Friday, September 7, 2018

රැඳුන ජීවිතය. 02

“මේ පේෂන්ට් හොඳටම පේල්.... තවත් බ්ලඩ් එකක් දෙන්න වෙයි වගේ.....“

හෙදියක් මගේ සුදුමැළි වී තිබූ දෑත් පරීක්ෂා කරමින් කියා සිටියාය.

“තව බ්ලඩ් එකක් දෙමු එහෙනං....“

තවත් හෙදියක් එසේ කියමින් ලේ පැකට්ටුවක් ගෙන ආවාය. ඉක්බිතව ඔවුන් දෙදෙනා එක්ව කැනවුලා එකට එය සවි කලහ.
“ඔයා දන්නවද....? මේ ඔයාට දෙන 23 වෙනි බ්ලඩ් පයින්ට් එක.....“

හෙදිය මට කියා සිටියාය. මට කථාකිරීමට නොහැකි වුවත් නිරතුරුවම ඔවුන් මා හා සංනිවේදනය තබා ගැනීමට කටයුතු කලහ. බොහෝ කලක සිට හඳුනන මිතුරන් ලෙස ඔවුන් මා හා කතා බස් කලාය.  රෝගියෙකුට ලැබිය යුතු මානසික සුවය පිළිබඳව ද වඩා සැලිකිලිමත්ව කටයුතු කරන මේ හෙදියන් ඉතා කාරුණික යැයි මට සිතුණි.  දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන්ට එලෙස විශේෂ පුහුණුවක් ලැබී ඇති බව ද පසුව මට දැනගන්නට ලැබිනි.

එක් රෝගියෙකුට එක් හෙදිය බැගින් වෙන්කර තිබුනි. එම නිසා හෙදියන් තම තමන්ට භාරව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ප්‍රතිකාර, රෝගීන්ගේ මානසිකත්වය හා පවිත්‍රතාව පිළිබඳව දැඩි උනන්දුවකින්, කැපවීමකින් හා වගකීමකින් යුතුව කටයුතු කලාය. සැබැවින්ම එය දැඩි සත්කාර ඒකකයක්ම විය.

රැයක් දවාලක් පිළිබඳව කිසිඳු අවබෝධයක් මට නොතිබුනි. දිගින් දිගටම වේදනා නාශක ඖෂධ ලබාදෙමින් තිබු නිසා නිතරම මට නින්ද ගියේය. අවදිව සිටි කාලයට වඩා මා නිදි සුව විඳි කාලය වැඩි විය.  නින්ද ළඟා වුනේ ශරීරය දැඩි සැහැල්ලුවකට පත් කරමින් නිසා ඒ නින්ද ඉතාමත් සුවදායක විය. වෙඩි පහරින් සිදුවු තුවාල හා සැත්කම් තුවාල වල වේදනාවන් අඩු කිරීමට වේදනා නාශක ඖෂධ විශාල ප්‍රමාණයක් මට ලබා දී තිබුනි. පපු පෙදෙස සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් වලින් ආවරණය කොට තිබුන අතර පපුව පසාකර ශරීර අභ්‍යන්ත්‍රරයෙන් රුධිරය පිටතට වෑස්සීමට ප්ලාස්ටික් නාල තුනක් සවිකර තිබුනි. වේදනා නාශක වල පිහිටෙන් මට මේවායින් වේදනාවක් නොදැනුනි. පුංචි ඉන්ජෙක්ෂන් එකකටත් බියක් දැක්වු මම, පපුව තුලට බට තුනක් රුවා තිබියදීත් වේදනාවක් නොදැනීම ගැන මවිතයට පත්වුනෙමි.

ඒක් මොහොතක වෛද්‍ය මෙවලම් කීපයක් රැගෙන වෛද්‍යවරුන් හා හෙදියන් කීපදෙනෙක් මා අසළට පැමිණියහ. රබර් අත් ආවරණ දමා ගනිමින් ඔවුන් යම්කිසි කාර්යයකට සූදානම් විය.

“දැන් අපි ඔයාගේ වේන්ටිලේටරය ගලවන්න යන්නේ...., මේක එළියට ගන්න කොට කහින්න එපා...! පුළුවන් තරම් කට ඇරගෙන ඉන්න....“

දෙන උපදෙස් පූස් පැටියෙකු සේ පිළිපදින්නට මම වග බලාගත්තෙමි. මගේ ජීවිතයේ භාරකාරිත්වය ඔවුන් සතු විය. මුව තුලින් පපුවට බහා තිබූ නාලය වෛද්‍යවරයෙක් විසින් ඉතාමත් ප්‍රවේශමෙන් යුතුව එළියට ගන්නා ලදී. ඒ සැනෙකින්ම ඔක්සිජන් මුව ආවරණයක් පලදවන ලදී.  එය ඉතාමත් ක්ෂණිකව සිදු කර ඔක්සිජන් මුව පලදනාව තුලින් අපහසුතාවයකින් තොරව මට හුස්ම ගැනීමට හැකිදැයි ඔවුහු මොහොතක් නිරීක්ෂණය කලහ. අපහසුවකින් තොරව මට හුස්ම ගැනීමට හැකියාව තිබු නිසා ඔවුන් නැවැත එය ගලවා“සකර්“ සෙම ඉවත් කරන යන්ත්‍රයේ නාලයක් මුව තුලින් පපු පෙදෙසට යවා සෙම ඉවත් කිරීමට පටන් ගත්තේය. එය මට වේදනාකාරි අත්දැකීමක් විය. විශාල සෙම ප්‍රමාණයක් පපුව තුල සිරවී තිබී ඉවත් කරන ලදී. ඒවා හෙදියන්ගේ සිරුරු වලට ද විසි වුනි. එවිට මට මා ගැනම පිළිකුලක් කලකිරීමක් ඇති වුනි.

“ ආ.... ප්‍රදීප්... ඔයා ඒවා ගනන් ගන්න එපා...!“

හෙදියන්ගෙන් මම සමාව ඇයදීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගෙන් මට ලැබුනේ මෙවැනි ප්‍රතිචාරයකි. හෙදියන්ගේ කාරුණික භාවය මට ඉමහත් අස්වැසිල්ලක් ලබාදුන්නේය. ඉක්බිතිව නාසයට දමා තිබු බටය ද ගලවා ඉවත් කරනු ලැබීය.

“අපි නම් හිතුවේ නෑ ඔයාට ආයි සිහිය එයි කියලා... ඔයා මැරිලා ගොඩ ආව කෙනෙක්....“

හෙදියන් සිනාසෙමින් එසේ කියද්දී මා මරුවා සමඟ කොතරම් සටන් කරන්නට ඇද්දැයි සිතුනි.

“දැන් ප්‍රදීප්ට කැමති දෙයක් බොන්න පුළුවන්....“

කිරි වීදුරුවක් මා වෙත රැගෙන එමින් හෙදිය කියා සිටියාය. සයනයේ උඩු අතට සිටි මට හිස මඳක්වත් එසවීමට හැකියාවක් නොතිබුන නිසා ඇය එම කිරි වීදුරුව ස්ට්‍රෝ බටයක් ආධාරයෙන් මට පෙව්වාය.

“ අන්න ප්‍රදීප් ඔයාට විසිටර්ස්ලා ඇවිත් .... “

හෙදිය දැඩි සත්කාර ඒකකයේ වීදුරු ආවරණයෙන් පිටත සිටින පිරිස පෙන්වා සිටියාය.  මගේ පවුලේ සාමාජිකයින් , කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන්, හිත මිත්‍රාදීන් ඇතුලු විශාල පිරිසක් මා දෙස විපරමින් බලා සිටියේය. මම අතක් ඔසවා ඔවුන්ට මම සුවෙන් සිටින බවට සංඥා කලෙමි. එය ඔවුන් සියලු දෙනාට සතුටක් ගෙන ඒමට සමත් වූ  බව දුටුවෙමි.

රෝගීන් බැලීමට පැමිණෙන කිසිවෙකුට දැඩි සත්කාර ඒකකයේ ඇතුලට පැමිණ රෝගීන් බැලීමට අවසර නොතිබුනි . සියලු දෙනාම වීදුරු ආවරණයෙන් පිටත සිට රෝගියා නැරඹිය යුතු විය .

මගේ වැඩිමහල් සොහොයුරන් තිදෙනා හා බාල සොහොයුරාද පිරිස අතර සිටිනු දුටුවෙමි. ඔවුන්ගේ මුහුණු ශෝකයෙන් සුදුමැළි වී තිබෙනු දකිද්දී මගේ දෑස් කෙවෙනිද නොදැනුවත්ම කඳුළින් තෙත් වුනි. ඒ මට සිදු වු විපත පිළිබඳව ඔවුන් උසුලන දුක් වේදනා ගැන සිහිපත් වීමෙනි. මා පිළිබඳව සිතමින් දුක්වන අම්මා, තාත්තා, සහෝදරයන් හා සහෝදරිය ගැන සිහිවෙද්දී දැඩි සංතාපයක් දුකක් ඇති වුනි. සිහිසන් නොමැතිව මා සිටි දින දෙක හමාරක කාලය ඔවුන් කෙසේ දරාගන්නට ඇද්දැයි සිතුණි.

දැඩි සත්කාර ඒකකය ඉතාමත් කාර්යයබහුලය. නිතරම අසාධ්‍ය තත්ත්වයේ පසුවන බරපතල තුවාල ලැබූ රෝගීන් එහි ගෙන එයි. ඒ බොහෝ දෙනෙක් ජීවිතය හා මරණය අතර සටන් වදින අය වේ. හදවත ක්‍රියා විරහිතව ඇති අයගේ හෘදය නැවත ක්‍රියා කරවීමට හදවත සම්භාහන කිරීම , විදුලි කම්පනය ලබාදීම එහිදී කෙරුණි. මා බලා සිටියදීම එසේ ගෙන ආ රෝගීන් කීපදෙනෙක්ම මෙලොව හැරගියහ. දරුණු තුවාල අධික රුධිරය වහනය වීම් බොහොමයක්ද එහිදී මට දැක ගන්නට ලැබුණි. හෙදියන්ද ඉතාමත් කඩිසරය. දැනුවත්ය. රෝගියෙකු බේරා ගැනීමට ඔවුන් වෛද්‍යවරුන් සමඟ උපරිම උත්සාහයක් ගනු ලබයි.

“ මොනවද බලන්නේ ....  ඔයත් මෙහෙම තමයි මෙතනට ගේනකොට ...... “

බරපතල තුවාල ලබා එහි ගෙන ආ රෝගීයෙකු ගේ හදගැස්ම නැවතී තිබිණි. හදවත යළි ක්‍රියාකරවීමට විදුලි කම්පනය දෙමින් වෛද්‍යවරු ක්‍රියාකරන අන්දම දෙස මම බලා සිටියදී හෙදියක් කියා සිටියාය.

“ මිස් ...  මටත් ඔයවගේ ඉලෙක්ට්‍රික් ෂොක් එක ඇල්ලුවාද .... ? “

මා සිහිසුන් වූ පසු සිදුවූ දේවල් පිළිබඳ දැන ගැනීමට මට දැඩි ආශාවක් හා කුතුහලයක් ඇතිවී තිබුණි.

“ ඇත්තටම ප්‍රදීප් අපි නම් හිතුවේ නැහැ ඔයා ජීවත් වෙයි කියලා ....  ඩොක්ටර්ස්ලාත් කවුරුත් විශ්වාස කළෙත් නැහැ .... ඔයා මෙහෙට ගේනකොට ගොඩක් සීරීයස් ...... “

“ මට ගොඩක් ආසයි මිස් සිහිය නැති වුණාට පස්සෙ වුණ දේවල් ගැන දැන ගන්න .... “

 ඔයා අයි.සී.යූ. එකට ගේනකොට ඔයාගේ හාර්ට් එකත් නතර වෙලා විනාඩි 2 විතර ඇති ....  තව විනාඩියක් දෙකක් පරක්කු වුණා නම් ඔයාව ජීවත් කරවන්න බෑ .... ඉලෙක්ට්‍රික් ෂොක් එකත් ඔයාට දෙන්න වුණා .... “

“ රේණු ඔයාට කෝල් එකක් ..... “

හෙදියක් මා සමඟ කතා කරමින් සිටි හෙදියට කතා කළාය. එයින් ඇයට මා හා වැඩි විස්තර කතා කිරීමට නොහැකි විණි.  රෝගියාව භාරව හිඳින හෙදියට වාඩි වීම පිණිස එහි සෑම ගිලන් ඇඳක් අසළම කුඩා පුටුවක් තිබුණි. එලෙස හෙදියක් නිරතුරුවම සමීපයේ සිටීම පිළිබඳව මම සතුටු වුණෙමි. හැමවිටම වෛද්‍යවරයෙක්ද එහි සේවයේ නිරතව සිටින ලදී. ඒ අතරින් වෛද්‍ය ඩයස් හා වෛද්‍ය ප්‍රසන්න පිළබඳව මට හොඳින් මතකය. විශේෂඥ වෛද්‍යවරුන්ද විටින් විට පැමිණ රෝගීන් පරීක්ෂා කළහ.

“ කෝ .... ප්‍රදීප් නැඟිටින්න .... අපි දැන් මූණ සෝදන්න ඕන ....... “  



 


4 comments:

  1. කොච්චර උදාර රණ විරුවෝ අපේ රට වෙනුවෙන් ජිවිත පුජා කලාද? ඔයාට දෙවි පිහිටයි! ප්‍රදීප්. නිදුක් නිරෝගී වේවා! බුදුසරණයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. අප්සරා ඔයාගේ සටහනට...

      Delete