මා
භාරව සිටි හෙදිය ඇඳ අසල ඇති කුඩා ආසනයේ වාඩිවෙමින් කියා සිටියාය. ඒ වන විටත් මගේ බෙල්ලේ
දෙපැත්තේ සවිකර තිබු කැන්‍යුලා දෙකින් එකක් තවමත් තිබුනි. එය යම් කිසි අපහසුතාවයක්
ගෙන දුන්නත්, කැන්‍යුලා එක ගලවා දැමීමට යෑමේදී එයින් ඊට වඩා වැඩි වේදනාවක්
අත්විඳින්නට වේදෝයි මම බිය වුනෙමි.
“දැන්ම
ගලවන්න ඕනද ඒක...? පස්සේ ගලවමු ද...?“
අසීරු
අවස්ථාව මඟහැරීමට මම උත්සාහයක් ගත්තෙමි.
“අපෝ
එහෙම බෑ...., දැන් මම ඩියුටි ඕෆ් වෙන්න කලින් ඕක ගලවල යන්න ඕනි...., කෝ පොඩ්ඩක් දඟලන්නේ
නැතිව ඉන්න...“
ඉතිං....,
අවස්ථාවට මුහුණ දෙනවා හැර මඟහැර යෑමට කිසිදු ඉඩක් නොවීය. හෙදිය කටයුත්ත ආරම්භ
කලාය. ටික වේලාවක් තුල මා කිසිසේත් බලාපොරොත්තු නොවු අයුරින් ඉතාමත් සියුම්ව මෘදු
ලෙස හෙදිය කැන්‍යුලා එක ගෙලෙන් ගැලවුවාය. ඇගේ හැකියාව ගැන මට මහත් පැහැදීමක් ඇති
විය.
“
හපෝ.... බයගුල්ලා... වෙඩි පාරක් කාපු ඔයාට මේ පුංචි කට්ට මොකක්ද....?“
හෙදිය
මට සරදම් කලාය. කෙසේ වෙතත් පොඩි කාලේ සිටම මේ කටුවලින් සිරුර විදින වැඩේට නම් මා
තුල විශාල බයක් තිබුනි. එය අදටද
එසේමය.....
“නිරෝගීභාවය
උතුම්ම සැපත“ යන බුදු වදනේ සත්‍යතාව මට හොඳින් තහවුරු වෙමින් තිබුනි. නිරෝගිභාවයේ
සැපත එතෙක් කලක් මම අත්විඳිමින් සිටියෙමි. එහෙත් එළඹෙන අනාගත දිවියේදී එය මට අහිමි වේදැයි
? අවිනිශ්චිත දුක්ඛදායි හැඟීමක් සිතට ආවත්, ඒ පිළිබඳව සිතා දුක් වීමෙන් කිසිදු
පලක් අත් නොවන බව මම අවබෝධ කරගත්තෙමි. එවැනි
දුක්ඛදායි සිතුවිලි සිත තුළ ඉපදීමට ඉඩ ලබා නොදී සිත වෙනත් වෙනත් දේවල් කෙරෙහි යොමු
කිරීමට මම උත්සාහ කළේ ඒ නිසාය. ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනැම දුෂ්කර කටුකදායි
අවස්ථාවක වුව ධනවාදි ආකල්පයන්ගෙන් සිත පුරවාගැනීමේ හැකියාවක් පූරුවේ පිනකට මා සතුව
තිබුනි.
දැඩි
සත්කාර ඒකකයේ සේවය කළේ යොවුන් වියේ පසුවන හෙදියන් කීපදෙනෙක්ය. හෙද නිළධාරීන්
දෙදෙනෙකු ද ඒ අතර විය. මොවුන් සෑම දෙනාම හරිම එකමුතුය. විහිළු තහළු කිරීම් මැද
සැහැල්ලුවෙන් ඔවුන්ගේ රාජකාරිය ඉටුකරන අයුරු මම බලාසිටියෙමි. ඔවුන්ගේ දින චරියාව
නිරීක්ෂණය කිරීම එතැන් පටන් මගේ රාජකාරිය විය.
මිනිසෙක්
මෙලොවෙන් සමුගන්නා අවස්ථාව දකින්නට ලැබීම ඉතාමත් විරල ශෝකජනක අත්දැකීමකි. දැඩි
සත්කාර ඒකකයේ මා ගතකල ඒ දින කීපය තුල එවැනි සමුගැනීම් කීපයක්ම මම දුටුවෙමි. හදවත
නතර වු රෝගීන්ගේ හදවත නැවත ක්‍රියාත්මක කිරීමේ බැරෑරුම් අවස්ථාවල හදවත සම්භාහනය
කිරීම, විද්‍යුත් කම්පනය ලබාදීම වැනි කටයුතු ඔවුන් කලේ දාඩිය මුගුරුද වගුරුවා
හරිමිනි. පණනළ රඳවා ගැනීමට කලහැකි සියලුම
උත්සාහයන් උරගා බැලීමෙන් අනතුරුවත් ඒ සියල්ල ව්‍යවර්ථ කරමින් නිසලවන සිරුරු
තුලින් ඔවුන් ඉවත්වන්නේ යම් කිසි පසුතැවීමකින් සුසුම් හෙලමිනි. එවැනි අත්දැකීම්
නිරතුරුවම අත්විඳින්නට සිදුවීම රැකියාව විසින් ඔවුන්ට උරුම කර දී තිබුනි. ජීවිතයේ ගැඹුරු
යථාර්තය සෑම දිනකම වාගේ ඔවුන් අත්දකිමින් සිටියහ.
“
මිස් අර විදියට තදින් මසාජ් කරනකොට ඉල ඇට එහෙම කැඩෙන්නේ නැද්ද...?
හෙදියකගෙන්
එලෙස මා විමසුවේ හදවත පණගැන්වීමට ඔවුන් කීපදෙනාම එක්වී පපුවට ඉතා තදින් ලබාදෙන
සම්භාහනය එවැනි තත්ත්වයකින් යුතු වු නිසාය.
“
අපෝ එහෙම දේවල් වෙන්න පුළුවන්... ඒත් ඒ දේවල් සනීප කරගන්න පුළුවන් ඉස්සරවෙලා හාර්ට්
එක වැඩකරන්න හදාගත්තොත්.... ඒවා සුළු දේවල්....“
හෙදිය
එලෙස පැවැසුවත් එවැනි දේවල් මටනම් සුළු දේවල් ලෙස දැනුනේ, පෙනුනේ නැත්තේ, ඒ
සම්බන්ධව මා සතු වු අල්ප දැනුම නිසා වන්නට ඇත.
ආහාර
ලෙස මට ගැනීමට හැකියාව තිබුණේ දියර වර්ග පමණි. දොඩම්, කිරි නිතරම මා භාරව සිටි
හෙදිය මට ලබා දුන්නාය. හෙද නිළධාරීන් විසින් මගේ රැවුල බෑමද සිදු කළහ. දිනපතා
රැවුල කැපීම මගේ පුරුද්දකි. ඒ කෙසේ වෙතත් දිනපතා රැවුල බෑම මගේ රැකියාවට අනුව සිදු
කළ යුතුවම තිබුණි. එය අනෙකෙකු ලවා හෝ ඒ අවස්ථාවේ කරගන්නට ලැබීම පිළිබඳව මම සතුටු
වීමි.
කුඩා
කල සිටම ධාරාණිපාත වර්ෂාවට මා බෙහෙවින් ආස කළේය. ඒ වර්ෂාව ඇද හැලෙන විට නැගෙන හෝ
හෝ හඬ මගේ දෙසවනට මිහිරක් එක් කරන නිසාවෙනි. දැඩි සත්කාර ඒකකයේ සිටිද්දීද එසේ
වර්ෂා හඬ ඇසුණි. මුලින්ම මා සිතා සිටියේ ඒ වැස්සෙන් නැගෙන හඬ කියාය. නමුත් එක
දිගටම දින කීපයක් ඒ හඬ ඇසෙන්නට ගත් නිසා එය යම් කිසි යන්ත්‍රයකින් නැගෙන හඬක් බව අවබෝධ
වුනි. කෙසේ වුවත් වායු සමීකරණ යන්ත්‍රයෙන් ලැබෙන සිසිලසත් ඒ ශබ්දයත් මට කෘත්‍රිම
වැස්සක් මවා දුනි. මෙවැනි කරුණු කාරණා නිසා එහි මම වැඩි අපහසුවකින් තොරව කල්
ගෙව්වෙමි.
“
ප්‍රදීප් ...... ඔයා 72 වාට්ටුවට transfer කරලා...... හවසට ඔයාව එහාට යවන්න වෙනවා ..... “
දැඩි
සත්කාර ඒකකයේ ටික කලක් ප්‍රතිකාර ලබමින් සිටියදී දිනක් වෛද්‍ය ප්‍රසන්න මහතා පැමිණ
මට කියා සිටියේය. ඒ වන විට මා මඳක් සුවය ලබා තිබුණි.
“
වාට්ටුවට ගියාට පස්සේ ඔයාගේ ගෙදර අයට පුළුවන් ඔයාගේ ළඟට ඇවිත් කථා කරන්න ..... “
හෙදියක්
මා 72 වාට්ටුවට ගියවිට ලැබෙන වාසියක් සිහිපත් කළාය.
“
හැබැයි ඔයා ප්‍රවේසම් වෙන්න බෙඩ්සෝ වලින්..... නිතරම එක පැත්තකට ඉන්න එපා .... කාට
හරි කියලා අඩුම ගානේ පැයකට සැරයක්වත් හරව ගන්න ..... “
ඇය
මට ඇඳ වණ වලින් ප්‍රවේසම් වීමට උපදෙස් දුන්නාය.
“
72 වාට්ටුවට පේෂන්ට් කෙනෙක් ගියොත් ඉවරයි තමයි. බෙඩ්සෝ අනිවාර්යයි..., අපි කොච්චර
පරිස්සම් කරලා ඇරියත් වැඩක් නෑ .... “
හෙදිය
තවත් හෙදියක් සමඟ 72 වාට්ටුවේ රෝගීන්ගේ උපස්ථාන කටයුතු පිළිබඳව කලකිරීමෙන් කථා
කළාය.
එදින
සවස 72 වාට්ටුවේ සාත්තු සේවකයන් දෙදෙනෙක් මා රැගෙන යාමට පැමිණියහ. ඒ වන විටත් මගේ
පපු පෙදෙසේ එකතු වන අපිරිසිදු රුධිරය පිටතට වෑස්සීමට සවිකර තිබූ බෝතල්ද රුධිරයෙන්
පිරී තිබුණි. මේ උපාංගත් සමඟ මා ඇඳෙන් ට්‍රොලියට දැමීමේ හැකියාව ගැන මට මතුවුයේ ප්‍රශ්නාර්ථයකි.
මට අපහසුවක් වේදනාවක් නොදැනෙන අයුරින් ඔවුන් මෙය ඉටු කරාවිදැයි කුකුසක් මසිත තුල
ඇතිවුණි. කෙසේ වෙතත් යම් දුෂ්කර අවස්ථාවකට මුහුණ දීමට සිදුවේයැයි චකිතයක් බියක් හට
ගැනුණි. නමුත් මා නොසිතූ ආකාරයකට ඔවුහු කටයුතු කළහ. එක් අයෙක් රුධිරය එකතු වන
බෝතල් තුන ඔසවා ගත් අතර අනෙක් පිරිස ඇඳ ඇතිරිල්ල පිටින්ම මා ඔසවා ට්‍රොලිය මත
පරිස්සමෙන් තැබූහ. මට කිසිඳු අපහසුතාවයක්
වේදනාවක් ඇති නොවන ආකාරයෙන් ඔවුන්ගේ රැකියාවේ නිපුණත්වය යොදාගෙන ඔවුන් එය ඉටු කළහ.
යම්කිසි
කාර්යයක් ඉටු කිරීමට යාමේදී එදෙස පිටතින් බලා එය ඉටු කිරීමට අපහසු කටයුත්තක් ලෙස
බොහෝ විට අප සලකයි. එහෙත් ඒ කාර්යය ප්‍රායෝගිකව
ඉටු කරනු ලැබූ පසු අප දුටු තරම් අපහසුතාවයක් එහි නොවූ බව තේරුම් යයි.
“
ඇස් දෙක බය කරයි ..... , අත් දෙක රජ කරයි
..... “
මගේ
පියාණන් විසින් නිතරම කියනු ලබන මේ කියමන ඒ අවස්ථාවේ මගේ සිහියට නැගුණි.
“
එහෙනං ප්‍රදීප්.... ඔන්න දැන් අපේ වගකීම ඉවරයි.... දැන් ඔයා අයිති 72 ward එකට ..... “
වෛද්‍ය
ප්‍රසන්න රෝගී විස්තර වාර්ථා හා x – ray පිටපත් 72 වාට්ටුවෙන් පැමිණි අයට ලබා දෙමින් කියා
සිටියේය. වෛද්‍යවරයාට හා හෙදියන්ට ස්තූති කොට ඔවුන්ගෙන් මම සමු ගත්තෙමි.
මා
භාරගත් 72 වාට්ටුවේ සේවකයන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයෙන් පිටත කොරිඩෝව දිගේ ට්‍රොලිය
තල්ලු කරගෙන ගියහ. ඒ ගමන් මග ඉතා පාළු ස්වභාවයක් ඉසිලීය. එහි කිසිවෙක් නොසිටියහ.
නන්නාඳුනන දෙදෙනෙකු සමඟ එහි ගමන් කරද්දී මට මහත් පාළුවක්, තනිකමක්, සන්තාපයක්
දැනුණි. එතෙක් කලක් දැඩි සත්කාර ඒකකයේ සිටියදී එය මට නොදැනුණි. ඥාති හිතමිත්‍රාදීන්
කොපමණ පිරිසක් මට සිටියත් මේ අවස්ථාවේ ඒ කවුරුන්වත් මා ළඟ නොවීය. මම පසුවන මෙම
අසීරු අවස්ථාවේ ඔවුන් කිසිවෙකු මා ළඟ සිටියේ නම් සිතට දැනෙන ශක්තිය අපමණය.
72
වාට්ටුව ජාතික රෝහලේ 2 වන මහලේ පිහිටා තිබුණි . මා එහි ගෙන යන විට එක් හෙදියක්
රාජකාරියේ යෙදී සිටියාය. වායු සමනය කළ දැඩිසත්කාර ඒකකයේ තිබූ සිසිල් බව එහි නොවීය.
උණුසුම් පරිසරයකට අනුවර්තනය වීමට මට සිදුව තිබුණි.
“
මෙයාව දාන්න 16 ඇඳට ..... “
හෙදිය
උපස්ථාදායකයන්ට දැන්වූවාය. මට හිමිව තිබූ ගිලන් ඇඳ දකිද්දී මා අහසින් පොළවට
වැටුණාක් මෙන් දැණුනි. ඇඳ තිබුණේ හුදකලා ස්ථානයකය. තවත් ඇඳන් 4ක් පමණ තිබුණු මුත්
රෝගීන්ගෙන් ඒවා හිස්ව තිබුණි. මිනිස් පුළුටක්වත් අවට දකින්නට නොමැති ස්ථානයක කල්
ගෙවන්නට සිදුවීම ගැන මම ශෝකයට පත්වීමී.
“
මිස්.... මෙයාව ඇඳට දාන්න තව දෙතුන් දෙනෙක් වත් ඕන වෙයි.... අපි දෙන්නට විතරක්
බෑ..... “
“
අර සිරිදාස එහෙම rest
room එකේ
ඉන්නවා .... අඬ ගහ ගන්න ..... “
“
මං කිව්වට එන එකක් නෑ .... මිස්ම එන්න කියන්න .... “
උපස්ථාදායකයා
නොසතුටින් කියා සිටියේය. හෙදිය හා මෙම සේවකයන් අතර සහයෝගයෙන් වැඩ කිරීමේ ස්වභාවයක්
නොවීය. ඒ නිසා මට ටික වේලාවක් ට්‍රොලිය
මතටම වී ඉන්නට සිදුවිය.
“
මොනවද බං.... උඹලා දෙන්නෙක් ඉන්නවා, දාන්න බැරිද ...... ? “
ටික
වේලාවකින් උපස්ථාදායකයින් දෙදෙනෙක් මැසිවිලි නඟමින් පැමිණියහ.
“
මෙයාගේ IC Tube දාලා තියෙනවා . ..... “
පිරිසක්
නොමැතිව මා ට්‍රොලියෙන් යහනට දැමීමට නොහැකියාව පිළිබඳව උපස්ථාදායකයා කියා සිටියේය.
“
හා .... දැන් මේ ඇඳට ආවනං....“
මගේ දෙකකුල් උස්සා ගනිමින් පසුව
පැමිණි උපස්ථාදායකයා කියා සිටියේය. මෙම උපස්ථාදායකයාගේ කථාබහ, හැසිරීම ඉතාමත් පහත්
තත්ත්වයක් ඉසිලීය. කිසිඳු අයෙකුගේ උපදෙසක් නියෝගයක් නොපිළිගන්නා තම අභිමතය පරිදිම
ක්‍රියා කරන මුරණ්ඩු ස්වභාවයකින් යුක්ත විය.
“
මෙයාගේ කකුල් දෙක වැඩ කරන්නේ නෑ, උස්සලා තමයි දාන්න වෙන්නේ .....“
මා
රැගෙන ආ උපස්ථාදායකයා පැවසීය. පසුව ඔවුන් පිරිසම එක්ව මා යහනට දැමීය. එහිදී මට
අසීරුතා බොහොමයකට මුහුණ පාන්නට සිදු විය.
“
කොට්ටයක් නැද්ද .... ? “
මම
විමසුවෙමි. එම ගිලන් ඇඳේ හිස තබා ගැනීමට කොට්ටයක් නොවීය.
“
කොට්ට ...... කොට්ට ගෙදරින් තමයි ගේන්න
වෙන්නේ .... “
මා
සිත තුළ අප්‍රසන්න හැඟීමක් ඇතිකළ උපස්ථාදායකයා උපහාසයෙන් යුතුව කියා සිටියේය. සිත් පිත් හැඟීම්
දැනීම් නොමැති භාණ්ඩයකට මෙන් මට ඔවුන් ගෙන් සැලකිලි ලබන්නට සිදුවිය.
උප
පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රැකියාව කළ මට මොවුන්ගේ මෙම ආමන්ත්‍රණය කිරීම් ආගන්තුක
විය. ඒවා මගේ සිත තදින් පෑරවීය.
මට
මුහුණ දෙන්නට සිදුවූ මේ අමිහිරි සිදුවීමෙන් මගේ මනස අන්තයටම කඩා වැටුණි. වෙඩි
පහරින් මා මියගියේ නම් වඩා හොඳයැයි සිතුණි. මට මේ පල දෙමින් තිබෙන්නේ කිනම් පාප කර්මයක්
දැයි මට සිතුණි.
මා
කුඩා අවධියේ දිනක් නිවස ඉදිරියේ අඹ ගසේ සිටි දිමියක් රැළකට යකඩයකින් පහර දුන්නෙමි.
“
ආ ..... සත්තු මරන්න එපා .... ඕවා අපායේ යම රජ්ජුරුවෝ ලියාගෙන ඉඳලා දඬුවම් දෙනවා.
සත්තුන්ටත් තියෙන්නේ අපට වගේ පණක්.... උන්ටත් වේදනාව දැනෙනවා ..... “
අම්මා
එය දැක ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වැළකීමට මට අවවාද කළාය. එදවස ඇගේ මේ අවවාදය මගේ
සිතට තදින් කා වැදුණි. දිමියන්ට එලෙස හිංසා කිරීම පිළිබඳව බොහෝ කලක් යන තෙක් මම
පසුතැවුණෙමි. ඉන් පසු කිසිදිනක මා ප්‍රාණඝාත අකුසල කර්මයක් නම් කර නැත.
අද මට පොලීසිය ගැන කලකිරීමක් ඇති උනා
ReplyDeleteඒ ඇයි අටම් අයියා
Deleteමට ඒක වෙලා ගොඩක් කල් මල්ලි... 😂😂😂
Deleteපුදුමයි ඒක අද ඔයාට වුනාට...
මට ඒක වෙලා ගොඩක් කල් මල්ලි... 😂😂😂
Deleteපුදුමයි ඒක අද ඔයාට වුනාට...
☹️��
ReplyDeleteමම හිතන්නෙ උන් දැනන් ඉදලනෑෑ පොලිස් නිලධාරියෙක්
ReplyDelete