Sunday, July 1, 2018

තල්අරඹේ මතකයන් 03

         තාල්පාඩු සිට අපි පොලිස් ට්‍රක්රථ දෙකේ නැඟී මන්නාරම පොලිස් මුලස්ථානය බලා ගමන ආරම්භ කලෙමු. දුර ඈතට විහිදුන තැනිතලා භූමි මුණ ගැසෙයි. බැලු බැලු අත තල්ගස්ය. මේ තල්අරඹක්මය. මනුෂ්‍ය වාසයන් ගෙන් තොර වු නිවාසවල වහලවල් නොමැත. ඒ වෙඩි පහරවල් හා බෝම්බ ප්‍රහාරවල මහිමයෙන් බව පෙනේ. තැනින් තැන තල්කොට හා වැලිකොට්ට යොදාගෙන ඉදිකරනු ලැබු හමුදා මුරපොලවල්ය. හමුදා සාමාජිකයින් හැර සිවිල් වැසියන් කිසිවෙකු හමුනොවීය. තැනින් තැන නිදැල්ලේ ඔබ මොබ සැරි සරන බූරුවන් බැලු බැලු අතය. මේ සිවුපා බූරුවන් මගේ ඇස ගැසෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ප්‍රදේශයේ විසු ජනයා කතෝලික භක්තිකයින් බව තැනින් තැන දක්නට ලැබුන දේව ප්‍රතිමා කුරුස හා දේවස්ථාන වලින් අවබෝධ වුනි. තාල්පාඩු සිට මන්නාරම පොලිස් මූලස්ථානය වෙත ඇත්තේ ඉතා කෙටි දුරක් බව දැනුනේ විනාඩි දහයක පමණ කාලවේලාවක් තුල අප මුලස්ථාන පොලීසිය වෙත ළඟා වු බැවිනි.

මන්නාරම මුලස්ථාන පොලීසිය තවකාලිකව ස්ථාපනය කර තිබුනේ සිවිල් ජනයාගෙන් තොර වු නිවාස සංකීර්ණකය. එක ළග ඉදිකර තිබෙන නිවාස හා ගොඩනැගිලි කීපයක් වටකොට ආරක්ෂක වලල්ලක් ඉදිකොට පොලිස් ස්ථානය පිහිටුවා තිබුනි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මොහාන්දාස් මහතා කටයුතු කරමින් සිටි අතර සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් මඟින් මන්නාරම හා තලෙයිමන්නාරම පරිපාලන කටයුතු සිදු කරනු ලැබීය. මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ක්යාස් මහතා කටයුතු කල අතර තලෙයිමන්නාරම සහකාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කලේ සහකාර පොලිස් අධිකාරි අනුර තිබ්බටුවාව මහතාය. මේ දෙදෙනාගේ නිල නිවාසය පිහිටා තිබුනේ පොලිස් පරීක්ෂක නිල නිවාසයට යාබඳවය. ඉන් ඔබ්බට වන්නට නිලධාරීන්ගේ භට නිවාස පිහිටා තිබුන අතර ආපනශාලාවක්ද එහි විය.


කල්පිටියේදී කඩි මුඩියේ හිමිදිරි උදෑසන එහෙන් මෙහෙන් මුව දොවා ගත්තාට පසු සිහිල් දිය පොදක පහස නොලැබුවෙමි. කරදියෙන් හා මුහුදු සුළඟින් විඩාපත්ව තිබු ගතත් සිතත් සුවපත් කරගැනීමට හැකි වුනේ පොලිස් පරීක්ෂක නිල නිවසේ නාන කාමරයෙනි.


“සර්ලගේ පැලැටුන් දෙකත් එක්ක ASP සර්ට report කරන්න කිව්වා...”

නිලධාරියෙක් ගෙන් පණිවිඩයක්. නැවතත් ප්‍රනාන්දුත් මමත් අලුත් නිලඇදුමකින් සැරසුනෙමු. ඒ සමඟම අනුකණ්ඩ දෙකේ නිලධාරීන්ටත් නිලඇදුම් වලින් සැරසී අප දෙදෙනා වෙක රපෝතු කරන ලෙස දැන්වුයෙමු.
තිස් දෙනෙකුගෙන් සමන්විත අනුකණ්ඩයකට NCO (None commission officer) ලා දෙදෙනෙකු අයත්වේ. මේ NCO ලා දෙදෙනා අනුකණ්ඩය භාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් ලබාදෙන නියෝග හා උපදෙස් අනුව කණ්ඩයේ නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීම කලයුතුය. NCO ලෙස පත්කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් කොස්තාපල්වරුන්ය. මගේ අනුඛණ්ඩයේ NCO ලා වුනේ අතුල කණ්ඩම්බි හා අතුල කුමාරය. ඒ නිසා මම ඔවුන්ව ඇමතුවේ ලොකු අතුල හා පොඩි අතුල කියාය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටිය ශ්‍රී ලංකා පොලීසියට අසුව දශකයෙන් පසුව තම රාජකාරි වපසරිය පුළුල් කිරීමට සිදු විය. ඒ LTTE ත්‍රස්ත ක්‍රියා හා දකුණේ භීෂණ ක්‍රියා මැඩපැවැත්වීමේ වගකීම ද පැවරුණු නිසාය. නවීන අවි ආයුධ වලින් සන්නද්ධ නොවී පොලීසියට තම රාජකාරිය ඉටුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය. 303 රයිෆල් හා SMG නමින් හදුන්වන කුඩා අවිය පමණක් භාවිතා කර තිබු පොලිස් නිලධාරීන්ට අනුපිළිවෙළින් SLR, T84, T56 හා LMG නැමති අවි භාවිතා කරන්නට සිදු වුනේ මේ නිසාය. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කලේ පොලීසියට හා හමුදාවට එකම ආකාරයටය. ඒ නිසා නීතිය හා සාමය පිළිබඳ දැනුම පමණක් නොව යුධහමුදා පුහුණුව ද ලබන්නට පොලිස් නිලධාරීන්ට සිදු විය. පොලිස් අනුඛණ්ඩ බිහිවුනේ මේ පසුබිම මතය. ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදාගන්නා ප්‍රදේශවල ආරක්ෂාව හා සිවිල් පරිපාලන කටයුතු සඳහා පොලිසීය යොද වන ලදී.

ප්‍රනාන්දුත් මමත් අනුඛණ්ඩ දෙකේ නිලධාරීන් සමඟ සහකාර පොලිස් අධිකාරි නිල නිවස්නය වෙත ගියෙමු. ප්‍රනාන්දුට සහකාර පොලිස් අධිකාරි ක්යාස් මහතා වෙත රපෝතු කිරීමට සිදු වුන අතර මා රපෝතු කලේ සහකාර පොලිස් අධිකාරි අනුර තිබ්බටුවාව මහතා වෙතයි.

“ ප්‍රදීප් ඔයා හෙට උදේ පේසාලේ පොලිස් පෝස්ට් එකට යන්න... උදේ අටට විතර මෙහෙන් යන්න කට්ටිය ලෑස්ති කරන්න... “

සහකාර පොලිස් අධිකාරිවරයාගේ ආමන්ත්‍රණය සුහුද බවකින් යුතු විය. එතුමාගේ උපදෙස් වලින් පසු පොලිස් පරීක්ෂක නිවාසයට පැමිණ රාත්‍රි ආහාර ලබා ගත්තෙමු. කල්පිටියේදී රසවිදි කොත්තු රොටියෙන් පසු ඒ දක්වා අපට නිසි ආහාරයක් නොලැබුන නිසා අධික කුසගින්න නිවාගන්නට ලැබුණේ ඒ මොහොතේදීය.

වෙහෙසකර දිනක් හමාර කරමින් රාත්‍රි නින්දට වැටුනේ පසුදින උදෑසන පේසාලේ වෙත යෑමේ බලාපොරොත්තුවෙනි.


04 වන කොටසට.

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

No comments:

Post a Comment