Saturday, August 11, 2018

රැඳුණ ජීවිතය. 01



 “ප්‍රදීප්.... ප්‍රදීප්....“

දුර ඈතක සිට කිසිවකු මගේ නම කියා කථාකරන හඬක් ඇසුණි. දැඩි අන්ධකාර ලොවක් තුළ සැහැල්ලු සුවබර නින්දක සිටි මම ඒ හඬින් අවදි වීමි. යම් ආලෝක ධාරාවක් මගේ දෙඇස් වෙත එල්ල වී තිබුණි. ඒ හඬත් ආලෝක ධාරාවත් තුළින් මගේ මනස යළි ක්‍රියාත්මක වන්නට විය.
ඇසට එල්ල වී තිබූ ආලෝක ධාරාව විදුලි පන්දමකින් නිකුත් වූ දෙයක් බවට මම හඳුනා ගත්තෙමි. කොළ පැහැති ශල්‍යාගාර ඇඳුම් කට්ටලයකින් සැරසුණු අයෙක් අන්ධකාර පසුබිමක් තුළින් මට දිස් විය. ඔහු විදුලි පන්දම උපයෝගි කරගෙන මගේ ඇස් පරීක්ෂා කරමින් මට කථා කළේය.

“ප්‍රදීප්.... ඔයාට අපිව ඇහෙනවද...?

“ඔයාට සිහිය තියෙනවද...?“

ඔහු කථා කරන හධ ඇසෙන බව කීමට උත්සාහ කළත් මට කථා කිරීමට නොහැකි විය. කිසියම් නාලයක් මුව තුළින් ශරීර අභ්‍යන්තරයට ඇතුල් කර ඇති බව දැණුනි. ඒ හේතුවෙන් මට කථා කිරීමට නුපුළුවන් විය. මම හිස දෙපසට චලනය කර දැනෙන බව ඔහුට හැඟවූයෙමි. එම අවස්ථාවේදී ශරීරයේ වෙනත් කිසිඳු ඉන්ද්‍රියයක් චලනය කිරීමට මට නොහැකි විය.

“මෙන්න මෙයාට සිහිය ඇවිල්ලා....“

තවත් පිරිසකට ඔහු දැන්වූයේය. ශල්‍යාගාර ඇඳුම් වලින් සැරසුණු කීපදෙනෙක්ම ඉක්මණින් මා අසළට පැමිණියහ. ඔවුහු මගේ ශරීරයට සම්බන්ධ කර තිබූ වෛද්‍ය උපකරණ කීපයක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට වහා යුහුසුළු වූහ.

වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන විශේෂිත වූ ස්ථානයක මා සිටින බව දැණුනි. වෛද්‍ය මෙවලම් කීපයක්ම මගේ ශරීරයට සවි කර තිබූ අතර ඒවා නිසා අත් පා කිසිවක් චලනය කිරීමට නොහැකි විය. පපු පෙදෙස මුළුමනින්ම ප්ලාස්ටර් හා බැන්ඩේජ් වෙළුම් පටි වලින් ආවරණය කර තිබුණි. පපුවේ දකුණු පසින් නාල තුනක් ශරීර අභ්‍යන්තරයට සවිකර ඇති බව දුටුවෙමි. එම නාල දිගේ රුධිරය ගලා යමින් තිබුණි. ගෙල දෙපසින් කැන්‍යුලා දෙකක් සවිකර රුධිරය හා සේලයින් ලබා දී තිබුණ අතර එයින් සියුම් වේදනාවක්ද ගෙන දුනි. සුදු පැහැති පොරෝනයකින් පපුවෙන් පහළ කොටස පොරවා තිබුණි.

මා සිටි එම ස්ථානයේ සාමාන්‍ය රෝහලක වාට්ටුවක පවතින කලබලකාරී පරිසරයක් දිස් නොවීය. සිරුරට දැනෙන සිසිල් බව නිසා එම ස්ථානය වායු සමනය කළ ස්ථානයක් බව දැණුනි. මා වැනිම අසාධ්‍ය තත්ත්වයේ පසුවන කීප දෙනෙක්ම යාබද ඇඳන් වල සිටින ලදී. සෑම ගිලන් ඇඳකටම විශේෂිත වූ වෛද්‍ය උපකරණ සවිකර ඇති බව මම දුටුවෙමි. වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සියළුම දෙනා කොළ පැහැති ශල්‍යාගාර ඇඳුම් වලින් සැරසී සිටියහ. පරිසරයේ නිහඬ බව බිඳ දැමුවේ වෛද්‍ය උපකරණ වලින් නික්මෙන “බීප්...බීප්....“ හඬ පමණි. මම මේ සිටින්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බව මොහොතකින් මට අවබෝධ වූයේ මා මුහුණ දුන් සිදුවීමේ පෙරපර ක්ෂණිකව සිහිපත් වීමෙනි.

අවුරුදු 30 ක් වූ මගේ ජීවිතයේ මා පළමු වරට පියවි සිහිය නැතිවී නැවත සිහිය ලැබූ පළමු අවස්ථාව මෙය වේ. මෙතෙක් කලක් මා කිසිදාක සිහිසන් වී නොමැත. එමෙන්ම රජයේ රෝහලක කිසිදිනෙක මා නේවාසිකව සිට ප්‍රතිකාර ලබාගෙන තිබුණෙද නැත. මෙය මා නැවත ඉපදීමක් බඳු විය. එහෙත් මේ දෙවන වර ඉපදීම මගේ ජීවිතය මුළුමනින්ම උඩු යටිකුරු කර තිබුණි.

“ප්‍රදීප්.... ඔයාට මතකයිද මොකද වුණේ කියලා....?“

හෙදියක් මගෙන් ඇසුවාය. ඇයට මම හිස සොලවා මතක බව ඇඟවීමි.

“ඔයා දවස් දෙකහමාරක් සිහිය නැතුව හිටියා....“

ඇය කියූ දෙයින් මම විමතියට පත්වීමි. සිහිසුන්ව ඒ සුවබර නින්දේ කොපමණ වේලාවක් සිටියේදැයි කිසිදු හැඟීමක් මට තිබුණේ නැත. හෙදියගෙන් අසා දැන ගන්නට මට බොහෝ දේ තිබුණි. එහෙත් මුවෙහි තිබූ නාලය නිසා කථා කිරීමට අපහසු විය. දැඩි උත්සාහයක් ගෙන මම දකුණත මදක් ඉහළට ඔසවා මුව තුළ තිබෙන නාලය ඉවත් කරන ලෙස ඇයට සංඥා කළෙමි. හෙදියට සිනා පහළ විය.

“අපෝ... ඒක දැන්ම අයින් කරන්න බැහැ... ඕක අයින් කළොත් ඔයාට හුස්ම ගන්න බෑ. ඔයා හුස්ම ගන්නේ වෙන්ටිලේටර් මෙෂින් එකෙන්. අපි ඒක පුළුවන් ඉක්මණට අයින් කරන්නම්. එතකං පොඩ්ඩක් ඉවසන්න....“
හෙදිය මා අස්වසමින් කැරුණිකව කියා සිටියාය.

ගෙල දෙපසින් දැනෙන සියුම් වේදනාව හැරුණුවිට වෙනත් කිසිඳු වේදනාවක් මට දැණුනේ නැත. එහෙත් පපු පෙදෙසින් පහළ සියළුම ඉන්ද්‍රියයන් හිරිවැටී ඇති බව දැණුනි. කෙසේ වුවත් මා සිටින්නේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක බව මට වැටහිණි. වෛද්‍ය මෙවලම් වල උපකාරය මත මගේ ජීවිතය රඳා පැවතුණි.

මීට පෙර මා රෝහලකට පැමිණ තිබුණේ ඥාති හිතමිත්‍රාදීන් බැලීමට හා පොලිස් පරීක්ෂණ කටයුතු වලට පමණි.වෙඩි තැබීම්, කැපීම්, කෙටීම්, පහරදීම් වලට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පුද්ගලයින් ප්‍රතිකාර ලබන මෙම දැඩිසත්කාර ඒකකයට කීප අවස්ථාවකම අපරාධ විමර්ශන කටයුතු සදහා මා පැමිණ තිබුණි. වේදනාබරිතව විලාප නගමින් සිටින රෝගීන් දකින විට එදවස මම ප්‍රාර්ථනා කළේ කිසිදිනක මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මා ලක් නොවේවා යන්නයි.

“මොනද සර් ඉබි ගමනින් යන්නේ....?“

දිනක් මා පරීක්ෂණ කටයුත්තකට දැඩි සත්කාර ඒකකයේ රෝගියෙකුගේ ප්‍රකාශයක් ලබාගෙන නැවත කොටහේන පොලිස් ස්ථානය වෙත යතුරු පැදිය ඉතා සෙමින් පදවන විට පිටුපස සිටි සහායක නිළධාරියා මගෙන් ඇසුවේය.

“මට කියන්න ඔයා මිනිස්සු ඉන්න අකමැතිම තැන් දෙකක්.....“

නිළධාරියාගේ ප්‍රශ්ණයට උත්තරයක් නොදී මම ඔහුට ප්‍රශ්ණයක් යොමු කළෙමි.

“කොහෙද සර්....? ම්..ම්... මට නං හිතාගන්න අමාරුයි...එකක් නං අපාය වෙන්නැති....අනික....?“

“නෑ....නෑ.... ඒ තැන් දෙකත් අපායවල් තමයි. නමුත් ඒවා තියෙන්නේ මේ ලෝකේ...“

“අනේ මන්දා... සර්ම කියන්නකෝ....“

“එක තැනක් ඉස්පිරිතාලේ...අනිත් තැන හිරගෙදර..... ඔය තැන් දෙකේ ඉන්න කැමති කවුද...?“

මම නිළධාරියාට පැහැදිලි කළෙමි.

“ඒකනං ඇත්ත සර්... ICU එකේ ලෙඩ්ඩු දකිනකොට ඇඟ හිරි වැටෙනවා....., ඇඟ හැමතැනින්ම බට දාලා...ඒ ලෙඩ්ඩු කොච්චර වේදනාවක් විඳිනවා ඇද්ද...? “

hospital එකට ගිහින් මේවා දකින කොට තමයි හිතෙන්නේ අපාය තියෙන්නේ මේ ලෝකෙ කියලා...“
රථයකට ඉස්සර කිරීමට ඉඩ සලසමින් මම කියා සිටියෙමි.

අප ගමන් ගත් බොරැල්ල කොටහේන මාර්ගයේ අති විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් කරමින් තිබුණි. තරඟකාරි ලෙස එකෙකුට එකෙක් අභිබවා සුළු වේලාවක වාසියක් අත්කර ගැනීමට සුළු ඉඩකඩකින් හෝ තමාගේ ගමන ඉක්මන් කර ගැනීමට අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන් බොහෝ පිරිසක් විය.

“වාහන accident  වලින් තුවාල වෙච්ච අය තමයි ගොඩක් ඉන්නේ .... නේද සර්....?“

නිළධාරියාද අධික වේගයෙන් ගමන් කරන රථ දෙස බලමින් කීය.

“මට හිතෙනවා මිනිස්සුන්ට driving license දෙන්න කළින් hospital  එකට එක්ක ගිහින් accident වලින් කකුල් අතපය කඩාගත්ත ලෙඩ්ඩු පෙන්නනවනම් හොඳයි කියලා...“

මම යෝජනාවක් කළෙමි.

“ඕවා පෙන්නුවට වැඩක් නෑ සර් ... මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්න නං තමන්ටම ඒ දේ වෙන්න ඕන....“

කළකිරීම මුසු වූ හඬකින් ජයසේකර කියා සිටියේය.

“මම නම් මෙච්චර කාලෙකට hospital එකක නතර වෙලා නෑ... ගලපටලය, ඩිප්තීරියාව වගේ ලෙඩවලට ඉන්ජෙක්ෂන් ගැහුවට පස්සේ කිසිම ඉන්ජෙක්ෂන් එකක් සේලයින් එකක් අරගෙන නෑ....“

වෛද්‍ය ප්‍රතිකාර හා රෝහල් පිළිබඳව මගේ අත්දැකීම පැහැදිලි කළෙමි.

එසේ මා සිහිනෙන්වත් සිටීමට නොපැතූ අප්‍රියජනකම ස්ථානයක මට දැන් නතර වීමට සිදුව ඇත්තේ දෛවයේ කුරිරු වූ සරදමකට මා ලක්ව සිටි බැවිනි. 

මගේ ජීවිතය ප්‍රබල ලෙස උඩුයටිකුරු කළ මේ අනපේක්ෂිත ඉරණමට මුහුණ දීමට හේතුපාදක වූ ඒ සිදුවීම සිදුවූයේ මීට දින දෙකහමාරකට පෙරාතුවයි. එහෙත් ඒ දින දෙකහමාර තුළ මා සිටියේ කොහිදැයි  මා නොදන්නෙමි.  මට එය දැනෙන්නේ සුළු මොහොතකට පෙර සිදු වූ සිදුවීම් දාමයක් ලෙසයි. වෙඩි පහරට මා ඉලක්ක වූ අවස්ථාවේ සිට රෝහල් ගතව සිහිසන් වන තෙක් මතකයන් මගෙන් ගිලිහී ගොස් තිබුණේ නැත. මගේ දින දෙකහමාරක ඒ රික්තකය ගැන අදටත් මම කල්පනා කරමි. කිසිඳු ආශ්වාදයක් දැනීමක් නොමැති ශූන්‍යව ගෙවූ ඒ කාලය පිළිබඳව පෙරපර ගළපා ගැනීමට අදද මා අපොහොසත්ය.

“මේ පේෂන්ට් හොඳටම fail ...... තවත් blood දෙන්න වෙයි වගේ........“


19 comments:

  1. Kiyawanna akamathi eth hamadaama kiyawana lipi pelak

    ReplyDelete
    Replies
    1. හැමදාම කියවන්න... එය මට ලොකු ධෛර්යයක්....
      බොහොම ස්තුතියි ඔබට....

      Delete
  2. මේ කතාව ඇත්තටම සිද්දවුනු දෙයක් නිසා වෙන්න ඇති කියවන ඒවා හදවතටම දැනෙන්නේ..
    ඉරණම තීණ්දු කල රාජකාරිය කතාවේ දෙවනි කොටසද මේ?

    දිගටම ලියන්න ප්‍රදීප්..සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව්... මේ ඉරණම තීන්දු කල රාජකාරියේ දෙවන කොටස...
      මේ මගේ ජීවිතයේ දෙවන ආරම්භයක්....
      ඔබට බොහොම ස්තුතියි....

      Delete
  3. Me siddiya gethu kathawak unanam kotharam mihirida

    ReplyDelete
    Replies
    1. දැන් මේක මම මුහුණ දුන් අත්දැකීමක් පමණයි... ඒ නිසා මෙහි රසාස්වාදය විඳීමට කිසිඳු බාධාවක් නෑ...
      ඔබට බොහොම ස්තුතියි...

      Delete
  4. Me siddiya gethu kathawak unanam kotharam mihirida

    ReplyDelete
  5. Me siddiya gethu kathawak unanam kotharam mihirida

    ReplyDelete
  6. මට පේන විදිහට, හිටපු එස් අයි මහත්තෙයා... මේක බොහොම හොඳ පොතක් වෙයි අනාගතේදි. අර රුසියන් කතාවක් තියෙන්නෙ "සැබෑ මිනිසෙකුගේ කතාවක්" වගේ නමකින්... අන්න ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මට හිතුනා... මම ලියනවා... මගේ ජීවිතයේ මෙතෙක් මුහුණ දුන් අත්දැකීම් අන් අයට කියන්න ආශාවක් ඇති වුනා... පොතක් නොවුනත් හැමෝටම බලන්න පුළුවන් ඕන කාලයක් පවතින මෙතන තෝරා ගත්තේ ඒ නිසා...
      ඔබට බොහොම ස්තුතියි..
      සටහනක් තැබුවාට..

      Delete
  7. හරවත් අත්දැකීම් පිරුණු blog එකක්,නිතර ගොඩවදින මමත් ගොඩක් අගේ කරනවා......

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන මට ලොකු දිරියක්...
      ස්තුතියි.. ඔබට... දිගටම ගොඩවදින්න...

      Delete
  8. වග කිවයුතු අයට මෙම දුක් පෙනෙවා! අපේ ජීවිත වෙනුවෙන් දුක් විඳින, අසරණ වී ඇති සැමට සෙත සලසන උත්තමයෝ පහළ වේවා! තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා!

    ReplyDelete