Wednesday, February 5, 2020

Pradeep De Silva: "අත්හදා බැලූ දැනුම...."

Pradeep De Silva: "අත්හදා බැලූ දැනුම....": පසුගිය දිනක අවුරුදු 25 ක් 30 ක් කාර්මික කේෂ්ත්‍රයේ කටයුතු කරන මා හිතවත් ගරාජයක හිමිකරුවෙක් හමු විය. ඔහුගේ Bighorn Jeep රථයේ නිසි...

Saturday, January 11, 2020

"අත්හදා බැලූ දැනුම...."


පසුගිය දිනක අවුරුදු 25 ක් 30 ක් කාර්මික කේෂ්ත්‍රයේ කටයුතු කරන මා හිතවත් ගරාජයක හිමිකරුවෙක් හමු විය.

ඔහුගේ Bighorn Jeep රථයේ නිසි ලෙස Gear පද්ධතිය ක්‍රියා නොකිරීම හේතුවෙන්
මාස දෙක තුනක් තිස්සේ  එක් gear එකක පමණක් රථය ධාවනය කරන බව පැවසීය.
  මේ නිසා  ඔහු දැඩි ලෙස   හෙම්බත්ව සිටින බවත්,  Jeep රථයට අලුතින් Gearbox එකක් තැබීමට තීරණය කර ඇති බවත් කියා සිටියේය, Jeep රථය පරීක්ෂා කර බැලූ ඒ සම්බන්ධව විශේෂ කාර්මික දැනුමක් තිබෙන කීපදෙනෙකුද රථයේ දෝෂය තිබෙන්නේ Gearbox එකේ බව පෙන්වා දී තිබීම  එම තීරණයට එළඹීමට හේතු වු  බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහුගේ  Jeep රථයේ Gear පද්ධතියේ  පවතින දෝෂය ක්ෂණිකව මට වටහා ගැනීමට හැකි විය. මගේ Jeep රථයේ engine එක හා gearbox එකේ වර්ගයම ඔහුගේ Jeep රථයේ ද වීම  එයට හේතුවයි. මගේ Jeep රථයේ gear පද්ධතියේ දෝෂ සියල්ල විසදා ගනු ලැබුවේ මම තනිවමය.
පසුගිය කාලේ පුරාවටම මට කාලය මිඩංගු කිරීමට සිදු වුනේ මගේ රථයේ පැවතුන දෝෂයන් නිරාකරණය කරගැනීමටයි. ඒ සඳහා දැනුම අන්තර්ජාලය ඔස්සේ සෙවීමටත් ඒ සොයාගත් දැනුම අත්හදා බලන්නටත් දවසින් වැඩි කොටසක් වැය වුනි. සමහර අවස්ථා වලදී රෝද පුටුවේ ඉදගෙන මේ දේවල් සිදු කිරීම දැවැන්ත අභියෝගයක්ද විය. කෙසේ වුවත් අවසානයේ මගේ උත්සාහය මල්පල ගැන්වී මගේ රථයේ ගියර් පද්ධතියේ  දෝෂයන් සියල්ල නිරාකරණය කරගන්නට හැකි වුනි. ඒ අනුව මා ලද අත්දැකීම් හා එකතු කරගත් දැනුම යොදාගෙන ඔහුගේ Jeep  රථයේ දෝෂයද විසදා දීමට මම ඉදිරිපත් වුනෙමි.
රථයේ  දෝෂය පරීක්ෂා කර බැලු මම එය  විනාඩි පහක් දහයක් ඇතුලත  නිරාකරණය කර දීමට  සමත් වූයෙමි. 

Gear shifting දෝෂය වගේම රථයේ Turbo එක on නොවීමේ ගැටලුව ද මම  විසදා දුන්නෙමි.

රථයේ දෝෂය නිසිආකාරව හදුනාගැනීමට නොහැකිව මාස ගනනාවක් තිස්සේ  හෙම්බත්ව සිටි හිතවතාට විශාල මානසික අස්වැසිල්ලක් ලබාදෙමින් ඔහුගේ ගැටලුව ඉතා කෙටි කාලයක් තුල  නිරාකරණය කරදී ඔහුගේ මුදල් හා කාලයද ඉතිරි කරදීමට  සමත් වීම ගැන මා තුල ඇත්තේ විශාල සතුටකි.   ඒ ප්‍රීතිය මෙසේ සනිටුහන් කරන අතර  එක් රැස් කරගත් දැණුම ඕනැම කෙනෙක් සමඟ බෙදා හදා ගැනීමට මා සුදානම්ය. විශේෂයෙන් Isuzu bighorn 4JG2 3.1 TD Engine හා AW 30-40 LE වර්ගයේ  Auto Gearbox පාවිච්චි කරන්නන්ට මගේ දැනුම ලබාදිය හැක.

මේ කේෂ්ත්‍රයේ දැනුම එකතු කරගැනීමේ දී අන්තර්ජාලය මෙන්ම හිතවතුන් බොහෝ පිරිසක් මට උදව් උපකාර කල බව ඔවුන්⁣ට මගේ කෘතඥතාවය පුදකරමින් සටහන් කරන්නෙමි.
Gamini Kumarasiri, 
Dhammika kariyawasam,
Roshan indika,
Herbert premaratna,
Tikiri wapa,
Gihan indika,
Prasad Kumara,
Kt Dharmarathna
Vickum සහ
මෝටර් කාර්මික දැනුම Group එකෙන් ද මම විශාල දැනුමක් එකතු කරගත්තෙමි.
විශේෂයෙන් එහි ලිපි පලකරන Chandrasiri Jayawickrama,
Uthpala maheekantha වැනි මහත්වරුන්ගේ ලිපි ද ප්‍රයෝජනයට ගත් බව සඳහන් කලයුතුයි.

Tuesday, March 12, 2019

නොහික්මුණ රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල පොලිස් නිලධාරියා නොහික්මුණ රියදුරෙක් විසින් මරා දමයි......

2019 මාර්තු 11 දින.

මේ සටහන ලියන්නට මා පෙළඹෙව්වේ මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් මියගිය නිලධාරියාගේ බිරිඳට හා දරුවන්ට සියලු වන්දි දීමනා මෙන්ම, සියලු සුබ සාධක කටයුතු ඉටු කරන බවට කල ප්‍රකාශයයි....

ඇත්තටම ඔහු ප්‍රකාශ කල පරිදිම එවැනි ආකාරයෙන් කටයුතු සිදු වෙනවා නම් කිසිදු ප්‍රශ්නයක් නොමැත.
නමුත්, ගැටලුව තිබෙන්නේ ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙනවාද යන්නයි.... ඒ වගේම චක්‍රලේඛ අණපනත් වලට පමණක් සීමාවී ඒ ලබාදෙන සහන ප්‍රමාණවත් ද යන්නයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මේ ආකාරයෙන් විපතට පත් වන
නිලධාරීන්ට සහන සැලසීමට යොදාගැනීමට හැකි චක්‍රලේඛ දෙකක් ඇත. ඒ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 යටතේ නිලධාරියා ලබමින් සිටි මූලික වැටුප (වෙනත් දීමනා කිසිවක් මෙයට අයත් නොවේ. ) මාස 120 කින් වැඩිකොට ලැබෙන මුදල වන්දියක් ලෙස ලබාදීම හෝ එසේ නැත්නම්, 2017 වර්ෂයේ දී නැවත බලාත්මක වු 1982 අංක 305 දරණ අමාත්‍ය මණ්ඩල තීරනය අනුව නිකුත් කල පොලිස්පති චක්‍රලේඛ 2582/16 අනුව නිලධාරියාට වයස අවුරුදු 55 ට එළඹෙන තෙක් වැටුප් ගෙවීම.

මෙයට අමතරව නිලධාරියාගේ විශ්‍රාම වැටුප බිරිඳට හා යැපෙන්නන්ට මාස් පතා ලබාදීම. දල වශයෙන් මේ විශ්‍රාම වැටුප රුපියල් තිස්දහසකට අඩුවේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 අනුව ප්‍රතිලාභ ලබාදුනහොත්, මාස 120 ක වන්දිය මාස 120 ක් නොඑසේනම් අවුරුදු 10 ක් ජීවත් වනවිට හමාර වෙයි. ඒ වගේම මාස 120 ක වන්දි මුදල කල්ගතවන විට වැඩි වන ජීවන වියදමත් එක්ක වැඩි නොවන නිසා වන්දි මුදලේ වටිනාකම හීන වේ. මේ නිසා මේ වන්දි මුදලෙන් මාස 120 ක් ජීවත්වීමටවත් ප්‍රමාණවත් නොවේ. ඉන් අනතුරුව නිලධාරියාගේ බිරිඳටත් දරුවන්ටත් යැපෙන්නන්ට සිදු වන්නේ පෙර සඳහන් කල විශ්‍රාම වැටුපෙන් පමණි. දරුවන්ගේ සියලු වැඩකටයුතුත් සමඟ ඇයට මෙම විශ්‍රාම වැටුප ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත. තම ස්වාමියා තම පියා රට වෙනුවෙන් ඉටු කල මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට ද වන්දි ගෙවන්නට සිදු වේ. ඔවුන්ට මේ දුක් කරදර සියල්ලම උහුලන්නට සිදුවෙන්නෙ නිලධාරියාගේ වියෝ දුකද සමඟය. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. පෙර සඳහන් කල චක්‍රලේඛය පාවිච්චි නොකර පොලීසියේ පරිපාලනමය දෝෂයක් නිසා ක්‍රියාත්මක නොකල 1982 අංක 305 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිකුත් කල පොලිස්පති චක්‍රලේඛ 2582/16 අනුව ප්‍රතිලාභ ලබාදුන හොත් නිලධාරියාට වයස අවුරුදු 55 ක් දක්වා නිලධාරියා ලබමින් සිටි සම්පූර්ණ වැටුප හා දීමනා කාලානූරූපීව වැඩි කිරීම් ද සහිතව ලබාගැනීමට හැකි වනු ඇත. මේ චක්‍රලේඛය පාවිච්චි කොට සහන සලසන්නේ නම් එයින් මුලින්ම සතුටට පත් වන්නේ මාය. එයට හේතුව මේ 1982 නිකුත් කල චක්‍රලේඛය පාවිච්චි කොට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහන සලසා ඇතත්, පොලීසියේ සිදු වු පරිපාලනමය දෝෂයක් නිසා එය ක්‍රියාත්මක කොට නැත. පොලීසිය සිදු කල මේ අසාධාරණය නිසා පුද්ගකව ම⁣ට වසර දහයක කාලයක් වැටුප් නොමැතිව ජීවත් වන්නට සිදු වුනි. ඇතැම් ආබාධිත නිලධාරීන්ට වසර 19 ක් කිසිදු වැටුපක් නොලබා රු 95000/= ක් වැනි සුළු වන්දි මුදලකින් පමණක් ජීවත් වන්නට සිදු විය. අවසානයේ මා විසින් 2009 වර්ෂයේ දී ගත් ක්‍රියාමාර්ගයන් හේතුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 iv සංශෝධනය කර නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන නිලධාරීන්ට පමණක් අවුරුදු 55 දක්වා වැටුප් ලබාගැනීමට හිමිකම ලැබුනි. කරුණු පැහැදිලි කිරීම වෙන පැත්තකට යොමු කිරීමට සිදු වීම ගැන සමාවෙන්න... ඒත් මේ කරුණද දැනගත යුතු බොහෝ දෙනා සිටී. දැන් ආයෙමත් කතාකරමු පෙර මම සඳහන් කල 1982 සි⁣ට පොලීසිය ක්‍රියාත්මක නොකල චක්‍රලේඛය ගැන. පොලීසිය විසින් මේ අස්ථාන ගතකර තිබූ චක්‍රලේඛය නැවත සොයාගෙන පොලිස්පතිවරයාට ලබාදී ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ලේකම්තුමාවද දැනුවත් කොට වසර දෙකක් පමණ ගත් අප්‍රමාණ වෙහෙස මහන්සිය හා කල දැඩි බලපෑම් හේතුවෙන් ⁣චක්‍රලේඛය 2017 නොවැම්බර් මස සිට නැවත ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත. ඉතිං මම රෝද පුටුවේ බොහෝ දුෂ්කරතා මැද ජීවත් වෙමින් මගේ කාලය ශ්‍රමය මුදල් වැයකරමින් ලබාගත් ජයග්‍රහණයක ප්‍රතිපලයක් තමයි මේ චක්‍රලේඛය නැවත ක්‍රියාත්මක කොට මේ ආකාරයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය දී විපතටපත් වන නිලධාරීන්ට සහන සැලසීම. එක එක ප්‍රකාශකතුමාලට නිලධාරියාට මේ මේ ආකාරයට සහන සලසනවා යැයි වහසි බස් කීමට අවස්ථාව උදාවුයේ මේ පසුබිම යටතේ බව සමහරවිට ඔවුන් නොදන්නවා විය හැකියි. මේ සටහනේ මම සටහන් කර ඇති කරුණු සියල්ල සනාථ කිරීමට අවශ්‍ය සියලුම ලිඛිත සාක්ෂිත් මා සතුව ඇත.

මෑතකදී ජනාධිපතිතුමා විසින් මියගිය හා ආබාධිත වු නිලධාරීන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදීමට ගත් තීරණය ප්‍රකාරව මේ නිලධාරියාගේ බිරිඳට එය ලබාගැනීමට හැකියාවක් නොමැත. ඒ මේ නිලධාරියා LTTE ත්‍රස්තවාදී ක්‍රියාවකින් මිය නොගිය නිසාය.

බලධාරීන්ගේ දැන් අලුත්ම නිර්වචනය වී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවකින් නොවන වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය දී මිය ගියහොත් ඒ නිලධාරීයාගේ බිරිඳට, දරුවන්ට දරාගන්නට සිදු වන වියෝ දුක ද, ආර්ථික ප්‍රශ්න ද අඩු බවයි. ඒ වගේම ආබාධිත වු අප⁣ට ද දරන්නට වී ඇති මානසික වේදනාව ශාරීරික වේදනාව ආර්ථික ගැටලු ද අඩු බවයි. මෙවැනි පදනමක සිට බලධාරීන් දැන් අපට එක් එක් ආකාරයට සහන සලසයි...

අද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙලෙස මිය යන්නේ හා ආබාධිතයින් වන්නේ එදා මෙහෙයුම් කලාපවල වසර ගනන් දිවි පරදුවට තබා සක්‍රීයව මෙහෙයුම් කටයුතු වල නියැලුණු නිලධාරීන්ම බව අඳ බාල බලධාරීන් නොදන්නා කම නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මේ රට වෙනුවෙන් දිවි පිදූ හා සදාකාලික ආබාධිතයින් වු අප අප්‍රමාණ කම්පාවට, වේදනාවකට හා කලකිරීමකට පත්ව සිටින්නෙමු. සිදු වු විපත දරාගන්නවා සේම මේ සිදුකරන අසාධාරණකම් දරාගැනීමට ද අද අපට සිදුව ඇත.

ප්‍රදීප් ද සිල්වා
කැඳවුම්කරු
නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරියේදී දිවි පිදූ හා ආබාධිත වු නිලධාරී එකතුව.

Friday, February 22, 2019

දේශය පුවත් පතේ ලිපිය


අද 2019 පෙබරවාරි 23 දින.

දේශය පුවත් පතේ ලිපියක්......

උදේම දුරකථන ඇමතුමක්,

"අය්යේ මම දේශය පත්තරෙන්. ඔයාලගේ Article එක අද පත්තරේ තියෙනවා..."

දුරකථන ඇමතුම දේශය පුවත්පතේ ⁣වාර්තාකාරිනියක වු නිශානි ජයමාලි කරුණාරත්න ගෙනි.

ඇය මා මිත්‍ර Sumudu Hewapathirana සමඟ

18 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය අසබඬට පැමිණ, මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිවලදී දිවිපිදූ හා සදාකාලික ආබාධිත වු අපගේ තොරතුරු ලබාගෙන, පුවත් පත් ලිපියක් සැකැසුවාය. එතනිනුත් නොනැවැතී ඇය ලිපිය පලකර මට දැනුම් දීමට තරම්, මෙලෙස නිහතමානි වුවාය.

ඇයටත් දීර්ඝ කාලයක සිට මගේ මිතුරෙකු වන දක්ෂ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වන සුමුදු මල්ලිටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

ඒ ලිපිය මේ...



Thursday, February 21, 2019

2019 පෙබරවාරි 18 දින සැන්දෑව

ඇමතුමක් තුල රැඳවුන බලාපොරොත්තුව....

" ඔයා හොඳට, පැහැදිලිව, ලස්සනට ඔයාලගේ ප්‍රශ්නේ පැහැදිලි කරා...., ඔයාල ඉන්න ගාන සඳහන් කරලා ඔයාලගේ අත්සන් එක්ක මට Letter එකක් දෙන්න... මම මේ ගැන හොයලා බලලා කටයුතු කරන්නම්...."

මේ ප්‍රකාශය මට කලේ ගරු ආරක්ෂක ලේකම්  හේමසිරි ප්‍රනාන්දු  මහතායි. තුන්වෙනි පාර්ශවයක උදව්වෙන් සවස් වරුවේ මට එතුමත් එක්ක දුරකතනයෙන් සම්බන්ධ වීමට ඉඩ කඩ සැලසුනි.  තරමක් බලාපොරොත්තුවක් තබාගත හැකි බවක් එතුමාගේ ප්‍රකාශය තුල ගැබ් වී තිබුනි.  ආරක්ෂක ලේකම් තුමාව සම්බන්ධ කරදුන් ඔහු පිළිබඳව පසුව හෙලිදරව් කරන්නම්.

නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරියේ දී දිවි පිදු හා සදාකාලික ආබාධිත වු පොලිස්  නිලධාරීන් ඉල්ලා සිටින  යුක්තිය හා සාධාරණය හේමසිරි ප්‍රනාන්දු මහතා  අතින් ඉටුවන තුරු  බලා සිටින්නෙමු.

නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරියේදී දිවි පිදු හා ආබාධිත වු මෙතෙක් මා හා සම්බන්ධ නොවු සියලුම පොලිස් නිලධාරීන්ට හා ඥාතීන්⁣ට හැකි ඉක්මනින් මා හා සම්බන්ධ වන ලෙස ඉල්ලමි.

කැඳවුම්කරු
නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරියේ දී දිවි පිදු හා ආබාධිත වු පොලිස් නිලධාරී එකතුව.
0718186342

Tuesday, February 19, 2019

ආබාධිත පොලිස් නිලධාරියෙකුගේ දින සටහන්....01


අද 2019 පෙබරවාරි 18.

යුක්තිය සාධාරණය ඉටුකරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත..............

මෙලෙස දහසක් දුෂ්කරතා විඳදරා ගනිමින් බලධාරීන් හමුවට යාමට සිදුවුයේ  වෙනත් කිසිවක් කිරීමට ඉඩක් නොමැති වු නිසාමය.   අපි  ලිපි ලේඛන වලින් කල ඉල්ලීම් වලට කිසිදු පිලිතුරක්  නොලත් බැවින් නිවෙසෙන් පිටට එන්නට  සිදු වුනි. එයට මාර්ගය සකස් වුයේ වගකිව යුතු බලධාරීන්ගේ ක්‍රියා කලාපයන්මය.

මහජන ආරක්ෂාව,  නීතිය හා සාමය සුරකීමේදී  රටවෙනුවෙන් ජීවිත පූජාකල හා ආබාධිත වු පොලිස් නිලධාරීන්  වන අපට බලධාරීන් විසින් කරුණු කාරනා හරිහැටි සොයා නොබලා ගන්නා ලබන ප්‍රයෝගික නොවන තීන්දු තීරණ නිසා  තවදුරටත්  අප අසරණභාවයට   පත්වී ඇති අතර සමානයන්ට අසමාන ලෙස සලකමින් අපව මානසික හිංසනයට ද ලක් කර ඇත. 

 කරුණු කාරනා සඟවමින් ව්‍යාජව  පුද්ගලයන් හෝ ආයතන ආරක්ෂා කරමින් මේ  බහුබූත ක්‍රමවේදයන් ඉදිරියට පවත්වාගෙන යාමට උදව් උපකාර කිරීම අපේ රට තව තවත් පරිහානියට ලක්කිරීමට දායක වීමකි.  ඒ නිසා මින් ඉදිරියට ආබාධිත  පොලිස් නිලධාරීයාගේ දිනපොත තුලින් ඇඟයීම් කලයුතු දේ ඇගයීමටත්, විවේචනය කල යුතු දේ විවේචනයටත් ක්‍රියා කරමි.