Sunday, July 1, 2018

සිත තාම තරුණයි 01

“ ගුණේ....., ගුණේ....., ගුණසිරි........, කොහෙ ගියාද මේ කොල්ලා....“

අම්මාගේ කටහඬ මේ දැන් ඇසෙන්නේ ගුණසිරිගේ කණ ළඟින්මය. වටපිට බැලුවද අම්මා පෙනෙන්නට නොවේ. අම්බලම අසලින් ගලායන පුංචි දියපාර දෙසම බලා ඔහු අතීතයට යෑම පමණි සිදුව ඇත්තේ...  පුංචි දියපාරක දුව පනිමින් වතුර තලමින් ගෙවුන ඒ සුන්දර ළමා කාලයට දැන් ගුණසිරි හට යා හැක්කේ සිතින් පමණකි.....

දැන් හේ සැට වියද පසු කල මහල්ලෙක් බව වෙව්ලන දෙඅත් දෙපා දුටු විට ඔහු ට නිතැතින්ම හැඟී යයි. දැන් අම්මාද නැත. තාත්තා ද නැත. ඔවුන්ගේ ලොවට යාමට ගුණසිරිට ඇත්තේ ද තව ටික කලකි. සුසුමක් හෙලා සිතිවිලි සමුදායක් වා තලයට මුසුකල ගුණසිරි ඔහුගේ රසමුසු සුන්දර අත්දැකීම් පිරුණු අතීතයට නැවත පියමං  කිරීමේ අදහසින් අම්බලම අසලින් ගලායන බොර පැහැති පුංචි ඇල පාර දෙසට දෑස යොමු කළේය.....

“ කොල්ලෝ... මේ වැස්සේ නටන් නැතුව ගෙට වරෙං කියන දේ අහලා.... ලෙඩ හදාගන් නැතුව......”

අම්මාගේ සැරපරුෂ නොවූ කටහඩ ගුණසිරිට ඇසේ. අම්මා එහෙම කිව්වාට වැස්සේ ගෙට රිංගාගෙන සිටීම ඔහුට කළ හැකි දෙයක් නොවේ. සම වයසේ කොල්ලන් කුරුට්ටන් සියල්ලම පාහේ අද එළියේය. වර්ෂාව දවස තිස්සේම ඇද හැලේ. පායන පාටක්වත් නැත. ඉතින් පොඩි එවුන්ට රජ මඟුල්ය. බොරපාට ගැසුණු මඩවතුර කලතමින් එහා මෙහා දුවන කොල්ලන් අතරට ගුණසිරි ද එක් විය. එක අතකින් රූරා වැටෙන කලිසම් කොටයද ඔසවමින් ඔහු දියකෙළියේ යෙදුනේය.....

කැළණී ගං මිටියාවතේ ඇති පේළි ගෙවල් ගුණසිරිලාගේය.  ඔවුන් මුහුණ සේදුවේත් , පස්ස සේදුවේත් ගේ දොරකඩින් ගලා යන කැළණි ගඟෙනි. ගෙවල් යැයි කීවාට ඒවාට ගෙවල් යයි කිව නොහැක. තනි කාමරයක් පමණක් වූ පෙට්ටියක හැඩය ගත් පැල්පත් පේළි සමූහයක් අතර වු කුඩා පෙට්ටි ගෙයද සුමනාගේත් ගුණසිරිගේත් හිසට සෙවණක් ගෙනාවේය. සමහරු ඒ ගෙවල් වලට මුඩුක්කු ගෙවල් යයි කියනු ගුණසිරි බොහෝ අසා ඇත්තේය. මුඩුක්කු යන්නෙහි අරුත වටහා ගත නුහුණු දිනක ඔහු අම්මා විමසූවේය....

“ අම්මේ මොනවද මුඩුක්කු ගෙවල් කියන්නේ....? ”

“ ඇයි උඹ එහෙම අහන්නේ....? ” අම්මාගෙන් ගුණේට පැනයකි.

“ නෑ ... අපේ ඉස්කෝලේ නෝනමහත්තයා කිව්වා අර මුඩුක්කු ගෙවල් පේළියේ ළමයි කියලා අපිට....”

“ උඹ ඕවා හිතන්න එපා කොලුවෝ... මේවා මුඩුක්කු නෙවෙයි මේවා අපේ ගෙවල්. ඒත් මොනවා කරන්නද බං අපි මේ ලබා උපන් හැටිනේ. උඹ හොඳට ඉගනගෙන හොඳ මහත්තැන් කෙනෙක් වෙයංකෝ . අපිට හොඳ ගෙයක් හදා ගන්න. මේ නරා වලෙන් එගොඩ වෙන්න මගෙ පුතේ.....”

අම්මාගේ මුව දෙස මුව අයාගෙන බලා සිටියේ ඈ පැවසූ සියළුම වදන් ගුණසිරිට වැටහුණු නිසාම නොව ... ලොකු මහත්තැන් කෙනෙක් වී ලොකු ගෙයක් සෑදිය යුතුයැයි අම්මා කිවූ නිසාය. එදා පටන් ලොකු මහත්තැන් කෙනෙක් වීමට අදිටන් කර ගත් ඔහු... ලොකු ගෙයක් සෑදීමේ සිහිනයක අතරමං වුයේය...

නමුත් ඒවා සිහින පමණක්ම වූවාද.....?

දිය කෙළියේ යෙදෙන ගුණේ පිළිබඳව අම්මාගේ මතකය අමතකව යන්නේ ඇය සවස් වරුවේ කඩයප්පන් සෑදීමට සූදානම් වන විටය. සුමනාගේත් ගුණේගේත් වේල සරි කර ගැනීමටත් ගුණේ පාසැල් යැවීමටත් සුමනා ආප්ප, ඉදිආප්ප හා පිට්ටු විකුණා ලබා ගන්නා මුදල් ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය විය. අම්මා සාදන කඩයප්පන් වට්ටියක තබා එය හිස මත තබා ගන්නා ගුණේ පේළි ගෙවල් අතරින් ආප්ප  ... ආප්ප... කියමින් ඒවා විකිණීමේ යෙදුනේය. එකල ඔහුට ඇවැසි වූයේ ආප්ප විකිණීමටත් වඩා පේළි ගෙවල් හරහා හිතුමතේ තවත් දුර ඇවිදීමටයි. ඒ නා නා ප්‍රකාර මිනිසුන් ගැහැණුන් කළ එළි බසිනා නගරය සැදෑවෙන් රාත්‍රියට ළඟා වෙද්දී දක්වන විචිත්‍ර බවට ගුණේ බෙහෙවින් ඇලුම් කළ නිසාවෙනි.

“ ආප්පේ ... ආප්පේ....

ඉදි ආප්පේ ... ඉදි ආප්පේ...

පිට්ටූ.....ඌ........”

ගුණසිරි යටි ගිරියෙන් විටෙක කෑ ගසයි. විටෙක කිසිඳු වදනක් නොදොඩා ඔහේ ඉබාගාතේ ඇවිද යයි.

“  කොල්ලෝ.... මට ආප්ප දෙකක් දියං. ඔහොම බෑ... හයියෙං ආප්ප කියලා කෑ ගහපං... එතකොටයි විකුණ ගන්න පුළුවන් වෙන්නෙ... උඹ කෑ ගහන්නෙ නෑනේ... අපිටනේ උඹට කෑ ගහන්න වෙලා තියෙන්නෙ....”

නූගත්  නමුත් කොළඹ නගරයේ සටකපටකම් වලින් තෙම්පරාදු වූ පිරිමියෙකු විටෙක ගුණේට පවසයි. පසු කලකදී අලෙවිකරණයේ නව මානයන් සොයා  පියෑඹීමට ඔහු උත්සාහ දරද්දී ඒ නූගත් නාගරිකයාගේ වදන්ද නිරතුරුවම ගුණේට සිහිපත් විය.

ඉතුරු වූ ආප්ප ඉදිආප්ප රාත්‍රියේ ඔවුන්ගේ කුස පිරවූවා පමණක් නොව ඔවුනට සුභ උදෑසනක්ද පැතීය. දිනෙක කුසගින්නද තුරුළු කොටගෙන පාසැල වෙත පා නගන ගුණේ තවත් දිනක කුස පිරුණ සතුටද තුරුළු කොටගෙන නිරුවත් දෙපයින් පාසැල වෙත පිය නැගුවේය....

අල්ලපු ගෙදර කුඩා දරුවා කුස ගින්නේ කෑ මොර දෙද්දී අම්මා කිසිදු දිනක ගුණේගේ පමණක් කුස පිරවූයේ නැත. ඇය තම දරුවාගේ පංගුවෙන් කුඩා ළමයාට කටක් දීම ගුණේ එදානම් නොරිස්සීය.

“බඩ ගින්දර ලොකුයි පුතේ හැමදේකටම වඩා... ඒක නිවන එක ලොකු පිනක්....”

ජීවිතයට වටිනා පාඩම් කියාදුන් ගුණේගේ මව මළපොතේ අකුරක් නොදත් ගැමි ගැහැණියක්ම වූවාය...

“ අනේ මමත් අද රෑ මෙතන පොඩ්ඩක් ඇලවෙන්නද .....? ”

ඒ පැනය ගුණසිරි වෙතද.....? කැහැටු ගැසුණු බැල්ලක ගුණේට බියේ වලිගය දෙපරැන්ද අස්සේ රුවාගෙන අම්බලම මුල්ලකට ගෑටුවේ ඔහුගෙන් එසේ අසන්නාක් මෙනි. කටුවා කෑමෙන් උගේ පිට පුරා සෑදුණු විශාල වණයකි. බියපත් වූ දෑස ඔහු දෙසටම යොමුවීය. අව්‍යක්ත වු රාවයන් නඟමින් බැල්ල අවිහිංසකව අසරණ ගුණේගෙන් අයදින්නේ කුමක්ද.....? මොහොතක් ඒ පිළිබඳව කල්පනාවකට යොමු වු ඔහුට අද මේ මොහොතේ ඌ ද ගුණසිරි ද එක හා සමාන බව ක්ෂණයකින් සිහිපත් විය. වෙනසකට ඇත්තේ ඒ බව ගුණේ දන්නා මුත් බැල්ල නොදැනීමය.

ඉනික්බිති ගුණසිරි නැවත ඔහුගේ අතීතය දෙසට හැරු‍නේය.........

02 වන කොටසට.

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සන්තුෂ්ටියයි.

2 comments:

  1. රහයි වගේ කියෝලම බලමු

    ReplyDelete
  2. කියවන්ඩ පටං ගත්තා

    ReplyDelete