ක Point පැත්තේ Visit එකක් දාල එන්න...., “

රසිකගෙන් ඇරයුමක්.....

“වජිර ඉන්නේ නඩුකුඩාවල Point 53 එකේ. වජිරත් හම්බ වෙලා එන්න...”

මට හමුවුන ඒ අපූරු දඩබ්බර බුරුසු රැවුල් ලුතිනන්වරයා……… ඔහු සිටින්නේ අවසන් ආරක්ෂක කඳවුර පිහිටි නඩුකුඩා මුහුදු වෙරළ ආසන්නවලු.

“පේසාලේ Town එකේ කඩ ටිකක් තියෙනවා..., ඔතනින් එහා පැත්තේ Refugees camp එක තියෙනවා..., ඕකෙන් තමයි අපට නිතරම Attack එක එන්නේ...රසික පැහැදිලි කිරීමක.

පවුල් 200 ක පමණ සිවිල් ජනතාවක් පේසාලේ නගරය ආශ්‍රිතව ජීවත් වු අතර තවත් ජනතාවක් අනාථ කඳවුරු දෙකක ජීවත් වනු ලැබීය. පේසාලේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ මන්නාරම දෙසට එක කඳවුරක් ද අනිත් කඳවුර පේසාලේ නගරයට ආසන්නව පිහිටුවා තිබුනි.

Land rover Short wheel ජීප්රථය සහ එහි රියදුරු ලක්මාල් ආගන්තුක පරිසරයේ මා සමඟ සංචාරයකට සුදානමින්... අලුත් පරිසරය දැකබලා ගන්න ලැබෙන අවස්ථාව මා සතුටට පත්කරමින් තිබුණි. මම ලක්මාල් හා ආයුධ සන්නද්ධ නිලධාරීන් පිරිසක් සමඟ ජීප්රථයට නැඟී මුරපොලවල් සහ ප්‍රදේශය පරික්ෂාකර බැලීම සඳහා සංචාරයක යෙදීමට පිටත් වුණෙමි.



මතුසම්බන්ධයි.....

1 comment:

  1. ඊලග එක එනතුරු බලිසිටිමි.

    ReplyDelete