“ කවුද.......? “
“ මං බං.....“
“ ආ මං මේ කවුද බැලුවා..... තිලකේ උඹනේ..... ඉදගනින්කෝ මෙහෙන්.....“
“ මං මේ ළඟට ආපු ගමන් නිකං මේ පැත්තෙත් ඇවිත් යන්න ආවා......“
තිලකේ මාමා හෙවත් අම්මා බුදුවේවා මාමා පැමිණ ඇත. ගුණසිරි ද ඔහුට ලංවුනේය.
“ ආ උඹ දැන් ගජ ඉළන්දාරියා වෙලානේ..... අළු ගසලා දාලා ඇවිත් තියෙන්නේ.....“
ගුණේ ලැජ්ජාවෙන් බිම බලා ගත්තේය.
“ සුමනක්කා හිටියනම් මේ කොල්ලා දිහා බලලා කොච්චර තන්තෝස වෙයිද....? “ තිලකේ අනේ අනිච්චේ බං.... මූට මමත් නැති වුනානං මහපාර තමයි.. “
සිරියා නැන්දා විස්සෝප වන්නට විය.
“ උඹට මතක ද කොළුවෝ.... දවසක් උඹ මගේ බයිසිකලේ පෙරළුව හැටි....? “
සිනාසෙමින් තිලකේ මාමා අසද්දී ගුණේට ද ඒ සිදුවීම සිහිපත් විය. අහිංසක කමට පැත්තක් අල්ලාගෙන සිටිනා මේ කොළුවා තිලකේගේද සිත ගත්තේය. එදා මෙදා තුර සිරියක්කා ගුණසිරි සම්බන්ධව වරදක් කියා නැත. කිව්වානම් ඒ හොඳක්ම පමණි. කුසුම්සිරිට ද පාඩම් කියාදෙමින් ඔහුවද හරි මඟට ගැනීමට වෙහෙසක් ගන්නා ගුණේ සම්බන්ධව සිරියාගේ සිතේ ඇත්තේ මහත් පැහැදීමකි.
“ කොළුවෝ.... ඕන නම් මගේ බයිසිකලේ රවුමක් ගිහින් වරෙං.....“
තිලකේ ගුණේට පැවසීය. ගුණේ හෙමි හෙමින් සංයමෙන් යුතුව බයිසිකලය වෙත ලං විය.
“ ඉතිං අක්කේ... මේ කොළුවව හැමදාම මෙහෙම තියාගන්න ද හිතන්නේ...? “
“ ඇයි තිලකේ උඹ එහෙම ඇහුවේ...? “ ගුණෙයා දැන් මොකක්දෝ විබාගයක් ගන්ඩ ඉන්නේ... හැමදාම කැලෑසියේ පලවෙනියා.... ඕකා ඉගෙණගන්න හරි දස්සයා... අපේ කුසුමයටත් පාඩම් වැඩ කියලා දෙන්නේ.... ඕං ඔය විබාගේ ලියලා මොකක්දෝ රස්සාවකට යනවා කිව්වේ....“
“ නෑ සිරියක්කේ.... ඌ දිහා බැලුවම හරි නිමිච්චි පාටක් පේනවා... උඹලා කැමතිනම් මං ඌව අපේ ගෙදර එක්ක යන්නං..... කමලත් කැමතිවෙයි අපිට දරුවෙක් මල්ලෙක් කියලත් නැති එකේ ඌව හදාගන්න....“
“ අනේ.... අනේ.... තිලකේ මං දන්නේ නැද්ද උඹගේ හැටි.... උඹ ඌව උඹේ ඔය දහදුරා වැඩ වලට පුරුදු කරන්ඩ තමයි ඔය.... ඌ ඔය මදාවිකං දන්නෑ....“
“ ඕකනේ උඹලට මොකුත් කියන්ඩ බැරි බං.... මගේ බිසිනොස් වෙනයි... ඌ වෙනයි.... මට ඌව මගේ බිසිනොස් වලට ඇදෑ ගන්න වුවමනාවක් නැ... අපිටත් දරුවෙක් නැති එකේ කමලත් කොච්චර සාංකාවෙන්ද උන්නේ.... මූව මං එක්ක යන්න ද කියලා සයිමන් අය්යාගෙනුත් අහලා කියහංකෝ.....“
“ හා..............හ්........., හා............හ්......, මං අහන්නන්කෝ.....“
“ එහෙනං මං යනවා......“
තිලකේ මිදුලට බැස්සේය.
“ කොල්ලෝ ඔය බයිසිකලේ ගෙනෙං මට යන්න...“
ගුණේගෙන් බයිසිකලය ඉල්ලාගත් තිලකේ ගුණේගේ ද හිස අතගා යන්නට ගියේය.
කම්මුලට අතක් තබාගෙන තිලකේ යනදෙස බලා සිටි සිරියා,
“ ගුණේ උඹ කැමති ද තිලකේ මාමාලගේ ගෙදර යන්න...? “ යි ගුණේගෙන් ඇසුවාය.
“ ඒ මොකටද නැන්දේ...? “
“ මොන ඉලව්වකටවත් නෙවෙයි බං එහෙ නවතින්ඩ.....“
“ හැමදාටම.....? “
“ ඔව් හැමදාටම......“
No comments:
Post a Comment