Sunday, July 1, 2018

සිත තාම තරුණයි 02.

ගුණසිරිගේ මව කෙදිනකවත් ඔහුගේ පියා සම්බන්ධව ඉඟියක් හෝ කර නැත. ඇබිත්තං එ‍කෙකුව සිටියදී මවගෙන් පියා පිළිබදව යම් යම් දේ විමසු මුත් ඒ ගැන අසන සැමවිටම ඔහුගේ මව මුණිවත රැක්කාය. ඉතිං ගුණසිරි කල්යත්ම ඒ සම්බන්ධව මව නොවිමසීය. නමුත්,
“ මේකා කාගේ ද......?“
යමෙකු ගුණේ පෙන්වා විමසත්ම,


“ අර මැරිච්ච දියෝනිස්ගේ කොල්ලනේ......“
ඔහුට සුපුරුදු ඇසුම විය. කලෙකදි මෙය ගුණේගේ දෙකන රැව්දෙන දෙබසක් වුයේය.
ඉන්පසු කිසිවෙකු ඔහු කවුදැයි විමසු විට ඔහු ම,
“ අර මැරිච්ච දියෝනිස්ගේ කොල්ලනේ.........,“ යැයි පැවසීමට පුරුදු වීය.

සමහර ගැහැනියක ඒ අසා “ අනෙ අප්පේ....“ කියා කම්මුලේ සුරත තබාගත් අතර, සොච්චං කොල්ලෙකු වු ගුණේ හට පැරදී යනවා යැයි වරදවා වටහාගත් හා ඊට අකමැත්තක් දැක්වු පිරිමියෙකු නම් පැවසුවේ,
“ මුගේ තියෙන පැහිච්චිකම................., පල හුඡ්ඡ කොල්ලා යන්න..... මාව කොලොප්පමකට ගත්තා.......“ යනුවෙනි.
කාලය ගෙවී යත්ම ගුණේ, පියා මියගිය මව සමඟ තනිවුන දරුවෙකු බව වටහා ගත්තේය. ඔහුගේ පියා මිය යාමට හේතු වී ඇත්තේ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවීමයි... නගරයේ කඩපිල්වල නාට්ටාමිවරයෙකු ලෙස රැකියාවේ යෙදුන තාත්තා ගත විඩාව නිවාගෙන ඇත්තේ තිබහට කසිප්පු බීමෙනි. කල්යත්ම රෝගි තත්ත්වයන් ඉහවහා යෑමේ ප්‍රතිපලයක් ලෙස ගුණේ ළදරු වියේදීම පියා මෙලොව හැර ගොසිනි. එදා පටන් සුමනාගේ එකම නෑයා ගුණේ ද ගුණේගේ එකම නෑයා සුමනා ද පමණක් වී ඇත. එබැවින්ම මේ මව් පුතු අතර වු බැඳියාවද මහත් වීය.
“ ආවදෙංකෝ........ ආවදෙංකෝ..........අද...............“
“ආවදෙංකො.... ආවදෙංකො .... අද ... මහ ගෑනි... මම කියලා දෙන්නංකො මහ ලොකු පුතාගෙ වරුණාව... අප්ප නැති කොල්ලා කියලා පව් කිව්වා මදිද ...? කරලා තියෙන හපංකම .... මුගෙ පිට පලලා....”
ඒ ටින් බෙලෙක්ක පුපුරනා සද්දේ එහා ගෙදර සිරියාවතී නැන්දාගේය. සිරියාවතීගේ දරුවාත් ගුණසිරිත් ඇට බෝල ගසමින් සිටින විට ඇතිවූ දබරයක ප්‍රතිපලයක් ලෙස ගුණසිරි ඒ කොලු පැංචාට දෑත බදා පිට හරහා පාරක් ගැසුවේය. අසරණයා හුස්ම අල්ලාගත නොහි පිට බලියා වෙමින් ඇස් උඩ ඉන්දෙව්වේය. වදනක් පිටකරගත හැකි වු පලමු නිමේශයේම කොල්ලා බෑගිරි ගසමින්, මරහඬ තලනු ඇසී ගුණේ අහසින් බිමට වැටුනේය. ආදරනීය පුත්‍ර රත්නය බෙරිහන් දෙනු ඇසී නිවසින් එළියට දිව ආ සිරියාවතී දුටු ගුණසිරි ඈ වෙත නෙත් යොමු කලේය. ඊළඟට සිදුවන්නට යන දේ ක්ෂණයකින් වටහා ගැනීම ඔහුට අපහසු නොවීය. අසරණයාට ගුණේ ගැසු බව ඇය දනු නිසැකය. මරහඬ තලන තම පුතා පසෙකට ඇද දමනා ඇය ඊළඟට ගුණේගේ කන් කෙටියෙන් අල්ලා හම ගලවනු ඇත. ඊට පෙර වඩාත්ම නුවණට හුරු දේ වන්නේ මෙතනින් පැනගොස් සැඟවීමය. එයට සුදුසුම තැනත්, ගුණේගේ නිවසමය. සිරියාවතිට අල්ලපු නිවසේ සිටියාට ගුණේගේ නිවසට පැමිණ ඔහු අල්ලාගැනීමට නොහැකි වනු ඇත. ඉතින් ගුනේ අස්ප වේගයෙන් දුව ගොස් සැඟ වුනේය.
එතැන් සිට, තම පුතා සැනසීම පසෙක තැබු සිරියාවති ඇගේ බෙලිකටු මල්ල සෙලවීමට පටන් ගත්තාය. ගුනේ දෙකන් තරයේ දෙඅත්වලින් වසාගත්තේය. දෙඇස ද වසා ගත්තේය.
“බොහෝ දිනවල සිරියාවති නැන්දාගේ පුතාට අපේ අම්මා නිකන් ආප්ප ඉදි ආප්ප දෙන්නීය. එසේනම් අපේ අහරින් කුස පුරවා ගන්නා ඌට ගැසීමට මට අයිතියක් තිබිය යුතුය.”  එදා ගුනේ සිතුවේ එසේය.
ගුණේගේ දඟකාරකම් වලින් ඔහුගේ මව සුමණාවතී අපමණ පිඩාවට පත්ව සිටියාය. නමුත් ඇය මඳක් හෝ සැනසුනේ තම පුතා බැහැයි නොකියා සැමදාම පාසල් යාමත් පොතේ පතේ වැඩ වලට දැක්වු උනන්දුවත් නිසාය. පේලි ගෙවල්වල බොහෝ ළමුන් පාසැල් ගියේ නැත. ගියානම් ඒ සුමානයට දිනකි, දෙකකි. එසේම ගෙදරට පාසැල් යනබව කියා කට්ටි පැන්න ළමෝ ද බොහෝ වුහ. සෑමදාම පැසැල් යෑමට කැමැත්තක් දැක්වු ගුණේ සැදෑවේ අම්මා කුප්පි ලාම්පුව පත්තු කිරීමට පෙර පාඩම් වැඩ අහවර කලේය. ඒ අම්මාට කුප්පි ලාම්පුවට තෙල් ගැනීමට ද ඇති මුදල් අහේනිය ඔහු හොඳින් දත් නිසාය. කෙසේ හෝ ලොකු මහත්තැන් කෙනෙකු වීමේත් ලොකු ගෙදරත් සෑදීමේත් සිහිනයක අතරමං වී සිටි ඔහු තුල ඉගෙන ගැනීමේ ආශාව නම් නොමඳව තිබීය.
එදානම් ගුණේ අම්මාගෙන් බඩකටපුරා තැලුම් කෑවේය. සිරියාවතිගේ ආඩපාලිය නැවතුනේ සුමණාවතී දුම්මල වරම ගෙන ආවේශ වී ගුණේට තලන විටයි. සුමණාවති අතට අසුවුන සියල්ලෙන් ඔහුට දමා ගැසුවාය. ඇගේ තැළුම් පහරවලටත් වඩා  ගුණේගේ සිත රිදුම් දුන්නේ ඇගේ මුහුනේ තිබු අසරණ බැල්ම දුටුවිටය. ඇයට ද “ අප්පා නැති අසරණ කොල්ලා“ යැයි සිහිවන්නට ඇත. ආපස්සට යා නොහැකිය. නරකම දෙයක් සිදුවී හමාරය.
රාත්‍රියේ අම්මාගේ දෙනෙතින් රූ රා වැටුන කදුළු වැල් දැක ගුණසිරිගේ සිත අපමණ පිඩාවකට පත්වන්නට විය.
“ කුසුම්සිරි මල්ලිට..... මම ආයෙත්......, ගහන්නේ නෑ අම්මේ.........“
හීල්ලෙන ඉකි හඬ මුව තුළම සිරකර ගනිමින් බියෙන් වෙව්ලමින් ගුණේ වදන් ගැලපුවේය. තම එකම පුතු දෙස මොහොතක් බලාසිටි සුමණාවතීගේ මුවෙන් මහත් විලාපයක් එළියට පැන්නේය. තවත් ගුණේට බලාසිටිය නොහැකි විය. අම්මා බදාගත් ඔහු ද වැලපුනේය. ඇය ද වැලපුනාය.
“ කුසුම්සිරි මල්ලිට විතරක් නෙවේ පුතේ උඹ මින් මනත කාටවත් අත උස්සන්න යන්න එපා.....! උඹ දන්නව ද මේ වත්තේ ඉන්න අපි හැමෝම අසරණයෝ මගේ පුතේ..... අපිට රට රාජ්‍යවල අහස අල්ලන්න හීන නෑ.. ඒත්......... ඒත්.... එදාවේල හම්බකරන් කන අපි කවුරුත් එකයි පුතේ. සිරියා කියපු ගොඩක් දේවල් මගේ පපු කැනැත්තටම කිදා බැස්සා. ඒකි දන්නවා මමයි උඹයි ගැන.... ඒත් .. ඒකිට තරහ උඹ අර අසරණයට ගැහුව එකට. මීට පස්සේ උඹ කවුරුවත් එක්ක පැටලෙන්න යන්න එපා මයෙ පුතේ........“
නැවත සිහිපත් කල යුතුමය. ගුණේගේ අම්මා, සුමණාවතී මලපොතේ අකුරක් නොදත් නුගත් ගැමි ගැහැනියක්ම වුවාය. නමුදු ඇය ජිවිතයට, ජීවත්වීමට ගුණේට කියාදුන් පාඩම් බොහෝය. දහස් කෙලෙසුන් නසා මහාර්යය භාවයට පත්වු අප මහා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෙසුම් දුන් මෛත්‍රී භාවනාව සුමට කොට ඉගැන්වීමට නොදත් ඇය ගුණේට ඒ පිළිබඳව අත් පොත් තැබුවේ එසේය.
තම මවගේ ඔවදන් වදන් ගලේ කෙටු අකුරක් සේ ගුණේගේ හදවතේ සනිටුහන් විය. ඉන්පසු ඔහු ඇබිත්තං කලු කොලුවාට පමණක් නොව කිසිවෙකුට අත නොඉස්සුවේය. ගුණේගේ දඟකාරකම් කොහේදෝ සැඟවුනි. ඔහු ඉතාම තැන්පත් දරුවෙකු වීය. පසු කලෙක ඔහුගේ ඉවසීම ඔහුටම හරහට හිටියාදෝ යි විටක ගුණසිරිට සිතේ.
සැමදා පාසැල් යන ගුණේ හොඳින් ඉගෙන ගත්තේය. ආප්ප වට්ටිය හිස තබා සවස ඉතා වුමනාවෙන් ආප්ප විකුණුවේය. නැවත නිවසට පැමින වනපොත් කලේය. ගුණේගේ තැන්පත් බව දැරිය නොහැකිම වු දිනක සුමණාවතී,
“ මොකද කොළුවෝ උඹට වෙලා තියෙන්නේ.....? උඹට ලෙඩක් ද....? “ සැරෙන් පිළිවිසියාය.
“ මට මොන ලෙඩ ද......?“ එවර ගුණේ ද සැර වැර වීය.
සිරියාවති නැන්දාගේ තරහ මරහ තිබුනේ දවස් දෙකකි. ඇය කිසිවක් සිදු නොවු ලෙසට සුමණාවතී සමඟ කුළුපග වෙමින් ඕපා දුප කථාවෙහි යෙදුනාය. ගුණේ ද  කුසුම්සිරි සමඟ නැවත ඇට බෝල ගැසීමේ යෙදුනේය. පුංචි කලු කොලුවාගේ පිට පැලු බව ගුණේට මතකයක් නැත. කොලුවාට මතක ද නැත. මේ කුඩා උන්ය. අඩුම තරමේ අප්ප නැති කොල්ලාට කිසි දා අනුකම්පා නොකරන බවට දිවුරමින් සපථ කල සිරියාට ද මතක නැත. ඒ වත්තේ උන්ගේ හැටිය. රෑ ගහ මරා ගන්නා උන් උදේට කිරි පැණි වී 😉😉කල එළි බසිති. 
“අම්මේ... අම්මේ...”

03 වන කොටසට

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි


No comments:

Post a Comment