Tuesday, March 10, 2020

සඟයින්ගේ සුවදුක්වි මසීමේ සංචාරය..... 01

නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අපි ගමන ආරම්භ කලේ පෙරවරු 8 ට විතර. මේ ගමනට පොලිස් රෝහලේ වෛද්‍ය දයානාත් රණතුංග මහතා, පොලිස් පරීක්ෂක ආනන්ද කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක අජන්ත නාකුළුගමුව, වෛද්‍ය කාර්යය මණ්ඩල සහායක ධර්මකීර්ති ඇතුලු පිරිස එක් විය. රථ දෙකකින් අප පිරිස ගමන් කල අතර මා මගේ පුද්ගලික රථයෙන් ගියෙමි. 

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පලමු වරටයි රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ලෙස ආබාධිත වු නිලධාරීන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමේ වැඩසටහනක් මෙලෙස දියත් කෙරුනේ. සැබැවින් ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙවැනි වැඩසටහනක් ආරම්භ කලයුතුව තිබුනේ බොහෝ කලකට පෙරයි. එහෙත් එවැනි සුබසාධන කටයුක්තක් මේ නිලධාරීන් වෙනුවෙන් ඉටුකිරීමට බලධාරීන් කටයුතු කර නොතිබීම ගැන, බොහෝ කලක සිට මගේ තිබුනේ දැඩි අප්‍රසාදයක්... කෙසේ වෙතත් දිගින් දිගටම මා කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස මෙවැනි සංචාරයක් සෑම මාස හතරකට වරක් සිදු කරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මැතිවරණ හා සහායක සේවා ජගත් අබේගුණසිරිවර්ධන මහතා විසින් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව ඉතාමත් අගේ කල යුතුව ඇත.
විවේචන කලයුතු තැන අප විවේචනය කරනවා සේම යම් සද්කාර්යයක් පොලීසිය විසින් මේ පූර්ණ ආබාධිත නිලධාරීන් වෙත ඉටුකරනවා නම් එයද නොපැකිලව අගේ කිරීමට පසුබට නොවන්නෙමි.
 

පසුගිය ජනවාරි 27 දින පොලිස් රෝහලේදී තිබූ සාකච්ඡාවකදී මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේගුණසිරිවර්ධන මහතාගෙන් කල ඉල්ලීම මා බලාපොරොත්තු වුවාටත් වඩා ඉහලින් ඉටුකරදීමට එතුමා සෑම පොලිස් ස්ථානයකටම හා සියලුම පොලිස් රෝහල්වල වෙත ඉතාමත් පැහැදිලිව මේ සම්බන්ධව නියෝග නිකුත් කර තිබුනි.
පූර්ණ ආබාධිත නිලධාරීන් පදිංචි පොලිස් වසමේ ස්ථානාධිපති විසින් මසකට වරක් මෙම නිලධාරීන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙනුවෙන් යම් සුබ සාධන කටයුක්තක් ඉටුකලේ නම් ඒ සියල්ල පිළිබඳ වාර්තාවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත සෑම මසකම ලබාදිය යුතුව ඇත.

උදෑසන 09.20 ට පමණ අප පිරිස මුලින්ම ළඟාවුණේ මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි පොලිස් පරික්ෂිකා ශ්‍යාමලී රත්නායක මහත්මියගේ නිවෙසටයි. 

2010 වර්ෂයේ දිවුලපිටිය පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටියදී රියඅනතුරකට ලක්වීමෙන් සුෂුම්නාවට බරපතල ලෙස හානි සිදු වීමේ ප්‍රතිපලයක් ලෙස ඇය පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව දිවි ගෙවනු ලබන්නේ රෝද පුටුවකය. දෙදරු මවක් වන ශ්‍යාමලීගේ ජීවිතයට අත්වු මේ අවාසනාවන්ත ඉරණම නිසා ජීවිතයේ අනාගත බලාපොරොත්තු සියල්ල බොඳවී ගොස් අද තවත් අයෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටී. කෙසේ වෙතත් ඇයගේ
ආදරනීය ස්වාමිපුරුෂයා වු අජිත්ගේ රැකවරණයත්, දරු දෙදෙනාගේ හා පවුලේ අයගේ ආදරයත් නිසා ජීවිතය අතහැර නොයා සිටී. ආබාධිත තත්ත්වයට පත් වී වසර දහයකට පමණ පසු තමන්ගේ සුවදුක් විමසීමට වෛද්‍යවරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණීම සතුටක් මෙන්ම ඇයට දුකක් ද ඇති කරාය.

පසුගිය දිනයකදී ඇයගේ සුවදුක් විමසීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් පැමිණෙන බව මා ලබාදුන් දැනුම් දීම හැරෙන්නට මිනුවන්ගොඩ පොලිස්ථානය මඟින් මේ සම්බන්ධව ඇයට කිසිදු දැනුම් දීමක් සිදු කර තිබුනේ නැත. අඩුම තරමින් තම සහෝදර නිලධාරිනියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ
පණිවිඩයේ පිටපතක් හෝ ලබාදීමට කටයුතු නොකිරීම ගැන මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට අපගේ බලවත් අප්‍රසාදය පලකරන්නට සිදු වේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු නොකිරීම ගැන එතුමාගේ අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. එසේ නොවුන හොත් මේ ආරම්භ කල සද්කාර්යය අතර මඟ නතර වෙනු ඇත. තමන්ගේ වසමේ පදිංචි විපතට පත්වු සහෝදර පොලිස් නිලධාරීන්ගේ සුව දුක් විමසා බැලීම සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේම වගකීම හා යුතුකම වේ. 

වෛද්‍ය දයානාත් රණතුංග මහතා ශ්‍යාමලීගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කර බලා, නිසි වෛද්‍ය උපදෙස් ලබාදුන් අතර ජීවිතය අතහැර නොයා ධෛර්යවන්තව ශාරීරික දුබලතාවයන් අභිබවා ජීවිතය ජයගැනීමට අවශ්‍ය වටිනා උපදෙස් ද ලබාදුනි. පැයක පමණ කාලයක් අප නිලධාරිනියගේ නිවසේ ගත කොට පැය 10.20 ට පමණ රද්⁣දෝලුගම බලා පිටත් වුනේ රද්දොලුගම පොලිස් වසමේ පදිංචි ලෙස්ලි චන්ද්‍රතිලකගේ සුවදුක් විමසීම සඳහායි. ඔහුගේ නිවෙස වෙත ළඟා වෙන විට පෙරවරු 11ට පමණ විය.

ඔහුත් රාජකාරියේ යෙදී සිටියදී රථවාහන අනතුරකට ලක්වී ඇත්තේ 2010 වර්ෂයේදීය. ඔහුත් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටියේ සුෂුම්නාවට සිදුව තිබූ බරපතල තුවාල හේතු වෙනි. ඔහුගේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්තය. රෝද පුටුවකවත් ජීවත් වීමට ඔහුට වරම් අහිමි අයෙකි. යහනට පමණක් සීමාව ජීවත් වන්නට ඔහුට සිදුව තිබේ. ලෙස්ලි දරු දෙදෙනෙකුගේ පියෙකි. ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගතකරන නිලධාරියාට එකම රැකවරණය බිරිඳ හා දරු දෙදෙනා පමණි. අපගේ පැමිණීම සැබැවින්ම ඔහුට විශාල සංතුෂ්ටියක් ලබාදී තිබීම අපටද මහත් සතුටට කාරණාවක් විය.
ඔහුගේ ජීවිතය යහනෙන් රෝද පුටුවකට ගෙන ඒමට හැකියාවක් ඇති බව පලපුරුදු වෛද්‍යතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

ඒ අනුව ඔහුට අප අලුත් බලාපොරොත්තුවක් ලබාදුන්නේ වැඩිදුර ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් පොලිස් රෝහලට ඇතුලත් වන ලෙසයි. ඒ වගේම මෙතෙක් කලක් දහස් ගනන් මුදල් වැයකර ලබාගත් ඖෂධ සියල්ලම පොලිස් රෝහල හරහා නිකුත් කිරීමට පියවර ගන්නා බවද වෛද්‍යතුමන් පොරොන්දු විය.
රද්දොලුගම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් අපගේ පැමිණීම පිළිබඳව ඔහුව දැනුවත් කර තිබුන අතර මෙතෙක් ස්ථානාධිපතිවරයා විසින් නිලධාරියා බැලීමට පැමිණ තිබුනේ නැත.

ලෙස්ලිගේ නිවසේ සිට අප ඊළඟට ගමන් ගත්තේ කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම පදිංචි පොලිස් සැරයන් සුබසිංහගේ නිවස වෙතයි. 
ඔහු ද පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇත්තේ 2016 වර්ෂයේ රාජකාරියේ යෙදී සිටියදී රියඅනතුරකට ලක්වීමෙනි. නිලධාරියාගේ මොළයට හා සුෂුම්නාවට හානි සිදු වී ඇති බැවින් සිහිකල්පනාවද ඔහුට අහිමි වී ඇත.
ඔහු ද දරු දෙදෙනෙකුගේ පියෙකි. බිරිඳද පොලිස් නිලධාරිනියක වන අතර ඇයගේ අප්‍රතිහත ධෛර්යය නිසාම වෛද්‍ය නිගමනයන්ද අභියෝගයට ලක් කරමින් නිලධාරියාට යම් තරමකට සුවයක් පෙරට වඩා ලබාදීමට සමත්ව සිටී. සැබැවින්ම තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඇයගේ කැපකිරීම අතිශයින්ම අගේ කලයුතුමය. මෙම සංචරයේදී අපත් සමඟ මේ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට එක් වුයේ කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පමණි. ඔහු අධික රාජකාරි කටයුතු රැසක් මැද කටයුතු කරමින් සිටියත්,අපත් සමඟ එක්වීමට කාලයක් සලසා ගෙන තිබීම අප හැමගේම ප්‍රශංසාවට ලක් විය. ඔහුත් සමඟ කටුනායක
පොලිස් ස්ථානයේ පාලන හා රථවාහන අංශවල ස්ථානාධිපතිවරුන්ද පැමිණ සිටියේය.. මේ පූර්ණ ආබාධිත නිලධාරීන්ගේ සුවදුක් විමසීම නිසිආකාරව සිදුවීමට නම් වසමේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහභාගිත්වය ද ඉතාමත් වැදගත්ය. මින් ඉදිරියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නියෝග පරිදි රාජකාරියේ යෙදී සිටියදී අනතුරුවලට ලක්ව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ සුව දුක් විමසීමට සෑම පොලිස් ස්ථානාධිපතිතුමෙක්ම කටයුතු කරනු ඇතයි පොලිස් විරුසංගමයේ අපි බලාපොරොත්තු වන්නෙමු.
වෙහෙසකර දිනක් වුවත්, සඟයන්ගේ සුවදුක් විමසීමේ සංචාරය සාර්ථකව හමාර කරමින් මම නිවසට පැමිණියේ ඉදිරි දිනවලදී අනෙකුත් නිලධාරීන්ගේ ද සුවදුක් විමසීමේ සංචාරය අඛණ්ඩව සිදු වනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

1 comment:

  1. ඉතාම සතුටුයි...

    අපේ ගෙදරට ඉස්සහර ගෙදර හිටියා වයි. සුනිල් ජයන්ත නම් පොලිස් පරීක්ෂක නිලධාරියෙක්. ඔහු රාජකාරියට ගොස් ගෙදර එනවිට බස් රථය වළක වැටී ගැස්සීම නිසා ඉතාම අවාසනාවන්ත ලෙස සුෂුම්නාවට හාණි වී ආබාධිත වුණා. කාලයක් තිස්සේ ඇඳට සහ රෝද පුටුවට සීමා වී සිට අකාලයේ ජිවිතය හැර ගියා. ඉතාම හොඳ ගුණ යහපත් මිනිසෙක්...

    ReplyDelete