Friday, September 14, 2018

රැඳුන ජීවිතය 03



හිමිදිරි උදෑසනම හෙදියක් පැමිණ මද උණුසුම් ජලයෙන් පෙඟවූ ගෝස් කැබැල්ලක් මුහුණේ අතුල්ලා මා අවදි කළාය.  කුඩා කළ අම්මා, අක්කා මගේ මුහුණ සෝදා තිබුණි. එහෙත් දැනුම් තේරුම් ඇති අවදියේ පටන් අන් කිසිවෙකු මගේ මුහුණ සෝදා නොතිබුණි. පිටස්තර කෙනෙකු විසින් මුහුණ සේදීමට ක්‍රියා කිරීම මා දැඩි අපහසුතාවයට පත් කළේය. කතුරක දවටන ලද දොඩම් ලෙලි කැබැල්ලකින් හෙදිය මගේ දත් මැද්දාය. කට සෝදා ඉවත දැමීම මට මහත් අසීරු කටයුත්තක් විය. හෙදිය ලබා දුන් බඳුනට ඒවා දැමීමට මම මැලිවීමි.

“මේකට දාන්න....., අපිට පේෂන්ට්ලගේ කැත කුණු අතගාලා හොඳට පුරුදුයි....“

ඇය මා ධෛර්යමත් කරවූවාය. සබන්ද යොදාගෙන ඇය මගේ මුහුණ හොඳින් සේදුවාය. එහෙත් එකදු ජල බිඳක්වත් අවට වීසි නොවීය. එලෙස රෝගීන්ගේ මුහුණු නිසි ආකාරව සේදීමටද ඔවුන් මනා පුහුණුවක් ලබා තිබුණි. ඇද ඇතිරිලිද මාරු කෙරින. ඒ සඳහා ඇය තවත් සේවකයන් දෙතුන් දෙනෙකුගේ සහය ලබා ගත්තාය.මගේ සිරුරට සවිකර ඇති උපකරණ හා තුවාල පිළිබඳවද ඔවුන් වැඩි සැලකිල්ලක් දැක්වුහ.මා වැනිම අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් පස් දෙනෙකු පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ලදී.  හදිසි රථවාහන අනතුරුවලට ලක්වූ අය හා පාතාලයේ ක්‍රියාකාරකම් වලින් බරපතල තුවාල ලැබූ එක් අයෙක්ද ඒ අතර විය. රාජකාරිය ඉටු කිරීමට ගොස් වෙඩි පහරකට ගොදුරු වූ මම,වෛද්‍යවරුන්ගේද ,හෙදියන්ගේද දැඩි අවධානයට ලක්වීමි. වෙඩි පහරට මා මුහුණ දුන් ආකාරය දැන ගැනීමට ඔවුන් දැඩි කැමැත්තක් දැක්වූහ . වෛද්‍යවරයෙක් එලෙස මගෙන් විමසද්දී වෛද්‍ය සිසු සිසුවියන් කීප දෙනෙකුද මගේ ඇද වටා රොක් වූහ.

“මගේ රාලහාමි කෙනෙක්ගේ අත් වැරැද්දකින් රිවෝල්වරය පත්තු වෙලා....“

 “එයා ඔයාට හිතලා වෙඩි තිබ්බේ නෑ කියලා විශ්වාසද....?

 “ඔව් ඒක මට විශ්වාසයි....මාත් එක්ක කවුරුවත් තර‍හෙන් හිටියේ නෑ...“

ඒ වන විට  ප්‍රකෘති සිහියෙන් සිටි මගෙන් ඔවුන් දිගින් දිගටම තොරතුරු විමසන්නට වූහ.

යුධ හමුදාවේ සේවය කරන බාල සොහොයුරා විශේෂ අවසරයක් ලබා මගේ ඇඳ අසලටම පැමිණීමට සමත්ව සිටියේය.

“අයියේ.... අයියට මේ මොකද වුනේ...?“

කදුළු පුරවා ගත් දෙනෙතින්  ඔහු හැඬුම්බරව විමසුවේය.

“ඒ රාලහාමිට වැරදිලා පත්තු වෙලා තියෙන්නේ.., දැන් ඉතින් මොනවා කරන්නද ?.....“

මම සොහොයුරාට පැවසීමි.

“ඒත් අයියේ රිවෝල්වරයක් එහෙම මිස් ෆයර් වෙන්නේ නෑනේ...., එක බුලට් එකක් අඩුවෙන්නේ ලෝඩ් කරන්නේ..“

රිවෝල්වර සඳහා ආරක්ෂිත අගුල් නොමැත. එම නිසා මිත්‍ර පක්ෂයේ ආරක්ෂාව සඳහා අත්වැරැද්දකින් හෝ ගැස්සුනොත් පළමුවර පත්තු නොවීමට උණ්ඩ පහක් පමණක් පුරවා තබාගත යුතු බව අපට රිවෝල්වර පුහුණුවේදී උගන්වා තිබුණි. එවැනි ආරක්ෂක ක්‍රියාවක් අනුගමනය නොකිරීම නිසා සොයුරා කොස්තාපල්වරයා ගැන සැක පහළ කළේය.

“නෑ ..... නෑ .... එයා මට හිතලා නං වෙඩි තිබ්බෙ නෑ මල්ලි ....  එහෙම නං මට ඔය වෙලාවෙදිම වෙඩි තියන්න අවශ්‍ය නෑනේ ..... මං හිතන්නෙ බුලට් 5 ක් දාගෙන හිටියට පළවෙනි එක  blank තියන් නැතුව ඒකත් load  කරගෙනද කොහෙද ..... වෙන එකක්  blank  තියා ගෙනද කොහෙද ...... රිවෝල්වරයේ ටිගර් එකටත් ඇඟිල්ල දාගෙන වෑන් එකේ side දොර අරින්න යන කොට තමයි පත්තු වෙලා තියෙන්නේ .... “

මගේ ප්‍රකාශයෙන් ඔහු සෑහීමකට පත් වූ බවක් නොපෙණුනි. ඇත්ත වශයෙන්ම ඔහුට කුමන්ත්‍රණකාරී ලෙස මා මැරීමට අවශ්‍යතාවක් තිබුණේ නම් මෙවැනි අවස්ථාවක් තෝරා නොගෙන ඉතාමත් අභිරහස් ලෙස එය කිරීමට අවස්ථාවක් තිබුණි. මේ නිළධාරියා මා සමඟ තනිවම වැටලීම් ගණනාවකටම සහභාගි වූ අයෙකි. යම් කිසිවෙකුට මා මැරීමට අවශ්‍යතාවක් තිබුණේ නම් මීට වඩා සැලසුම් සහගත විය යුතුය. එසේම මා මැරීමට තරම් මා සමඟ වෛරයෙන් පසු වූ පුද්ගලයන්ද නොවිණි.

“ අපට මුලින්ම කිව්වේ අයියගේ පිස්ටල් එක අයියගේ අතින්ම පත්තු වෙලා වෙඩි වැදිලා කියලා ..... පස්සේ තමයි සාජන් කෙනෙක් තුවක්කුව චෙක් කරලා බලත්දි රාළහාමිගේ රිවෝල්වරයේ බුලට් එකක් අඩුයි කියලා හොයාගෙන තියෙන්නේ ..... බැරි වෙලාවත් අයියා නැති වුණානං අයියගේ පිස්ටල් එක අයියාගේ අතින්ම පත්තු වෙලා කියලා කියයි .... “

“ එහෙම කියන්නේ කොහොමද ? මගේ අතින් මගේ කොන්දට වෙඩි වදින්නේ නැහැනේ  .... ඔයා දැන් ඔය ගැන හිතන්න එපා .... කාත්තෙක්කවත් රණ්ඩු වෙන්නත් එපා . දැන් මට හොඳයිනේ ... “

මම මල්ලීව අස්වැසුවෙමි.

පවුලේ අයද හිතමිතුරන්ද පොලිස් නිළධාරීන් බොහෝ දෙනෙක්  මා බැලීමට පැමිණියහ. සමහර අවස්ථාවලදී හෙදිය ලබාදෙන කොළ කෑල්ලක පණවිඩද ලියා ඔවුන්ට ඇරියෙමි. අනතුරින් පසු මගේ දෑත්ද යම් හිරිවැටීමකට ලක් වී තිබුණි . සුපුරුදු ලෙස අකුරු ලිවීමට හැකියාවක් නොවුණු අතර  පොල්ගෙඩි සයිස් අකුරින් එම පණිවිඩ ලියූ බව මට මතකය . මේ ලියුම් හුවමාරුවේදී තැපැල්කරුගේ සේවය ඉටු කළේ මා භාරව සිටි හෙදියයි.

සැමගේම ආදරය, සෙනෙහස, දයාව මට පෙර නොතිබුණු අයුරින් ලැබුණේය . එය මා සතුටට පත් කළේය . එබැවින් මට සිදුවූ විපත හානිය වැනි අසුභ දේ ගැන අවධානය යොමු කිරීමට ඉඩක් නොසෑදුණි . කෙසේ වෙතත් දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටීමට සිදුවන බව නම් මම දැන සිටියෙමි .

“ ඔයා කකුල් දෙක පොඩ්ඩක් හොලවන්න බලන්න .... “

ප්‍රකෘති සිහිය ලැබී දින දෙක තුනකට පමණ පසු වෛද්‍යවරයෙක් පැමිණ මට පැවසීය .

“ කකුල් හොලවන්න අමාරුයි ... කකුල් බැඳලද  තියෙන්නේ ඩොක්ටර් ..... ? “

“ කකුල් බැඳලා නෑ , ඔයා හොලවන්න බලන්න ..... “

නැවතත් මා පාද චලනය කිරීමට උත්සාහ කළත් නොහැකි විය . එය මා මෙන්ම වෛද්‍යවරයා ද මවිත කරවීය .

“ දැන් බලන්න ඔයාට දැනෙනවද කියලා ..... “

සිරින්ජ කටුවකින් යටි පතුල් වලට අනිමින් වෛද්‍යවරයා ඇසුවේය .

“ නෑ ... මට දැනෙන්  නෑනේ කිසිම දෙයක් ..... “

වෛද්‍යවරයා සිරින්ජ කටුවෙන් මගේ නාභිය තෙක් පරීක්ෂා කරමින් පැමිණෙන විට නාභියෙන් ඉහළ ප්‍රෙද්ශයේදී මට දැණුනි . ඉනෙන් පහළ ප්‍රෙද්ශය මමද ස්පර්ශ කර බැලුවෙමි. එහෙත් මට දැණුනේ මා අන් කෙනෙකුගේ සිරුරක් ස්පර්ශ කරනවා මෙනි .

“ මේ පේෂන්ට් ගේ ස්පයිනල් කෝඩ් එක ඩැමේජ් වෙලා වගේ .... “   

වෛද්‍යවරයා ගේ ප්‍රකාශයෙන් අනෙක් වෛද්‍යවරුන් හා හෙදියන්ද මා අසළට පැමිණයහ . නැවතත් ඔවුන්ද මා පෙර පරිදිම පරීක්ෂා කර බලා CT Scan පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කළහ .

“ අපි මෙයාගේ CT Scan  එකක් අරන් බලමු . ... “

CT Scan ගන්නා ස්ථානයට මා යහන පිටින්ම ගෙන ගොස් පිටකොන්ද ප්‍රෙද්ශය scan පරීක්ෂණයනට භාජනය කරන ලදී .

Scan පරීක්ෂණයෙන් නිකුත් කළ වාර්තාව හා එම ජායාරූප පරීක්ෂා කරමින් වෛද්‍යවරුන් බැරෑරුම් සාකච්ඡාවක නිරත වනු මට පෙණුනි. ඉන් අනතුරුව ,

“ ප්‍රදීප් ....  බුලට් එකේ කෑලි වගයක් ඔයාගේ සුෂුම්නාවේ  හිර වෙලා තියෙනවා . සමහර විට අපට තව ඔපරේෂන් එකක් ඔයාට කරන්න වෙයි . ඒත් ඒක හරියටම ෂුවර් කරන්න බැහැ . ඒ කෑලි හරිම පොඩියි..... “

“ ඇයි ඩොක්ටර් ඒවා අයින් කරන්න අමාරුද ...? “

“ නෑ අයින් කරන එක නම් ප්‍රශ්ණයක් නැහැ ... ඒත් ඒවා අයින් කරලා ප්‍රතිපලයක් තියෙයිද නැත්ද කියන්න බෑ ..... , ඔයා දන්නවනේ සුෂුම්නාව හරිම සෙන්සිටිව් , සමහර ඔපරේෂන් වලින් තියෙන තත්ත්වය තවත් නරක් වෙනවා ... අපි තව ටිකක් මේ ගැන Nero sergeant ලා එක්ක කතා කරලා බලමු.

වෛද්‍ය ඩයස් මහතා මගේ රෝගී තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය .

වෙඩි පහරින් විශාල ලෙස මගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවී ඇති බව ඉන් මට වැටහිණි. එය මගේ ඉදිරි ජීවිත කාලය මහා වෙනසකට ලක් කරනු ඇතැයිද සිතුණි .  

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ඉතාමත් ක්‍රියාශීලී දිවියක් ගත කළ මට නැවත එවැනි ක්‍රියාශීලී දිවියක් ගත කිරීමට ඉඩක් නොලැ‍බේදැයි සැකයක්ද සිත තුළ මෝදු වෙමින් තිබුණි. නිළ ඇඳුමට මෙන්ම රැකියාවටද මම බෙහෙවින් ඇලුම් කළෙමි . එහෙත් නැවත පෙර ලෙස නිළ ඇඳුම් හැඳ රැකියාව  කිරීමට මට හැකියාවක් නොලැබේදැයි සිතෙත්දී හදවතට දැණුනේ දැඩි දුකකි.

04 වෙනි කොටසට.......

8 comments:

  1. මෙච්චර කල් කියවූවා අතිරින් අමිහිරමි එත් බලාපොරොත්තුවෙන් බයෙන් හිටි ොටස 😓😓😓

    ReplyDelete
    Replies
    1. අමිහිරි දේවල් මිහිරක් කරගෙන ජීවත් වෙන්න මමනම් පුරුදු වෙලා තියෙනවා. වෙන ඊට වඩා හොඳ විකල්පයක් නැති නිසා...
      ස්තුතියි.. ඔබේ සටහනට... ��������

      Delete
  2. ජිවිතේ බේරුන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ජීවිත නතාව ලියලා තියෙන විදිහ වෙන්න ඇති ඒ... බොහොම ස්තුතියි ඔබට...

      Delete
  3. ජීවිතේ ගොඩක් වෙලාවට නැති වෙන්නෙ අපි ආස කරන දේවල්ම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත... ඒ දේවල් සිදුවෙන්නේ අපි නොසිතෙන අයුරින්... ඒක තමයි ලෝක ධර්මතාවය.. සියලු දේ අනිත්‍යයි... මේ යතාර්තයට අපි හැමෝම කැමති වුනත් අකමැති වුනත් මුහුණ දිය යුතුයි...
      බට ස්තුතියි....

      Delete
  4. ඒකත් එක හුස්මටම කියෙව්වා, එක් පරිච්චේදයක නිමාව සහ නව යුගයක ඇරඹුම..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි... ඉස්සරවෙලා මට වද දුන්නා ලියන්නේ නෑ කියලා... දැන් ලියන ඒවා කියවන්නේ නෑ.. වැඩේ අසාධාරණයි... දැන් ඉතිං කමක් නෑ කියෙව්වානේ... සාධාරණයි... බොහොම ස්තුතියි කොමෙන්ටුවට DR''/...

      Delete