Monday, July 2, 2018

සිත තාම තරුණයි 09

“පේමෝ.... පේමෝ..... මේ කොල ටික අතුගාලා දාපං... මිදුල හැඩි වෙලා.. “

ඒ එලිසාගේ කටහඬය. මිදුලක් කීවාට මිදුලක් නොවේ. පෙට්ටි ගේ ඉදිරිපසින් ඇති පුංචි අඩි පාර මිසක. හැබැයි එලිසාත් පේමාත් ඒ අඩි පාරත් නිවසත් පිරිසිදුව පිළිවෙලට තබාගැනීමට නිතරම මහන්සි වු බවක් පෙනුනි. සිරියා නැන්දාගේ නිවසේ අපිලිවෙලට සිරියා නැන්දා හැර වෙනත් ස්ත්‍රී පරාණයක් නිවසේ නොසිටීම ද හේතු වන්නට ඇති බව ගුණසිරිට පසු කලෙක සිතුනි. කුසුම්සිරි මල්ලිගේ වැඩේ හැම තැනම හැඩිකර දැමීමය. ඉතිං සිරියා නැන්දාට ඔය සේරම සුමක්කරේ කරන්නට බැරිය. 


පේමා ඉදලත් කරකෝ කරකෝ මිදුලට බැස්සාය. දැන් ඉතිං ටික වේලාවක් ගුණසිරිට පේමාව දෑසින් රස විදිය හැක. පේමා ද හොර රහසේ ගුණසිරි ඉන්නවාද බැලීමට උත්සුක වේ. මෙච්චර කාලයක් තිස්සේ වචනයෙන් දොඩා නොතිබු සොඳුරු ආදර බැලුම් කථා දහසක් ඔවුන් දෑස්වලින් පමණක් හුවමාරු කොටගෙන තිබුනි. ඉඟි බිඟි පාමින් මෝදු වෙමින් තිබු යෞවනයේ කථාව ඉතා සුන්දර විය. වචන කෝටියක මුවින් කථාවක් ඔවුන්ගේ එක ඉඟි බැල්මක විය. එවකට ගුණසිරි ද පේමා ද සොඳුරු වසන්තයේ එළි පත්තේ හිඳ තරුණ වියට අතවනමින් සිටියහ. ගුණේගේ යෞවනයේ සුමිහිරි කෝල නුරාවන් සිත වෑස්සුනේ පේමා අරඹයාය. පේමාගේ සිතේ ද ආදර මන්දස්මිතයක් හට ගත්තේ ගුණේ අරඹයාය. ජංගි කොටයකින් සැරසී ඒ කෙලි සෙල්ලම් කල කාලය දැන් අහවරය. කොණ්ඩා කරල් දෙකක් ගොතා උඩට ඉල්පීගෙන ඒමට දඟ දෙන ලැම පොට්ටු මත එය දමාගෙන සැමටම හොරෙන් ගෙල ඇලකර ගුණසිරි වෙත පේමා හෙලන නෙත් කොන් කෝල බැල්ම පුදුම තරම් සොඳුරුය. ගුණේ ද හැකි හැම විටම සැමට රහසේ පේමාගේ රවුම් මූණත් ලොකු ඇස් දෙකත් සෙව්වේය. ඒ රුව තරම් මනහර දසුනක් ගුණේට තවත් නොවීය. 

පේමාගේ දිඟු කෙහෙ රැල්ල..... අඩ සද සරි නලල් තලය.... බිය මුසු මුවැත්තියකගේ බැල්ම.... තමා දුටු වනම ඉඟි බිඟි පානා කෙලි ලොල් දෙනයන... සිනාසෙන විට වල ගැසෙන කම්මුල්..... වටකුරු මුහුණ... තම සිත් විලේ නිරන්තර රඟදෙනු ගුණසිරිට දැනුනි. ඇය සිහිපත් කිරීම ද ඔහුට සුවයකි.  

“ ඔයා ආදරේ ද මට.....? මම ඔයාට ආදරෙයි..... මමත් ඔයාට ආදරෙයි....“

කියු කියුම් දහස් ගනනින් ඔවුන්ගේ නෙත් තුල දඟ කරන්නට ඇත. කල් යත්ම ගුණේ නොදැක එක මොහොතක් ගෙවීම පේමාට කල්පයක් තරම් වන්නට විය. අලු ගසා දමා පැමිණ සිටි ගුණේ ද අපූරු කොළු ගැටයකු විය. සිහින් උස සිරුර..... පලල් වී ගෙන එන උරහිස්... මුදු ගැසුනු කෙටි කොණ්ඩය... ලාවට එබිකම් පාන රැවුල් කොට... යෞවනයේ සොදුරුතම කථාවක් පේමාගේ කනට කොට රහසේ කීවේය. දෙදෙනාගේ දෑසේ ප්‍රේමය මෙසේ දලු ලා වැඩී මෝරා යන අතර.... 
මේ සොදුරු රහස පිළිබඳව හොර රහසේම ඇස් කන් යොමාගෙන සිටි තවත් කෙනෙකු විය. ඒ පේමාගේ මව එලිසාය. කුඩා උන් සංදියේ කෙලි සෙල්ලමේ යෙදෙන විට වගක් නොවුවාට වැඩිය දුර දිග යන ඇයි හොඳයියක් ඇති වේයැයි බියක් කලක සිට එලිසාගේ සිතතුල රඟ දුන්නේය. එවැනි සම්බන්ධයකට ඈ සිතේනම් කොහෙත්ම ඉඩක් නොවීය. අම්ම අප්පා දෙන්නම නැති අනාථයෙකුට දීපංකෝ අපේ කෙල්ල.... මෙච්චර හැඩ වැඩ ඇති එකී.... මූ හිතාගෙන ඇති ඩැහැ ගන්න.... ඒවා කොහෙද මාත් එක්ක.. කෙල්ල ගෙටවෙන්න ඉස්සර නටන්න දුන්නේ පුංචි කමට.... ගෙට වෙච්චදා ඉදලා මුංව මුලිච්චි නොකර  තියන්න මං දත කෑව තරං දන්නේ මං විතරයි... මං ජීවත් වෙලා ඉන්නකං ඒවා සිද්ධ වෙන්න නං ඉඩ තියං නෑ....

ඒ එලිසාගේ සිතුම විය. මේ කිසිත් නොදත් අහිංසක ආදරවන්තයින් යුවල දිගටම දෑසේ කථාවේ යෙදුනහ.  

එලිසා පේමාව යන යන තැන රැගෙන යෑමට පුරුදු වී සිටියාය. එදානම් ඇයට තනිව පොලට යෑමට සිදු වුයේ පේමා උණ හෙම්බිරිස්සාවෙන් පෙලුන හෙයිනි. පේමාට දහසක් නීති රීති පනවා එලිසා තනිව පොලට යෑමට පිටත් වුවාය. 

“ ආ අයියේ.... ඔයාටත් බඩ ඉරිඟු කරලක්.... “

“ කොහෙන් ද මල්ලි...? “

“ තාත්තා ඊයේ ගෙනල්ලා තිබුන ඒවනේ....“

කොහේදෝ සිට දිව ආ කුසුම්සිරි මල්ලි බඩ ඉරිඟු කරලක් දිගු කලේය. කැලැණි ගං ඉවුරේ ගසක කොටයක් මත වාඩි වී සිටි ගුණේරිසුත් කුසුම් සිරිත් බඩ ඉරිඟු ඇටයෙන් ඇටය රස බැලුහ. මේ අතර තුර එලිසා නැන්දා ඉක්මන් ගමනෙන් කඩපොල දෙසට පා තබන අයුරු ගුණේ දුටුවේය.
“ අද කෝ පේමා...? පේමා යන් නැතුව ද....? අද පේමා ගෙදර ද....? 
එලිසා නැන්දා මොකද දන්නෑ අද තනියම පොලේ යන්නේ.....? 
ගුණේගේ සිතේ ප්‍රශ්ණ දහසක් පෙරලි කරන්නට විය. ඔහු එලිසා යන දෙස බලාගත් වනම ගැඹුරු කල්පනාවකට වැටුනි. 

“ මොකද අයියේ....? පේමක්කා තනියෙං ගෙදරද කියල ද කල්පනා කලේ....? “

ගුණසිරිගේ දෑස උඩ ගියේය. කුසුම්සිරි තවමත් අර ඉස්සර ඇබිත්තං කලු කොළුවාම නොවීය. තවත් ඇසකට මේ නොඉඳුල් රහස ගොස් ඇත.  ගුණේ අසරණ ලැජ්ජාවකින් මිරිකෙන්නට විය. 

“ හරි හරි අයියේ... මම ඕක එලිසා නැන්දාටවත් අපේ අම්මටවත් කියන් නෑ.... බයවෙන්ඩ එපා...“ 

කුසුම්සිරි ගුණසිරිගේ ලැජ්ජාවත් බියත් දෙකම ඉවත දමමින් කීවේය. එක අතකින් මේ රස රහස කුසුම්සිරි මල්ලි දැන ගන්න එකත් හොදය. තනිවම රස විදිනවාට වඩා කුසුම්සිරි මල්ලි සමඟ මේ පිළිබඳව කථාකිරීමට හැකියාවක් මින්පසු ලැබේ. පපුවේ තිබු මහා බරක් බිමින් තබා සැහැල්ලු කිරීමට මෙන් ගුණසිරි විශාල සුසුමක් හෙළුවේය.

“ මොකද අය්යේ කල්පනාව.......? “

“ මොකද අය්යේ කල්පනාව...., මම කිව්ව එකට ද....? ඔයා බයවෙන්ඩ එපා... පේමක්කට උණ හැදිලා... අද උදේ එලිසා නැන්දා අපේ අම්මට කියනවා මම අහගෙන.... ඒක හින්දා පේමක්කා ගෙදර නවතින්ඩැති....“

කුසුම්සිරිගේ කතාව නිමක් නැත. කීමට බොහෝ දේ ඇත්තේ ගුණසිරිටය. එහෙත් ගුණසිරිගේ මුව ගොළු වී ගොසිනි. පෙරදා සිටි ඇබිත්තං කළු කොලුවා නොව ඒ වෙනුවට තමා ඉදිරියේ සිටින්නේ වැඩුනු ඉලන්දාරියෙකු නොවේදැයි ගුණසිරිට සිතුනි.... ඒ මදිවාට සිතතුල දඟකරන රසවත් හැඟුම් කලත.... එය බෙදා හදාගන්නේ කුසුම්සිරි සමඟ ද.

“ අ.... යි....යේ.......“

“ මොකද මල්ලි...?“

“ පේමක්කා තනියම ගෙදර ඇති නේද...? යංද අපි බලන්න එයාව....? “

දෙසිතේ ආදර කථාවට තුන්වැන්නකුත් එකතු වී ඇති හැඩකි. කුසුම්සිරි බලා සිටියේ ගුණේ අය්යා ඉක්මන් වනතුරුය. නමුත් කෝල මනමාල කමකින් මුහුණ රතු කරගත්තා මිස ගුණේ අය්යාගේ මුවින් වදන් පිට නොවේ. ඒ නිසා කුසුම්සිරි ඉක්මන් වුනේය.

ගුණසිරිට කුසුම්සිරිගේ යෝජනාවට එකපයින් එකඟ වීමට හිතය. ඒත් පේමා සමඟ කතා කරන්නේ කෙසේද...? ඇයට හොඳටම උණ ද...? තමා ඇය බැලීමට ගියහොත් කවුරුන් හෝ දකීවි ද..? ඒ සේරටමත් වඩා පේමා තමා කෙසේ පිළීගනීවිද...? පපුව ඩිග්... ඩිග්... ගා ගැහෙන්නට ගත්තේය. ආශාවත් බියත් එකවර ගුණසිරිගේ සිත තුල පොරකන්නට විය. ජීවිතයේ කිසිදු විටක ගැහැණු ළමයෙකු සමඟ තනිවී නැති ගුණසිරිගේ සිතතුල දහසක් මල් පීදෙන්නට විය.එලිසා නැන්දා දැන ගත්තොත් මොන ජංජාලයක් වෙයිද...? කමක් නෑ ඔන්නොහෙ යනවා....  ඒත් අනේ මන්දා.... ගුණසිරිගේ සිත දෙගෙඩියාවකින් පෙලෙන්නට විය.

“ යමු අය්යේ... යමුකෝ පේමක්කා බලන්ඩ.... එලිසා නැන්දා එන්න ඉස්සර වෙලා යමු... එයා ආවොත් ඉවරයි... අපේ අම්මත් නැති එකේ යමු ගුණේ අය්යා.... “

ගුණේගේ පැතුම් සපල කරන්නට අවසානයේ පින්සෙන්ඩු වීමට සිදුවූයේද කුසුම්සිරිටමය. 

“ අනේ මන්දා මල්ලි ... මට බයයි එලිසා නැන්දාට ආරංචි වෙයි කියලා.... “

“ ඒක මං බලාගන්නංකෝ ..... අයියා යමුකෝ.... “

කුසුම්සිරි ගුණේගේ අතින් ඇදගෙනම නිවස දෙසට දුව ආවේය. ඉලන්දාරි දෙදෙන හෙමි හෙමින් ගේ පිළිකන්න දෙසින් එලිසාගේ නිවස ට ළං කළෝය.

“ අයියා ඔහොම ඉන්න ... මං පේමක්කට කතා කරන්නං..... “

කොහෙන්දෝ ආ හයියක් කුසුම්සිරි ගේ සිතට ආරෑඪ වෙලාය.... නාටකයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමේ වගකීම කුසුම්සිරි කරට ගෙන වගේය. වචනයක් වත් කතා කිරීමට අපොහොසත්ව මුව ගොළු වූ ගුණසිරි අසරණ ලීලාවෙන් දෑස් අයා බලා සිටියේය....

“ පේමක්කේ..... පේමක්කේ..... “

“ කවුද .... ?????? “

“ මං මේ කුසුම්සිරි....  අක්කේ ටිකක් දොර අරින්ඩකෝ.... “

පෙට්ටි ගෙදර දොරවල් දෙක තුන නැත. කොතන හිද කතා කරත් නිවසේ ඕනම තැනකට ඇසේ. එබැවින් කතා කලයුතුව ඇත්තේ ඉතා හොර රහසේය. 

පේමා දොර හැරි විට දුටු දසුනින් ඈ ගල් ගැසුනාය.... ගුණේ මේ අවස්තාවේ මුණ ගැසීමට තබා දැකීමටවත් ඇය බලාපොරොත්තු නොවුවාය. ඒත් දැන් ගුණේ තමාගේ දෑස් ඉදිරිපිටය.... පේමාගේ දෑස රතුවී කඳුළු ගොඩ ගා ගලන්නට විය. උණ වැඩිකමට කඳුළු එනවාද සතුට බිය තැතිගැම්ම නිසා කඳුළු එනවාද කියා වෙන්කර හදුනා ගැනීමට තිදෙනාගෙන් කිසිවෙකුට නොපුළුවන් විය.

“ ඉතිං දැන් අඬන්න නෙවෙයි පේමක්කේ.... ඔන්න මං ගුණේ අය්යා ළඟටම ගෙනාව... දැන් මං බලන්නම් එලිසා නැන්දා එනවද කියලා... කතාකරන දෙයක් ඇතුලට ගිහින් ඉක්මනට කතාකරගන්ඩ...“

එවරත් ඉක්මන් වෙන්න වුනේ කුසුම්සිරිටමය. නමුත් ආදරවන්තයින් ඔවුනොවුන් දෙස බලාගත්වනමය. කුසුම්සිරි නොඉවසිලිමත් වුනේය. බලෙන්ම වාගේ ගුණේව පේමාගේ නිවස තුලට තල්ලු කරේය. එක බිත්තියකින් වෙන් වී සිටියත් මෙච්චර කාලයක් පේමාත් ගුණේත් සිටියේ හැතැප්ම ගනනාවක් දුරින් මෙනි. අද මේ හමුව අහම්බයකි. 

ඔවුනොවුන්ගේ සිත් කෝල සතුටකින් පිරී යන්නට විය. ගුණේ පලමු අඩිය තබන පාටක් නැත. කෙලි සෙල්ලම් කල කුඩාවුන් අවදියේදී මෙන්ම ඒ මොහොතේ ද පේමා ඉස්සර විය. ගුණේගේ අතින් ඇදගෙන ඈ නිවසේ එකම කාමරය වෙත දිව ගියාය. දිව ගොස් සයනයේ වාඩි වුවාය. ඇගේ ක්‍රියාව ගුණේට මහත් සතුටක් ගෙනදුන්නක් වු අතර එක් ක්ෂණයකින් ඔහු නැවත සිතින් කැළණි ගං ඉවුරට ගියේය. ඉස්සර ද පේමා ගුණේගේ අතින් අල්ලා ගෙන කැළණි ගං ඉවුර දිගේ දිව ගිය හැටි ගුණේට අද මෙන් මතකය. පේමා ලොකු ළමයෙක් වුදා සිට ඒ සියල්ල තහනම් විය. පේමා ලොකු ළමයෙකු නොවුවා නම් කෙතරම් හොඳ ද. ගුණේ සිතින් කී වරක් සිතන්නට ඇද්ද.

“ ගුණේ... මොකද කල්පනාව....? “

ගුණේ අහසින් බිමට වැටුනේ පේමාගේ පැණයත් සමඟය. දැන් පේමා තමා ඉදිරිපසය. කතාකරන්නට දහසක් දේ ඇත ද ගුණේගේ සිත ගොළු වී ඇත.
පේමා ඉක්මන් විය.

“ ඉඳා.... මොකද මේ ගුණේ ලැජ්ජාවෙන්....? කතාකරන්ඩකෝ මාත් එක්ක.... “

පේමාගේ උණ රෝගය ගුණේගේ දසුනෙන් සුවපත් වුවා වැන්න. පේමා කෙලි ලොල් වී ඇති හැඩකි.

“ ඔයාලගේ අම්මා එයිද දන්නේ නෑ නේද...? “    

යන්තම් ගුණේ වචන තුන හතරක් ගැට ගසා ගත්තේය. පේමාට මහ හයියෙන් සිනා යන්නට ආවේ ඇය අතින් මුව වසා ගත්තීය.

“ මොකද පේමා හිනා වෙන්නේ...? “ 

ගුණසිරිගේ සිතේ සිහින් නොරිස්සුමක් මතුවිය. 

“ නෑ ගුණේ ඔයාට ඉඳලා ඉඳලා කතාකරන්න හිතුනේ අම්මා එයිද කියලනේ ඒකයි මට හිනා ගියේ...“

නැවත නිහඬියාවකි. ගුණේ ළංවන පාටක් නැත. ගුණේගේ ඇගේ ගෑවි නොගෑවි ලඟට ලංව පේමා වාඩි වුවාය. කෝල හැඟුමක් ඇති වුවත් හෙමි හෙමින් ඇය ගුණේගේ සුරත ඇල්ලුවාය. අකුණු දස දහසක් ගුණේගේ හිස අද්දර කෙටුවේය. මුළු ඇඟම විදුලියක් ගමන් කරන කලෙක මෙන් ගැහෙන්නට විය. කෝඩු කාර ආදරේ මෙසේය.

“ මොකෝ ගුණේ මේ වෙව්ලන්නේ....? ඔයාටයැ උණ හැදිලා තියෙන්නේ මටනේ.... “

පේමා ගුණේව සමච්චලයකට ලක්කරනව ද...? තමාගේ ගතේ සිතේ ඇති සියළු ශක්තිය යොදවා ගුණේ පේමා දෙස දැඩි ආදර සෙනෙහසකින් බැලුවේය. ආදරවන්තයින්ගේ දෑස් එකිනෙක ගැටුනි. පේමාගේ දෑසින් නැවත කඳුළු බිදු ගලන්නට විය. දෑසේ කථාව මිස වචනයක් හෝ මුවින් පිටකරගන්නට දෙදෙනාම අපොහොසත් වුවා වැන්න.

“ පේමා.............. “

වෙව්ලන ස්වර තන්ත්‍ර අතරින් යම්තම් මුමුණාගැනීමට සමත්වු ගුණේ හෙමි හෙමින් පේමා වැළඳ ගත්තේය. පේමා ගුණේගේ උණුසුමේ ගුලි වෙමින් සුව සෙව්වාය. ගතවුයේ තත්පර කීපයකි.

“ ගුණේ අය්යා... ගුණේ අය්යා..... එලිසා නැන්දා එනවෝ...... ඉක්මන් කරන්ඩෝ...... “

කුසුම්සිරි කෑ ගැසුවේය. එළියේ හිඳ ඔත්තු බැලීමේ රැකියාවේ යෙදුනු කුසුම්සිරි හරියටම තම රාජකාරිය ඉටු කලේය. කලබල වු ගුණේ කුසුම්සිරිව ද අතින් ඇදගෙනම පැන දිව්වේය. 


2 comments: