Thursday, July 19, 2018

ඉරණම තීන්දු කළ රාජකාරිය 09.


ගමන් කරමින් සිටි මාර්ගයේ අවසානය එකවරම දිස්වුනි.  නමුත් ඊළඟ නිමේෂයේ දී දුටුවේ එය දැඩි අවදානම් සහිත අංශක 90 හැඩයට තිබෙන වැලමිටි වංගුවක් බවයි. අවස්ථාවේ මා ගමන් කරමින් සිටි අධික වේගය මෙවැනි වංගුවකදී රථයක් පාලනය කරගත හැකි වේග සීමාව බොහෝ සෙයින් ඉක්මවා ගොස් තිබුනි. මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතාමත් අනපේක්ෂිත අවදානම් බැරෑරුම්  අවස්ථාවකටය.

නුහුරු නුපුරුදු මාර්ගයේ රථය ධාවනය කරමින් කඳු පල්ලම් බෝක්කු පාලම් හා වංගු ප්‍රථමයෙන් හඳුනාගත්තේ, රාත්‍රී අන්ධකාරය දැඩි වෙහෙසකින් පලවා හරින රථයේ ආලෝක විදුලි පහන් යුගලයෙන් පමණි. වර්තමානයේ මෙන් එදා මාර්ගයේ මාර්ග සංඥා පුවරු කිසිවක් ද නොතිබුණි.  බොහෝ දෙනෙක් අවධානයක් නොදක්වන මේ මාර්ග සංඥා පුවරු  නිහඬවම ජීවිත රැකගැනීමට කොපමණ දායකත්වයක් සපයනවාදැයි හොදම නිදසුනක් මම අත්දකිමින් සිටියෙමි.

මෙවැනි මාර්ගයක, මෙවැනි වාතාවරණයක් තුල, රථයක් ධාවනය කරද්දී අනිවාර්යයෙන්ම සැලකිය යුතු වන්නේ වේගය ගැනයි. එහෙත් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා, ඉක්මනින් පාළු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසීමට වේගයෙන් රිය පැදවීමේ පලවිපාකය දැන් මට අත්විඳින්නට සිදුව ඇත.“ වේගය මරුවා කැඳවයි“ යන කියමන කොපමණ සත්‍යදැයි මට ප්‍රත්‍යක්ෂ විය.

රථයේ වේගය පාලනය කරගැනීමට තිරිංග යෙදීම කිසිසේත්ම කල නොහැකිව තිබුනි. තිරිංග යෙදුවහොත් අනිවාර්යයෙන්ම රථය පෙරලෙනු නියතය. එසේ වේ නම් වම්පසින් වු කලුවර අගාධය සැදී පැහැදී සිටියේ  වෑන්රථයත් අප දෙදෙනාත් පිළිගැනීමටය.

මියෙම්වා..., රැකෙම්වා සිතුවිල්ලෙන් මට අවස්ථාවේ කිරීමට ඉතිරිව තිබුනේ සුක්කානම හැකි වෙර යොදා හැකි ඉක්මනින් දකුණු පසට කරකැවීම පමණයි. ඇසිල්ලකින් මා එසේ ක්‍රියා කලේ කෙසේදැයි අදටත්  මට සිතාගැනීමට නොහැක.

සර් මගේ ඇඟේ ලේ වතුර වුනා... මං නං හිතුවේ දෙන්නම වෑන් එකත් එක්ක අගලේ තමයි කියලා...”

මුහුණ දීමට ගිය අනතුරෙන් අප දෙදෙනා බේරුණේ අනූනමයෙනි.

බැරිවෙලාවත් වෑන් එක පෙරලුනා නම් එහෙම අර වෑන් එක ගේන්න එපා කියපු මනුස්සයා කොච්චර සතුටු වෙයිද නේද වික්‍රමසිංහ....?”

ගිරිබාව පොලිස් ස්ථානයේ දී වෑන්රථය ගෙන එනවාට විරෝධය පෑ නිලධාරියා අප එවැනි කරදරයකට මුහුණ පෑවේ නම් ඔහුගේ අනාවැකිය සත්‍ය වීම පිළිබඳව කෙතරම් උදම් අනනු ඇත්දැයි මගේ සිහියට නැඟුනි.  

අපට මේ වෙලාවේ උදව්වක් ගන්නවත් කෙනෙක් නෑ නේ සර්...”

මාර්ග නීති පිළිනොපැද රථය ධාවනය කිරීමේ පලවිපාකය අත්විඳි බැවින්, ඉන් පසු වඩා පරිස්සමෙන්   යුතුව මම රථය පැදවුයෙමි.

සර්... මෙන්න දුමක් දානවා...”

කිලෝමීටර් කීපයක් එසේ ගමන්  කරද්දී  වික්‍රමසිංහ එකවර කෑගැසීය.

අප්පට සිරි වයර් ෂෝට් එකක් ද කොහෙද...”

කලබල වු මම තත්ත්වය තවත් දරුණු වීමට පෙර රථය එතනම නතර කලෙමි. කෝකටත් කියා අපි රථයෙන් ද බැස ගත්තෙමු.

... වික්‍රමසිංහ මේක බොයිල් කරලා වගේ...”

නැගෙමින් පවතින දුම එන්ජිම බොයිල් කිරීමෙන් බව මම අදුනාගත්තෙමි.

දැන් මොකද කරන්නේ සර්...?”

පොඩ්ඩක් නිමෙන්න තියලා වතුර ටිකක් දාල බලමු...”

වෑන්රථය නතර කර තිබුන මාර්ගයේ දෙපස  වෙල්යායක් තිබුන අතර හාත්පස පරිසරයේ  දකින්නට  ලැබුණේ පාළු ස්වභාවයකි. මීටර් 300 ක් පමණ ඈත දුරකින් නිවසක් ඇති බව අනුමාන කලේ ලාම්පුවකින් නිකුත් වුන ආලෝකයක් දකින්නට තිබු නිසාය. අප මුහුණ දී සිටින ගැටලුවෙන් මිදීමට ජලය අත්‍යවශ්‍ය සාධකයක් වී තිබුන අවස්ථාවක යාන්තමට පෑයු සඳ එළියට දිලිසි දිලිසි වෙල්යායේ තැනින් තැන  තිබු දිය කඩිති මා සතුටට පත් කලේය.

මේකේ  සර් බෝතලයක් තියා මෙලෝ දෙයක් නෑ නේ වතුර ටිකක් ගේන්න...”

ජලය ගෙන ඒමට භාජනයක් සොයන වික්‍රමසිංහගෙන් නිකුත් වුනේ කන්කෙඳිරියකි. මමද වෑන්රථය ඇතුලත පරීක්ෂා කරබැලීමට හවුල් වු මුත් ජලය ගෙන හැකි කිසිදු භාජනයක් එහි නොවීය.

...., වික්‍රමසිංහ... මේවටවත් ගේමු....”

අන්තීමේදි මට හමුවුනේ ෂොපිං බෑග් කීපයක් පමණි. ඒවා යොදාගෙන ජලය රැගෙන එන ලෙස මම වික්‍රමසිංහට පැවසුවෙමි.

ෂොපිං බෑග් වලින් වික්‍රමසිංහ රැගෙන එන ජලය මම රේඩියේටරයට පිරවීමට පටන් ගත්තෙමි.

වික්‍රමසිංහ..., මේ වතුර නම් බොරයි වගේ...., අර අතනින් ගේන්න..., එතන වතුර බොර නෑ....”

ඔහු රැගෙන එන ජලය බොර පැහැති විය. මීටර් 40 ක් 50 ක් ඈතින් බොර නොවු පිරිසුදු ජලය තිබෙන දිය කඩිත්තෙන් ජලය රැගෙන එන ලෙස මම ඔහුට පැවසුවේ ඒ නිසාය.

වික්‍රමසිංහ ඔතනින් නෙවෙයි...., අතනිං ගේන්න....”

මගේ කීම නොඅසා බොර වතුර තිබෙන දිය කඩිත්තෙන්ම ජලය රැගෙන එන  වික්‍රමසිංහගෙන් නැවතත් මම ඉල්ලා සිටියෙමි.

එහෙත් ඔහු මගේ කීම කනකටවත් ගත් පාටක් නොපෙනුනි. නිහඬවම ඔහු රැගෙන එන්නේ බොර වතුරමය. පිරිසිදු ජලය තිබෙන දිය කඩිත්ත තිබෙන්නේ ටිකක් දුරින් නිසා එයින් ජලය රැගෙන ඒමට ඔහු කම්මැලිකමට මෙසේ හැසිරෙනවා වද්ද...? එහෙත් ඔහු එසේ කම්මැලි, අකීකරු නිලධාරියෙකුද නොවේ. මෙතෙක් වේලා හොඳින් කටයුතු කරමින් සිටි ඔහුට කුමක් වීද..? මේ රාත්‍රියේ ඔහුත් මමත් නන්නාඳුනන පාළු ප්‍රදේශයක තනි වී ඇත. මේ අවස්ථාවේ ඔහුට මමත් මට ඔහුත් පමණකි සිටිනුයේ. එබැවින් අප අතර මත ගැටුමක් හෝ ඇති කර ගැනීම අකටයුතුය. මේ නිසා මම ඔහු රැගෙන එන බොර වතුරම නිහඬව රේඩියේටරයට පිරවුයෙමි.

රේඩියේටරයට ජලය පිරවීමෙන් පසු වෑන්රථය නැවත පණගන්වා බැලීමට අවස්ථාව උදාවුනි. රථය අධික රත්වීමකට ලක් වු නිසා එන්ජිමේ කාර්මික දෝෂයක් ඇති වී තිබුනොත්, අපේ උත්සාහය ව්‍යර්ථ වනු ඇත. එසේ වුවහොත්....? ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සිතා ගැනීමටවත් නොහැක. වෑන්රථයත් සමඟ අප දෙදෙනාට රාත්‍රිය ගතකරන්නට සිදු වන්නේ මේ පාළු මහ මගය. මෙවැනි සිතුවිලි දාමයක් මනසේ හොල්මන් කරද්දී රථය පණගැන්වීමට මා ගත් උත්සාහය සාර්ථක වුයේ අප දෙදෙනාටම විශාල සැනසුම් සුසුමක් වා තලයට මුදා හැරීමට ඉඩ කඩ සලසා දෙමිනි. නැවතත් අපේ සිත් සතුටින් උද්දාමයට පත්විනි. භුක්ති විඳිමින් සිටි මේ ප්‍රීතිය සැනෙකින් අතුරුදහන් වුයේ වික්‍රමසිංහගේ හදිසි කෑගැසීමෙනි.

“ සර්...., සර්...., අන්න අලියෙක් එනවා......“

අප සිටි තැනට මීටර් 200 ක් 300 ක් පමණ ඈතින් කලුපාට පරුවතයක් පෙරලීගෙන එනවා සේ අලියෙක්  දිව එනු පෙනුනි. ගත සිත ත්‍රාසයෙන්, භීතියෙන් වෙලාගත්තේ ක්ෂණිකවමය. මේ එළඹෙන්නේ නන්නාදුනනා ප්‍රෙද්ශයකදී අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමුගන්නා අවස්ථාවකට දෝයි මට සිතුනි.

ඉණෙහි මෙතෙක් වේලා සුරක්ෂිතව රඳවාගෙන සිටි සේවා පිස්තෝලය සුරතට ගත්තේ කෙසේ හෝ අපේ ජීවිත රැකගත යුතු නිසාය. නමුත් අප දෙදෙනාගේ අනාරක්ෂිත ජීවිත ආරක්ෂා කිරීමට මේ කුඩා පිස්තෝලය සමත් වේදැයි නොදත්තෙමි.

අතිබිහිසුණු විලාශයෙන් වෙල් යායේ එරි එරී අප දෙසට දිව එන හස්තියාත් අපත් අතර දුර ප්‍රමාණය මීටර් 100 කට වැඩි නොවීය. දෙවියන් බුදුන් සිහිකර ගනිමින් ඇසිල්ලකින් මම වෑන් රථය ඉදිරියට ධාවනය කිරීමට පටන් ගත්තෙමි.

“ සර්...., සර්...., අන්න ඌ පාර දිගෙත් අපේ පස්සෙන් එළවගෙන එනවා.....“

වෙල්යායෙන් මාර්ගයට බට දැවැන්තයා අප පසුපස ලුහුබැඳ ඒම අතහරින බවක් පෙනෙන්නට නොතිබු බව වික්‍රමසිංහ කියා සිටී. හස්තියාගෙන් දිවි ගලවා ගැනීම මෙන්ම අනතුරකට පත් නොවී රථය පැදවීමේ වගකීමත් දරා ගනිමින් මට කටයුතු කරන්නට සිදු විය.

දැවැන්තයාත් අපත් අතර තිබූ පරතරය වැඩි වැඩියෙන් ඈත් කර දෙන්නට සිත් පිත් නැති යකඩ ගොඩ උපරිම සහායක් දැක්වීය.

“ දැන් නම් සර් ඌ පේන්න නෑ වගේ.....“

මද දුරක් ආ පසු...........................

“ සර් දන්නේ නෑ මේ හරිය අලි විමානේ....  මං අර ඈතින් වතුර ගේන්න නොගියෙත් ඔය නිසයි.... සර් කලබල වෙයි කියලා හිතලා තමයි මං නොකීවේ....“

කීකරු වික්‍රමසිංහ මගේ වචනයට අකීකරු වු හේතුව පැහැදිලි කලේය.  
එල්ල වුන බාධක අභියෝග සියල්ල ජයගෙන අපි ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වුයෙමු. වික්‍රසිංහගේ ඥාති නිවසකට ද ගොඩ වැදීමෙන් අනතුරුව අපි කොළඹ බලා ආවෙමු. කොළඹට ළඟා වද්දී අළුයම දෙකද ඉක්ම ගොස් තිබුනි.

ඉකිබිති කාලය මසක් පමණ ගෙවී ගිය දිනක රාත්‍රී රාජකාරියක නිරතවීමෙන් පසු පෙරවරු 11 ට පමණ මම අපරාධ විමර්ශන අංශයේ රාජකාරි සඳහා වාර්ථා කලෙමි. අනතුරුව නිලධාරීන් කීපදෙනෙක් සමග වැටලීම් රාජකාරියකට පිටව යෑමට සූදානම්ව පිටවීමේ සටහන් යොදමින් සිටියෙමි.

“ සර් මං ගෙනියන්නේ මේ රිවෝල්වරය....“

රාජපක්ෂ නම් නිලධාරියා රිවෝල්වරයක් රැගෙන විත් පිවීමේ සටහනට එය ද ඇතුලත් කරන මෙන් මගෙන් ඉල්ලා සිටියේය. මෝගන් නැමැති පාතාල අපරාධනරුවාත් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවක් තිබු බැවින් මගේ සේවා පිස්තෝලයත් රාජපක්ෂ නිලධාරියා රිවෝල්වරයත් රැගෙන යාම වැදගත් විනි. මා සමඟ මේ වැටලීම් රාජකාරියට එම නිලධාරියාත් ඇතුලුව විජේසිංහ, කරුණාරත්න යන නිලධාරින්ද එක් වුහ.
අප අපරාධ විමර්ශණ අංශයේ සිට පිය ගැට පෙල බසිමින් සිටින අවස්ථාවේදී......

“ සර්.... සර් .... මෙන්න සර්ට Call එකක්......“

මම වහා ගොස් දුරකථන ඇමතුම ලබා ගත්තෙමි.

“ සර්...සර් දැන් කුමාර ආවා... විනාඩි 10කින් විතර ආපහු මෙතෙන්ට එනවා කිව්වා... මිනියා ආවේ සුදුපාට මැස්ඩා වෑන් එකක.... අපි වෑන් එකේ number එකත් ලියා ගත්තා... සර් පුළුවන් තරම් ඉක්මණට එන්න....“

ඇමතුම දුන්නේ විදේශ රැකියා ඒජන්සිය හිමි ශ්‍රීනා ය. ඇය ලබා දුන්නේ අප පුල පුලා මග බලාසිටි ඒ වැදගත් තොරතුරය.

“හරි අපි දැන්මම එනවා....“

තව කොටසක් ලබන සතියට......





8 comments:

  1. ඕනැවට වැඩිය ෂුවර් කන්ෆිඩෙන්ට් කියල හිතුනම හදිස්සි උනාම කම්මැලි හිතුනම අපෙන් ඉස්සෙල්ලාම මගහැරෙන්නෙ ආරක්ෂණ උපක්‍රම…. ….වයසට යනකොට ඩිංගක් කල්පනාවට ආවට තරුණ කාලෙ හැමෝම ලෑල්ලට පාගල යන්ඩ තමයි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි යතාර්තය...
      බොහොම ස්තුතියි..
      🙇🙏

      Delete
  2. හේතුවක් නැතුවත් අලි එලවනවද අප්පා

    ReplyDelete
    Replies
    1. හේතුව තමයි ඌ අපිව දැකීම, වාහනේ සද්දේ ඇහීම... 😂😂😂

      Delete
  3. කලින් අනුමානෙ ව‍ැරදීී

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා..! අනුමාන කියලා කියන්නේ අනුමාන වලටනෙ.. ඒවා හැමවිටම සත්‍ය වෙන්න ඕනි නෑ...

      Delete
  4. Replies

    1. ඒකෙන් බේරුනාට අනිත් එකෙන් මට බේරෙන්න බැරිවුණා.....

      Delete