Tuesday, July 3, 2018

සිත තාම තරුණයි 12

වසර 11 කට පසු.........
කැළණි ගං කොමළිය නිහඪව නිසලව තම බඳ ලෙලවමින් සිටියාය. මිටියාවත ඉහළින් වූ පුංචි පටු ගුරු පාර තරමක් පුළුල් වී තිබුණාට වැඩි වෙනසක් වී නොමැත. දෙපස නිවාස යම් තරමකට අළුත් වී ඇත. මිටියාවත අද්දරින් ගුරුපාර දිගේ හෙමි හෙමිහිට ඇදී යන නවීනතම මෝටර් කාරයකි. අද්දර වූ තොටුපළ උඩහින් එය මදක් නැවතීය. කිසිවකු බැසි බවක් නොපෙණුනු රථය මද වේලාවකින් නිසොල්මනේ ඉදිරියට ඇදුණි.සෙමි සෙමින් පා නැගූ රථය තමා සොයා ආ ඉම හමු වූ බැවින් නිහඬ විය.
රථය පිටුපසින් දිව ආ කොළු කුරුට්ටන්ද තම දිවීම අමතක කළහ. නමුදු නොනැවතුණහ. තොරතෝංචියක් නැතුව හැල්මේ කිසිම හරයක් නැති ගෝරනාඩුවක් ඇසුණු වැඩිහිටියෝ ද පෙට්ටි ගෙවලින් එළියට බටහ. වත්තට වාහනයක් පැමිණීම අරුමයක් නොවුණද මේ වැනි නවීනතම මොටර් රථයක පැමිණීම කාගෙ කාගේත් ඇස් නළලට යැවීමට තරම් ආශ්චර්යයක් වී තිබිණ. කාරය වටා සිටින කොළු  කෙලි කුරුට්ටන්ගේ කච බචය නිමක් නැත. කනින් කොනින් රහස් කොඳුරමින් අප්පුලා , රාළලා , මිසි නෝනලා, සෝමලාලාද කාරය දෙසට ළං වූහ. අත ගාන්නටත් ආසා හිතෙන අත ගාන්නටත් ලෝභ හිතෙන මෝටර් රථයේ පැමිණියේ කවුද?

රථය නැවතුණ මුත් පැමිණි අමුත්තා තවම රථයෙන් බිමට බැස නොතිබිණි. ඔහු කාරය තුළ හිඳගෙනම අවට සිසාරා බැලුවේය. මේ මගේ වත්තය. මා ඉපදුණු කුඩා කල හැදුණු වැඩුණු වත්තය.

අම්මා සමඟ කූඩු වී සිටි ,  සිරියා නැන්දා දෙවැනි අම්මා වූ , කුසුම්සිරි ගේ පිට පැළූ , පේමා සමඟ අං කොං ඉඟි බිඟි පෑ වත්තය. වාහනයේ වීදුරු අතරින් එකිනෙකා දෙස බලමින් ගුණසිරි කාරයේ දොර හැරියේය.
එතරමි නිශ්ශබ්ද කමක් .... ඉදිකටුවක් බිම වැටුණත් ඒ හඬ ඇසෙන තරම් විය. ඇරුණු දොරින් ගුණසිරි හෙමිහිට එළියට බටුයේය.

“ හ්හ්හ්හ්.......... “ වට උන් ගැහැණු පිරිමි පමණක් නොව කුඩාවුන්ද ඉහළට ඇද ගත් හුස්ම පොද පහළට හෙලා ගත නුහුණුව විපරීතව ගිය මුහුණින් ඇස් උඩ ඉන්දවා ගත්හ.

“මේ කවුද???????????“

කැරලි ගැසුණු මුදු කොණ්ඩය, ප්‍රියමනාප වත තුළින් මතුව ආ සිහින් මදහස , සුදු අත් දිග කමිසය , ටයි පටිය, කළු දිග කලිසම ........ .........

“නළුවෙක් .....“  පිච්චර් බලා පිස්සු වැටී සිටි එකෙක් කෑ ගැසීය.

එක් නිමේශයකදී අමුත්තාගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ජීවග්‍රහයෙන් නෙත් මානයට ඇද ගත් මිනිසුන් ගැහැණුන් එක්වරම නැවත කියවිල්ල පටන් ගත්හ. වත්තේ උන් කීප දෙනෙක් හඳුනා ගැනීමට ගුණසිරිට හැකි වුණද උන්ට නම් ගුණසිරි හඳුනා ගැනීම උගහට විය. 

පිරිස අතරින් වැඩිහිටියෙකු වූ බුරම්පි මාමා ළඟට ඇදුණු ගුණසිරි තමා හඳුනන්නේදැයි ඔහුගෙන් විමසුවද ම...ම... මහත්තයා... යැයි කීවා මිස ඊට එහා දෙයක් ඔහුට කියා ගත නොහැකි විය.

මමත් උඹලගෙම එකෙක්..... ගුණසිරි සිතින් මුමුණමින් ඉදිරියට ගියේය.

“මහත්තයා... මහත්තයා...“  දහසක් විමසුම් මැද ගුණසිරිට ඇවැසි වූයේ තමාගේත් අම්මාගේත් පෙට්ටි ගෙය සොයා ගැනීමටය. කිසිවෙකු නොවිමසාම ඔහු මතක සුවඳ ඔස්සේ ඔහුගේ නිවනහන ඉදිරිපිටට ගියේය. දෑසින් කඳුළු කඩා හැලෙන මතකය අමතක කිරීම පහසු නොවේ. අල්ලපු ගෙය සිරියා නැන්දලාගේය. අම්මා, සිරියා නැන්දා , කුසුම්සිරි මල්ලීනොඑන ගමන් ගියේ තම හදවත සී සී කඩ ඉරා දමමිනි. දෑසට  නැගුණු කඳුළ ඔහු කාටත් රහසේ වසං කර ගත්තේය. අබලං වූ නිවෙස් දෙක අතරින් ඔහු ඊළඟ පෙට්ටි ගෙය දෙස බැලුවේය. එයද වෙනස් වී නැත. නමුත් එහි නිවැසියෝ කවුදැයි ඔහුට හක්වරම හඳුනිගත නොහැකි වූයේ වත්තේ උන් ඔහු පසුපසින් පැමිණ පේමාගේ ගෙයද ආක්‍රමණය කොට තිබූ බැවිණි. හෙමි හෙමින් දෑස් කරකවමින් කිසිවක් සෙවූ ගුණසිරිට අවසන තමා සෙවූ ඒ දෑස හමුවිණි. 

“ පේමා.......“  දෑස ලොකු කර ගනිමින් හරුපුරුදු මතක සුවඳක් ඔස්සේ ඉව ඇල්ලූ පේමා අසීරු ප්‍රයත්නවක් කෙළවර ජය ගත්තාය.....

“ ගුණේ.....“  ඈ නොදැනුවත්වම ඇගේ මුවින් පිටවිය.

ඇයට ඉදිරියෙන් සිටි එළිසා තම දියණියගේ කෙඳිරුම ඔස්සේ පසුපස හැරුණාය.

“ ඈ .... බං කෙල්ලේ උඔ මේ මහත්තයා අඳුරනවැයි.....?“

දෑස් කුඩා කරමින් විචාලාය.

“ ඇයි අම්මේ මං විතරක්.... අම්මත් අඳුරනවනේ...... මේ ගුණේනේ ... සුමනා නැන්දගේ පුතානේ.... සිරියා නැන්දලගේ ගෙදර හිටියේ......“

ඒ ඇසූ එළිසා පමණක් නොව අවට සිටියවුන්ද තුෂ්ණිම්භූත වූහ. 

එළිසා හෙමිහිට ගුණේ වෙත ළං වූවාය. 

“ හැබෑය මහත්තයෝ මේ අපේ කෙල්ල කිව්වේ..... ඔය මහත්තයා අපේ මැරිච්ච සුමනාගේ කොළුය කියලා......“  තම කන් අදහාගැනීමට ඇය අපොහොසත්ව හිඳියාය. 

“ ඔව් නැන්දේ...“  ගුණේ පිළිතුරු දුන්නේය. 

වටේ උන් කසුකුසුවකින් පටන් ගත් මහා කියවිල්ලක් දිග හරින්නට වූහ. ඇතැමෙක් සුමනා ගේ වග දෙඩූහ.ඇතැමෙක් ගුණේගේ ළමා විය සිහිපත් කළහ. ඒ අතරම සිරියා , කුසුම්සිරි පිළිබඳව වදනක් දෙකක් එහා මෙහා වුණි. තවකෙක් තිලකේ ගුණේව රැගෙන ගියදා සිදුවීම් පෙළ ගැස්වූහ. මේ කිසිවක් නොදත්හු ඇස් මෙන්ම කටවල්ද හැරගෙන මේ කථා වලට කන් දුන්හ.

කෙසේ හෝ මේ මැරිච්ච සුමනාගේ කොළු ගුණසිරි බව එළිසාට ප්‍රත්‍යක්ෂ වීමෙන් පසුව එළිසා ගුණේට තම නිවසේ තිබූ එකම පුටුව ගසා බසා තබා වාඩි වෙන්නට සැලැස්වූවාය. එකත්පස්ව ඇයද ගුණේට ළං වූවාය. කුඩා කල මෙන් කොල්ලෝ කියන්නටද මේ ටයි පටි කලිසම් ඇඳි මහත්තයාට....? කට දිව වලංගු කර ගත නොහැකි බවක් එළිසාට දැණිනි. එබැවින් ඈ.....

“ ඉතිං..... . මහත්තයෝ........“  යැයි දිගු කථාවකට මුල පිරුවාය.

මදහසක් මුව රඳවාගත් ගුණේ අවට උන් සිසාරා බැල්මක් හෙළමින් එළිසාගේ ඉහට උඩින් බලා පේමා සමඟ සිනාසුණේය.

පෙර මෙන්ම කෝල සිනාවකින් ගුණේට සංග්‍රහ කළ පේමා කකුලේ මාපටැඟිල්ලෙන් බිම කොනහන්නට වූවාය.

“ එළිසා නැන්දේ කොහොමද ඉතිං......“

ආවාටම පසු ගුණේ කථා කළ  දිගුම වැකිය එය විය. මේ ටයි පටි පැළඳි ගුණේ මහත්තයා තමාට නැන්දා යැයි පැවසීම, තම නිවසේ වාඩිවීම එළිසාට මහත් උජාරුවක් විය. වත්තේ රැස් කමින් සිටි සෙනඟ පොදියෙන් ඇතැමෙක් තැන් තරන් වල වාඩි වී මේ මහත්තයා දෙස බලා සිටියහ. සමහරෙක් ගුණේ දැන සිටියද ළං වන්නට බියෙන් ඈතින් සිටියහ. එළිසාට ඉරිසියා කළ ඇතැමෙක් මුණු මුණු ගාමින් යන්නට ගියහ. අපි රැවටුණාට මහත්තයෙක් කියලා මේ සුමනා ගෙ කොල්ලානේ යැයි පවසමින් ගිය වුන්ද නැත්තේ නොවේ.

“ මහත්තේලා දැන් කොහෙද මහත්තයො ඉන්නේ.....“  යැයි අසමින් එළිසා ගුණේ ළඟින්ම ඇණ බා ගත්තාය.

තිලකේ එදා ගුණේව රැගෙන ගියේ ඔහුගේ නිවසටය. තිලකේ ගේ බිරිඳ වූ කුසුමා ද බොහෝම ආදරයෙන් ගුණේව පිළිගෙන ඇත. ගුණේට තම දරුවෙකුට මෙන් සැලකීමට තිලකේත් කුසුමාත් සෑම විටම උත්සාහ දරා ඇත. 

මහත්තයා මෙහෙං ගිහිං  දෙතුන් සැරයක් ආවා වගේ මතකයි මට සිරියලා බලන්න..... එළිසා මතක් කළාය. ගුණේ ඒ ආ විටදීත් ඇය පේමා ගෙයි මුල්ලට කර ගුණේ මුලිච්චි නොකරන්නට දැරූ වීරිය සිහිපත්ව ඇයටම ලැජ්ජා සිතී තිබිණි.

“ ඔව් නැන්දේ ..... මං අන්තිමට ආවේ සිරියා නැන්දාගෙයි කුසුම්සිරි මල්ලිගෙයි මළගමට.......“

ඒ හද කකියවන සිදුවීම අමතක කළ නොහැකි බැවින්දෝ නොදැනුවත්වම ගුණේගේ මුවින් එවදන් එළියට පැන්නේය.

“ අනේ මහත්තයෝ...... සිරියයි කුසුම්සිරි කොළුයි මතක් වෙනකොට බඩ පපුව වාවන්නේ නෑ...... එදා උදේ මටත් කථා කරලයි සිරියා ඔය කොළුට බේත් ගේන්න ඩිස්පැන්සොරියට ගියේ..... උංව හප්පපු බවුසර් කාරයා තාම හිරේ වෙන්ඩැති නේද මහත්තයෝ.....“

“ ඉස්සර පත්තරෙත් ගිහින් තිබුණලුනේ මහත්තයෝ කැළණි පාලම උඩදී තෙල් බවුසරයේ හැපී මවත් පුතාත් මරු දකී කියලා .......“  තරමක් ඉලන්දාරි ගැටයෙක් අලගු තැබීය... 

ඒ කථාව එතැනින් අවසන් කරන්නට ඇවැසි වූ හෙයින් ගුණේ

“ කෝ නැන්දේ දැන් සයිමන් මාමා........“  යැයි විමසීය.

“ අනේ අනිච්චේ මහත්තයෝ ජීවිතේක හැටි .... සිරියයි කොළුයි වල දාපු දවසේ ඉඳලා ඌ ගේ හරියේ නෑ... තැන් තැන්වල ඇවිදිනවා....ඌට පිස්සු නෙව මහත්තයෝ.... දකින දකින උන්ගෙන් අහනවා සිරියයි කෙිළුයි කෝ කියලා..... සසරක හැටි මහත්තයෝ......“  එළිසා කම්මුලේ අත තබාගෙන විස්සෝප වූවාය.

එතනින් එහාට ඒ පිළිබඳ කථාව දුර දිග ගෙන යාමට උනන්දුවක් නොදැක්වූ එළිසාට ඇවැසි වූයේ ගුණසිරි මේ ජැන්ඩි පහට හැඳ පැළඳ අලුත්ම අලුත් කාර් එකක යන්නේ ජැක්පොට් එකක් ඇදිලාදෝයි දැන ගැනීමටය.

තමා ඉන්පසු වත්තට නො ආ බව ගුණේ කීවේය. එතැනින්  පසු ගුණේ ගේ කථාව ගුණේ ගේ වදනින්ම මෙසේය.....

“ මට තිලකේ මාමායි කුසුමා නැන්දායි සැලකුවේ ඒගොල්ලන්ගෙම දරුවෙකුට වගේ.... මම ඉස්කෝලේ ගිහින් ඇස් ඇස් සී විභාගෙ ලිව්වා.. ඒක මම ඉහළින්ම පාස් වුණා... එතනින් මම ඇච් ඇච් සී විභාගෙ ලියලා විශ්ව විද්‍යාෙලට ගියා.....“

“ විස්ස විජ්ජාලෙට......“  

එළිසාට මහ හඬින් කියවිණ... නමින් පමණක් අසා ඇති ඒ විජ්ජාලය මහා විසාල තැනක් ලෙස ඇය දැන සිටියාය. ඉහළම පන්තියේ සල්ලිකාර උගතුන්ගේ දරුවන් පමණක් යන අමුතුම ලෝකයක අමුතුම රටන ඇති ඒ විජ්ජාලෙට ගුණෙයාත් ගිහින් යකඩෝ..... මූ එහෙනං ලේසි පාසු පුතයෙක් නෙවෙයිනේ...... 

“ අවුරුදු ගාණක් මම ඉගෙන ගත්තා නැන්දේ ...“  ගුණේ හීන් හඪින් කියාගෙන යයි. කවුරුත් රසවක් කතන්දරයක් අහන්නා සේ නිසොල්මනේ කන් අයාගෙන සිටිති. පේමා නම් වෙනමම ලොවකය. 

වසර ගණනක විශ්ව විද්‍යාල අධ්‍යාපනික මෙන්ම බාහිර අත්දැකීම් තුළින් ගුණේ පිරිපුන්ව සිටියේය. අධ්‍යාපනය ලබන කාලයේදී විය හයදම් සම්බන්ධව ඔහුට වැඩිදුර ගැටළු පැන නොනැගුණේ ඔහු පිටුපස යෝධ සෙවනැල්ලක් මෙන් තිලකෙ මාමා සිටි නිසාය.....

“ සිරියක්කේ.... මමයි කුසුමයි කොල්ලව අපේම එකෙක් වගේ බලා ගන්නං....“  ගුණේව සිරියා ගෙන් රැගෙන යනවිට තිලකේ වූ ඒ පොරොන්දුව කිසිදාක කඩ කළේ නැත.

ගුණේ විශ්ව විද්‍යාලයේ කැපී පෙණුනු සිසුවෙකු විය. අධ්‍යාපනයෙන් මෙන්ම නිරහංකාර නිහතමානි ගතිගුණ වලින් හෙබි ඔහු සෑම දෙනි අතරම ජනප්‍රිය චරිතයක් විය. නිවුණු සංවරශීලි අදහස් ඔහුට කැවූයේ සුමනාය. කුසුම්සිරි ගේ පිට පැළූ දා අම්මා තමාව බදාගෙන හඬමින් සත වෙත මෙත පැතිරවීමේ මුල් අත් පොත් තැබුවාය. එදායින් එදාට කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරන්නෙමැයි ගුණේ ඔහුටම සපථ විය.

විශ්ව විද්‍යාලයෙන් පිට වෙනවාත් සමඟම ගුණේ ගේ මිතුරෙකුගේ පියෙකුට අයත් සමාගමක ඉහළ තනතුරක රැකියාවක් ඔහුට ලැබිණ. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනික සමර්ථයන් මෙන්ම අලෙවිකරණයේ නව මානයන් සම්බන්ධව ඔහු තුළ තිබූ විපුල දැනුමද රැකියාව හිමි වීමට මහත් සේ බලපෑවේය. සම්මුඛ පරීක්ෂණයන්ට ඔහු මුහුණ දුන්නේ  නොබියව දැඩි ආත්ම ශක්තියකිනි.අලෙවිකරණය සම්බන්ධව තමාට පොත්පත් වලින් ලද නොහැකි දැනුමක් ප්‍රායෝගිකව ලබා ගැනීමට හැකි වූයේ තමා කුඩා කල අම්මාගේ ආප්ප පිච්චීමේ ව්‍යාපාරයට සක්‍රීයව දායක වීමෙන් ලද අත්දැකීම් තුළින් බව ගුණේ අදටත් සිහිපත් කරන්නේ දැඩි සොම්නසකිනි. 

එතෙකින් නොනැවතුණු ගුණේ අද සමාගමේ විධායක ශ්‍රේණියේ තනතුරකට උසස් වෙමින් සැලකිය යුතු වැටුපක් ලබන්නේය. ආයතනයෙන් ඔහුගේ පෞද්ගලික පරිහරණයට වාහනයක් ලබා දී ඇත. කොළඹට නුදුරුව ඉඩමක් මිළදී ගෙන දෙමහල් නිවසක් සාදා තිලකේ මාමාත් කුසුමා නැන්දාත් සමඟ සුවපහසු දිවි පෙවෙතක් ගෙවන්නේය.

මේ අදහස් හුවමාරුව වන අතරම ගුණේට සංග්‍රහයක් නොකළ බවට එළිසාට සිහිපත් විය. 

“ අනේ මහත්තයෝ කතා කර කර හිටියා මිසක්කා බීම ටිකක් වත් දෙන්න බැරිවුණා...“  යැයි බැගෑපත් වූ එළිසා අසළ හිඳි කොළුවෙකුට .....

“ ගිහින් බියට්‍රිස් ගේ කඩෙන් බාරලි බීම බෝතලයක් ගෙනෙං මං කිව්වා කියලා.....“  කීවාය.
පුරා පැයකුත් තවත් අඩ පැයක සුහද කතාවක් කෙළවර ගුණේ තම ඔරලෝසුව බැලුවේය. 

“ එහෙනං නැන්දේ මං යන්නං.... ආයෙත් දවසක එන්නංකෝ...“
 කියමින් නැඟිට්ටේය. අවට වාඩි ලා වුන් උන්ද නැඟිට්ටාහ. පේමා දෙසද ඇස් කෙින් බාල්මක් යොමු කළ ගුණේ පෙට්ටි ගෙදරින් එළියට බැස්සේය.....

කුඩා උන් මෙන්ම ගැහැණු පිරිමි රොත්තද පිරිවරාගෙන කාරය වෙත පිය නගන ගුණේ දෙස මිදුලේ සිට පේමා බලා සිටියේ ඉහ වහා ගිය ප්‍රීතියකිනි.....

ඌ දැන් අපිට අල්ලනවා තියා හිතන්ඩවත් බැරි ඉහළ අත්තක්.... ඇන් කර කාර බැඳලත් ඇති. අපොයි මගෙ මෝඩකම... මගෙ විතර නම් මදෑ අපේ එකීගෙත් අවාසනාව වෙන්ඩ ඇති....

තොටුපළ අයිනේ ගඟට නැවිච්ච අත්තක හිඳ කරව් කරන කපුටෙකු දෙස බලාගෙන එළිසා හීල්ලුවාය.

13 වෙනි කොටසට.

6 comments:

  1. ඔන්න පිටු ඔක්කොම කියෝල ඉවරයි මුල් කතා දෙක ප්‍රබන්ධධයට වඩා රහයි.

    ReplyDelete
  2. හරමි සතුටුයි... බොහොම ස්තුතියි කියෙව්වට...
    ඉරණම තීන්දු කල රාජකාරියේ 07 වෙනි කොටස හෙට දානවා... ථ)

    ReplyDelete
  3. ඔන්න මමත් කථාව කියවගෙන ආවා. අටමගෙන් පාර අහගත්තෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට...
      නැවත පැමිණෙන්න 🙏

      Delete
  4. එක හුස්මට කියවගෙන ආව. ගුණසිරි ගෙ ඉදිරිය කියවන්න නොඉවසිල්ලෙන් බලා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ නොවිසිල්ල මගේ උනන්දුවට උත්තේජනයක් සපයයි...
      ස්තුතියි.. ඔබට

      Delete