Tuesday, March 7, 2023

වර්තමාන පොලිස්පතිවරයා ගැන මගේ අත්දැකීම.


වර්තමාන පොලිස්පතිවරයා මට මුලින්ම හම්බ වෙන්නේ 2018 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී.  ඒ කාලේ මේ අමාත්‍යංශය හැදින්නුවේ නීතිය හා සාමය අමාත්‍යංශය කියලා.


සතියකට එක දවසක් පොලීසිය භාර ඇමතිවරයා හම්බ වෙන්න  දවසක් වෙන්කරලා තිබුනා. 


ඉතින් ඒ දවසක  මම ගියා ඇමතිවරයා  හම්බ වෙන්න. එතකොට ඇමති හිටියේ රංජිත් මද්දුම බණ්‌ඩාර. එදා මම ගියේ පොලීසියේ යුද්දෙන් සහ නීතිය ආරක්ෂා කිරීමේ රාජකාරි වලදී, පූර්ණ ආබාධිත වෙලා ගිලන් ඇදන් වලට, රෝද පුටුවලට සීමාවෙලා ජීවත් වෙන මගේ සහෝදර නිලධාරීන් 27 දෙනාගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න. ඔය සාකච්ඡාවට පොලීසිය පැත්තෙන් සහභාගි වෙලා හිටියේ වර්තමාන පොලිස්පතිවරයා.  ඔහු ඒ වෙන කොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන දිශාව භාරව කටයුතු කලා. 


මම ඇතුලු පූර්ණ ආබාධිත නිලධාරීන් 27 දෙනා බරපතල ගැටලු රාශියකට මුහුණ දෙමින් හිටියේ...  අපි වගේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙලා ඉන්න ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් රැක බලා ගන්න පුනරුත්ථාපන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබුනත්, පොලීසියේ අපට එක මධ්‍යස්ථානයක් තිබුනේ නෑ. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයෙන් ආබාධිත නිලධාරියෙකුට වඩා මේ පූර්ණ ආබාධිත නිලධාරීන්ට වැඩි වියදමක් ඔවුන්ගේ නඩත්තු කටයුතු සදහා වැය කරන්න සිද්ධ වෙලා තිබුනා.  රෝද පුටුවලට, වෛද්‍ය ප්‍රතිකාර වලට වගේම දෛනික කටයුතු තනිවම කරගන්න  බැරි සමහර නිලධාරීන් රැක බලාගන්න උපස්ථාදායකයෙකුගේ සේවය ලබා ගන්නත් ඔවුන්ට මුදල් වැය වුනා. මේ නිසා ඔවුන්ට ලැබෙන වැටුප කෙසේවත් මේ අමතර වියදම් සදහා ප්‍රමාණවත් වුනේ නෑ. ඔවුන් ජීවත් වුනේ දැඩි ආර්ථික දුෂ්කරතා රාශියක් මැද. මේ නිලධාරීන් රැක බලා ගන්න පොලීසිය කිසිම පියවරක් අරන් තිබුනේ නෑ...


ඇමතිවරයාට මම මේ නිලධාරීන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරන්න ආරම්භ කලා විතරයි....


'ආ.. අමතර දීමනාද ඉල්ලන්නේ...? එහෙම දීමනා නම් දෙන්න විදියක් නෑ. ඒකට තමයි ඔයාලට පඩියක් ගෙවන්නේ.. " 


මට ගැටලුව හරිහැටි පැහැදිලි කරන්නවත් අවස්තාවක් නොදී ඇමතිවරයා සියල්ල දත් වගේ උත්තර දුන්නේ ඔන්න ඔහොම. මම හීනෙකින්වත් හිතුවේ නෑ ඇමතිගෙන් මට ඒ වගේ උත්තරයක් ලැබෙයි කියලා. මට ඔහු ගැන හරිම කලකිරීමක් ඇති වුනේ. ඔන්න ඔහොම තමයි රංජිත් මද්දුම බණ්‌ඩාර පොලීසියේ රාජකාරිය ඉටුකරන්න ගිහින් විපතට පත්වුන නිලධාරීන්ගේ ගැටලු විසදුවේ... 


"සාමාන්‍ය තත්ත්වයෙන් ආබාධිත අයට නම් ඔය පඩිය සෑහෙනවා..., ඒත් මං මේ කතා කරන්නේ, තව කෙනෙක්ගේ උදව්වක් නැතිව දෛනික කටයුතු ටිකවත් කරගන්න බැරි රෝද පුටුවල, ඇදන් වල ජීවත් වෙන පූර්ණ ආබාධිත නිලධාරීන් ගැන සර්...."


හිතට ඇති වුන කලකිරීම වේදනාව යටපත් කරගෙන මම ටිකක් දැඩි ස්වරූපයෙන් ඇමතිවරයාට කරුණු පැහැදිලි කරේ, ඔහු මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය ගැන දැනගන්න. 


"සර්..., මෙයාලට අපි පොලිස් විරු සෙවණක් හදන්න හොරණින් ඉඩමක් අරන් තියෙන්නේ, ඒකට සල්ලිත් පාස් වෙලා තියෙන්නේ ඒක අපි දැන් ඉක්මනට හදනවා, එතකොට මෙයාලගේ ගැටලුව විසදෙනවා සර්...


 වර්තමාන පොලිස්පතිවරයා ඇමතිවරයාට ඔන්න ඔය විදියට  තමයි අපේ ගැටලුව විසඳන ආකාරය ගැන පැහැදිලි කරේ. තවත් ප්‍රශ්න කප්පරයක් තිබුනත්, දෙන්න ගෙන්ම ලැබුන ප්‍රතිචාරය එච්චර සුබවාදී නොවුන නිසා මම එන්න ආවා. ඔය ඔහු හම්බ වුන පලවෙනි අවස්ථාව.


දෙවෙනි වරට මට ඔහු හම්බ වෙන්නේ අවුරුදු එක හමාරකට විතර පස්සේ 2019 වසරේ දවසක. ඒත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේදී. එතකොට ඔහු වැඩ බලන පොලිස්පතිවරයා. කලින් සැරේ ඔහු කිව්ව පොලිස් විරු සෙවන හදන්න තබා මුල් ගල වත් ඒ වෙන කොට තියලා තිබුනේ නෑ. වෙනත් කිසිම සහනයක් මේ නිලධාරීන් වෙනුවෙන් ලබාදීලා තිබුනෙත් නෑ. 


ඒ සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කල උන්නැහෙත්, අමාත්‍යාංශ ලේකම්වරයාත් සහභාගි වෙලා හිටියා. මේ දෙන්න අපේ ගැටලු විමසුවේ කොහොමද කියල මේ ලින්ක් එකේ තියෙනවා



පොලිස්පති පොරොන්දු වුන පොලිස් විරුසෙවන ගැන අහන්න  මම සූදානම් වෙනකොටම,


"ආ ඔයාලට විරු සෙවනවල් වගේ project එකක් හරියන්නේ නෑ, ඔයාලට මොකක් හරි package  එකක් තමයි හරියන්නේ, ඔයාලගේ ඔය ප්‍රශ්න ටික ඔක්කොම ලියාගෙන සිකුරුදා ඇවිත් මාව හම්බ වෙන්න කෝ...."


ඔන්න ඔහොම තමයි ඒ සාකච්ඡාවේදී එතුමා හැසුරුනේ... අපේ ප්‍රශ්න වලින් සූර විදියට ලිස්සලා යන විදියක් දැනුනත්, සිකුරාදා හම්බ වෙන්න අවස්ථාව දුන්න නිසා ඒ ගැන බලාපොරොත්තුව තියා ගත්තා. 


කොහොම හරි ඒ සිකුරාදා අපි පොලිස් මූලස්ථානයට යනකොට එතුමා යාපනේ ගිහින් හිටිය. ඒ නිසා ඒ සිකුරාදා අපි රස්තියාදු වෙලා ගෙදර ආවා. නමුත් පස්සේ දවසක් පොලිස් මූලස්ථානයේදී ඔහුව හම්බ වෙන්න  අවස්ථාව ලැබුනා.


මම ගැටලු 07 ක් ලියාගෙන ගියාට එක ගැටලුවයි පැහැදිලි කරන්න ලැබුනේ. ඒ ගැටලුව තමයි පොලීසියේ පරිපාලනමය දෝෂයක් නිසා ක්‍රියාත්මක නොකල චක්‍ර ලේඛණයක් නිසා අපට නොලැබුන දීමනා වල හිඟ මුදල් ලබාගැනීම.


ඉතින් ඔහු කිව්වේ ඒකට මුදල් ජනාධිපතිවරයාට කියලා ගන්න ඕනි, ඊලග දිනයේ ජනාධිපතිතුමා හම්බ වෙන්න ගිහිල්ලා, මේ ගැටලුව කෙටියෙන් ජනාධිපතිතුමාට පැහැදිලි කරලා වචනයක් ගන්න කියලා.


පොලීසිය භාර ඇමතිවරයා හැටියට එවකට කටයුතු කලේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.


ජනාධිපතිවරයාට මම කරුණු ඉදිරිපත් කලාට පස්සේ පොලිස්පතිවරයාට  දැනුම් දුන්නේ....


"මේ රෝද පුටුවල, ඇදන්වල, අමාරුම තත්ත්වෙන් ඉන්න 30 දෙනාට ඔය හිඟ දීමනා ටික මුලින්ම දෙන්න.... ජීවිතාන්තය දක්වා වැටුප් දෙන්න සකස් කරන කැබිනට් සංදේශයට මෙයාලත් ඇතුලත් කරන්න එහෙම සංශෝධනය කරන්න බැරි නම් මෙයාල වෙනුවෙන් වෙනත් සංදේශයක් ඉදිරිපත් කරන්න...." 


පොලිස්පතිවරයා මට පවරපු වගකීම අනුව ජනාධිපතිවරයාගෙන් ඔය වගේ සුබවාදී පිලිතුරක් අරන් දෙන්න මට පුලුවන් වුනා. 


මාස ගනනාවක් ගත වූනත්, ජනාධිපති ලබාදුන් ඒ උපදෙස් අනුව අපට සහන සලසන්න පොලිස්පතිවරයා කටයුතු කර තිබුනේ නෑ. ඒ ගැන විමසලා යවපු එක ලිපියකටවත් අද වෙනකම් කිසිම උත්තරයක් එවන්න වත් කටයුතු කර නැත. 


එදා ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කලා නම් පොලීසියේ රාජකාරි කරන්න ගිහින් විපතට පත්වුන නිලධාරීන්ට විශාල සහනයක් අත්වෙලා... නමුත්,

අවුරුදු 04 ක් පමණ පොලිස්  පති ධූරය දරලා ඔහු විශ්‍රාම යන්නේ ඒ වගකීම් කිසිවක් ඉටු නොකරය. 


අපි ඔහුට රැවටුනා නොව අපි ඔහු විස්වාස පමණි.

Friday, March 3, 2023

🛑 යුක්තිය උදෙසා සටන් වැදීමෙන් කුරිරු පලිගැනීමකට ලක්වීම.....03


 පොලිස් රෝහලේ පාලන අධ්‍යක්ෂවරයා වැසිකිළියට රෝද පුටුවෙන් ප්‍රවේශ පහසුකම් නැති පරීක්ෂකවරුන්ගේ වාට්ටුවට මා ඇතුලත් කොට පලිගැනීමට උත්සාහ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට, ලේකම්වරයාට හා පොලිස් වෛද්‍ය දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මම පැමිණිලි කලෙමි.


එම පැමිණිල්ලට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් 2023 පෙබරවාරි 13 දින මට පිලිතුරු ලිපියක් එවා ඇත.

මේ ලිපියෙන්,
පොලීසිය කණිෂ්ඨ නිලධාරීන්ට,
රාජකාරියේ යෙදී සිටියදී ආබාධිත වුන නිලධාරීන්ට හා,
විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත නිලධාරීන්ට,
,සහන සැලසීම, රැකවරණය ලබාදීම, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සම්බන්ධව
බලධාරීන් කටයුතු කරන්නේ කෙසේද යන්න මැනවින් පිළිබිඹු කොට ඇත.

මට සාධාරණය ඉටු නොවීම සම්බන්ධව, නැවැත ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යතුමාට හා එම ලේකම්තුමාට 2023.02. 22 දින Fax කලෙමි.

එම ලිපියෙන් මට සිදුව තිබෙන අසාධාරණය සම්බන්ධව සියලු තොරතුරු දැනුම් දුන්නෙමි. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට ඔවුන් ට යම් කිසි කාල අවකාශයක් ලබාදී බලා සිටින්නෙමි.

විරාමයක්.......

පලමු කොටසට..