Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 02

මේ දුප්පත් අහිංසක තරුණයන් රැවටීමට ලක් වු ආකාරය පවසන්නට මම ඔවුන්ට ඉඩ දුන්නෙමි.

“ අපිව සර් එයා මල්වත්ත පාරේ ඒජන්සියකට එක්කරගෙන ගියා... ඒක එයාගේ ඒජන්සිය කියලා තමයි කිව්වේ.. එතන තව ගෑනු අය දෙන්නෙක් හිටියා.. මෙයා ඒජන්සිය ඇතුලට ගිහිල්ලා තමයි කතාකරේ එතකොට අපි හිටියේ එළියේ....”

තරුණයා එකදිගටම සිදුවීම විස්තර කරයි.

“හෝව්... හෝව්.... දැන් ඔය ඒජන්සිය තියෙන තැන මතකයිද...? “

යම් වැදගත් හෝඩුවාවක් ගැන හෙලිදරව් වන බවක් පෙනේ. කොහෙන් හෝ අගක් මුලක් පාදා ගතයුතුය. තරුණයාට බාධාකලේ ඔහුගෙන් කියවෙන වැදගත් කරුණු සටහන් කරගැනීමටයි.

“ ආ... ඔව්.. අපි එතන හොයාගත්තා සර්...”

තරුණයන්ගේ පිළිතුර මට සතුටකි. පරීක්ෂණ ආරම්භ කිරීමට හොද ප්‍රවේශයක් තිබේ.

“එතන හිටපු ගෑනු දෙන්නත් දාගෙන මෙඩිකල් කරන්න යමු කියලා තමයි අපිව කොටහේනට එක් කරගෙන ආවේ... ඇවිල්ලා ඔතන රවුන්ඩ්ද බවුඩ් එක මෙහායින් නතර කරලා පාරෙන් එහා පැත්තේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකට යන්න කිව්වා... එතකොටම කිව්වා දැන් තියෙන්නේ මෙඩිකල් එක ගන්න විතරයි...ඉතිරි සල්ලි ටිකත් දෙන්න කියලා ඉල්ලා ගත්තා... අපි ඉතිං මොකුත් සැකයක් හිතුවේ නෑ ඉතිරි සල්ලි ටිකත් දුන්නා...”

“ කීයක් දුන්නද ...?”

කොපමණ මුදලක් වංචාකළ සිදුවීමක් ද යන්න දැනගත යුතුය.


“ කලින් අපෙන් ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගෙන තිබුන එක්කෙනෙක්ගෙන් රු 10,000 ගානේ.... ඉතිරි සල්ලි එකයි හැටක් තමයි ඒ වෙලාවේ අපි දුන්නේ... ඒ සල්ලි ටික අරන් වෑන් එක හරවගෙන එන්නම් කියලා තමයි යන්න ගියේ... ඊට පස්සේ රවුන්ඩ්ද බවුඩ් එකෙන් හරවන්නේ නැතිව කෙලින්ම ගිය නිසා තමයි අපට සැකහිතුනේ.... අපි හොඳ වෙලාවට ඒ වෙලාවේ වෑන් එකේ නොම්බරේ ලියාගත්තා.. “

දැවැන්ත රැවටිල්ලකට තරුණයන් ගොදුරු වී සිටියත් ඉතාමත් වටිනාකමකින් යුතු හෝඩුවාවක් ද ඔවුන් සතුකරගෙන තිබුනි.

“ඕක වුනේ කවද්ද...?” දැන් ද..?”

සිදු වු වේලාව අනුව අනෙකුත් පොලිස් ස්ථානවලද සහාය ගෙන මෙම වෑන් රථය අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් තිබේදැයි දැනගැනීමට මට අවශ්‍ය වුනි.

“නෑ සර් මේක වෙලා තියෙන්නේ ඊයේ උදේ...”

කටහඬ අවදි කළේ අත්තනායකය.

“ ඉතිං ඇයි ඊයේ ඒ වෙලාවෙම පොලීසියට ආවේ නැත්තේ...?”

තරුණයෝ තවත් අනඟි අවස්ථාවක් මඟහැරගෙන තිබීම සම්බන්ධව නොසතුටින් මම ඒ සම්බන්ධව කරුණු විමසීමි.

“ සර් ඊයේ මෙයාල අර මනුස්සයා ආපහු ආවේ නැති නිසා ආපහු මල්වත්ත පාරේ අර ඒජන්සිය හොයාගෙන ගිහිල්ලා තියෙනවා..., එතන ඒ ගෑනිගෙන් ඇහුවට පස්සේ...කිව්වලු ඔයාල ආවේ එයත් එක්කනේ ඔයාලගේ ඔය ගණුදෙනු මම දන්නේ නෑ... එයත් එක්කම ඒවා බේරගන්න කියලා බැණලා එලවගෙන සර්... ඊට පස්සේ කරන්න දෙයක් නැතිව ඉදලා ඊයේ රෑ තමයි මෙයාල මං හොයාගෙන ආවේ....”

පොලිස් ස්ථානයට පැමිණිළි කිරීමට තරුණයින් පැමිණිමට ප්‍රමාද වු හේතුව අත්තනායක පැහැදිලි කලේය. තරුණ ගැටවුන්ට හදිස්සියේ බලාපොරොත්තු නොවුන අයුරින් අත්විඳින්නට සිදු වු අකරතැබ්බය නිසා ඔවුන් අතිශයින්ම වික්ෂිප්ත භාවයට පත්ව ඇත. ඔවුන් රටයෑමට බලාපොරොත්තුවෙන් මුදල් උපයාගෙන තිබුනේ බොහෝ දුක් මහන්සියෙනි. කුලියට උක්ගස් කපමින් කාලයක් එකතු කල මුදල්ද, දෙමව්පියන්ගේ රන් භාණ්ඩ උගස් තබමින් එකතු කරගත් මුදල් ද, ක්ෂණිකව අහිමි වුයේ ඔවුන්ව දැවැන්ත රැවටීමකට හසුවෙමින්ය. තරුණයින්ගේ සිහින බලාපොරොත්තු සියල්ල බොඳ කරමින් අපරාධකරු තම බලාපොරොත්තු සිහින ඉටුකරගැනීමට නිදහසේ කුරුල්ලෙකු මෙන් ඉගිල ගොස් තිබුනි.

එදින කොටහේන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බැලු ස්ථානාධිපතිවරයා වූයේ මාය. එම නිසා පැමිණිළි සම්බන්ධව රාජකාරි කටයුතු කිරීමේ පූර්ණ බලධාරියාද මම වීමි. තවත් නිලධාරියෙකුගෙන් අවසර ගැනීමක් අවශ්‍ය නොවීය. මගේ ජන්මගතිය වු හැමදේකටම ඉක්මනින් ක්‍රියාත්මක වීම එදින සිතැඟි පරිදි ඉටු කිරීමට ආරම්භ කලෙමි.

“විජේසිංහ ඉක්මනට මේ පැමිණිල්ල ලියන්න...”

මම නිලධාරියෙකුට පැමිණිල්ල ලියාගැනීමට නියෝග කලෙමි.

හරියාකාරව නමක් ගමක්වත් නොදන්නා සැකකරු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය පිඹුරුපත මම සැකසුවෙමි. පරීක්ෂණ කටයුතු මල්වත්ත පාරේ විදේශ රැකියා නියෝජිත ආයතනයේ සිට මෙම සිද්ධියට සම්බන්ධ වු කාන්තාවන් දෙදෙනාගෙන් ආරම්භ කිරීමට සිතාගත්තෙමි.

නිලධාරීන් දෙතුන් දෙනෙක් සමඟ මෙම අපරාධයේ පරීක්ෂණ කටයුතු සදහා පිටව යන බව බල අපරාධ පොතේ (GCIB) පිටවීමේ සටහනක් තැබුවෙමි. ඒ නිලධාරීන් අතරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකුගේ නම්ද ඇතුලත් කරේ කන්තාවන් දෙදෙනෙක් ද මේ සිද්ධියට සම්බන්ධ නිසාය. ඒ හැරත් කාන්තා නිලධාරිනියන් අප පොලිස් ස්ථානයෙන් රාජකාරි කටයුතු සඳහා පිටව යන අවස්ථා වලදි ඔවුන්ගේ නම්ද පිටවීමේ සටහනට එකතු කරන ලෙස ඉල්ලා සිටි. එකල ගමන් වියදම් දීමනාව (බටා) ලබාගැනීමට නම් පොලිස් ස්ථානයෙන් බැහැරව රාජකාරි කටයුත්තක නියැලිය යුතුව තිබුනි. කාර්යාල කටයුතු වල නියැලෙන මෙම කාන්තා‍ පොලිස් කොස්තාපල්වරියන්ට ගමන් වියදම් දීමනාව ලබාගැනීමට වෙනත් විකල්පයක් නොතිබුන නිසා ඔවුන්ගේ ඉල්ලීම ද පිළිගත්තෙමි.

තරුණයන් සිව්දෙනා හා නිලධාරීන් සමඟ පොලිස් ස්ථානයෙන් මම පිටකොටුව මල්වත්ත පාර බලා ගමන් ඇරඹුවේ කෙසේ හෝ මේ අපරාධකරු නීතියේ රැහැනට හසුකරගෙන මේ දිලිඳු තරුණයින් සිව්දෙනාට යුක්තිය සාධාරණය ඉටුකිරීමේ අරමුණෙනි.

03 වන කොටසට...............

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

No comments:

Post a Comment