Tuesday, August 7, 2018

බස් එකේ පොඩ්ඩක් බලමුද......?



“රිවිරැස“ මෙහෙයුමෙන් පසු චාවකච්චේරි පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණයේ නව පොලිස්ථානයක් පිහිටු වන ලදී. මේ භූමියේම අනෙක් පස යුධ හමුදා කදවුරකුත් ඉදිකොට තිබුනි. උතුරේ මගේ රාජකාරි ජීවිතයේ අවසන් පොලිස් ස්ථානය වුනේ චාවකච්චේරියයි. ඊට පෙර මම කන්කසන්තුරය, ඉලවාලි, ඉඩේකාඩු, මාදගල් හා යාපනය පොලිස් ස්ථානවල රාජකාරි කලෙමි.

අලුතින් ආරම්භ කල චාවකච්චේරි පොලිසිය වටේට ආරක්ෂක බංකර පද්ධතිය ඉදිකිරිමේ කාර්ය භාරය පැවැරුනේ මා වෙතයි. එයට හේතු වුයේ අවුරුදු ගණනාවක් උතුරු මෙහෙයුම් කලාපයේ රාජකාරි කර වැඩිම අත්දැකීමක් සහිත නිලධාරයා මා වීමයි. උතුරු යුධ බිමේ ඒ වනවිට මම රාජකාරි කර තිබු කාලසීමාව අවුරුදු 7 ක් පමණ වී තිබුනි. අපි හැමෝගෙම ජීවිත ත්‍රස්ත ප්‍රහාර වලින් ගලවගන්න ආරක්ෂක වලල්ලේ ශක්තිමත් බව ඉතාමත් වැදගත් වන නිසා මට පැවැරුනේ ඉතාමත් භාරදූර වගකීමකි. මන්නාරම,

තලෙයිමන්නාරම හා පේසාලේ වැනි ප්‍රදේශවල මා රාජකාරි කරද්දී ආරක්ෂක බංකර් ඉදිකර ලැබු අත්දැකීම් හා නිපුනත්වය නිසා ඕනම සතුරු ප්‍රහාරයකට මුහුණ දීමට හැකි අයුරින් බංකර් නිර්මාණය කිරිමේ මනා හැකියාවක් මා සතු විය. මේ හැකියාව නොයෙක් විට යුධ හමුදා උසස් නිලධාරීන්ගේද පැසසුමට ලක් විනි.

චාවකච්චේරි පොලිස් ස්ථානයේ ආරක්ෂක වලල්ල ඉදිකිරීමට අවශ්‍ය තල්කොට ඇතුලු ද්‍රව්‍ය අපි ගෙනාවේ මාදගල් පොලිස් මුරපොලේ ඉදිකොට තිබු බංකර ගලවාය. පොලිස් ටාටා ට්‍රක්රථයෙන් අපි මේවා රැගෙන ආවෙමු. මේ ට්‍රක්රථය පදවන්න රියදුරෙක් හිටියත් හැමවිටම නිල නොලත් රියදුරු මමම වීමි. ඉතිං ඒ නිසා මේ කටයුත්තේ නියැලීම එක්තරා විදියක සතුටක් ගෙන දෙන්නක්ද විය. මේ කාරණා සියල්ල පදනම් වී චාවකච්චේරි පොලිස් ස්ථානය වටා ආරක්ෂක වලල්ල ඉදිකිරිමේ කාර්යය මම මැනවින් ඉටුකලෙමි. මා ඉටුකල මේ මෙහෙය ගැන අපේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කල සහකාර පොලිස් අධිකාරි (එවකට ) හේමන්ත අධිකාරි මහත්මයා විසින් විශේෂ ප්‍රශංසාවක් ද ලබාදුන්නේය. ඔහු කියා සිටියේ ඔහුගේ රාජකාරි දිවිය තුල දැක්ක හොඳම SI මා බවයි. ඒ ප්‍රශංසාව ඔහු මට ලබාදුන්නේ සියලුම නිලධාරීන් එක්රැස් කරවා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන අවස්ථාවකදීය. මගේ රාජකාරි කටයුතු පිළිබඳව විශිෂ්ඨ ඇගයීමක් චාවකච්චේරි පොලිස්ථානයේදි ඒ විදියට ලබන්නට හැකි වුවා සේම මගේ ජීවිතයේ වඩාත්ම අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදුවුන සිදුවීම සිදුවුනෙත් අවාසනාවට ඒ චාවකච්චේරි පොලිස් ස්ථානයේදීමය.

සහකාර පොලිස් අධිකාරිතුමා ඇතුලු පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් මමත් සමඟ පස් හයදෙනෙක් මෙහි රාජකාරි කලෝය. සමහර දිනවල සවස් භාගයේදී පොලිස් පරීක්ෂක නිවස්නයේ ජෑම් ගහයටට සහකාර පොලිස් අධිකාරිතුමත් සමඟ අපි ඔක්කොම එකතු වෙන්නේ හීනි සාදයකටය. මේ සාදයට බොහෝ විට අල්ලපු යුධහමුදා කදවුරේ කපිතන් පෙරේරාත් සහභාගි වෙයි. සවස හයට විතර පටන් ගන්න මේ සාදය හමාර වන්නේ මධ්‍යම රාත්‍රිය එළඹෙන විටයි. හේමන්ත අධිකාරි මහත්මයා ඉතාමත් කලාකාමී පුද්ගලයෙකි. හීනියට සප්පායම් වෙන පිරිස සමඟ එතුමට ගීත කීපයක් ගායනා කිරීමට ද ඉන් අනතුරුව අවශ්‍ය වෙයි. ගීත ගායනා කිරීමට විශේෂ හැකියාවක් තිබු කීපදෙනෙක්ගෙන්ම අප අතර සිටි නිසා සාදය ඉතාමත් රසවත් වේ. මේ සාද පැවැත්වෙන දිනවල රාත්‍රි කාර්යභාර නිලධාරියා ලෙස එතුමා විසින් පත්කරන්නේ මාය. එවිට මා පිළිබඳව පුර්ණ විශ්වාසය තබා රාත්‍රි නින්දට යාහැකි බව එතුමා කියා සිටියි. සාදයන්ට මා සහභාගි වුනත් කිසිම විටෙක පමණ ඉක්මවා භාවිතයක් මා තුල නොවීය. (සත්තකින්ම මම සාදයන්ට සහභාගි වෙන්නේ කටගැස්මට වගකියන්නට අවස්ථාවක් සලසාගන්නටය.) යුධබිමේ මා ලබා තිබු අත්දැකීම් ඇතුලු මේ සියලු කාරනා නිසා එතුමට මා කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනැඟී තිබුනි.

එක දවසක් මේ අයුරින් සාදයක් පැවත්විනි. සුපුරුදු පරිදි රාත්‍රි කාර්යභාර නිලධාරියාගේ රාජකාරිය මට පැවරුනි. රාත්‍රි කාර්යභාර නිලධාරියා විසින් රෑ නමයට රාත්‍රි රාජකාරියේ නිරත නොවන පොලිස් පරීක්ෂකවරුන්ගෙන් පහල නිලධාරීන් සියලුම දෙනාගේම නාමලේඛණය ලකුණු කල යුතුය. එමෙන්ම ආරක්ෂක වලල්ල වටා රාජකාරියේ නිරත නිලධාරීන් සියලු දෙනා පරීක්ෂා කලයුතුය. රාත්‍රි දහයේ සිට උදෑසන හය දක්වා අවස්තා තුනක් පමණ මෙය ඉටුකල යුතුය. මීට අමතරව දෛනික රාජකාරි පොත්පත් සියල්ලක්ම කියවා බලා අවශ්‍ය නියෝග සටහන් කල යුතුව ඇත. ඉතිං මට රාත්‍රි පැවරී තිබුන මේ රාජකාරීන් ඉටුකිරිමේදි මුලු රාත්‍රිය පුරාම අවදිව සිටිය යුතුවේ. සුපුරුදු පරිදි මේ දිනත් මම රාත්‍රි එක අවස්ථාවක් නිලධාරීන් පරීක්ෂා කර බලා සටහන් තැබුවෙමි. මේ වනවිට රාත්‍රි එක පසු වී තිබුනි. වෙන කවරදාවත් නොවු අයුරින් මට අධික නිදිමතක් දැනුනි. මා සමඟ චෝදනාගාරය තුල උපසේවා රාජකාරියේ සැරයන්වරයෙකුත් දුරකතන රාජකාරියේ තවත් නිලධාරියෙකුත් රාජකාරියේ යෙදී සිටියහ. සහකාර පොලිස් අධිකාරිතුමාගේ නිවස්නය පිහිටා තිබුනේත් මේ චෝදනාගාරයට යාබදවය. රාත්‍රියේ දී විටින් විට එතුමත් නැගිටවිත් චෝදනාගාරයට එබිකම් කරන නිසා කිසිවෙකුට කුකුල් නින්දක්වත් ලබාගැනීමට නොහැකිය. මේ තත්ත්වය නිසා මම මුහුණ දී සිටියේ ඉතාමත් අසීරු තත්වයකටය. ඒත් දරාගැනීමට නොහැකි නිදිමත කෙසේවත් මට අවදියෙන් සිටින්නට ඉඩ නොදේ. ආරක්ෂක වලල්ල වටා ඇති බංකර් වල රාජකාරියේ නියුතු නිලධාරීන් පිරිස පරීක්ෂා කර එන්නට මට පැය දෙකක පමණ කාලයක් ගතවේ. මේ කාලය අතරතුර කොතනක හෝ පොඩි නින්දක් ලබාගැනීමේ අදහසින් නිලධාරීන් පරීක්ෂා කර බැලීමේ රාජකාරිය සදහා මම වෝකිටෝකි යන්ත්‍රයත් T56 තුවක්කුවත් රැගෙන චෝදනාරයෙන් පිටවුනෙමි. ශරීරයට දරා ගැනීමට නොහැකි ඔරොත්තු නොදෙන නින්ද මට කියන්නෙම කොතනක හෝ නිදාගන්නට කියාය. ටාටා වර්ගයේ පොලිස් බස්රථය මට ඇස ගැටෙන්නේ මේ අවස්ථාවේදීය. බස්රථය තුලට පිවිසි මම බස්රථයේ දොරවල් දෙක අගුළු දමා නින්දට අවස්ථාව ලබාදුන්නෙමි. මට මතක එපමණය. මට කොතෙක් වෙලා නින්ද ගියාදැයි නොදනිමි. එක්වර මම ඇහැරෙන්නේ මගේ නම කියනවා ඇසීමෙනි. යම් කලබලකාරී පරිසරයක් ඇති වී ඇත. ටෝච් ගසිමින් නිලධාරීහු එහෙ මෙහෙ කලබලෙන් දුවති . “ප්‍රදීප් සර් මිසින්...” ඔවුන් අන් නිලධාරීන් දැනුවත් කරන හඬද මට ඇසේ. කුමක් කරන්න ද මට කිසිවක් සිතාගැනීමට නොහැක. සිද්ධිය ඇති වී ටික වෙලාවක් ගතවී ඇති හැඩකි. පොලිස් ස්ථානයේ සෑම තැනකම මා සොයන බවක් දැනේ. සහකාර පොලිස් අධිකාරිතුමත් පිරිස අතර සිටින බව ඇසේ. “බස් එකේ පොඩ්ඩක් බලමු ද” නිලධාරීයෙක් බස්රථය දෙසට පැමිණේ. මම ඉවරෙටම ඉවරය. මම ඇයි කියමින් බස්රථයෙන් බැස්සේ වෙනත් කරන්නට කිසිවක් ඉතිරි වී නොමැති බැවිනි. “සර් මාර වැඩේ සර් නෑ කියලා අපි හැමතැනම හෙව්වා. ඒ එස් පී සර් චාර්ච් රූම් එකට එනකොට රිසව්, බී.ඕ. දෙන්නම නිදිලු, ඒ දෙන්නට එන්ට්‍රීස් දාන්න කියලා සර්ව හොයලා පොයින්ට් වලට කතාකරලා බලන කොට හැමතැනින්ම කියලා සර් ආවෙ නෑ කියලා..“

ආත්මගරුත්වය රැක ගැනීමට කිසිදු ඉඩකඩක් නොමැතිව සියල්ල සිදු වී හමාර වී ඇත. දැන් එළඹ ඇත්තේ ජීවිතේ වඩාත්ම ලැජ්ජාවට අපහසුතාවයට පත්වෙන අවස්ථාවට මුහුණ දීමටයි. කෙසේවත් මේ අවස්ථාව මගහැරීමට මගක් ඉතිරි වී නොමැත. සහකාර පොලිස් අධිකාරි තුමාගේ විශ්වාසය මා සහමුලින්ම කඩකොට ඇත. දැන් එතුමට මුහුණ දෙන්නෙ කෙසේද.. ? ඒත් දැන් මා එතුමා හමුවට යායුතුමය. නිලධාරීන් පිරිසත් සමග මම චෝදනාගාරය දෙසට ගමන් කලෙමි. දැන් කිසිවෙකු කිසිවක් කතා නොකරයි. සියලු දෙනා ගොළුවන් මෙනි. සහකාර පොලිස් අධිකාරි තුමා මා දුටු විගස හැරී ඔහුගෙ නිවස්නය තුලට වැදුනි. මට මෙන්ම එතුමටත් මේ අවස්ථාව දැඩි අපහසුතාවක් ඇති කර ඇත. එතුමා එලෙස හැසිරීම තුල මට ලැබුණේ යම් අස්වැසිල්ලකි. වැරදි කල අප කිසිවෙකුට දඩුවම් නොලැබුනි. එහෙත් දින කීපයක් යනතුරු මට සහකාර පොලිස් අධිකාරිතුමාගේ මුහුණ බැලීමට නම් නොහැකි විය. පසු කලෙක එතුමා මේ සිදුවීම මතක් කරන්නේ මතකයේ රැඳුනු ඉතාමත් රසවත් සිදුවීමක් ලෙසය.

මගේ ජීවිතයේ මා වඩාත්ම අපහසුතාවයකට හා ලැජ්ජාවකට පත් වු අවස්ථාව මෙය වන අතර අනිත් අතට මෙය මාගේ මතකයේ රැඳී පවතින ඉතා රසවත් සිදුවීමකි.

4 comments:

  1. එක්කෙනෙක්ව විතර තියපු එකේ වරද

    ReplyDelete
    Replies
    1. නෑ නේ... අර හිටියේ දෙනෙක් නෙ
      උන් දෙන්නත් නිදාගෙන නෙ.. ඒකනේ මාට්ටු වුනේ ... 😂😂😂

      Delete
  2. ඒ වෙලාවෙ මේ වැඩේ අවුල් උනාට පස්සෙ මතක් කරනවනම් බොහොම රසවත් සිද්දියක්. ඔබ බස් එකේ නිදාගෙන ඉන්නකොට කට්ටිය හොයන හැටි මේ පෝස්ට් එක කියනකොට මැවිල පේන්න පටන්ගත්ත.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටක් දැනෙන්නේ ඔබේ කමෙන්ටුව කියවද්දී... මගෙ ලිවීම සාර්ථකයි කියලා දැනුන ප්‍රතිචාරයක්...
      ඔබටර බොහොම ස්තුතියි...

      Delete