Sunday, July 1, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 02

මේ දුප්පත් අහිංසක තරුණයන් රැවටීමට ලක් වු ආකාරය පවසන්නට මම ඔවුන්ට ඉඩ දුන්නෙමි.

“ අපිව සර් එයා මල්වත්ත පාරේ ඒජන්සියකට එක්කරගෙන ගියා... ඒක එයාගේ ඒජන්සිය කියලා තමයි කිව්වේ.. එතන තව ගෑනු අය දෙන්නෙක් හිටියා.. මෙයා ඒජන්සිය ඇතුලට ගිහිල්ලා තමයි කතාකරේ එතකොට අපි හිටියේ එළියේ....”

තරුණයා එකදිගටම සිදුවීම විස්තර කරයි.

“හෝව්... හෝව්.... දැන් ඔය ඒජන්සිය තියෙන තැන මතකයිද...? “

යම් වැදගත් හෝඩුවාවක් ගැන හෙලිදරව් වන බවක් පෙනේ. කොහෙන් හෝ අගක් මුලක් පාදා ගතයුතුය. තරුණයාට බාධාකලේ ඔහුගෙන් කියවෙන වැදගත් කරුණු සටහන් කරගැනීමටයි.

“ ආ... ඔව්.. අපි එතන හොයාගත්තා සර්...”

තරුණයන්ගේ පිළිතුර මට සතුටකි. පරීක්ෂණ ආරම්භ කිරීමට හොද ප්‍රවේශයක් තිබේ.

“එතන හිටපු ගෑනු දෙන්නත් දාගෙන මෙඩිකල් කරන්න යමු කියලා තමයි අපිව කොටහේනට එක් කරගෙන ආවේ... ඇවිල්ලා ඔතන රවුන්ඩ්ද බවුඩ් එක මෙහායින් නතර කරලා පාරෙන් එහා පැත්තේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකට යන්න කිව්වා... එතකොටම කිව්වා දැන් තියෙන්නේ මෙඩිකල් එක ගන්න විතරයි...ඉතිරි සල්ලි ටිකත් දෙන්න කියලා ඉල්ලා ගත්තා... අපි ඉතිං මොකුත් සැකයක් හිතුවේ නෑ ඉතිරි සල්ලි ටිකත් දුන්නා...”

“ කීයක් දුන්නද ...?”

කොපමණ මුදලක් වංචාකළ සිදුවීමක් ද යන්න දැනගත යුතුය.


“ කලින් අපෙන් ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගෙන තිබුන එක්කෙනෙක්ගෙන් රු 10,000 ගානේ.... ඉතිරි සල්ලි එකයි හැටක් තමයි ඒ වෙලාවේ අපි දුන්නේ... ඒ සල්ලි ටික අරන් වෑන් එක හරවගෙන එන්නම් කියලා තමයි යන්න ගියේ... ඊට පස්සේ රවුන්ඩ්ද බවුඩ් එකෙන් හරවන්නේ නැතිව කෙලින්ම ගිය නිසා තමයි අපට සැකහිතුනේ.... අපි හොඳ වෙලාවට ඒ වෙලාවේ වෑන් එකේ නොම්බරේ ලියාගත්තා.. “

දැවැන්ත රැවටිල්ලකට තරුණයන් ගොදුරු වී සිටියත් ඉතාමත් වටිනාකමකින් යුතු හෝඩුවාවක් ද ඔවුන් සතුකරගෙන තිබුනි.

“ඕක වුනේ කවද්ද...?” දැන් ද..?”

සිදු වු වේලාව අනුව අනෙකුත් පොලිස් ස්ථානවලද සහාය ගෙන මෙම වෑන් රථය අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් තිබේදැයි දැනගැනීමට මට අවශ්‍ය වුනි.

“නෑ සර් මේක වෙලා තියෙන්නේ ඊයේ උදේ...”

කටහඬ අවදි කළේ අත්තනායකය.

“ ඉතිං ඇයි ඊයේ ඒ වෙලාවෙම පොලීසියට ආවේ නැත්තේ...?”

තරුණයෝ තවත් අනඟි අවස්ථාවක් මඟහැරගෙන තිබීම සම්බන්ධව නොසතුටින් මම ඒ සම්බන්ධව කරුණු විමසීමි.

“ සර් ඊයේ මෙයාල අර මනුස්සයා ආපහු ආවේ නැති නිසා ආපහු මල්වත්ත පාරේ අර ඒජන්සිය හොයාගෙන ගිහිල්ලා තියෙනවා..., එතන ඒ ගෑනිගෙන් ඇහුවට පස්සේ...කිව්වලු ඔයාල ආවේ එයත් එක්කනේ ඔයාලගේ ඔය ගණුදෙනු මම දන්නේ නෑ... එයත් එක්කම ඒවා බේරගන්න කියලා බැණලා එලවගෙන සර්... ඊට පස්සේ කරන්න දෙයක් නැතිව ඉදලා ඊයේ රෑ තමයි මෙයාල මං හොයාගෙන ආවේ....”

පොලිස් ස්ථානයට පැමිණිළි කිරීමට තරුණයින් පැමිණිමට ප්‍රමාද වු හේතුව අත්තනායක පැහැදිලි කලේය. තරුණ ගැටවුන්ට හදිස්සියේ බලාපොරොත්තු නොවුන අයුරින් අත්විඳින්නට සිදු වු අකරතැබ්බය නිසා ඔවුන් අතිශයින්ම වික්ෂිප්ත භාවයට පත්ව ඇත. ඔවුන් රටයෑමට බලාපොරොත්තුවෙන් මුදල් උපයාගෙන තිබුනේ බොහෝ දුක් මහන්සියෙනි. කුලියට උක්ගස් කපමින් කාලයක් එකතු කල මුදල්ද, දෙමව්පියන්ගේ රන් භාණ්ඩ උගස් තබමින් එකතු කරගත් මුදල් ද, ක්ෂණිකව අහිමි වුයේ ඔවුන්ව දැවැන්ත රැවටීමකට හසුවෙමින්ය. තරුණයින්ගේ සිහින බලාපොරොත්තු සියල්ල බොඳ කරමින් අපරාධකරු තම බලාපොරොත්තු සිහින ඉටුකරගැනීමට නිදහසේ කුරුල්ලෙකු මෙන් ඉගිල ගොස් තිබුනි.

එදින කොටහේන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බැලු ස්ථානාධිපතිවරයා වූයේ මාය. එම නිසා පැමිණිළි සම්බන්ධව රාජකාරි කටයුතු කිරීමේ පූර්ණ බලධාරියාද මම වීමි. තවත් නිලධාරියෙකුගෙන් අවසර ගැනීමක් අවශ්‍ය නොවීය. මගේ ජන්මගතිය වු හැමදේකටම ඉක්මනින් ක්‍රියාත්මක වීම එදින සිතැඟි පරිදි ඉටු කිරීමට ආරම්භ කලෙමි.

“විජේසිංහ ඉක්මනට මේ පැමිණිල්ල ලියන්න...”

මම නිලධාරියෙකුට පැමිණිල්ල ලියාගැනීමට නියෝග කලෙමි.

හරියාකාරව නමක් ගමක්වත් නොදන්නා සැකකරු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය පිඹුරුපත මම සැකසුවෙමි. පරීක්ෂණ කටයුතු මල්වත්ත පාරේ විදේශ රැකියා නියෝජිත ආයතනයේ සිට මෙම සිද්ධියට සම්බන්ධ වු කාන්තාවන් දෙදෙනාගෙන් ආරම්භ කිරීමට සිතාගත්තෙමි.

නිලධාරීන් දෙතුන් දෙනෙක් සමඟ මෙම අපරාධයේ පරීක්ෂණ කටයුතු සදහා පිටව යන බව බල අපරාධ පොතේ (GCIB) පිටවීමේ සටහනක් තැබුවෙමි. ඒ නිලධාරීන් අතරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකුගේ නම්ද ඇතුලත් කරේ කන්තාවන් දෙදෙනෙක් ද මේ සිද්ධියට සම්බන්ධ නිසාය. ඒ හැරත් කාන්තා නිලධාරිනියන් අප පොලිස් ස්ථානයෙන් රාජකාරි කටයුතු සඳහා පිටව යන අවස්ථා වලදි ඔවුන්ගේ නම්ද පිටවීමේ සටහනට එකතු කරන ලෙස ඉල්ලා සිටි. එකල ගමන් වියදම් දීමනාව (බටා) ලබාගැනීමට නම් පොලිස් ස්ථානයෙන් බැහැරව රාජකාරි කටයුත්තක නියැලිය යුතුව තිබුනි. කාර්යාල කටයුතු වල නියැලෙන මෙම කාන්තා‍ පොලිස් කොස්තාපල්වරියන්ට ගමන් වියදම් දීමනාව ලබාගැනීමට වෙනත් විකල්පයක් නොතිබුන නිසා ඔවුන්ගේ ඉල්ලීම ද පිළිගත්තෙමි.

තරුණයන් සිව්දෙනා හා නිලධාරීන් සමඟ පොලිස් ස්ථානයෙන් මම පිටකොටුව මල්වත්ත පාර බලා ගමන් ඇරඹුවේ කෙසේ හෝ මේ අපරාධකරු නීතියේ රැහැනට හසුකරගෙන මේ දිලිඳු තරුණයින් සිව්දෙනාට යුක්තිය සාධාරණය ඉටුකිරීමේ අරමුණෙනි.

03 වන කොටසට...............

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

ඉරණම තීන්දු කල රාජකාරිය 01

“ Excuse me Sir...”     

හුරුපුරුදු කටහඬකින් සමාව අයැදීමක්.....

අපරාධ පරීක්ෂණයක සටහන් ලියමින් සිටි මා එම කාර්යය නවතා හිස ඔසවා බැලුවෙමි.

“
ආ ඔව් අත්තනායක...”

නියඟයට ලක්ව හේ බා ගිය ලදළු පත් වැනි මුහුණු වලින් යුතු තරුණයන් සිව් දෙනෙකු සමඟ අත්තනායක නිලධාරියා මා ඉදිරියේ පෙනී සිටියේය. අත්තනායක යනු කොටහේන පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු රාජකාරියේ යෙදී සිටි නිලධාරියාය. පොලිසියේ භාෂාවෙන් කිවහොත් TO ය. මා හඳුනා ගෙන සිටි පරිදි අත්තනායක හිත හොඳ නිලධාරියෙකි. දැන් ඔහු පැමිණ ඇත්තේ කිනම් කාරණාවකටදැයි මසිත කුකුසක් මතු විය.

“
සර් පොඩි කේස් එකක්... මේ මල්ලිලා අපේ ගම්පැත්තේ වැල්ලවායෙ... මෙයාල රට යන්න එකෙකුට සල්ලි දීලා... ඌ මෙයාලව රවට්ටලා සල්ලි ටික අරන් පැනලා ගිහිල්ලා....”

අත්තනායක එක හුස්මට කාරණාව කෙටියෙන් කියා සිටියේය. ඔහු මාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මට වැටහුනි. එය රාජකාරි මට්ටමෙන් ඉටු කල යුතු වුවකි.

“
කොහෙදිද මේක සිද්ධ වුනේ...?”

මේ සිද්ධියේ පෙරපර ගළපා ගැනීමට මම උත්සුක වුයෙමි.

“
සර් මෙතන මේ රත්නම් මෙඩිකල් ලැබ් එක ගාවදි...”

අත්තනායක විස්තර කිරීම සිදු කරද්දී අසරණ වු තරුණයෝ හිස වනමින් එය අනුමත කලහ. අවුරුදු 20, 25 තරම් වයසේ පසු වු ගැටවරයින්ට ඔවුන් මුහුණ දී සිටි දුෂ්කර අවස්ථාවේ තම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු හමුවීම කතරක අතරමං වුවෙකුට දිය බිඳක් හමු වුනාක් වැනි යම් තරමක සැනසිලිදායක බවක් ලැබුනු බව මට ඒ මැළවුණු මුහුණු කියා පෑවේය.

“
කියන්න කෝ බලන්න මේ සිද්ධිය වුනේ කොහොමද කියලා මුල ඉදලා ...”

මම හරිබරි ගැසීමි.

“
මල්ලි කියන්න කෝ වෙච්ච දේ සර්ට මුල ඉඳලා ..”

අත්තනායක තරුණයන් අතර වැඩිමහලු බවක් ඉසිලූ තරුණයාට ඇරයුම් කළේය.

“
කොහෙද ඔයාලගේ ගම...?”

තරුණයින්ගේ නිජබිම නිවැරදිව දැනගනු අටියෙන් මම විමසීමි.

“
සර් අපි වැල්ලවායට එහා හඳපානගල....”

ඇරුණු මුවතුලින් බයාදු කටහඬක් ගලා ආයේය.

“
මූ ඔයාල අඳුනගත්තේ කොහොමද...?”

මුලින්ම අපරාධකරු හා තරුණයන් අතර ඇති සම්බන්ධය දැනගත යුතුමය.

“
සර් මෙයා මේ ලී බිස්නස් කරන්න අපේ ගමට ආපු කෙනෙක්... ඒ ආපු ගමන තමයි අපිත් එක්ක හිතවත් වුනේ...”

“
මොකක්ද මිනිහගේ නම...?”

අදාල පුද්ගලයාගේ තොරතුරු තිබෙන ප්‍රමාණය අනුව මගේ රාජකාරියේ පහසු අපහසු බව තීරණය කරයි. පැමිණිල්ලක් සටහන් කරගැනීමේදී අප අනුගමනය කල යුතු ක්‍රියා පිලිවෙතක් ඇත. කවුද ?, කවදා ?, කොතනද ? කුමක්ද ? කෙසේද ? යන මේ තොරතුර අනිවාර්යයෙන්ම සටහන් කරගත යුතුය.

“
සර් නම නං කුමාර කියලා විතරයි දන්නේ...”

තරුණයා උත්තර දුන්නේ කොඳුරමින් වරදක් කල එකෙකු සේය. නම වත් හරිහැටි නොදන්නා පුද්ගලයෙකුට මොවුන් රැවටී ඇති සෙයකි.

“
කොහෙ කෙනෙක් ද ...?”

“
ගමත් කුරුණෑගල කියලා විතරයි දන්නේ සර්...”

හැඬුම්බර හඬකින් දැන් මට පිළිතුරු ලැබෙන්නේ ඔවුන් ද ප්‍රබල අතපසුවීම් ගණනාවක්ම කර තිබු නිසාය. සියල්ල පසෙකලා ඔවුන්ට දෝෂාරෝපණය කිරීමට සිත් වුවත් මම ඉවසීමි. එසේ වුවානම් එය ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේය.

කොටහේන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරියට ගියදා පටන් මගේ අවාසනාවට හම්බ වුනේම අපරාධකරුවන් නොදන්නා ගොනුමය. දැන් තවත් ගොනුවක්.

“
මෙයා සර් ගොඩක් කල් ඉඳලා අපේ ගමට ඇවිල්ලා ලී බිස්නස් එක කරනවා.... ඒ නිසා අපි පොඩ්ඩක්වත් සැකකරේ නෑ... කුමාර අය්යා කියලා තමයි අපි කිව්වේ.... අපිට කිව්වේ එයාගේ රට යවන ඒජන්සියකුත් තියෙනවා කොළඹ... මල්ලිලා කැමති නම් කියන්න ඔයාලට හොඳ ජොබ් ටිකකට මට යවන්න පුළුවන්... මාසෙකට ලක්ෂයක් දෙකක් පඩි ගන්න පුළුවන්... එක්කෙනෙකුට පනස්දහසක් තිබුන නම් ඇති කිව්වා... මෙයා ගාව ඩොල්පින් වෑන් එකකුත් තියෙනවා සර්...”

තරුණයින් පිරිස මේ පුද්ගලයාට රැවටුන හේතුව සාධාරණීය කිරීමට හේතු සාධක ගෙනහැර පායි.

“
පෙරේදා තමයි එයා අපිව කොළඹ එක්කගෙන ආවේ..”

“
මෙයා ඇරෙන්න අනිත් තුන් දෙනා මීට කලින් කොළඹ ඇවිල්ලත් නෑ සර්...”

අත්තනායක තවත් ඌනපූරණයක් එයට එක්කළේ ඔවුන්ගේ නොදනුවත්භාවය ගැන හෙලිකරමිනි. ඒත් අත්තනායක නොදන්නා එක් කරුණක් මට සිහිපත් වුයේ ක්ෂණයකිනි. එනම් මම ද උප පොලිස් පරීක්ෂක සම්මුඛ පරීක්ෂණයට කොළඹ පැමිණියේ මොණරාගල සිට තනිවමය. ප්‍රථම පරීක්ෂණය බදුල්ලේ තිබුන අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මට කොළඹ පැමිණීමට සිදු විය. සම්මුඛ පරීක්ෂණයට ලිපිය ලැබුණේ මට දිනක් ප්‍රමාදව නිසා කිසිදිනක නොගිය කොළඹට යාමට එදිනම කටයුතු කරන්නට සිදු විය. මේ නිසා කොළඹ ගැන දැනුවත් අයෙක් තනියට එක්කරගෙන ඒමට ඉඩ කඩක්ද නොලැබුනි. යන්තම් වයස අවුරුදු 20 ක කොලු ගැටයෙකු වු මම කිසිදු බියකින් චකිතයකින් තොරව මේ ගෙන්දගම් පොළොවට පය තැබුවේ තනිවමය. ප්‍රථම වතාවට මේ ගෙන්දගම් පොළොව ස්පර්ශ කරන අයෙක්ගේ හැඟීම කෙබඳු දැයි ඒ නිසා මම දැන සිටියෙමි.

“
ඉතිං ඊට පස්සේ කොහාටද ඔයාල එක්ක ගියේ...”


02 වන කොටසට.....

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි

තල්අරඹේ මතකයන් 06

කල්පිටියේදී ප්‍රථම වරට දුටු ආඬියා ළිඳෙන් කුළුදුලේම ස්නානය කිරීමට මට අවස්ථාව ලැබුණේ එදින සන්ධ්‍යාවේය. යුධහමුදා නිලධාරීන්ගේත්, පොලිස් පරීක්ෂකවරුන්ගේත් පැන් පහසුව සඳහා එම ආඬියා ළිඳ තල්අතු කීපයකින් ආවරණය කර, වෙන් කොට තිබුණි. සෙසු නිලධාරීන්ට ද ඒ පරිශ්‍රය තුල මෙවැනි ආඬියා ළිං කීපයක් පාවිච්චියට තිබෙන බව දුටුවෙමි.

ඒ සැදෑවේ මමත්, රසිකත්, ලුතිනන් වික්‍රමරත්නත් ඉවරයක් නොමැති ආ ගිය තොරතුරු කථා කරමින් තොරතෝංචියක් නොමැති උසුළු විසුළු කරමින් ස්නානය කළෙමු.

තල්අරඹේ මතකයන් 05

පේසාලේ පිහිටියේ මන්නාරම හා තලෙයිමන්නාරම අතර ය. පේසාලේ පොලිස් ස්ථානයත් යුධහමුදා කඳවුරත් පිහිටා තිබුණේ එකම භුමි භාගයකය. මන්නාරම පොලිස් මූලස්ථානයේ සේම නිවාස ගොඩනැගිලි සංකීර්ණයක් වටකොට ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුන අතර කඳවුරේ එක පැත්තක් මුහුදට මායිම් විය. යුධහමුදා 3 වන ගජබා රෙජිමේන්තුව සමඟ පොලිස් නිලධාරීහු මේ ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියහ.


පේසාලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වුයේ උප පොලිස් පරීක්ෂක රසික රාජපක්ෂයි (පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට සමුදුන් ඔහු මේ වනවිට ඉහළ පෙලේ ඇඟළුම් ව්‍යාපාරිකයෙකි.)

“අපි යමු quarters එකට....”

තල්අරඹේ මතකයන් 04

පසුදා උදෑසන පාතරාසයෙන් අනතුරුව මා මිත්‍ර ප්‍රනාන්දුට සමුදී අනුකණ්ඩයේ නිලධාරීන් සමඟ පේසාලේ බලා පිටත් වුනෙමි. ELF වර්ගයේ ලොරි රථයකින් අපට ගමන් පහසුකම් සැලසුනි. තාසිම් නැමති පොලිස් සැරයන්වරයා රථය ධාවනය කල අතර ඔහු ඉතාමත් වේගයෙන් රථය ධාවනය කිරීම මා සිත් නොගත්තේය. කිසිදු ආවරණයක් නොමැති ලොරියේ පිටුපස සිටි නිලධාරීන්ගේ ඉවසීමේ සීමාව ද ඉක්මගොස් තිබුණි. ඒ අවි ආයුධ හා බඩු බාහිරාදිය අතින් කටින් එල්ලාගෙන අසීරුවෙන් සිටි ඔවුන්ට රථය ගමන් කරන වේගය නිසා නොයෙකුත් අපහසුතාවයන්ට ලක්වීමට සිදු වු නිසාය.

“ පොඩ්ඩක් හිමින් යමු... පිටිපස්සේ කොල්ලෝ ඉන්නේ අමාරුවෙන්...”
බැරිම තැන මම කිවෙමි.

තල්අරඹේ මතකයන් 03

         තාල්පාඩු සිට අපි පොලිස් ට්‍රක්රථ දෙකේ නැඟී මන්නාරම පොලිස් මුලස්ථානය බලා ගමන ආරම්භ කලෙමු. දුර ඈතට විහිදුන තැනිතලා භූමි මුණ ගැසෙයි. බැලු බැලු අත තල්ගස්ය. මේ තල්අරඹක්මය. මනුෂ්‍ය වාසයන් ගෙන් තොර වු නිවාසවල වහලවල් නොමැත. ඒ වෙඩි පහරවල් හා බෝම්බ ප්‍රහාරවල මහිමයෙන් බව පෙනේ. තැනින් තැන තල්කොට හා වැලිකොට්ට යොදාගෙන ඉදිකරනු ලැබු හමුදා මුරපොලවල්ය. හමුදා සාමාජිකයින් හැර සිවිල් වැසියන් කිසිවෙකු හමුනොවීය. තැනින් තැන නිදැල්ලේ ඔබ මොබ සැරි සරන බූරුවන් බැලු බැලු අතය. මේ සිවුපා බූරුවන් මගේ ඇස ගැසෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ප්‍රදේශයේ විසු ජනයා කතෝලික භක්තිකයින් බව තැනින් තැන දක්නට ලැබුන දේව ප්‍රතිමා කුරුස හා දේවස්ථාන වලින් අවබෝධ වුනි. තාල්පාඩු සිට මන්නාරම පොලිස් මූලස්ථානය වෙත ඇත්තේ ඉතා කෙටි දුරක් බව දැනුනේ විනාඩි දහයක පමණ කාලවේලාවක් තුල අප මුලස්ථාන පොලීසිය වෙත ළඟා වු බැවිනි.

තල්අරඹේ මතකයන් 02

හිමිදිරි උදෑසනට පහන් වෙද්දී අපි ලහි ලහියේ සුදානම් වුනේ කල්පිටිය නාවික හමුදා කඳවුර වෙත යාමටයි. පුද්ගලික බඩු බාහිරාදිය සහිත විශාල ගමන් මල්ල කරේ එල්ලාගෙන, පතරොම් ගැබ පපුවට තබා ගැටගසා ගෙන, දකුණුතට T56 අවිය ගෙන ගමන ආරම්භ කලෙමි. ඒ වනවිටත් නාවික කඳවුරේ ජැටියේ අප මන්නාරම වෙත රැගෙන යාමට “වාලම්පුරි” යාත්‍රාව සුදානම් කොට තිබුනි. දැන් මා මුහුණ දීමට යන්නේ ජීවිතයේ කෙදිනකවත් නොලැබු අත්දැකීමකටය. දියමතින් ගමන් කරන ඒ අපුර්ව වු අවස්ථාව දැන් උදාවී ඇත.

තල්අරඹේ මතකයන්. 01

(සත්‍ය අත්දැකීම් ඇසුරින්)

පොලිස් සේවයට එක්වී වසරකට විතර පසු මට රාජකාරි සඳහා වාර්තා කරන්නට සිදු වුනේ මන්නාරමටය. නිලධාරීන්  30 දෙනෙකුගෙන් සමන්විත අනුඛණ්ඩයක් භාරව 1991 සිට 1995 දෙසැම්බර් දක්වා  අවුරුදු තුනහමාරක් පමණ කාලයක් මේ උතුරු  තල්අරඹේ මම රාජකාරි කලෙමි. මන්නාරම තලෙයිමන්නාරම හා පේසාලේ මගේ රාජකාරි ස්ථානයන් විය. 

මේ සටහන් තුලින් ඒ මතකයන් නැවත ආවර්ජනය කරන්නට උත්සාහ කරමි.