Monday, July 2, 2018

සිත තාම තරුණයි 08

“ උඹත් මෙතන නේද කළුවෝ......? 

ගුණසිරි බැල්ල විමසීය......“  කළුවෝ.........“ ඒ කොහෙන් ආ නමක් ද ? ගුණසිරිගේ මුවට සිනාවක් නැඟුනේ ඔහු ද නොදැනුවත්මය. කලුවා සිටියේ මෙයට අඩ සිය වසකට පෙරදීය. ඒ දිනවල තමාගේත් කුසුම්සිරි මල්ලීගේත් එකම සුරතලා කළුවා විය. යන යන තැන ඔවුන් පස්සේ ගිය දුකේදීත් සැපේදිත් ළඟම සිටි කලණ සත්ව මිතුරා කළුවා විය. ඌ ලැබුන සැටිද අපූරුය.


“ ගුණේ අය්යේ.... අර රොමියෙල් මාමාගේ ගේ පිටිපස්සේ බලු පැටියෙක් ඉන්නවා.... කළුම කළුයි... හරි ලස්සනයි.... ඌ අපි ගේමු ද? “

“ අපෝ මල්ලි ඔයාලගේ අම්මා හොඳටම බනියි....“

“ අනේ අය්යේ... අම්මා බනින් නෑ... ඔයා කියන්ඩකෝ... අපි ගේමුද...? හා නේද...? ඌ වැස්සට තෙමුනොත් මැරෙයි....“

කුසුම්සිරි මල්ලීගේ පින්සෙන්ඩුව නිමක් නැත. නමුත් ගුණේට තමාගේ හිතු මනාපෙට බලු පැටියා ගෙන ආ නොහැක. සිරියා නැන්දාගේ අවසරය අවශ්‍යමය. පොඩි ළමයින් තරං සතුන්ට දයා කරුණාවක් වැඩිහිටියන් පාන බවක් ගුණසිරි දැක නැත. බලු පැටියා දුටු විට සයිමන් මාමාට තරහ ගියහොත් තමාට විසුමක් නැති වෙයි. හැබැයි සිරියා නැන්දානම් සතුන්ට කරුණාවක් දක්වනු ඇතැයි සිතිය හැක. මක් නිසාද යත් තමාගේ මව ළඟට තමාට දයාවක් ආදරයක් පෑ ගැහැණිය ඇයම වන නිසාය.

“ මල්ලී අපි එකපාරම බලු පැටියා ගෙනාවොත් ඔයාලගේ අම්මට තරහ යයි. ඒක හින්දා අපි මෙහෙම කරමු....“

“ මොකද්ද අය්යේ....?

“ අපි ඌව ගෙනල්ලා ගෝනියක දාල තියමු.... දවස් දෙක තුනකින් එළියට ගම්මු....“

“ එතකොට කෑම...? “

“ අපි ගෝනියටම දාමු....“

“ ඌට හුස්ම ගන්න හිළක් කපමු....“

“ එතකොට අය්යේ ඌ ගෝනියටම කක්කා දායිනේ...?

“ ඊ.....යා......“ එහෙනං ඒක කරන්න බෑ....“

“ දැන් මොකද කරන්නේ.....? “ 

ගුණේත් කුසුම්සිරිත් උපායක් කල්පනා කරන්නට වුහ. දෙදෙනා එක්ව විවිධ යෝජනා ඉදිරිපත් කලහ. වෙන වෙනම කල්පනා කලහ. එකක්වත් හරියන්නේ නැත. මේ වෙලාවට පේමා සිටියානම්. ඇය ළඟ අපුරු යෝනාවක් තිබෙනු ඇත. ඒත් දැන් ඈ සෙල්ලමට නොඑයි. අහම්බෙන් ඉඟි බිඟි පෑවා මිස පේමා සමඟ කථා බහ ද සිමා වී ඇත. එසේම ඇගේ පාසැල් ගමනද ඈ වැඩිවිය පැමිණීම විසින් නවතා දමනු ලැබීය. 

අයියේ  ... මේක හරියන්නෙ නෑ... අපි අම්මාගෙන් අහමු බලුපැටියා ගේන්නද කියලා ....”

කුසුම්සිරි අවසානයේ යෝජනා කලේය. ඒකත් නරක නැත. කුසුම්සිරි මල්ලි ඇහුවානම් සිරියා නැන්දා හා කියනු ඇත. 

“ ඊට ඉස්සර වෙලා අපි බලු පැටියා ඉන්නවද කියලා බලමු......“

“ හා අය්යේ යමු.....“

ගුණසිරිගේ කැමැත්ත කුසුම්සිරිට ඉහේ මලක් පිපුනු ගානය. ඔහු බලු පැටියාට එතරම් ඇළුම් කලේය. 

“ අය්යේ පැටියා කළුම කළුයි.... උගේ කටත් කළුයි.... කන් දෙක කඩං වැටිලා.... අය්යේ අපි ඌට කළුවා කියමු.... “ 

“ හා මල්ලි.... ආ... අර ඉන්නේ ඌ ද....? “

රොමිලේ මාමාගේ ගේ පිළිකන්නේ බෙලෙක්කයක් අසළ ගුලිවී සිටි බලු පැටියා ඇත්තටම පියකරුය. ගුණේගේ සිත ද දුටුමනතින්ම ඌ පැහැර ගත්තේය. 

“ හරි ලස්සන බලු පැටියෙක් මල්ලි.... අපි මූව ගෙනියමු. අපේ ගෙදර 
හංගලා ඔයාලගේ අම්මාගෙන් අහමු පැටියා ගේන්ඩ ද කියලා.....“

ගුණේත් කුසුම්සිරිත් බොහො සතුටින් බලු පැටියා කිහිලි ගන්නා ගත්හ. ඉක්මනින් අඩි තබමින් ඔවුන් වටෙන් වටෙන් ගුණේගේ වසා තිබුන නිවසට රිංගුහ. බලු පැටියා බිමට දැමු විට කීං කීං ශබ්දයක් නගමින් ගුණේගේ පතුල ලෙවකන්නට විය. කුසුම්සිරි උඩ පැන පැන නැටුවේය. 

“ දැන් ඉතිං නටලා හරියන්නේ නෑ.... යං අම්මට කියන්න....“

“ හා යං.....“

දෙදෙනාම හෙමින් හෙමින් සිරියා වෙත ගෑටුහ. 

“ මොකද මේ දෙන්නත් එක්ක හොරගල් අහුලන්නේ...? “

සිරියා නැන්දට ඉව තියෙනව ද මන්දා අපි හොර වැඩක් කලා කියලා දන්නේ කොහොම ද ගුණසිරි තනිවම සිතු මුත් වචනයක් පිට නොකලේය. 

“ අනේ අම්මේ... අපි හොර වැඩ කලේ නෑ.... බලු පැටියා පව් හින්දා ගෙනාවේ..... ඌ වැස්සේ තෙමෙනවනේ... පව්නේ අම්මේ... ගුණේ අය්යා තමයි කිව්වේ.... ඌ එයාලගේ ගෙදර හංගමු කියලා...“

කුසුම්සිරි එක හුස්මට කියාගෙන ගියේය. හොර වැඩ සේරම එලිවී අවසානය. ගුණසිරිට කථාකිරීමට වචන නොවීය. චීත්තය ලිහා නැවත ගැටය තදකර හදිමින් සිරියා සිනාව වලකා ගත්තාය. 

“ කෝ බලමු ඔය ගෙනාව කියන බලු නට්ටා මොකාද කියලා.....“

“ අම්මේ...  අපි ඌව හදමු නේද අම්මේ...? ඌ ගුණේ අය්යලගේ ගෙදර ඉන්නවා.... අපි ගේන්නම්... අපි ගේන්නම්....“

ගුණේත් කුසුම්සිරිත් හැල්මේ ගුණේගේ නිවසට දුව ගොස් බලු පැටියා රැගෙන ආහ. සිරියාගේ මුහුනේ ද නොමනාපයක සළකුණක්වත් නොවුයෙන් බලු පැටියා සෑදීමට අනුමැතිය ලැබී ඇති බවට තුඩා දරුවෝ තේරුම් ගත්හ.

“ අම්මේ මුගේ නම කළුවා...“

“ ආ... අගේ ඇති නමනේ...“

වැනේලු කළු  වැනේලු
කලු මෙතන     වැනේලු   
කළුට              බඩගිනීලු
කලු අලකොල    ලිපේලු..... 

සතුට වැඩි කමට ගුණේරිසුත් කුසුම්සිරිත් බලු පැටියා වටකොට උඩ පනිමින් නැටුහ. කළුවාද ලෙංගතු බැලුම් හෙලමින් පුංචි නගුට වනමින් ළමුන් දෙස බලා සිටියේය.

උදෑසන හිරු පායා දිලිසෙන්නට විය. නැගෙන ඉර එළිය ඉතා සෞමයය. ඒ ඉර එළියේ පහස විදීමට මිනිසුන් නොකැමැතිවා සේය. එතරම් කඩි මුඩියේ එහා මෙහා දිව යන රිය පෙලකි. ඊට නොදෙවෙනි පයින් ගමන් ගන්නා මගීන් රැලකි. ඉවසිල්ලක් නැතිව දවසේ රාජකාරි නිමකිරීමට ඇදෙන මිනිසුන් හා රථවාහන පෙල දෙස ගුණසිරි බලා සිටියේ මහත් උදාසීන හැඟීමකිනි...... 

දැන් ඉතිං තමා කුමක් කරන්න ද...? තමාගේ ජීවිතය නැවත ආරම්භ කරනුයේ කොතනින්ද...? එහි ඉදිරියට ගලායාම කෙසේ සිදුවනු ඇති ද..? තමාගේ හෙට දවස පිළිබඳව ඉතා තදබල අවිනිශ්චිත හැඟීමකින් ගුණසිරිගේ සිත පෙලන්නට වින. එදවස තමාත් තම දවස ගෙවුයේ කෙතරම් අවිවේකීව ද ? සතුට සිනහව සැනසුම සේම ප්‍රශ්ණ ගැටළු කදුල ද සමඟ මිතුරන් නැදෑයන් පිරිවර,  සජීවි අජීවි ප්‍රශ්තුත කීයක් තමා වටා භ්‍රමණය වීද...? අද තමා තනි වී ඇත. හැදිවත පමණක් සන්තක වු ගුණසිරිව හුදකලාව විසින් පමණක් හුදකලා කර නැත. විඳි සොදුරු අතීතය මෙන්ම විඳි අඳුරු අතීතය ද මඳකට අමතක කර දමනු වස් ගුණසිරි ලොකු සුසුමක් වා තලයට මුදා හැරියේය.

ගුණසිරි හිඟන්නෙකු නොවීය. ඔහුට යාදින්නක් කියා යදින්නට නොහැක. පුලන්නා සහ සිඟන්නා යන චරිත දෙක අතර, අතර මැද චරිතයක ඔහු අද සිරගත වී සිටී. සිරගෙදරින් නිදහස් වී එන විට ඔහු ලද සරමත් කමිසයත් පමණක් අද ගුණසිරි සතුව ඇති එකම වත්කම බවට පත්වී ඇත. තමාට ජීවිතය නැවත ඇරඹිය යුතුව ඇත්තේ ඉතාමත් කටුක අවසානයකින් සේම තමාගේ ජීවිතය ඉතාමත් කටුක ආරම්භයකට පැමිණ ඇති වඟක් ගුණසිරිට තෙරුම් යමින් තිබුනි. හේ මහත් වු දුකකින් සහ මහත් වු කම්පනයකින් උදා අහස දෙස බලා සිටියේය. මානසිකව අන්තයටම කඩා වැටුනු ස්වරූපයක් ඔහුගෙන් පෙනී යන්නට විය. 

දවස තිරිහන් වන්නට තතනමින් සිටී. කෑමට යමක් ඇවැසිය. ගත දවන පිපාසය නම් අසලැති වතුර පයිප්පයෙන් සංසිදුවා ගත හැක. කෑමට යමක්.... මඳක් කල්පනා කල ගුණසිරි වතුර පයිප්පය අසලට ගොස් මුව දොවා ගත්තේය. කෙසේ හෝ කාගෙන් හෝ යමක් කෑමට ඉල්ලා ගැනීම ඔහුගේ ඊළඟ අරමුණ වුයෙන් හේ හෙමි හෙමින් ඉදිරියට ඇදෙන්නට විය. කනාටු බැල්ල ද ගුණසිරි පසු පසමය.

“ අනේ මහත්තයෝ.... මගේ ළඟ සල්ලි කීයක්වත් නෑ.... කෑමට දෙයක් දුන්නොත් පින් සිද්ධ වෙයි....“

නුහුරු නුපුරුදු වචන මාලාවට වඩා බඩේ ගින්දර ලොකුය. මේ වේලාවට මහ උළු ගෙදරදී කෑ කල්දේරම් බතද ගුණසිරිට සිහිපත්විය. ඒ දිනවල නම් කටේ තැබීමටවත් බැරිවු ඒ බත මෙවන් විටක ලැබුනි නම් ගුණසිරි මහත් ගිජු බවකින් බුදිනු ඇත.

“ තිලකේ.... මෙන්න මේ මනුස්සයට බනිස් ගෙඩියකුයි තේ කහටේකුයි දීපං කෙළුවෝ....“

තිලකේ.... තිලකේ යන නම ඇසුනු ඇසිල්ලකින් ගුණසිරි ඒ කවුදැයි සොයා බැලීමට උත්සුක වුයේ මුදලාලි මහතාට ස්තුතිවන්තවීම ද අමතක කර දමමිනි. එහෙත් තිලකේ මාමා දැන් කොහිද..? ඔහු මිය ගොස් දැන් කොපමණ කල් ගත වීදැයි ගුණසිරිට සිතා ගත නොහැක. තිලකේ මාමා ගැන සිතීමෙන් දැන් පලක් නොවේ. ඒ කාලයේ දී තමා හදා වඩා ගත් තිලකේ මාමා හෙවත් අම්මා බුදු වේවා මාමා සිහිපත් වීම නිසා ගුණසිරිගේ මුවඟට සිනාවක් මෙන්ම සිතට සිහින් දුකක් ද දැනුනි. 

“ ආ ... මෙන්න බනිස් ගෙඩිය... මේක කාලා තේ කහට එක බීලා යන තැනක යනවා යන්න.....“

කොළුවාගේ කටේ සැර.... මුදලාලි තරම් තිලකේ කොළුවා කරුණාවන්ත නැත. බනිස් ගෙඩිය ඔහේ ඇගේ ගැසුවේය. වලව්වේ කටුකන බල්ලන් සැර බව ගුණසිරි අත් දැකීමෙන් විද ඇති දේ මේ අවස්තාවේදී ද ඔහු ඉදිරියේ සනාථ විය. බනිස් ගෙඩිය අතට ගත් සැනින් ගුණසිරිට සිහිපත් වුයේ වර්තමාන කලුවාය. අතීතයේ සිටි කලුවා වල දැමු තැන් වල දැන් ගසුත් පැලවෙලාය. දැන් සිටින බැල්ල ද ගුණසිරිට හිතවත් ලෙංගතුකමක් පායි. පස්සෙන්ම කඩේ තෙක් ඇවිද ආවාය. බනිස් ගෙඩියෙන් භාගයක් කා තේ කහට එක බිව් ගුණසිරි මුදලාලිට පින් දී මඟට බැස කනාටු බැල්ල කොහේ දැයි විමසිලිමත් වුයේය. අනේ අසරනිය ගුණසිරි එනතුරු මඟට වී බලා සිටියාය. 

“ වරෙන් කලුවෝ ගෙදර යන්න.... “

ගෙදර..... මොන ගෙදරක් ද....? ඇයි අම්බලම..... මීට පස්සේ මගේ ගෙදර තමයි අම්බලම..... හෙමි හෙමින් අම්බලම වෙත ගාටන ගුණසිරි සිතුවේය. කනාටු බැල්ල ද ඔහු පසු පස්සේය. අම්බලමට පැමිණි ගුණසිරි එහි මුල්ලක නැවත වාඩි වී තම අතීතයට පාර පෙන්නුවේය.

No comments:

Post a Comment